ලොව උණුසුම් ම රටවල් කිහිපය පිළිබඳ තොරතුරු පසුගිය ලිපියකින් අපි ඔබ හමුවට ගෙන ආවා. ලොව ශීතල ම රටවල් කිහිපය පිළිබඳ ව තොරතුරු මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නට අප අදහස් කළා.
ලොව ශීතල ම රටවල් නිර්ණය කිරීමේ දී එය දෙවැදෑරුම් ව කළ හැකි යි. මෙය එදා මෙදා තුර එරට ස්ථානයකින් වාර්තා වූ අඩු ම උෂ්ණත්වය අනුව ලැයිස්තු ගත කළ හැකි අතර, එසේත් නැතිනම් වසර පුරාවට පවතින් උෂ්ණත්වයේ සාමාන්‍යය අනුව ලැයිස්තු ගත කළ හැකි යි. මෙම ලිපිය සකස් කොට තිබෙන්නේ එම නිර්ණායක දෙක ම සැලකිල්ලට ගෙන යි.
1). රුසියාව
රුසියාව සැලකෙන්නේ ලොව වඩාත් ශීතල ම රට ලෙස යි. එහි සඛා පෙදෙසෙහි ස්ථානගත ව ඇති වර්කොයාන්ස්ක් හා ඔයිමයාකොන් යන නගර දෙකෙහි ම සෙල්සියස් අංශක ඍණ 67.8 හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 90 තරම් වූ ඉතා පහළ උෂ්ණත්ව වාර්තා වී තිබෙනවා. මෙය අධිශීතකරණයක සාමාන්‍යයෙන් පවතින් උෂ්ණත්වයටත් වඩා සැලකිය යුතු තරමේ පහළ අගයක් වෙනවා. මේ දැඩි ශීතල දේශගුණය කෙතරම් කටුක වුවද ඔයිමයාකොන් හි 500 ක් තරම් වූ ප්‍රජාවක් ජීවත් වන අතර වර්කොයාන්ස්ක් හි 1400 ක් තරම් වූ පිරිසක් ජීවත් වීමත් සුවිශේෂී යි.
2). ග්‍රීන්ලන්තය
ග්‍රීන්ලන්තය ස්වයං පාලනයක් සහිත රාජ්‍යයක් වුවත් එය පවතින්නේ ඩෙන්මාර්ක රාජධානියට යටත් ව යි. ලොව විශාලත ම දූපත වූ මෙය ලොව වඩාත් උතුරින් ධ්‍රැවාසන්නව, ආක්ටික් කවය තුළ ස්ථානගත ව තිබීම නිසා, මෙහි ජීවත් වීමට සුදුසු තත්ත්ව පවතින්නේ දකුණුදිග වෙරළාසන්න ස්ථාන කිහිපයක පමණ යි. එහි වර්තමානය වන විට මිනිසුන් 55,000 ක් පමණ ජීවත් වෙනවා.
ග්‍රීන්ලන්තය එදා මෙදා තුර මුහුණපා ඇති පහළ ම උෂ්ණත්වය ලෙස සැලකෙන්නේ සෙල්සියස් අංශක ඍණ 66.1 ක හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 87 ක අගයක්. කෙසේ නමුත් මෙම අගයන් මිනිස් ජනාවාස සමීපයේ ගෙන ඇති නිසා මෙම දූපතෙහි උතුරට වන්නට වඩාත් දැඩි ශීතලක් ඇති බව අවිවාදයෙන් සැලකෙනවා. කෙසේ නමුත් මෙම ලැයිස්තුගත කිරීම ස්ථිර ජනාවාස පවතින ස්ථාන කරණ කොටගෙන පමණක් සිදු කෙරෙන නිසා එම අගයයන් නොසලකා හැරීමේ ගැටලුවක් පැනනඟින්නේ නැහැ. ඇන්ටාක්ටිකාව ද ලැයිස්තුවෙන් ඉවත් වී ඇත්තේ එබැවිනු යි.
ග්‍රීන්ලන්තය ග්‍රීෂ්මයේ දී ශිශිරයට සාපේක්ෂ ව වඩා උණුසුම් වෙනවා. මෙහි වාර්තා වී ඇති ඉහළ ම උෂ්ණත්වය ලෙස සැලකෙන්නේ සෙල්සියස් අංශක 30.1 ක් හෙවත් ෆැරන්හයිට් අංශක 86.2 ක අගයක්. එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කොළඹ නගරයේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වයටත් වඩා වැඩි අගයක් වෙනවා.
