Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නුවර යන ගමන් ගන්නෝරුව

උඩරට රාජධානි සමයේ දී සෙංකඩගල නුවරට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශයක් වුණේ ගන්නෝරුවයි. ඈතින් හන්තාන කන්දත්, මෑතින් ගන්නෝරුව කන්දත් සහිත සොඳුරු දසුනක් මෙහිදී අපට දැකගත හැකියි.

මේ ලිපියෙන් දැක්වෙන්නේ ගන්නෝරුවේ යන ඔබට දැක ගත හැකි සුන්දර ස්ථාන ගණනාවක් ගැන විස්තරයයි. එහි ගිය ගමනක් ගැන ඔබට තිබෙන අත්දැකීම්, වැදගත් තොරතුරු වුණත් අප සමග බෙදා ගන්න පසුබට වෙන්න එපා. කමෙන්ට් එකක් විදිහට එ් දේවල් පළ කළොත් කාටත් ප්‍රයෝජනවත් වේවි.

ගන්නෝරුව පාලම.

අතීතයේ නම් මහවැලි ගඟේ තොටුපොළින් එගොඩවී තමයි අගනුවරට යා යුතු වුණේ. එකල මේ තොටුපොළ ක්‍රියාත්මක වූයේ දිසාවේවරුන්ගේ අධීක්ෂණය යටතේයි.

ගන්නෝරුව පාලම (charithmania.blogspot.com)

නමුත් අද නම් අපට ගන්නෝරුවේ ඉදිකළ පාලම මතින් ගමන් කළ හැකියි. දෙවන විමලධර්මසූරිය රජු රක්ඛංග දේශයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේ ගෙන්වා උපසම්පදා උත්සවයක් පවත්වන ලද්දේ ද මෙම ස්ථානයේ දීයි. ඉංගීසින් 1833 දී පේරාදෙණියේ පාලමක් ඉදිකළ පසුව මෙම තොටුපොළේ වැදගත්කම අඩුවුණා. මෙම ස්ථානය ගැටඹේ නමින්ද හැඳින්වූයේ ගැට සහිත අඹ ගසක් තිබූ නිසා බව පැවසෙනවා. අද ගැටඹේ බෝධිය සහ විෂ්ණු දේවාලය ප්‍රසිද්ධ වී තිබෙනවා. දළදා පෙරහරෙන් පසු සතර මහා දේවාලවල දියකපන්නේ මෙම තොටුපළේදියි.

රාජසිංහ බෝධිය

රාජසිංහ බෝධිය සහ දාගැබ (leisureandme.com/Amila Wickramaarchchi)

ගැටඹේ තොටුපළ අසල පිහිටා ඇති මෙම බෝධිය රෝපණය කර ඇත්තේ දෙවැනි රාජසිංහ රජු විසින් බව සැලකෙනවා. ඒ ගන්නෝරු සටනේදී පෘතුගීසින් පැරදවීම සිහිපත් කිරීම සඳහායි. වර්ෂ 1638 දී උඩරට ආක්‍රමණය කළ පෘතුගීසින් ගන්නෝරුව වෙල්යාය අසල කළ සටනෙන් විශාල පරාජයක් ලැබුවා. ඔවුන්ට පලා යන්නට සිදු වුණා.

මන්දාරම් පුවත කෘතියේ දැක්වෙන පරිදි උඩරට රජුගේ හමුදාවට ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් භටයන් 70,000ක් පමණ ප‍්‍රමාණයක් කඩු දුනු තුවක්කු සහ පළිහ මෙන්ම තම ප‍්‍රදේශවලට අයත් ධජ පතාක ද රැගෙන සටනට පැමිණ තිබෙනවා. දෙවැනි රාජසිංහ රජු එම පිරිසෙන් 30,000ක පමණ පිරිසක් උඩරටට ඇතුළුවන මාවත් රැකවල් පිණිස යවා, 40,000ක් සෙනග සමඟ ගන්නෝරුව වෙත පැමිණ පෘතුගීසීන් හතර අතින්ම වට කොට පහර දී තිබෙනවා.

