කොළඹ සිට කි. මී. 84ක් දුරින් පිහිටි කුරුණෑගල, වයඹ පළාතේ අගනුවර වශයෙන් සැලකෙනවා. නගරය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 116ක උසින්. නගර මධ්‍යයේ පිහිටා ඇති ඇතාගල (ඇතුගල) කුරුණෑගල නගරයේ අනන්‍යතාවය විදහාපාන සංකේතයක් ලෙස ප්‍රකට යි. මේ ගල්පර්වතය මීටර 316ක් උසට, හස්තියෙකුගේ විලාසයෙන් පැතිර තිබෙනවා. කුරුණෑගල කියන නම ඇති වීමට මෙම පර්වතය හේතු වූ බව බොහෝදෙනාගේ විශ්වාසය යි. ඇතුගල ස්වභාවික අලංකාරය ඇති එමෙන්ම ඓතිහාසික වටිනාකමක් ද සහිත තැනක්. මේ පව්ව මත සහ ඒ වටා පුරාණ විහාර කිහිපයක් සහ ඇතුගල්පුර රාජධානි නටබුන් විහිදී පවතිනවා. ඒත් කුරුණෑගලට යන බොහෝදෙනෙක් ඒවා දැකගැනීමට උත්සාහ කරන බවක් නම් පේන්නෙ නෑ. ඒ සඳහා ඔබට මඟපෙන්වීමට යි මේ උත්සාහය.
රාජධානිය
සතුරු කරදර නිසා යාපහුවේ පැවති රාජධානිය 1293 දී කුරුණෑගලට ගෙනයන්නේ දෙවැනි බුවනෙකබාහු (1293-1300) රජු යි. ඔහු රාජධානිය ඇතුගල පාමුල පිහිටුවා දන්ත ධාතුව ද කුරුණෑගලට වැඩම වූ බව මහාවංශය සඳහන් කරනවා. ඉන්පසු හතරවන පරාක්‍රමබාහු, වන්නි බුවනෙකබාහු යන රජවරු මෙහි රජ කර තිබෙනවා. සිංහල සාහිත්‍යයයේ වර්ධනයක් ඇති වූ යුගයක් ලෙස කුරුණෑගල සමය සැලකෙනවා. ජාතක පොත සහ පිරුවානා පොත් වහන්සේ ඒ කාලයේ ලියැවුණු පොත් දෙකක්.
ඉතිහාසයේ මේ රාජධානිය හඳුන්වන්නේ හස්තිශෛල පුර නමින්. මේ කාලේ රජ මැදුර සහ දළදා මාලිගාව තිබී ඇත්තේ ඇතුගල පාමුල, දැන් පළාත් සභා කාර්යාලය තිබෙන ස්ථානය අවට යි. දැන්ටත් පැරණි ගල්කණු, ප්‍රාකාර කොටස්, ගල් උළුවහු, කැටයම් ගල් ආදිය ඒ අවට දක්නට ලැබෙනවා. නමුත් ගොඩනැගිලි ඉදිකිරීම නිසා බොහෝ නටබුන් මේ වනවිට විනාශ වී ගිහින්.
ඇතුගල
නගරය මැදින් ඇතුගල මුදුනට යනතෙක්ම තාර දැමූ මාර්ගයක් සකසා තිබෙන නිසා ඕනෑම වාහනයකට එය මතට පහසුවෙන් ගමන් කරන්නට පුළුවන්. වැවට මුහුණ ලා පිහිටි පර්වතය මත මෑතක දී විශාල හිඳි බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර තිබෙනවා. 2003 දී සංවර්ධන සමිතිය විසින් ඉදිකරන්නට යෙදුණු හස්තිශෛලපුර ප්‍රතිමාවේ උස අඩි 66ක්. බුදු පිළිම වහන්සේ හැරෙන්නට අතීතයේ තිබුණු බව පැවසෙන පැරණි විහාරයේ නටබුන් කිසිවක් ඇතුගල මත දකින්නට ලැබෙන්නේ නැහැ. ඇතුගල පිහිටලා තිබෙන පොකුණ වනවාසී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිවූවක්යැ යි සැලකෙනවා.
