Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරිසුදු ජලය පිරි මොන්ටානා ෆ්ලැට්හෙඩ් විල

ජලය නොමැති ලෝකයක ගස් වැල්, සතා සීපාවුන් හෝ මිනිසාට කිසිදු පැවැත්මක් නොමැති බව කුඩා දරුවකු වුවත් හොඳින් දන්නා කරුණකි. කෙසේ නමුත් මේ වන විට ලොව පුරා තිබෙන ජල මූලාශ්‍රවලින් වැඩි ප්‍රමාණයක් විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂණය වී තිබේ. ඒ නිසා සිය අතේ දුරින් තිබෙන ජල මූලාශ්‍රවල තිබෙන ජලය පරිභෝජනයට ගත නොහැකි ව සැතපුම් ගණන් දුර ජලය සොයා යන මිනිසුන් ඕනෑම රටක දැකිය හැකි ය.

එසේ වුවත් සුපිරිසුදු ජලය රැඳුණු ස්ථාන ද නැතුවා නොවේ. අමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා තිබෙන ‘ෆ්ලැට්හෙඩ්’ විල එවැනි අතිශය පිරිසුදු ජල මූලාශ්‍රයකි. අමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන විශාලත ම ස්වාභාවික මිරිදිය පිරි විල්වලින් එකක් ලෙස සැලකෙන එහි ජලය, පතුල විනිවිද පෙනෙන තරම් පැහැදිලි වීම බොහෝ දෙනා විස්මයට පත් කරන කරුණකි.

ෆ්ලැට්හෙඩ් විලේ කෙළවරක් – www.pinterest.com 

පිහිටීම

අමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ වයඹ දිග ප්‍රදේශයට වන්නට පිහිටි ෆ්ලැට්හෙඩ් විල එක්සත් ජනපදයේ ඇති විශාලත ම මිරිදිය විල්වලින් එකකි. වසර දහස් ගණනකට පෙර ග්ලැසියර දිය වීම නිසා නිර්මාණය වූ මිසූලා විලේ ශේෂ වූ කොටසක් ලෙස එය සැලැකේ. ෆ්ලැට්හෙඩ් ගංගාවේ කෙළවරට වන්නට පිහිටා තිබෙන එය ලොව පුරා ප්‍රසිද්ධ ය.

ෆ්ලැට්හෙඩ් විලේ දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 48ක් වන අතර එහි පළල කිලෝමීටර් 26කි. එය වර්ග කිලෝමීටර් 510ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇත. එහි උපරිම ගැඹුර අඩි 370ක් වන අතර සාමාන්‍ය ගැඹුර අඩි 164කි. විශේෂ කරුණක් වන්නේ එය පර්සියානු මුහුදේ සහ කහ මුහුදේ සාමාන්‍ය ගැඹුරට වඩා වැඩි ගැඹුරකින් යුක්ත වීම යි.

විලේ පිහිටීම දැක්වෙන සිතියමක් – www.offthegridmaps.com

ඉතිහාසය

අතීතයේ ‘සාලිෂ්’ යනුවෙන් හැඳින්වූ මෙම විල ෆ්ලැට්හෙඩ් නමින් හැඳින්වීම ආරම්භ වූයේ ෆ්ලැට්හෙඩ් ඉන්දියානුවන් නමින් හඳුන්වන අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ආදිවාසී ජන කොටසක් මෙම ප්‍රදේශය ආශ්‍රිත ව ජීවත් වූ නිසා බව කියැවේ. 19 වැනි සියවසේ අගභාගයේ දී එම ප්‍රදේශයේ ජීවත් වූ ආදිවාසි ජනතාව ෆ්ලැට්හෙඩ් විලේ දකුණු කෙළවරට වන්නට පිහිටා ඇති භූමියක් වෙත යවා තිබේ. එම භූමි ප්‍රදේශය මේ වන විට එම ජනකොටස් සඳහා ම වෙන් කර දී තිබේ.

සාලිෂ් ඉන්දියානුවන් – www.pinterest.com

වටපිටාව

ෆ්ලැට්හෙඩ් විලට නැගෙනහිර දෙසින් මිෂන් කඳුවැටිය සහ බටහිර දෙසින් සාලිෂ් කඳුවැටිය පිහිටා තිබේ. විල ආශ්‍රිත නිම්නය නිරතුරුව ම සෞම්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශයකි. ෆ්ලැට්හෙඩ් නිම්නයේ සිට කිලෝමීටර් 640ක් දුරින් පැසිෆික් සාගරය පිහිටා තිබේ. එම ප්‍රදේශයේ ඇති සෞම්‍ය දේශගුණය නිසා විවිධ බෝග වගා රැසක් විල ආශ්‍රිත ව දැකිය හැකි ය.

ප්‍රධාන වශයෙන් විලේ නැගෙනහිර දෙසට වන්නට චෙරි වගාව පිහිටා තිබේ. ඊට අමතරව බටහිර දෙසට වන්නට මිදි වගා සහ වයින් නිෂ්පාදනාගාර දැකිය හැකි ය. ඇපල්, පෙයාර්ස්, ප්ලම්, එළවළු සහ නත්තල් ගස් වගා ද ෆ්ලැට්හෙඩ් විල ආශ්‍රිත ප්‍රදේශයේ බහුල ව පිහිටා තිබේ. මී පැණි සහ තිරිඟු ආශ්‍රිත නිෂ්පාදන මූලික කර ගත් කුඩා කර්මාන්තශාලා ද ඒ අවට දැකිය හැකි ය.

