Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ISIS ත්‍රස්තයින් සතු විශාලම නගරයට දරුණු ප්‍රහාර​

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය හෙවත් ISIS සංවිධානයට එරෙහිව ඉරාකයේ මෝසුල් නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන හමුදා මෙහෙයුම් පෙබරවාරි 19 වනදා තවත් පියවරකින් ඉදිරියට ගියා.

බටහිර මෝසුල් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව ඉරාක අගමැති හයිදර් අල් – අබාදි එදින ප්‍රකාශ කළා. එදින උදෑසන ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල වූ අතර ඒ ආධාරයෙන් ඉරාක සේනාංක සිය ඉදිරි ගමන ඇරඹූවා.

ඉරාක හමුදාවලට වෙනත් මිලීෂියා කණ්ඩායම්වල ආධාරය ද ලැබෙන අතර ඔවුන් මෙහෙයුමේ පළමු දිනයේ දී මෝසුල් ගුවන්තොටුපලෙන් දකුණු දිගට වන්නට කිලෝමීටර 5ක් ඈතින් පිහිටි ප්‍රදේශයකට ළඟා වූ බව වාර්තා වුණා.

විශාල නගරයක යුධ මෙහෙයුමක් කිරීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. මෝසුල් නගරය ත්‍රස්තයින් විසින් වසර දෙකකට වඩා වැඩි කලක් පාලනය කරන අතර ඔවුන් ඇති තරම් ආරක්ෂිත ස්ථාන නිර්මාණය කර තිබෙනවා. මේ නිසාම පළමු දිනයේම ඉරාක ආරක්ෂක අංශ වෙත ඔවුන් ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා.

ඉරාක ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මෝසුල්වලට ඉහළ අහසේ (Matt Cetti-Roberts)

මේ අතර ඉරාක හමුදාවලට විදෙස් රටවල් කිහිපයක ආධාර ලැබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය මින් ප්‍රධානයි.

මෝසුල් නගරය ඉරාකයේ තෙවැනි විශාලම නගරය වනවා. එහි ජනගහනය 2004 දී මිලියන 1.8 ක් වුණා. වර්තමානයේ එතරම්ම විශාල නොවුණත් සැළකිය යුතු ජනගහනයක් එහි වසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරන්නේ මේ වන විට 750,000 ක පමණ ජනකායක් බටහිර මෝසුල් හි සිරවී සිටින බවයි. මෙය යුද්ධයේ දී ඉරාක හමුදා මුහුණ දෙන තවත් අභියෝගයක්.

ISIS පාලනය

2014 මැද භාගයේ දී ඉරාකයේ ප්‍රදේශ ගණනාවක් අල්ලාගත් ත්‍රස්තවාදීන් මෝසුල් නගරය ද අල්ලාගත්තා. ඉරාක හමුදා ඔවුන්ගේ ප්‍රහාර හමුවේ විදුලි වේගයෙන් පසු බැස ගියේ ලජ්ජා සහගත පරාජයක් ලබමින්. බැග්ඩෑඩ් අගනුවරට කිලෝ මීටර 70 ක් බටහිරට වන්නට පිහිටි ෆලූජා නගරය පවා ඔවුන් අතට පත් වුණා. ඔවුන් ඉරාකයේ සුන්නි මුස්ලිම් නොවන ජනයා සහ තමන්ට එරෙහි වන වෙනත් ඕනෑම අයකු දැඩි ලෙස පීඩාවට පත් කිරීමට සහ මරා දැමීමට පසුබට වූයේ නැහැ.

2015 සිට ඉරාක හමුදා සහ ඔවුනට සහය දක්වන කණ්ඩායම් ත්‍රස්තයින් සතු විවිධ ප්‍රදේශ අල්ලාගැනීමට පටන් ගත්තා. ෆලූජා, රමාදි වැනි නගර මේ අතර ප්‍රධානයි. එම නගර නැවත ඉරාක හමුදා විසින් අල්ලාගනු ලැබුණේ ද මාස ගණනක සටන්වලින් පසුවයි.

ඉරාක හමුදා රථයක් අල්බු සයිෆ් අසළ (Matt Cetti-Roberts)

මෝසුල් නගරය අල්ලා ගැනීම සඳහා හමුදා මෙහෙයුම් පටන් ගැණුනේ 2016 ඔක්තෝබර් 17 වනදා. මේ සඳහා ඉරාක හමුදාවලට අමතරව සුන්නි සහ ෂියා මිලීෂියා කණ්ඩායම් මෙන්ම කුර්දි “පැශ්මර්ගා” කණ්ඩායම් ද සහභාගි වුණා. මීට සති කිහිපයකට පෙර නැගෙනහිර මෝසුල් ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ISIS ත්‍රස්තයින්ගෙන් මුදවා ගනු ලැබුණා. නැගෙනහිර සහ බටහිර මෝසුල් ප්‍රදේශය වෙන් වන්නේ ටයිග්‍රිස් ගංඟාවෙන්.