දුරකථන සංඥා කුලුනු කිහිපයක් ද පර්වතය මත ඉදිකර තිබෙනවා. බොහෝදෙනෙක් මේ පිළිමය වඳින්නට මෙන්ම අවට අලංකාර දර්ශනය දැකබලා ගැනීමටත් ඇතුගල තරණය කරනවා. අද ඇතුගලට වැඩිපුරම එන්නේ පෙම්වතුන්.
කුරුණෑගල නගරයේ සහ වයඹ තැනිතලාවේ රමණීය දර්ශනයක් මේ මත දී දැකගත හැකි යි. ඇතාගල වටේට සතුන්ගේ හැඩය ඇති පර්වත කිහිපයක්ම තිබෙනවා. ඒ වටා විවිධ ජනප්‍රවාද ගෙතී තිබෙනවා. අවට තිබෙන ඉබ්බාගල, එළුගල, කුරුමිණියාගල, ආඳාගල ආදී සත්ත්ව හැඩය නිසා නම්පට බැඳුණු පර්වතවලට කුවේණිය සමග බැඳුණු ජනකතා තිබෙනවා. විජය රජු විසින් පලවා හැරි කුවේණිය ඉතාමත් දුකින් සහ විශාල කෝපයකින් ශාපකළ බවත්, ඒ ශාපය සිදුකළ ස්ථානයේ රැඳී සිටි ඇතෙක්, කුරුමිණියෙක්, ඉබ්බෙක්, එළුවෙක් සහ ආඳෙක් ශාපයේ ප්‍රතිඵලයක් විදිහට මේ ආකාරයෙන් ගල් පර්වත හැඩයට පරිවර්තනය වූ බවත් මේ ජනප්‍රවාදවල කියැවෙනවා.
ඉබ්බාගල ලෙන් විහාරය
ඇතුගල හා කුවේණිගලට මැදි වූ ඉබ්බෙකුගේ හැඩයට සමාන හැඩයක් සහිත මෙම ගල් පව්ව ඉබ්බාගල නමින් හඳුන්වනවා. මෙහි ඉදිවුණ විහාරය ඉබ්බාගල රජමහා විහාරය යි. ඇතුගලට යන දුර්ග මාර්ගයේ කි. මී. එකහමාරක් යන විට ඉබ්බාගල පන්සලට හැරී යන මාර්ගය හමුවෙනවා. මේ පර්වතය ප්‍රමාණයෙන් කුඩා යි. එහි පර්වත ආශ්‍රිතව ලෙන් විහාරය ඇතුළු විහාරාංග ඉදිකර තිබෙනවා.
මේ විහාරය ඉදිකර ඇත්තේ දළදා මැදුරේ තේවාව කළ භික්ෂූන් වහන්සේගේ ආවාස පහසුව වෙනුවෙන් බව යි පැවසෙන්නේ. මෙහි අද දක්නට ලැබෙන්නේ උඩරට සම්ප්‍රදායට අයත් ප්‍රතිමා සහ බිතුසිතුවම්. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා ඒවායේ පෞරාණික අගයට හානි සිදුවෙලා.
ජනප්‍රවාද පවසන්නේ විහාරය ඉදිකර තිබෙන්නේ කුරුණෑගල රාජධානි සමයේ රජ කළ දෙවන බුවනෙකබාහු රජතුමා විසින් බව යි. ඒ රජුගේ මවට ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට දැඩි කැමැත්තක් තිබුණු නමුත්, ඇය වයස්ගත නිසා එතරම් දුෂ්කර ගමනක යෙදීම ඉතාමත් අපහසු කරුණක් නිසා බුවනෙකබාහු රජු මාලිගයට නුදුරු ඉබ්බාගල මත ශ්‍රීපාදයේ අනුරුවක් කරවා තමන්ගේ මෑණියන්ට වන්දනා කරන්න අවස්ථාව ලබාදුන් බව පැවසෙනවා. පසුව ඒ රජු විසින්ම පිළිමගෙයක් සහ දාගැබක් තනවා විහාරයේ නඩත්තුව සඳහා ගම්වර කිහිපයක් ද පූජා කළ බව ජනප්‍රවාද පවසනවා. සිරිපතුලේ අනුරුව අදටත් එහි දී දැකගත හැකි යි.
