යුරෝපා කොමිසමෙහි නව සභාපති ලෙස ජර්මනියේ උර්සුලා ෆොන් ඩර් ලේයන් නම් කරනු ලැබුණා. මේ අනුව 2019 නොවැම්බර් 1 වන දා ඇය නිල වශයෙන් එම ධුරයේ වැඩ බාරගනු ඇති. ඒ එම කොමිසමෙහි පළමු කාන්තා සභාපති බවට පත් වෙමින්.
උර්සුලා ගර්ටෲඩ් ෆොන් ඩර් ලේයන් උපන්නේ 1958 ඔක්තෝබර් 8 වන දා බෙල්ජියමේ බ්රසල්ස්හි දී යි. ඇගේ පියා වූ අර්න්ස්ට් ඇල්බ්‍රෙෂ්ට් යුරෝපා සංගමයේ මුල්ම කාලීන සිවිල් සේවකයකු ලෙස ලෙස සැලකෙනවා. කුඩා කල උර්සුලා ජර්මන් මෙන්ම ප්‍රංශ බස ද ව්‍යවහාර කළා. ඇයට ජර්මන් මෙන්ම ඇමරිකානු සම්භවයක් ද තිබෙනවා.
ෆොන් ඩර් ලේයන් 1971 දී හැනෝවර් වෙත පදිංචියට ගියා. ඇගේ පියා දේශපාලනයට පිවිසි අතර 1976 දී ඔහු එවකට බටහිර ජර්මනියේ පහළ සැක්සනි ප්‍රාන්තයේ අගමැති ලෙස තේරී පත්වුණා. ඔහු 1990 තෙක් එම ධුරය දැරුවා.
ඇය ආර්ථික විද්‍යාව හැදෑරීම සඳහා 1977 දී ග්යෝටින්ගන් සරසවියට ඇතුල් වුණා. නමුත් මෙකල ඇයට එකල බටහිර ජර්මනියේ ක්‍රියාත්මක වූ අන්තවාදී වාමාංශික සංවිධානයක් වූ රතු හමුදා ඛණ්ඩයෙන් තර්ජන එල්ල වුණා. කප්පම් ලබගැනීමට හෝ ඇගේ පියාට බලපෑම් කිරීමට හෝ ඇයව පැහැර ගන්නා බවට වූ මෙම තර්ජන හේතුවෙන් ඇය ලන්ඩනයට පළා ගියා. එහිදී ඇය රෝස් ලැඩ්සන් යන නමින් ජීවත් වුණා. ලැඩ්සන් යනු ඇගේ ඇමරිකානු මිත්තණියගේ (great-grandmother) පවුලේ නම යි. ඇය ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් (London School of Economics) වෙත ඇතුල්ව ආර්ථික විද්‍යාව හැදෑරුවා.
වසරකට පසු සියරට පැමිණි ඇය 1980 දී හැනෝවර් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූයේ ආර්ථික විද්‍යාව අතැර වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යි. ඇය 1987 දී වෛද්‍යවරියක ලෙස සුදුසුකම් ලැබුවා. මේ අතර ඇය 1986 දී වෛද්‍යවරයකු වූ හයිකෝ ෆොන් ඩර් ලේයන් සමග විවාහ වුණා. ඔවුන්ට දරුවන් හත් දෙනෙකු සිටිනවා.
වැන් ඩර් ලේයන් දේශපාලනයෙහි ක්‍රියාකාරී වූයේ 1990 දශකයේ සිට යි. ඇය 2003 දී පහළ සැක්සනියේ පාර්ලිමේන්තුවට පත් වුණේ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ මන්ත්‍රීවරියක ලෙසින්. එම මැතිවරණයේ දී ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව ජයගත් අතර නව රජයෙහි අමාත්‍ය ධුරයක් උර්සුලා ෆොන් ඩර් ලේයන්ට ලැබුණා.
2005 දී පැවති ජර්මන් ෆෙඩරල් මැතිවරණය සඳහා ඇය ඉදිරිපත් වූ අතර එහිදී ෆෙඩරල් පර්ලිමේන්තුව හෙවත් බුන්ඩස්ටාගයට තේරී පත්වුණා. ඇය එකල සිටම විවිධ අමාත්‍ය ධුරයන්හි කටයුතු කළා. 2005 සිට 2009 දක්වා පවුල් සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ ඇය 2009 ෆෙඩරල් මැතිවරණයෙන් පසු කම්කරු සහ සමාජ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයට පත් කෙරුණා. එම තනතුරේ දී ඇය වඩා වාමාංශයට බර වූ ප්රතිපත්තීන් කිහිපයක් ක්‍රියාත්මක කළා.
