Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සෞදි කාන්තාවන්ට අදාළ විශේෂ නීති වෙනස් වේ

මෙම වසරේ මැයි මස 04 වන දින සෞදි අරාබියේ සල්මාන් රජු එරට කාන්තාවන් සඳහා  සමාජය තුළ ඇති අවස්ථාවන් පුළුල් කිරීම අරමුණු කොටගෙන නව රාජාඥාවක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව තනිව වාහන පැදවීම සහ රජයේ රැකියාවන් කිරීම සඳහා කාන්තාවන්ට තිබූ තහංචි යම් පමණකින් ලිහිල් කිරීම සිදුවනු ඇති.

මේ එහි ඇතුළාන්තය කෙරෙහි විමසා බැලීමක්.

කාන්තා අයිතිවාසිකම් සහ සෞදි අරාබිය

ලෝක සම්මත කාන්තා අයිතිවාසිකම් හා සැසඳීමේ දී සෞදි අරාබිය යනු ඉතාම පසු පසින් සිටින රටක් ලෙස හැඳින්විය හැකියි. දැඩි ආගමික පදනමකට අනුව සකස්වී ඇති සෞදි සමාජයේ ඉහළම තැන් හිමිවන්නේ පුරුෂ පාර්ශවයටයි.

ආගමික නායකයන් මගින් පනවා ඇති නීති රීති අනුව කාන්තාවන්ට තනිව වාහන පැදවීමට හිමිකමක් ලැබෙන්නේ නැහැ. ඇය සෑමවිටම ගමන් බිමන් යා යුත්තේ පුරුෂයෙකු සමඟයි. පොදු ප්‍රවාහන සේවයක් ඇත්තෙම නැති තරම් වන සෞදි අරාබියේ මේ නිසා කාන්තාවන්ට ගමන් බිමන් යාමට අවශ්‍ය වූ විට සිය පුරුෂ ආරක්ෂකයාගේ අවසරය මත කුලී රියක් ගැනීමටයි සිදුවන්නේ.

එමෙන්ම කාන්තාවන්ට රජයේ රැකියා කිරීමටත් මෙතෙක් අවසර ලැබී තිබුණේ නැහැ.

පුරුෂ පක්ශය සමඟ ‘උවමනාවට වඩා’ ගණුදෙනු කිරීමත් සෞදියේ කාන්තාවන්ට තහනම් දෙයක් වනවා.

මේවාට අමතරව කාන්තාවන් වෙනුවෙන් පනවා ඇති අති විශාල තහංචි ගණනාවක්ම සෞදි අරාබිය තුළ දැකිය හැකියි.

මෙම තහංචිවලට එරෙහිව යාමට ක්‍රියාත්මක වන දැඩි නීති පද්ධතියක් සෞදිය සතුයි.

සල්මාන් රජුගේ නව රාජාඥාව වැදගත්වන්නේ මෙවන් පසුබිමක් තුළයි.

රාජාඥාවේ ස්වභාවය

මෙම රාජාඥාවට අනුව කාන්තාවන්ට යෙදිය හැකි රජයේ රැකියා ලැයිස්තුවක් පිළියෙල කරන ලෙස රජු විසින් සෞදි බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව එම නම් කරන රැකියාවන්හි පුරුෂයෙකුගේ රැකවරණය නොමැතිව යෙදීමට කාන්තාවන්ට අවසරය හිමිවනු ඇති.

සල්මාන් රජු (AP)

එමෙන්ම රැකියාවල යෙදෙන කාන්තාවන් වෙනුවෙන් අදාළ ආයතනවලින් පොදු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කළ යුතු බවත් එම රාජාඥාවේ සඳහන්.

ලොව අනෙකුත් රටවල් හා සසඳන විට මෙය නොගිණිය හැකි තරම් ඉතා සුළු වෙනසක් වුවත් එරටේ ස්වභාවය අනුව සෞදි කාන්තාවන්ගේ ප්‍රගමනය වෙනුවෙන් තැබූ වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි.