චෙරි වගාවක් – www.istockphotos.com

විලේ පිහිටි දූපත්

ෆ්ලැට්හෙඩ් විලේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු දූපත් ගණනාවක් ද පිහිටා තිබේ. ඒ අතරින් විශාලත ම දූපත වන්නේ අක්කර 2,164ක වපසරියකින් යුතු ‘Wild Horse’ දූපත යි. ඊට අමතර ව විලේ බටහිර ඉවුරේ සිට සැතපුම් එක හමාරක් පමණ දුරින් පිහිටා තිබෙන මෙලිටා දූපත අක්කර 64ක වපසරියකින් යුතු ය. එහි උසින් වැඩිම ස්ථානය ජල මට්ටමේ සිට අඩි 80ක උසින් පිහිටා තිබේ.

ඊට අමතර ව තවත් කුඩා ප්‍රමාණයේ දූපත් කිහිපයක් ෆ්ලැට්හෙඩ් විලේ පිහිටා තිබේ. මෙලිටා දූපතේ හිමිකාරිත්වය දරන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ බාලදක්ෂයන් වන අතර ඔවුහු කඳවුරු බැඳීම සහ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙනත් කටයුතු සඳහා දූපත භාවිත කරති.

ෆ්ලැට්හෙඩ් විලේ පිහිටි දූපතක් – www.missonlian.com

විල ආශ්‍රිත මත්ස්‍ය විශේෂ

ෆ්ලැට්හෙඩ් විලේ දේශීය සහ දේශීය නොවන මත්ස්‍ය විශේෂ ගණනාවක් ජීවත් වේ. එහි මත්ස්‍යයන් හා සම්බන්ධ කටයුතු මොන්ටානා හි මත්ස්‍ය, වනජීවී සහ උද්‍යාන දෙපාර්තමේන්තුව හරහා සිදු වේ. ෆ්ලැට්හෙඩ් විලේ බහුල ව දැකිය හැකි දේශීය මත්ස්‍ය විශේෂයන් දෙකක් ලෙස ‘bull trout’ සහ ‘cutthroat trout’ හැඳින්විය හැකිය. එහි දේශීය නොවන මත්ස්‍ය ගහණය වැඩි වීම ආරම්භ වූයේ 1800 ගණන්වල අගභාගයේ සහ 1900 මුල්භාගයේ බව සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම විලේ ජීවත් වන සමහර දේශීය නොවන මත්ස්‍ය විශේෂ එහි වෙසෙන අනිකුත් මත්ස්‍යයන් ආහාරයට ගැනීම නිසා එම පරිසර පද්ධතිය ආශ්‍රිතව ගැටලු රැසක් පැන නැගී තිබේ. මොන්ටානා ප්‍රාන්තයේ මත්ස්‍ය, වනජීවී සහ උද්‍යාන දෙපාර්තමේන්තුව මෑතකාලීනව මෙම විල ආශ්‍රිත ජල මූලාශ්‍රවලට හඳුන්වා දුන් දේශීය නොවන ඉස්සන් විශේෂයක් ද මේ වන විට ෆ්ලැට්හෙඩ් විලේ බහුල ව දැකිය හැකි ය.

විලේ වෙසෙන මත්ස්‍යයෙක් අතැතිව සිටින සංචාරක කාන්තාවක් – www.bigskyfishing.com

ධීවර කර්මාන්තය

ෆ්ලැට්හෙඩ් විලේ මත්ස්‍ය විශේෂ ගණනාවක් ජීවත් වන නිසා ඒ ආශ්‍රිත ව ධීවර කර්මාන්තය වඩාත් ප්‍රචලිත වී තිබේ. විල ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වන ජනතාව වාණිජමය වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන අතර විල නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් ද විනෝදාස්වාදය සඳහා මසුන් ඇල්ලීමේ ක්‍රියාකාරකම්වල යෙදෙන අයුරු දැකිය හැකි ය.

සංචාරක කර්මාන්තය

ෆ්ලැට්හෙඩ් විල අමෙරිකා එක්සත් ජනපදයේ වඩාත් ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තවලින් එකකි. දේශීය සහ විදේශීය සංචාරකයන් රැසක් එය නැරඹීමට පැමිණෙති. ඔවුන්ට නවාතැන් සහ ආහාරපාන පහසුකම් සලසන කුඩා සහ මධ්‍යම පරිමාණ හෝටල් සහ අවන්හල් ගණනාවක් විල ආශ්‍රිත ව පිහිටා තිබේ.

පතුල පෙනෙන තරම් පැහැදිලි ජලය මත පාවෙන සංචාරක කාන්තාවක් – www.pinterest.com

ෆ්ලැට්හෙඩ් විල නැරඹීමට පැමිණෙන සංචාරකයන් අතර ප්‍රචලිත, ඔරු පැදීම, දිය මත ලිස්සා යාම, පිහිනීම, මසුන් ඇල්ලීම සහ කඳවුරු බැඳීම වැනි ක්‍රියාකාරකම් ගණනාවක් වේ. එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ද ඉතා මිත්‍රශීලි ආකාරයෙන් සිය වගාවන්වලින් නෙළා ගන්නා නැවුම් ඇපල්, මිදි සහ චෙරි වැනි දේවලින් සංචාරකයන්ට සංග්‍රහ කරති. 

කවරයේ ඡායාරූපය- ෆ්ලැට්හෙඩ් විල -  www.pinterest.com

මූලාශ්‍ර:

www.visitmt.com

www.discoverkalispell.com

www.fp.mt.gov

www.glaciermt.com

Related Articles