මේ අතරතුරදී ලේයන් 2010 දී ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී එකමුතුවේ උප සභාපතිනියක ලෙස පත් කරගනු ලැබුණා.
ආරක්ෂක ඇමති
2013 ෆෙඩරල් මැතිවරණයෙන් පසු ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකතුව සහ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය එක්ව රජයක් පිහිටවූ අවස්ථාවේ උර්සුලා ෆොන් ඩර් ලේයන් ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය ලෙස පත් කෙරුණා. ඇය ජර්මන් ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වුණා.
සාමාන්‍යයෙන් විශාල වශයෙන් නොපෙනුණත් ජර්මනිය ආරක්ෂක ක්ෂේත්රයේ සැලකිය යුතු කාර්යයභාරයක් කරනවා. විශේෂයෙන්ම නේටෝ සංවිධානය තුළ එහි කටයුතු මෙන්ම ඇතැම් රටවලට අවි ආයුධ විකිණීම මගින් ජර්මනිය මේ පිළිබඳ වැදගත් වනවා.
ෆොන් ඩර් ලේයන් ආරක්ෂක අමාත්‍ය ලෙස පත් වූ මුල් කාලයේ දී කිහිප වතාවක්ම ඇෆ්ඝනිස්ථානයේ රඳවා තිබෙන ජර්මන් හමුදා සෙබළුන් හමු වීමට සංචාරය කළා. එමෙන්ම එරටින් ජර්මන් හමුදා ක්‍රමානුකූලව ඉවත් කරගැනීමේ කටයුත්ත ද ඇය යටතේ සිදු වුණා.
මීට අමතරව ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS) සංවිධානයට එරෙහිව සටන් කරන කුර්දි හමුදා වෙත ජර්මන් සහය ලබාදීම පිළිබඳ ඇය කටයුතු සිදු කළා.
යුරෝපා කොමිසමේ සභාපති ලෙස
යුරෝපා කොමිසමෙහි සභාපති ලෙස ෆොන් ඩර් ලේයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයක් වනවා. එයින් පරිසරය සහ සංක්‍රමණික ප්රශ්නය ප්‍රධාන වනු ඇති. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම සඳහා ඇය කරන යෝජනා ඉතා ප්රගතිගාමී වනවා. නමුත් එවැන්නකට යුරෝපීය රාජ්‍යයන් කෙතෙක් කැමති වේදැ යි අපැහැදිලියි. ෆොන් ඩර් ලේයන් විසින් යෝජනා කර ඇත්තේ 2030 වන විට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සියයට 55කින් අඩු කිරීමට යි. නමුත් බොහෝ රටවල් කැමැත්තක් දක්වන උපරිම සීමාව සියයට 45 ක්.
සංක්‍රමණික ප්රශ්නයේ දී ද යුරෝපා සංගමයේ ඉදිරි පියවර කෙසේ වේදැ යි පැහැදිලි වන්නේ නැහැ. ඇතැම් රටවල් සංක්‍රමණිකයන් භාර ගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
යුරෝපා සංගමය වඩා සමානාත්මතාවය කරා ගෙන ඒම ෆොන් ඩර් ලේයන්ගේ අපේක්ෂාවක් වනවා. මෙහිදී බටහිර සහ නැගෙනහිර යුරෝපා රටවල් අතර සමානත්වය මෙන්ම තනතුරුවල දී කාන්තාවන් සහ පිරිමින් අතර සමබර බෙදීමක් ළඟා කරගැනීම ඇයගේ අවශ්‍යතාවයක් ලෙස සඳහන් ව තිබෙනවා.
තවත් වැදගත් අභියෝගයක් වන්නේ ජාතිකවාදී නැඹුරුව සමග යුරෝපා සංගමයට බලපාන ගැටළු නිරාකරණය කරගැනීම යි. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය එක් පසෙකින් තිබිය දී පෝලන්තයේ සහ හන්ගේරියාවේ රජයන් විසින් කරන මුරණ්ඩු කටයුතු ද ඇයට අභියෝග ලෙස සලකන්නට සිදු වනවා. වෙනදාට වඩා වැඩි ජාතිකවාදීන් පිරිසක් යුරෝපා පාර්ලිමේන්තුවට ද ඇතුලත්ව සිටීම ඇය විසින් සලකා බැලීමට අවශ්‍ය කරුණක් වනු ඇති.