ඒඩ්ස් රෝගය අමෙරිකා එක්සත් ජනපදය පුරා පැතිරී ගියේ ‘පේෂන්ට් සීරෝ’ නමින් නම් කළ පුද්ගලයකුගෙන් බවට වූ මතය සාවද්‍ය එකක් බවට පසුගිය දා තහවුරු වුණා. 1980 දශකයෙහි මැද භාගයේ දී කැලිෆෝනියාවෙන් වාර්තා වූ මෙම රෝගියා, අමෙරිකාවෙන් වාර්තා වූ පළමු ඒඩ්ස් රෝගියා බැව් හැඟවීමට, ඔහු පිළිබඳ වූ ලිපිගොනුවෙහි ‘0″ අංකය යෙදූ බැව් වාර්තා වුවත්, නවත ම හෙළිදරව්වකින් පෙනී ගොස් ඇත්තේ,මතභේදයට ලක්වූ එම ලිපිගොනුවෙහි සඳහන් ව තිබුණේ ඉංග්‍රීසි ‘ඕ’ අක්ෂරය බව යි.
ඒ ‘අවුට්සයිඩර්’ හෙවත් ‘පිටස්තරයා’ යනුවෙන් හැඳින්වීම සඳහා යි. මෙම පුද්ගලයා කැලිෆෝනියාවට පිටස්තර පෙදෙසෙකින් පැමිණි බවට ඉන් දැක්වුණු අතර, එය එකල අමෙරිකාවේ රෝහල්වල භාවිත වූ කේත ක්‍රමයක් වුණා. එනයින් එම ලිපිගොනුව අයත් පුද්ගලයා අමෙරිකාවේ පළමු ඒඩ්ස් රෝගියා බවට වූ මතය බිඳ හෙළුණා.
වෛද්‍ය විද්‍යාවේ මෙවැනි ගැටලු ඇති වූ පළමු වතාව මෙය නොවේ. අතීතයේ දී ලොව රෝග ගණනාවක ම මූලය පිළිබඳ වැරදි අනුමාන වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් සිදු කර තිබූ අතර, මේ නිසා රෝගයට කිසි සේත් ම අදාළ නැති ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන්නට ඔවුන් ක්‍රියා කළා.
උපදංශය
අතීතයේ මිනිසුන් මහාමාරිය සහ උපදංශය යන රෝග දෙක ම පිළිබඳ ව සිතා සිටියේ කිසි ලෙසකින් සාර්ථක ප්‍රතිකාර සොයාගත නොහැකි, මාරාන්තික වසංගත රෝග ලෙස යි. ඒවා ඉක්මනින් පැතිරීම, බොහෝ දෙනෙක් මරණයට පත් වීම සහ, එකල සිදු කළ කිසිදු ප්‍රතිකාරයකින් ඒවා යටපත් කළ නොහැකි වීම යන කාරණා ඊට හේතු වුණා.
උපදංශය යුරෝපයට ගෙන ආවේ යැයි විශ්වාස කෙරෙන්නේ, දේශ ගවේෂක ක්‍රිස්ටොෆර් කොලොම්බස් ගේ කණ්ඩායම යි. (විවාද ඇත). එය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් බැව් ඉක්මනින් ම හඳුනාගැනුණු අතර, මෙය බොහෝ දෙනාට වැලඳුණේ වීදි ගණිකාවන්ගෙන් වීම නිසා,එය ‘අපිරිසුදු කාන්තාවන්’ගෙන් බෝවන රෝගයක් බවට මතයක් ආදි යුරෝපයේ පැතිරී ගියා.
පුරාතන යුරෝපයේ කාන්තාව පහත් කොට සැලකීම යම් පමණකට හෝ දක්නට තිබූ අතර, උපදංශය ඇතුළු සියලු ලිංගාශ්‍රිත රෝග ඇතිවන්නේ කාන්තාවන් නිසා බවට මතයක් එහි ස්ථාපිත වුණා. මේ නිසා සමහර පුරුෂයන් කාන්තවන් තවත් පහත් කොට සලකන්නට වුණා.
20වන සියවස වන තුරු ද ඉහත මතයේ වැඩි වෙනසක් වූයේ නැහැ. ක්‍රමක්‍රමයෙන් වෛද්‍ය විද්‍යාව දියුණු වෙද්දී පවා, උපදංශාදී රෝග බෝවීම වැඩිමනත් ම සිදුවන්නේ කාන්තාවන්ගෙන් බැව් බොහෝ දෙනා සිතූ අතර, වීදි ගණිකාවන්ට පිරිසුදුව සිටින ලෙස බලධාරින්ගේ අණ ලැබුණ ද, ඔවුන්ගේ සේවය පතා එන පුරුෂයන්ට ආරක්ෂාකාරී සහ පිරිසුදුව සිටින ලෙස වැඩි උපදෙසක් ලැබුණේ නැහැ.
උපදංශයට ඖෂධ නිෂ්පාදනය
උපදංශයට ඖෂධ නිෂ්පාදනය කිරීමේදී ද මෙම මතය විද්‍යාගාර තුළටත් පැමිණ තිබුණා. ඊට ප්‍රතිකාර ලෙස රසදිය අඩංගු ඖෂධ වෛද්‍යවරුන් නිපදවූයේ රසදියවල විස සහගත බව පිළිබඳ විශේෂයෙන් නොදැන යි. මෙම ඖෂධ පරීක්ෂා කොට බැලීම සඳහා ඔවුන් විවිධ හේතු නිසා රෝහල්ගත වන අභිසාරිකාවන්හට උපදංශය ඇති කළ අතර, එය ඉතා අමානුෂික ක්‍රියාවක් වුණා.