එහිදී පෘතුගීසින් විශාල පිරිසකගේ දිවි අහිමි වූ අතර ඔවුන්ගේ යුද සෙනෙවි ‘දියෝගු ද මෙලෝ’ ද මරණයට පත් වුණා. අද මෙම බෝධිය පිහිටි ස්ථානයේ විහාරයක්ද ඉදිකර තිබෙනවා.

ගන්නෝරුව කන්දේ දිවිදොස්ගල

ගන්නෝරුවට පමණයි: Boiga ranawana හෙවත් ‘රණවනගේ මාපිලා’ (calphotos.berkeley.edu/Viraj Ghaisas)

ගන්නෝරුව පාලම අසලින් ඇරඹෙන හල්ලොලුව මාර්ගයේ ගමන් කරන විට මෙම කන්ද ඈතින් දිස්වෙනවා. නමුත් එහි පිවිස අපුරු අත්දැකීමක් ලබාගැනීමට ඔබ මොහොතක් සිතුවාද? ගන්නෝරුව රණබිම විද්‍යාලය අසලින් මෙම වනයට පිවිසිය හැකි අඩිපාරක් තිබෙනවා. හෙක්ටයාර් 267ක පමණ ද්වීතියික වනයක් තමයි මෙහි තිබෙන්නේ. යටිහලගල, මුරුතලාව, ගන්නෝරුව, උඩගම, හල්ලොලුව යන ගම් වනාන්තරයට යාබදව තිබෙනවා.

වනය ආසන්නයෙන් මහවැලි ගංගාව ගලා බසින නිසා අපූරු පරිසර පද්ධතියක් නිර්මාණය වී තිබෙනවා. මහනුවර පිහිටි ජෛව විවිධත්වයෙන් ඉහළම වනාන්තරය ගන්නෝරුවයි. 1825 දී එඩ්වඩ් බාන්ස්‌ පළමු කෝපිවත්ත වගා කළෙත් මෙහි බවයි පැවසෙන්නේ.

කොහොඹා කංකාරියේ සඳහන් වන දිවිදොස්ගල මෙහි පිහිටා ඇති පර්වතය බව පැවසෙනවා. මෙහි එක් අන්තයක පිහිටා තිබෙන්නේ තුත්තිරිගල නම් පර්වතයක්. කන්දේ උසම ස්ථානය දිවිදොස්ගල වන අතර එහි උස මුහුදු මට්ටමේ සිට මීටර 755ක්. මෙම ස්ථානයට මහනුවර සානුවේ රමණීය දර්ශනයක් දැකගත හැකියි. සබරගමු කඳුවැටි මෙන්ම මහනුවර අවට කඳුකරයද එතැනට දිස්වෙනවා.

ගැටහොඹු කටුස්සා (calphotos.berkeley.edu)

පක්ෂි විශේෂ 92ක් හා ක්ෂීරපායී විශේෂ 16ක් මෙම වනයෙන් හමුවී තිබෙනවා. මෙහි කටුසු විශේෂ 19ක් හමුවී තිබෙන අතර ඉන් විශේෂ 9ක්ම මෙරටට ආවේණකයි. මෙන්ඩිස් වික්‍රමසිංහ නම් සත්ව විද්‍යාඥයා මෙහි අලුත් හූනන් විශේෂයක්ද හඳුන්වා දුන්නා, අකාලයේ සමුගත් පරිසරවේදී සංජීව රන්වැල්ල සිහිපත් වීමට ඌට Cnemaspis ranweli නාමය ලබාදී තිබෙනවා.

ගැටහොඹු කටුස්සා සහ පුල්ලි ගස්මැඩියාද මෙහි වසන ආවේණිකයන්. වසර 300කට පමණ පසු අලුත් සර්ප විශේෂයක් වන රණවනගේ මාපිලා (Boiga ranawana) මින් සොයාගත්තා. ඌ දැකගත හැක්කේ ගන්නෝරුවේදී පමණයි. සමනළ විශේෂ 33ක් ද මෙම වනපෙත අලංකාර කරනවා.

