Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ මහ මැතිවරණය ගැන ඔබ දැනගත යුතු දේ

ඉන්දියාවේ මහ මැතිවරණය සඳහා එරට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කෙරුණා. මේ අනුව මැතිවරණය අප්‍රේල් සහ මැයි මාසවල අදියර හතකින් පවත්වනු ලබනවා.

මීට සමගාමීව ප්‍රාන්ත හතරක ප්‍රාන්ත සභා සඳහා වන මැතිවරණ ද පවත්වනු ලබනවා. ඒ ආන්ද්‍රා ප්‍රදේශ්, සිකිම්, අරුනාචල් ප්‍රදේශ්, සහ ඔදීෂා ප්‍රාන්තවල යි.

මෙම මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලද ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900ක් පමණ වනවා. මේ අනුව මෙය ඉතිහාසයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වනු ඇති. ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ ආසන 543ක් සඳහා මෙම මැතිවරණය පවත්වනු ලබයි. ඉතිරි ආසන දෙක ඇන්ග්ලෝ- ඉන්දියානුවන් වෙනුවෙන් වෙන්ව පවතින අතර, ඒවා සඳහා ඉන්දීය ජනාධිපතිවරයා විසින් මන්ත්‍රීන් නම් කරනු ලැබේ.

මැතිවරණ දිනයන්

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11, අප්‍රේල් 18, අප්‍රේල් 23, අප්‍රේල් 29, මැයි 6, මැයි 12, මැයි 19 යන දිනවල පවත්වනු ලබන අතර ඡන්ද ගණන් කිරීම මැයි 23 වන දා සිදුකෙරෙනු ඇති.

මැතිවරණය මෙසේ අදියර කිහිපයකින් පවත්වනු ලබන්නේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නිසා යි. ප්‍රාන්ත පොලිසි පක්ෂග්‍රාහී විය හැකිය යි සලකන හෙයින් මෙහි, ආරක්ෂක කටයුතු සඳහා ෆෙඩරල් පොලිස් භටයන් යොදවනු ලබනවා.

ප්‍රධාන තරගකරුවන්

මෙම මැතිවරණයේ ප්‍රධාන තරගකරුවන් වනු ඇත්තේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ ඉන්දියානු ජාතික කොන්ග්‍රසය ඇතුළු එක්සත් ප්‍රගතිශීලී සන්ධානය යි. මීට අමතරව ප්‍රාදේශීය පක්ෂ කිහිපයක් විසින් පිහිටුවා ගත් මහාගත්බන්ධන් සන්ධානය ද වැදගත් වනු ඇති.

භාරතීය ජනතා පක්ෂය මෙවර මැතිවරණය ජයගැනීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා තිබෙනවා. 2014 මහමැතිවරණයෙන් ද එම පක්ෂය විශිෂ්ට ජයක් ලැබූයේ මෝදි හේතුවෙන්. ඔහු ආර්ථික වර්ධනය සහ දූෂණය පිටුදැකීම යන කරුණු මත එවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකළා. 2014 දී භාරතීය ජනතා පක්ෂය ආසන 428කට තරග වැදී, ඉන් 282 ක් ජයගත්තා. ඒ අනුව ඉන්දීය පාර්ලිමේන්තු ඉතිහාසයේ 1984 න් පසු එක් පක්ෂයක් විසින් තනිව බහුතරය පිහිටවූ අවස්ථාව ලෙස 2014 මැතිවරණය ඉතිහාසගත වුණා.

අගමැති මෝදි (PTI)

වසර පහක මෝදි පාලනය පිළිබඳ විවේචන බොහෝ දෙනාට තිබෙන නමුත්, අද වන විට ද භාරතීය ජනතා පක්ෂයේ ආකර්ෂණීයම චරිතය වන්නේ මෝදි යි.

මේ අතර 2014 දී ආසන 44 දක්වා පහළ වැටී ඓතිහාසික පරාජයක් ලද කොන්ග්‍රස් පක්ෂය මෙවර තරග වදින්නේ රාහුල් ගාන්ධිගේ නායකත්වය යටතේ යි. ඉතා මෑතක් වනතුරු කොන්ග්‍රස් පක්ෂය පිළිබඳ විශේෂ බලාපොරොත්තු තබා ගත හැකි වූයේ නැහැ. නමුත්, 2018 දෙසැම්බරයේ පැවති ප්‍රාන්ත මැතිවරණ කිහිපයක දී කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණ වාර්තා කිරීමත් සමග එම පක්ෂයට නව ජවයක් ලැබී තිබෙනවා. තව ද​, රහුල්ගේ සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධි මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටීම ද පක්ෂයට වැදගත් වාසියක් වී තිබෙනවා.

