Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දළදා මාලිගාවට මුවා වූ සෙංකඩගල රජ මැදුර

සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අවසන් වරට සෙවණ සැපයූ සෙංකඩගල රජ මැදුර මුල් වරට ගොඩ නංවන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1357 – 1374 දක්වා කාලය තුළ දී ගම්පොළ රාජධානියේ පාලකයා ව සිටි තෙවැනි වික්‍රමබාහු රජු විසින්. ඒ අගනුවර ලෙස සෙංකලගල පුරවරය තෝරා ගැනීම වාසනාවට හේතුවක් වේ යැයි බ්‍රාහ්මීන් විසින් ලබා දුන් උපදෙස් මත යි. පසු කාලීන ව සේනාසම්මත වික්‍රමබාහු සහ පළමු වැනි විමලධර්මසූරිය යන රජවරුන් විසින් රජ මැදුරේ විවිධ වැඩිදියුණු කිරීම් සිදු කළ අතර ක්‍රිස්තු වර්ෂ 1595 දී සෙංකඩගල රජ මැදුරට යාබද ව ශ්‍රී දළදා මාළිගාව නිමවන ලද්දේ පළමු වැනි විමලධර්මසූරිය රජතුමාගේ අනුග්‍රහය යටතේ යි. එයට බොහෝ විට හේතු වූයේ දළදාවේ සන්තකය දරන්නාට සිංහලේ කිරුළ හිමි වේ යැයි එවකට ජනතාව අතර පැවති සාම්ප්‍රදායික විශ්වාසය වීමට පුළුවන්.

පළමු වැනි විමලධර්මසූරිය රජතුමා (en.wikipedia.org)

අතීතයේ දී සෙංකඩගල රජ මැදුර, ‘මහ වාසල’ හෝ ‘මාළිගාව’ යන නම්වලින් හඳුන්වන ලද අතර නාථ දේවාලයට මුහුණලා ඇති කොටස රජ මැදුරේ පැරණි ම කොටස ලෙස සැලකෙනවා. නුවර යුගයේ දී රජුගේ මාළිගය (රජ වාසල), රාජකීය සම්මන්ත්‍රණ ශාලාව (මගුල් මඩුව), බිසෝවරු සඳහා වෙන් කළ මාළිගය (මැද වාසල), අන්තඃපුරය සඳහා වෙන් කළ ශාලා (පල්ලේ වාහලේ) සහ බිසෝවරුන්ගේ ස්නානය සඳහා වෙන් කළ මණ්ඩපය (උල්පැන්ගේ) මෙන් ම ශ්‍රී දළදා මාළිගයෙන් ද සමන්විත වූ සෙංකඩගල මාළිගා පරිශ්‍රයෙන් වර්තමානයේ දී මහ වාසලට ඇතුළු වන ඉදිරිපස දොරටුව සහ ගොඩනැගිලි කිහිපයක් පමණක් ඉතිරි ව තිබෙන අතර ඒවා පුරාවිද්‍යා කෞතුකාගාරයක් ලෙස සංරක්ෂණය කර තිබෙනවා.

කන්ද උඩරට මාලිගා පරිශ්‍රය (© Ganidu Balasuriya)

සෙනරත් රජුගේ රාජ්‍ය සමයේ දී (ක්‍රිස්තු වර්ෂ 1603 – 1634 දක්වා) පෘතුගීසීන් විසින් සෙංකඩගල රාජධානියට එල්ල කළ ප්‍රහාර නිසා මහ වාසල සම්පූර්ණයෙන් ම විනාශ වූ අතර ක්‍රිස්තු වර්ෂ 1634 දී දෙවැනි රාජසිංහ රජුට කිරුළ හිමි වීමෙන් අනතුරු ව එය නැවත ගොඩ නගනු ලැබුවා. ඉන් පසු ව ක්‍රිස්තු වර්ෂ 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයින්ට යටත් වන තුරු ම සිහසුන දැරූ රජවරුන් සෑම දෙනෙක් ම පාහේ වාසය සඳහා තෝරා ගත්තේ සෙංකඩගල රජ මැදුර යි.

ජෝන් ඩොයිලි, ඇහැළේපොළ, මොල්ලිගොඩ සහ කපුවත්ත නිලමේවරු සමග සාකච්ඡා කරමින්. (sinhalaheritage.org)

ක්‍රිස්තු වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් උඩරට රාජධානිය යටත් කර ගැනීමෙන් පසු ව එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ පරිපාලන නිලධාරියෙකු වූ ජෝන් ඩොයිලිත්, ඔහුගෙන් පසු ව ඔහුගේ අනුප්‍රාප්තිකයනුත් තමන්ගේ නිල නිවස ලෙස මහනුවර මහ වාසල භාවිතයට ගත්තා.