වනය නැරඹීමට පැමිණෙන පිරිස් ඉවතලන ප්ලාස්ටික් හා පොලිතින් කසළ මෙන්ම ආක්‍රමණශීලී ශාක ද මෙහි විනාශයට හේතුවෙලා.

කෘෂි උද්‍යානය

කෘෂී උද්‍යානයේ ගෝවා වගාවක් 4bp.blogspot.com

පේරාදෙණියේ සිට පැමිණ ගන්නෝරුවට පිවිසෙන ඔබගේ නෙත පළමුවෙන් ගැටෙන්නේ මාර්ගය දකුණුපසින් ඇදීයන උද්‍යානයක දර්ශනයයි. ඒ ගන්නෝරුව කෘෂි උද්‍යානයයි. එහි පිහිටි හෙළ බොජුන් හල සංචාරකයන් නිතර යන එන තැනක්. වර්ග කි. මී. දෙකක භූමියක පැතිර ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තු භූමියේ කෘෂි උද්‍යානය පිහිටා තිබෙනවා. එය ලෝකයේ ප්‍රථම කෘෂි උද්‍යානය වශයෙන් සැලකෙනවා. එය විවෘත කළේ 2004 දී. සඳුදා සිට සෙනසුරාදා දක්වා උතේ 8.00 සිට සවස 4.00 දක්වා මේ උද්‍යානය විවෘතයි.

උද්‍යානයේ සුනදරත්වය (4bp.blogspot.com)

කෘෂිකර්මය ගැන නව දැනුම ලබාගැනීමට වගේම සිත සුවපත් කර ගැනීමටත් මෙතැන කදිමයි. හරිතාගාර බෝග වගාව, පලතුරු උයන, කෙසෙල් උයන, මී මැසි පාලන ඉදිකිරීම්, මැල්ලුම් උයන, ග්ලිරිසීඩියා මගින් බලශක්තිය, කෘෂි කෞතුකාගාරය, හේන් ගොවිතැන, අලබෝග උයන, පැලෑටි ජාන සම්පත් එකතුව, වියළි කලාපීය බෝග වර්ග ආදී විවිධ අංශ ගැන මෙහිදී දැනුමක් ලබාගත හැකියි.

මෙය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ සංකල්පයක් අනුව නිර්මාණය වූවක්.

ගන්නෝරුව, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ හදවත බඳුවන අතර එයට හේතු සාධක නම් කෘෂිකාර්මික අංශයේ ප්‍රධාන දෙපාර්තමේන්තු ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන හා සෞඛය දෙපාර්තමේන්තුව සහ කෘෂි විද්‍යා පීඨය හා ඒවායේ තාක්ෂණ බිහිකරන හා බෙදාහරින ප්‍රධාන ඒකක පිහිටා ඇත්තේ ගන්නොරුව හා ඒ අවට ප්‍රදේශයේ වීමයි. මේ වනවිට ගන්නෝරුව කෘෂි තාක්ෂණික උද්‍යානය කෘෂි තාක්ෂණය බිහිකරන හා බෙදාහරින මධ්‍යස්ථානයක් බවට පත්වී තිබෙනවා.

හල්ලොලුව සංගිලි පාලම

පාලමයි සංගිලි පාලමයි (sinhala.news.lk)

පැරණි මහනුවර කුරුණෑගල මාර්ගයේ තිබූ තොටුපොළෙහි මෙය ඉදිකරනු ලැබුවේ 1939දී. අඩි 150ක දිගකින් යුත් මේ මගින් හල්ලොගුව සහ දොඩම්වල ගම්මාන යා වුණා. රජයේ ප්‍රසිද්ධ වැඩ දොපාර්තමේන්තුව මගින් ඉදිකර ඇති මෙය 1939 මැයි 6 දා එවක රජයේ වැඩ ඇමැතිව සිටි මේජර් ජේ. එල්. කොතලාවල විසින් විවෘත කර තිබෙනවා.