රාහුල් ගාන්ධි (Indian National Congress)

මේ අතර මහාගත්බන්ධන් සන්ධානය ඉතාම වැදගත් ස්ථානයක වැදගත් මෙහෙයක් ඉටුකරනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. ඒ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය යි. 2014 දී භාරතීය ජනතා පක්ෂය එම ප්‍රාන්තයේ ආසන 80න් 71ක් ජයගත්තා. දේශපාලන පක්ෂ කිහිපයක බලකොටු පිහිටි එම ප්‍රාන්තයේ එවන් ප්‍රතිඵලයක් භාරතීය ජනතා පක්ෂය ලැබීම පුදුමයට කරුණක් වුණා. නමුත්, මෙවර උත්තර් ප්‍රදේශ් හි ප්‍රබල පක්ෂ දෙකක් වන බහුජන සමාජ් පක්ෂය සහ සමාජවාදී පක්ෂය යන දෙකම මහාගත්බන්ධන් හි සාමාජිකයන් වනවා. මෙම පක්ෂ දෙක සාමාන්‍යයෙන් එකිනෙකා නුරුස්සන එදිරිවාදීන් වන​ හෙයින් මෙම එකතුව මැතිවරණයේ දී වැදගත් වනු ඇති.

බහුජන සමාජ් පක්ෂ නායිකා මායාවතී (DNA)

අනෙක් අතට​, කලක් තිස්සේ එදිරිවාදීන් වූ පක්ෂ දෙකක පිරිස් එක්ව කටයුතු කරනු ඇති ද යන සැකය ද මෙහි දී ඉතිරිව තිබෙනවා.

දාලිත් ජනයා නියෝජනය කරන බහුජන සමාජ් පක්ෂය තවත් ප්‍රාන්ත කිහිපයක ද තරමක ශක්තියක් ඇති පක්ෂයක් වනවා. එහි නායිකා මායාවතී මෑතක දී ප්‍රකාශ කළේ කොන්ග්‍රස් පක්ෂය සමග කිසිදු එකඟතාවකට යාමට තමන් සූදානම් නැති බව යි.

මේ අතර​, මහාගත්බන්ධන් හි තවත් සමාජිකයකු වන ආම් ආද්මි පක්ෂය කොන්ග්‍රසය හා එකඟතාවයක් ඇති කරගැනීමට උත්සාහ කළත්, එය අසාර්ථක වුණා.

මහාගත්බන්ධන් සන්ධානය තෙවන බලවේගයක් සේ පෙනී සිටිය ද එය එක්සත් බලවේගයක් නොවන බව මෙවන් කරුණුවලින් පැහැදිලි වනවා.

මීට අමතරව​, ඉන්දියාවේ වාමාංශික පක්ෂ මේ වනවිට පොදුවේ දුර්වල අඩියක සිටිනවා. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හි බලකොටුව ලෙස වසර ගණනක් පැවති බටහිර බෙංගාලය මේ වන විට ත්‍රිනමූල් කොන්ග්‍රසයෙහි බලකොටුව බවට පත්ව තිබෙනවා.

ප්‍රධාන සාධක

ආර්ථිකය මෙම මැතිවරණයේ දී ද ඉතා වැදගත් සාධකයක් වනවා නොඅනුමාන යි. පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ ආර්ථිකය තරමක් මන්දගාමී වී තිබෙනවා. විශේෂයෙන්ම එරට ජනගහන වර්ධන වේගය සමග බලද්දී ආර්ථික වර්ධනය ප්‍රමාණවත් වන්නේ නැහැ. එමෙන්ම 2016 දී සිදුකළ මුදල් නෝට්ටු අවලංගු කිරීමේ ප්‍රතිඵල පිළිබඳ විවිධ විවාදයන් පවතිනවා. රටේ බදු ප්‍රතිපත්තිය බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හානිකර බවට චෝදනා මතු වනවා. මේ අතර අපනයන ප්‍රමාණය ද පහත වැටී තිබෙනවා.

2014 දී මෝදි බලයට එද්දී ආර්ථිකය දියුණු කිරීම ප්‍රධානම ප්‍රතිඥාවක් වුණා. මෝදි රජය ප්‍රකාශ කරන්නේ ආර්ථිකය ගොඩනැගීම දිගු ක්‍රියාවලියක් බව යි. එහෙයින් ඔහුට තව කල් දිය යුතු ද යන්න ජනතාව විසින් තීරණය කළ යුතු යි.

හින්දු ජාතිකවාදී මතවාදය මෙම අවස්ථාවේ දී 2014 ට ද වඩා බෙහෙවින් වැදගත් වනු ඇතැ යි විශ්වාස කෙරෙනවා. භාරතීය ජනතා පක්ෂය බලාපොරොත්තු වන්නේ ජාතිකවාදය තමන්ට මෙම මැතිවරණයේ දී අවශ්‍ය වාසිය ලබාදෙනු ඇති බව ය​. විශේෂයෙන්ම මෑත දී පාකිස්තානය සමග ඇති වූ ගැටුම මෝදිට වාසිදායක වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

මෙවර ඉන්දීය මහමැතිවරණය තවත් වැදගත් හේතුවක් නිසාවෙන් ඓතිහාසික වනවා. ලෝකයේ පළමු වතාවට පිරිමින්ට වඩා සංඛ්‍යාත්මකව විශාල කාන්තාවන් පිරිසක් මෙම මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කරනු ඇතැ යි විශ්වාස කළ හැකියි. මෙය කිසිදු රටක ජාතික මට්ටමේ මැතිවරණවල දී සිදු වී නැහැ.

 

 

කවරය: 2014 මැතිවරණයේ දී ජම්මු හි ඡන්ද පොළක් (AP)

(BBC, Al Jazeera, India Today ඇසුරිනි)

Related Articles