උපදංශය පිළිබඳ ව තවත් විශාල අත්වැරැද්දක් වෛද්‍යවරුන් සහ පර්යේෂකයන්ට සිදුවූයේ 19 වන සියවසෙහි මැද භගයේ දී යි. එය වසූරිය මෙන් ම පැතිරෙන රෝගයකැ යි අනුමාන කළ ඔවුන්, උපදංශය ඇති කරන විෂ බීජයත්, වසූරිය එන්නත පරිදි ම මිනිසුන්ට එන්නත් කරන්නට වුණා. මේ සඳහා ද යොදාගැනුණේ වීදි ගණිකාවනු යි. මෙහි ප්‍රතිඵලය වූයේ නිරෝගී ව සිටි එම කාන්තාවන් ද උපදංශ රෝගයට බඳුන් වීම යි.
පිළිකා
වර්තමානය වනවිට තාක්ෂණය කෙතරම් දියුණුවට පත්වූවත් තවමත් නිසියාකාරයෙන් මැඬපවත්වාගත නොහැකි වූ රෝගාබාධ ලොව පවතිනවා. පිළිකා මේ අතරින් ඉදිරියෙන් ම තිබෙනවා. කෙතරම් පර්යේෂණ පවත්වා, ඖෂධ සහ ප්‍රතිකාර වර්ග අත්හදා බැලුව ද සමහර පිළිකා වර්ග අදටත් සැලකෙන්නේ මාරාන්තික ඒවා බව යි.
පිළිකා ඇතිවීම සම්බන්ධයෙන් අද වන විටත් විවිධ මත පවතිනවා. සමහර පිළිකා වර්ග ඇති වන ආකාරය පිළිබඳ ව විද්‍යාඥයන්ට ඇත්තේ කුකුසක්. මේ තත්ත්වය අතීතයේ දී මීටත් වඩා දරුණු ලෙස බලපවත්වා තිබුණු අතර, පුරාතන ග්‍රීසියේ ද මේ පිළිබඳව විශාල කතිකාවතක් ඇති වී තිබුණා. එකල ග්‍රීකයන් බොහෝ දෙනා මරණයෙන් පසුව සිය සමීපතමයන්ගේ සිරුරු කපමින්, ඒවා අධ්‍යයනය කරනවාට අකමැති වූයේ ආගමික විශ්වාස නිසා යි.
එකල මිනිස් සිරුරු අභ්‍යන්තරය, පිටතින් නිරීක්ෂණය කරන්නට දියුණු තාක්ෂණයක් ද පැවතියේ නැහැ. මේ හේතුවෙන් වෛද්‍ය වෘත්තියට පවා යොමු වූයේ අල්ප දෙනෙක් වන අතර, ඔවුනට ද මිනිස් සිරුර පිළිබඳ ව තිබුණේ අල්ප දැනුමක් පමණයි.
පිළිකා ඇතිවන්නේ ‘නරක විහිළු’වල ප්‍රතිඵලයක් ලෙසයි?
පිළිකා පිළිබඳ ග්‍රීකයන් සතු ව තිබුණු දැනුම කෙතරම් අල්ප ද යන්නට හොඳ උදාහරණයක් ලෙස, වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියා ලෙස සැලකෙන හිපොක්‍රටීස්, පිළිකා ඇතිවන්නේ ‘නරක විහිළු’ වල ප්‍රතිඵලයක් ලෙසට විය හැකියයි පැවසීම ගත හැකි යි.
හිපොක්‍රටීස්ට අනුව පිළිකා ඇතිවීමට ආසන්නත ම හේතුව වන්නේ ශරීරයේ පිත ඇවිස්සීම යි. මෙම විශ්වාසය 18 වන සියවස වනතුරු ම ලොව වැඩි දෙනා පිළිගත් මතයක් වුණා. තාක්ෂණය දියුණු වෙමින් පැවති 18 වන සියවසේ දී පිළිකා ඇතිවීම සම්බන්ධ නව මත කිහිපයක් ම ඇති වුණා. ශරීරයේ එතෙක් හඳුනා නොගත් තරලයක් නිසා පිළිකා ඇතිවීම මෙන්ම වසා පද්ධතියේ දෝෂ ද ඒ අතර වුණා.
පිළිකාවක් යනු ශරීරයේ යම් ස්ථානයක සිදු වන අසාමාන්‍ය සෛල ගුණනයක් වන අතර, නවීන තාක්ෂණයේ පිහිටෙන් ඒවා බහුතරයක් ඇතිවීම සඳහා වූ අවදානම් සාධක වැනි දේ පිළිබඳ ව අද වන විට, වෛද්‍ය ක්ෂේත්‍රය සතු ව හොඳ දැනුමක් පවතිනවා. මේ අසාමාන්‍ය ගුණනය නිසා ශරීරයේ තරලවල කැපී පෙනෙන වෙනස්කම් විද්‍යාමාන විය හැකි අතර, පැරැන්නන් පිළිකා හඳුනා ගෙන තිබුණේ ඒ අනුව යි. මේ නිසා එය ඒවායේ මූලය යැයි හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම් කර තිබෙන අතර, එමඟින් ඒවා සුව නොවීම නිසා රෝගීන් අපහසුතාවට පත් වී තිබෙනවා.