පාලම මත සිට පෙනෙන මහැවැලියේ දූපත් (කුසුම්සිරි විජවර්ධන)

පසුගිය 2017 ජනවාරි මාසයේදී මෙම ස්ථානයේ නව පාලමක් විවෘත කිරීමත් සමඟ සංගිලි පාලම කෞතුක වස්තුවක් වුණා. එමෙන්ම මහනුවරට විගසින් පිවිසීමේ හැකියාවද අවට ප්‍රදේශවාසීන්ට ලැබී තිබෙනවා. එම පාලම ඉදිකිරීමට පසුගිය පනස් වසර තුළ අවස්ථා 7කදී මුල්ගල තැබූ බව වාර්තා වෙනවා.

හක්කිඳ දූපත්වල සුන්දරත්වය

ගල්පර අතරින් ගලනා ගංගා (කුසුම්සිරි විජවර්ධන)

මහවැලි ගංගාවේ පළලම ස්ථානය සහ පටුම ස්ථානය හමුවන තැන දොඩම්වල වරාතැන්න ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. ගන්නෝරුවේ සිට හල්ලොලුව පාරේ කි. මී. 2ක් පමණ ගියවිට මෙතැනට ළඟා විය හැකියි. ගල්පර්වත බහුල ප්‍රදේශයකින් ගලාබස්නා මහැවැලියේ පටුම ස්ථානය මීටර් 8ක් වන අතර පළලම ස්ථානය කිලෝමීටරයක් වෙනවා. මෙම අසිරිමත් භූ රූපණය නැරඹීමට දේශීය සංචාරකයන් මෙන්ම විදේශිකයන් ද ඇදී එනවා.

මේ අවට දූපත් 40ක් පිහිටා තිබෙන අතර ඒවා හඳුන්වන්නේ හක්කිඳ දූපත් යනුවෙන්. ඒ අතරින් 20ක් ස්ථිර දූපත්. සෙසු දූපත් විස්‌ස වැසි කාලෙට අතුරුදන් වෙනවා.

මහවැලියේ පටුම තැන (කුසුම්සිරි විජවර්ධන)

ස්‌ථිර දූපත් විස්‌සෙන් අක්‌කර අටක දූපතක්‌ ද, අක්‌කර දෙක තුන එක බැගින්වු දූපත්ද පිහිටා තිබෙනවා. මෙහි පාරිසරික වටිනාකම නිසා 2017 දී එය පරිසර සංරක්ෂණ කලාපයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවට ආවේණික අතිඋඩයන් ශාක විශේෂ 2ක් සහ කෙටල විශේෂ කිහිපයක්ද මෙහි හමුවෙනවා.

මධ්‍යම පළාතට හිමි එකම තෙත් බිම ලෙස හැඳින්වෙන හක්‌කිඳ ආශ්‍රිත දූපත් සමූහය අසල ජීවත්වන ගඩයා මත්සයා 2012 වසරේ ලෝක රතු දත්ත පොතේ වඳවී ගිය මත්ස්‍ය වර්ගයක්‌ ලෙස නම් කෙරුණා. දිගින් සෙන්ටිමීටර් 52.5ක්‌ වන ගඩයා මෙහි වෙසෙන බව යළි වාර්තා වූයේ 2013 දීයි.

විනෝදවීමට පැමිණෙන පිරිස් විසින් ඉවත් කරන ප්ලාස්ටික් පොලිතීන් මෙම සුන්දර පරිසරයටද හානි කරනවා.

කවරයේ රූපය : (කුසුම්සිරි විජවර්ධන)

මුලාශ්‍ර:

  1. www.doa.gov.lk/index.php/si/2016-03-14-07-05-05
  2. http://calphotos.berkeley.edu
  3. මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක- කුසුම්සිරි විජයවර්ධන
  4. කඳුරට ප්‍රවේණිය – එච්. ඒ. පී. අභයවර්ධන

Related Articles