3). කැනඩාව
කැනඩාව සැලකෙන්නේ ලොව තෙවනුවට ශීතාධික ම රට ලෙස යි. උතුරු අමෙරිකානු මහද්වීපයේ උතුරට වන්නට පිහිටා ඇති මෙහි වාර්තා වී ඇති පහළ ම උෂ්ණත්වය ලෙස සටහන් වන්නේ සෙල්සියස් අංශක ඍණ 63 ක් හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 81.4 ක අගයක්. එය යුකෝන් හි ස්නැග් පෙදෙසින් 1947 වසරේ දී වාර්තා වී තිබෙනවා. මෙම අගයට අමතර ව, කැනඩාවේ උතුරු දිග සමහර පෙදෙස්වලින් මේ තදාසන්න ම පහළ උෂ්ණත්ව වාර්තා වී තිබෙනවා.
ඇල්බර්ටාවේ බැසානෝ ඩෑම් පෙදෙසින් සෙල්සියස් අංශක ඍණ 61.1 ක් හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 78 ක උෂ්ණත්වයක්, ෆෝත් ස්මිත් පෙදෙසෙන් සෙල්සියස් අංශක ඍණ 59.4 ක් හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 74.9 ක් මෙන් ම ලිටන් හා ලිලූට් පෙදෙස්වලින් සෙල්සියස් අංශක ඍණ 58.9 ක් හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 74 ක උෂ්ණතවයක් යනාදී වශයෙන් උෂ්ණත්ව වාර්තා වී තිබෙනවා.
4). අමෙරිකා එක්සත් ජනපදය
ලොව උෂ්ණාධික ම රටවල් ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය හිමි වූ අමෙරිකා එක්සත් ජනපදයට ලොව ශීතාධික ම රටවල් ලැයිස්තුවේ හතරවන ස්ථානයත් හිමි ව තිබීම සුවිශේෂී කරුණක් වෙනවා. ඩෙත් වැලී හෙවත් මරණයේ මිටියාවත නිසා එයට ලොව උණුසුම් ම රටවල් ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය ලැබෙද්දී, ලොව ශීතාධික ම රටවල් ලැයිස්තුවට එය ඇතුළුවන්නේ එහි උතුරුදිගිනි පිහිටි ඇලස්කා අර්ධද්වීපය නිසා යි.
අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති පහළ ම උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක ඍණ 62.2 හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 80 වන අතර, එය ඇලස්කාවේ ප්‍රොස්පෙක්ට් ක්‍රීක් නම් පෙදෙසෙන් වාර්තා වී තිබෙනවා. ඇලස්කාවට අමතර ව මොන්ටානා, ඌටා,වයෝමින්ග් හා කොලරාඩෝ ප්‍රාන්ත අමෙරිකා එක්සත් ජනපදයෙහි ශීතාධික ම දේශගුණයන් වාර්තා වන පෙදෙස් ලෙස සැලකෙන අතර ඒවායින් වාර්තා වූ පහළ ම උෂ්ණත්වයන් සෙල්සියස් අංශක ඍණ 60 හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 80 සිට සෙල්සියස් අංශක ඍණ 52 හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 61 අතර අගයක් ගන්නවා.
5). චීනය
අමෙරිකා එක්සත් ජනපදය මෙන් ම චීනයත් විශාල උෂ්ණත්ව විචල්‍යතාවක් සහිත රටක් වෙනවා. එහි භූමිය විශාල භූ විෂමතා කලාප රාශියක විහිදී පැවතීම මෙන් ම අක්ෂාංශ ගත පිහිටීම ද මීට හේතු වෙනවා. මෙහි උතුරුදිගට වන්නට ඇති සමහරක් පෙදෙස්වල ශීත සමයේ දී උෂ්ණත්වය දැඩි ලෙස පහළ යන අතර, දකුණු දිග පෙදෙස් වඩාත් උණුසුම් වෙනවා. චීනයේ ස්ථානයකින් මෙතෙක් වාර්තා වූ පහළ ම උෂ්ණත්වය ලෙස සැලකෙන්නේ සෙල්සියස් අංශක ඍණ 58 ක හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 72 ක උෂ්ණත්වය යි. මෙය මොංගෝලියානු දේශසීමාවෙහි පවතින් ගෙන්හේ නම් පෙදෙසින් 2009 වසරේ දෙසැම්බර් මස 31 වන දින වාර්තා වී තිබෙනවා.
වසර පුරාවට පවතින සාමාන්‍ය උෂ්ණත්වය පමණක් සැලකීමේදී ලොව අඩු ම සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය වාර්තාවන පෙදෙස ලෙස සටහන් ව ඇත්තේ ස්වල්බාද් හා ජැන් මයෙන් දූපතයි. මෙය නෝර්වේ රාජ්‍යයට අයත් සෑහෙන පමණකින් ස්වයං පාලනයක් සහිත දූපතක් වෙනවා. ආක්ටික් වෘත්තය තුළ පිහිටා ඇති මෙහි සාමාන්‍ය දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 9 හෙවත් ෆැරන්හයිට් අංශක 15.8 සිට සෙල්සියස් අංශක 14 හෙවත් ෆැරන්හයිට් අංශක 57.2 අතර විචල්‍ය වෙනවා.