මෝසුල් සටන් පෙරමුණ

පෙබරවාරි 19 වනදා ඇරඹි නවතම ප්‍රහාරයේ දී මුල් දින කිහිපය තුළ ඉරාක සේනාංක විසින් වර්ග කිලෝමීටර 120 ක පමණ ප්‍රදේශයක් අල්ලාගත්තා. ඒ අතර ගුවන් තොටුපලට නුදුරු උස් බිමක පිහිටි අල්බු සයිෆ් නම් ගම්මානය ද වනවා. එම ප්‍රදේශ අල්ලාගත් ඉරාක සේනාංක ඒවායේ ආරක්ෂක බැමි ඉදි කරන්නට පියවර ගත්තේ ත්‍රස්තවාදී කාර් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහායි. ඉදිරියේදී එන සටන්වලට අල්බු සයිෆ්හි පාලනය වැදගත් වනු ඇති.

සටන් පෙරමුණේ සිටින ප්‍රතිවාදීන්ට පහර දීමට මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ISIS ත්‍රස්තයින් මෝසුල් සඳහා වූ සටනේ දී නිරන්තරයෙන් යොදාගත් ක්‍රමවේදයක්. නැගෙනහිර මෝසුල් සඳහා වූ සටනේ දී ඔවුන් නිරන්තරයෙන් මෙම උපක්‍රමය යොදා ගත්තා. මෑතදී ඇරඹි සටන්වලදී ඔවුන් තවමත් මෙම උපක්‍රමය කළින් තරම්ම යොදාගෙන නැහැ. නමුත් තවමත් සටන පවතින්නේ එහි මුල් අවධියේ බව පැහැදිලියි. මේ නිසා ඉදිරියේදී තවත් මෙවන් ප්‍රහාර එල්ල වේ යයි සිතිය හැකියි.

කාර් බෝම්බ ප්‍රහාර එල්ල කළ අය අතර බ්‍රිතාන්‍යයෙන් පැමිණි සටන්කාමියකු ද වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළා. ඔහු කලක් ග්වන්තනාමෝ සිර කඳවුරේ රඳවා සිටි අයකු බව වාර්තා වුණා. 2002 දී අත්අඩංගුවට පත්ව ඇති ඔහු බ්‍රිතාන්‍ය රජය විසින් කළ බලපෑම මත 2004 දී නිදහස ලබා තිබෙනවා. බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටියේ ඔහුට බ්‍රිතාන්‍ය රජය විසින් වන්දියක් පවා ගෙවා ඇති බවයි.

මෝසුල් නගරය අල්ලා ගැනීමේදී පවතින විශාලම බාධකයක් වනු ඇත්තේ සිවිල් වැසියන් ජීවත්වන ප්‍රදේශයක සටන් කිරීමට සිදු වීමයි. ත්‍රස්තවාදීන්ට ඇති බිය නිසා මෙම සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ සිටින ප්‍රදේශවලට පැමිණීමේ හැකියාවක් නැහැ. මේ අතර ආහාර , ජලය සහ ඖෂධ හිඟය හේතුවෙන් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත් වේ යයි එක්සත් ජාතීන් ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ ත්‍රස්තයින් සිවිල් වැසියන්ව මිනිස් පළිහක් ලෙස යොදා ගන්නා බවයි. මේ හේතුවෙන් සටනේ ඉදිරි ගමන ඉතා සෙමින් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉරාක හමුදා අල්බු සයිෆ් ගම්මානයෙහි බලය තහවුරු කරති (Matt Cetti-Roberts)

ත්‍රස්තයින් මෑතක දී වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හරිමින් ඇමරිකානු ප්‍රමුඛ රටවල ගුවන් හමුදාවලට චෝදනා කළේ ඔවුන් සිවිල් වැසියන්ට බෝම්බ දමන බවයි. දින කිහිපයකට එල්ල වූ ප්‍රහාරයක ප්‍රතිඵල දිස් වන වීඩියෝවක් යයි ඔවුන් විසින් ප්‍රකාශිත මෙම වීඩියෝවෙහි තුවාල ලද සිවිල් වැසියන්ගේ දර්ශන ඇතුළත් වුණා. සංවිධානය සඳහන් කළේ එදින් එල්ල වූ ප්‍රහාරයෙන් 49 දෙනකු මිය ගිය බවයි.

මෝසුල් සඳහා සටන දිගටම සිදු වද්දී මෙවන් චෝදනා නිතර එල්ල විය හැකියි. ඊටත් වඩා විශාල ප්‍රශ්නයක් වන්නේ සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත් වීමේ සත්‍ය අවදානමක් මෙම සටනේදී දක්නට ලැබීමයි.

කවරයේ ඡායාරූපය: ඉරාක විශේෂ හමුදා බලකායක් විසින් ත්‍රස්තවාදීන්ට රොකට් ප්‍රහාරයක් එල්ල කරයි (Reuters)

Related Articles