රාජාඥාව නිකුත් කළ පසුබිම

සෞදි අරාබිය කාන්තා අභිවෘද්ධිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කොමිසමට තේරී පත්වීම සහ නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම නිල විදෙස් සංචාරය වශයෙන් සෞදි අරාබිය තෝරාගැනීමත් යන කාරණා දෙකට සමගාමීවයි මෙම රාජාඥාව නිකුත් කිරීම සිදු වූවේ.

එමෙන්ම සෞදි අරාබිය තුළ කාන්තාව සවිබල ගැන්වීම කළ යුතු බව පවසන මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් ද එරට තුළ තම හඬ අවදි කරමින් සිටිනවා. ඔවුන්ගේ මූලිකත්වයෙන් මෑතකදී කාන්තාවන්ට තනිව රියදුරු අසුනේ සිට ගන්නා ලද ඡායාරූප සමාජජාල වෙත එක් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර එය එතරම් ම සාර්ථක වූවේ නැහැ.

සෞදි රජපවුලේ කුමාරවරු බොහොමයක් දෙනාද කාන්තාවන් සඳහා තනිව රිය පැදවීමේ අයිතිය ලබා දිය යුතුය යන ස්ථාවරයේ සිටින බවත් කිව යුතුයි.

බින් සල්මාන් කුමරු (AFP)

මේ සියල්ලටම අමතරව රජුගේ ප්‍රධාන උපදේශකයකු ලෙස සේවය කරන ඔහුගේ පුත්, සෞදි අරාබියේ අභිනව කිරුළ හිමි කුමරා වන උප අගමැති මොහොමඩ් බින් සල්මාන් අල් සෞද් සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව නවීන අදහස් දරන්නෙකු වීමත් සල්මාන් රජුගේ මෙම තීරණයට හේතු වන්නට ඇතැයි බොහෝ දෙනා මත පල කරනවා.

අනාගතය

රාජාඥාව අනුව කාන්තාවන් වෙනුවෙන් කිනම් රැකියා අවස්ථාවන් විවෘත වේවිදැයි කීමට තවමත් හැකියාවක් නැති නමුත් මෙම පියවර සෞදි ආර්ථිකය කෙරෙහිද සුබවාදී ලෙස බලපානු ඇතැයි යන්න බොහොමයක් දෙනා විශ්වාසය පල කර සිටිනවා.

එමෙන්ම ඇතැම් විචාරකයන්ට අනුව, රාජාඥාව හේතුවෙන් කාන්තාවන්ට සිය පුරුෂ භාරකරුවාගේ අනුමැතියෙන් තොරව ගමන් බලපත්‍ර සකසා ගැනීම, නිවසින් පිට රැකියාවන් හි යෙදීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් අවස්ථාව උදාවනු ඇති.

කාන්තාවන්ට තමන්ගේම ව්‍යාපාරයන්හි යෙදීමටත් මෙම රාජාඥාව නිසා ඉඩ ප්‍රස්තා විවර වනු ඇති බවත් ඔවුන් පවසනවා.

නමුත් මේ කෙරෙහි අදහස් පළකරන කාන්තා සංවිධාන සහ ක්‍රියාකාරීන් තම නොසතුට පල කරන්නේ කාන්තාවන් කෙරෙහි බලපාන පුරුෂාධිපත්‍යය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීමට සෞදි රජයට උවමනාවක් නැති බව පවසමින්.

එහෙත් රජය පවසන්නේ කාන්තාවන් සඳහා දැනට වඩා ඉඩ ප්‍රස්තා විවර විය යුතු නමුත් එම වෙනස්කම් කළ යුත්තේ සෙමින් සහ ඉතා ක්‍රමානුකූලව බවයි.

කවරයේ පින්තුරය -සෞදි කාන්තාවන් පිරිසක් (AFP/Getty)

Related Articles