රජ වාසල

මගුල් මඩුවට දකුණු පසින් සෙංකඩගල මාළිගා පරිශ්‍රයේ උතුරු කොණට වන්නට පිහිටා ඇත්තේ රජ වාසල හෙවත් රජතුමා වාසය කරන මාළිගාව යි. ටෙරා-කොටා සහ බදාම යොදා ගනිමින් නිර්මාණය කරන ලද රජ වාසල දිගින් වැඩි ගොඩනැගිල්ලක් වන අතර එයට පිවිසීම සඳහා පියගැට පෙළක් තරණය කළ යුතු වෙනවා. රජ වාසලේ කාමර පිහිටා ඇත්තේ ඇතුළත අංගණයට මුහුණලා පිහිටි දිගු ආලින්දයක් දෙපස යි.

වර්තමානයේ දී ‘රජ වාසල’ ගොඩනැගිල්ල. (travelgumbo.com)

වර්තමානයේ දී සෙංකඩගල මාළිගා පරිශ්‍රයට අයත් මෙම කොටස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෞතුකාගාරයක් ලෙස භාවිතා කරනවා.

මහ මළුව

මහ මළුවේ ඇති මද්දුම බණ්ඩාරගේ පිළිරුව. (© Ganidu Balasuriya)

ශ්‍රී දළදා මාළිගය ඉදිරිපස පිහිටා ඇති අක්කරයක පමණ වපසරියකින් යුතු විවෘත උද්‍යානය හඳුන්වන්නේ මහ මළුව ලෙස යි. වර්තමානයේ දී බෝගම්බර වැව පිහිටි ස්ථානයේ එවකට පැවති කුඹුරු යාය සඳහා කමත ලෙස භාවිත කරන ලද මහ මළුව, නැකත්කරුවන්ගේ උපදෙස් මත පළමු වැනි විමලධර්මසූරිය රජතුමා විසින් තෝරා ගන්නා ලද්දක්.

මහ මළුවේ අවසානයට වන්නට දක්නට ඇති ශෛලමය කුළුණ නිර්මාණය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1818 දී බ්‍රිතාන්‍යයන්ගෙන් උඩරට රාජධානිය මුදවා ගැනීම සඳහා ඌව කැරැල්ල සංවිධානය කළ (ඒ හේතුවෙන් පසු ව බ්‍රිතාන්‍යයන් විසින් හිස ගසා දමනු ලැබූ) කැප්පෙටිපොළ දිසාවේගේ හිස් කබල තැන්පත් කොට යි. එසේ ම මහ මළුවේ මද්දුම බණ්ඩාරගේ ද, දළදා වහන්සේ ලක්දිවට වැඩම වූ හේමමාලා කුමරියගේ සහ දන්ත කුමරුගේ ද ප්‍රතිමා දක්නට ලැබෙනවා.

මගුල් මඩුව

සෙංකඩගල මහ රජු විසින් එදිනෙදා පරිපාලන කටයුතු සිදු කිරීමට, රාජ්‍ය මන්ත්‍රණ පැවැත්වීමට මෙන් ම මහ ජනතාවගේ නීතිමය ගැටළු සඳහා පිළියම් යෙදීමට ද යොදා ගන්නා ලද මගුල් මඩුව, ‘මහ නඩුව’ යන නාමයෙන් ද හැඳින්වෙනවා. අලංකාර ලී කැටයමින් හැඩ ගන්වන ලද මගුල් මඩුව නිර්මාණය කිරීම අරඹා තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1783 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය සමයේ දී යි.

සාමාන්‍ය කටයුතුවලින් පරිබාහිර ව ආගමික සහ ජාතික උත්සවවල කේන්ද්‍රස්ථානය ලෙස ද යොදා ගන්නා ලද මගුල් මඩුවේ වරින් වර මහ ජනතාව සඳහා දළදා වහන්සේ ව ප්‍රදර්ශනය කරන ලද අතර ද රජතුමා විසින් විදේශීය තානාපතිවරුන් මුණ ගැසීම සඳහා ද මගුල් මඩුව යොදා ගෙන තිබෙනවා. කන්ද උඩරට ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන උඩරට ගිවිසුම, ක්‍රිස්තු වර්ෂ 1815 ක් වූ මාර්තු මස 2 වැනි දින උඩරට රදළ ප්‍රධානීන් සහ බ්‍රිතාන්‍යයින් අතර අත්සන් තබන ලද්දේත් මගුල් මඩුවේ දී යි.

ලී කැටයමින් අලංකාර කළ කුලුනු මත ගොඩ නැං වූ මගුල් මඩුව (© Haritha Nadun)

ආදීමය මගුල් මඩුව අඩි 60 ක පමණ දිගකින් යුක්ත වූ අතර ක්‍රිස්තු වර්ෂ 1872 දී බ්‍රිතාන්‍යයන් විසින් එවකට වේල්ස් හි කුමරු වූ ඇල්බට් එඩ්වඩ් කුමරු ව පිළි ගැනීම සඳහා පල්ලේ වාහලෙන් ගලවා ඉවත් කරන ලද ලී කැටයම් සහිත කුලුනු දහසයක් යොදා ගනිමින් මගුල් මඩුවට අඩි 30 ක පමණ දිගකින් යුතු අලුත් කොටසක් එක් කර තිබෙනවා.

වැඩහිඳින මණ්ඩපේ

රාජ්‍ය කටයුතුවලින් මිදී මදක් විවේක ගැනීම සඳහා රජතුමා විසින් යොදා ගන්නා ලද වැඩහිඳින මණ්ඩපේ පිහිටා ඇත්තේ රජ වාසල සහ මගුල් මඩුව අසල යි. වර්තමානයේ දී එය මහනුවර ඇසළ පෙරහැරේ කරඬුව වැඩම වන ඇත් රජුන් වෙනුවෙන් වෙන් කළ කෞතුකාගාරයක් ලෙස පවතිනවා.

මැද වාසල

මැද වාසලේ අවසන් බිසව, රංගම්මාල් දේවිය (en.wikipedia.org)

පල්ලේ වාහලේ උතුරු පසට වන්නට මැද වාසල ගොඩ නංවා තිබුණේ බිසෝවරුන් සඳහා යි. ප්‍රමාණයෙන් තරමක් කුඩා වුව ද එහි ගෘහ නිර්මාණ ශිල්පය පල්ලේ වාහලට සමානකමක් දක්වනවා. වර්තමානයේ දී මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලය ලෙස භාවිත කරනවා.

පල්ලේ වාහලේ

පල්ලේ වාහලේ හෙවත් පහළ මාළිගය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය සමයේ දී ගොඩ නංවන ලද්දේ රජුගේ අන්තඃපුරය සඳහා නවාතැන් පහසුකම් සැපයීමට යි. මැද මිදුලක් වටා පිහිටි ආලින්දයන් දෙපස අන්තඃපුර ළඳුන් සඳහා වෙන් කළ කාමර දක්නට ලැබෙනවා.

වර්ෂ 1942 දී මෙම ගොඩනැගිල්ල මහනුවර ජාතික කෞතුකාගාරය බවට පරිවර්තනය කරන ලද අතර එහි නඩත්තු කිරීමේ කටයුතු සිදු වන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින්.

රන් ආයුධ මඩුව

මෑතක දී අලුතින් ගොඩ නංවන ලද උසාවි සංකීර්ණයට ගෙන යන තෙක් ම මහනුවර දිස්ත්‍රික් උසාවිය පිහිටා තිබුණේ කන්ද උඩරට රජුගේ ආයුධ ගබඩාවේ යි. ද්වාර මණ්ඩපයක් සහිත මෙම ගොඩනැගිල්ල දැව කුළුණු මත ගොඩ නංවා තිබෙනවා.

උල්පැන්ගේ

වර්තමානයේ දී උල්පැන්ගේ (sridaladamaligawa.lk)

ශ්‍රී දළදා මාළිගාව අසල බෝගම්බර වැව් ඉවුරේ බිසෝවරුන්ගේ ස්නානය සඳහා වෙන් කළ උල්පැන්ගේ පිහිටා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1806 දී ශෛලමය පොකුණක් ලෙස නිමවන ලද මෙය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසෝවරුන් සඳහා පමණක් වෙන් කරන ලද්දක්. පසු කාලීන ව බ්‍රිතාන්‍යයින් විසින් කන්ද උඩරට යටත් කර ගැනීමෙන් පසු ව මෙයට උඩරට ගෘහ නිර්මාණ ශිල්පය රැකෙන පරිදි උඩු මහලක් එක් කර පුස්තකාලයක් බවට පරිවර්තනය කරන ලද අතර වර්තමානයේ දී මෙය පොලිස් මුරපොළක් ලෙස භාවිත කරනවා.

මුලාශ්‍ර:

  1. en.wikipedia.org
  2. orientalarchitecture.com
  3. kandycity.org
  4. amazinglanka.com
  5. jaffnaroyalfamily.org

Related Articles