ඇත්කඳ රජමහා විහාරය
කුරුණෑගල නගරයේ ඔරලෝසු කණුව අසලින් නුවර පාර ඔස්සේ මඳ දුරක් යනවිට ඇතුගල පාමුල පිහිටි මෙම විහාරයට පිවිසිය හැකි යි. ලෙන් විහාරය මෙහි ප්‍රධාන විහාර අංගය යි. එහි සැතපෙන බුදු පිළිමය, හිඳි ප්‍රතිමාවක්, සහ හිටි බුද්ධ ප්‍රතිමාවක් ද පිහිටා තිබෙනවා. මේවා උඩරට සම්ප්‍රදායට අනුව නිර්මාණය කර තිබෙනවා. පැරණි කොරවල්ගල් සහ සඳකඩපහණ ද විහාර භූමියේ තිබෙනවා. පැරණි පුස්කොළ පොත් එකතුවක් ද විහාරය සතු යි. සිංහල ජාතක කතා පොතේ මුල් පිටපත අදටත් මෙහි සුරක්ෂිතව තිබෙන බව පැවසෙනවා.
මෙහි ධර්ම ශාලාව වසර 100කට පෙර යටත් විජිත යුගයේ ආගමික ඉදිකිරිම්වලට සුවීශේෂ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව ඉදිකර තිබෙනවා. එහි අලංකාරය සඳහා සිව් දිශාවෙන් අලංකාර කැටයම්වලින් යුතු වාහල්කඩ හතරක් ඉදිකර ඇති අතර එහි පිටත බිත්ති හා ගොඩනැගිල්ල දරා සිටින කණු පේළි අලංකාර කිරීම සඳහා ද නොයෙක් වර්ගයේ කැටයම් නිර්මාණය කොට තිබෙනවා.
මාරළුවාව විහාරය
කුරුණෑගල පර්වත වළල්ලට අයත් සුන්දර ස්ථානයක පිහිටා ඇති මරළුවාව රජමහා විහාරයට යාමට කුරුණෑගල සිට වැල්ලව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කි. මී. 2ක් පමණ පැමිණ, මරළුවාව මංසන්ධියෙන් වමට ඇති අතුරු මාර්ගයේ තවත් කි. මී. 1 1/2ක පමණ දුරක් ගමන් කළ යුතු යි.
ඉන්පසු මරළුවා කන්ද තරණය කරමින් පර්වතය මත පිහිටි විහාරයට ළඟාවිය යුතු යි. මෙය අප සිත් පහන් කරන ස්ථානයක්. විහාරස්ථානයේ චෛත්‍යයට සමීපයේ ගල්තලාවක් මත මීටර් 33ක් දිග, මීටර් 1ක් පමණ පළල, සෙල්ලිපියක් දැකගැනීමට ලැබෙනවා. මේ වනවිට එම ලිපියේ අක්ෂර කියවා ගැනීමට නොහැකි වන සේ පතුරු ගැලවී විනාශ වී අවසන්. මරළුවාව රජමහා විහාරස්ථානයේ ඇති තවත් ඓතිහාසික ලේඛනයකි, ආඳාගල තඹ සන්නස. මෙය ලබා දී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින්. එහි සඳහන් වන ආකාරයට විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ ඵුස්සදේව නම් කුමරකු විසින් බවත් ඔහු දුටුගැමුණු රජතුමාගේ නැගණියගේ පුතා බවත් සඳහන් වෙනවා.
මෙහි වත්මන් ආවාස ගෙයට ඈඳී ඇති බණ්ඩාර අටුව නම් ගල්ලෙන සොබාදහමේ අපූරු නිර්මාණයක් ලෙස සලකන්න පුලුවන්. පර්වතය මත කුඩා දාගැබක් ද ඉදිකර තිබෙනවා.
විහාරය පිහිටි කන්දට ඈඳුණු ආඳාගල කඳුවැටිය කඳු පවුරක් සේ අලංකාරව ඇදී යන අන්දම මෙහි සිට දැකගත හැකි යි. එතැන් සිට මෑතින් ඇතාගල ඉබ්බාගල ආදී පර්වත සහ ඈතින් ඉබ්බාගමුව, අරන්කැලේ, දොළුකන්ද, මාතලේ කඳුවැටි රමණීය ආකාරයෙන් දිස්වෙනවා.
මූලාශ්‍රයයන්:
පෞරාණික ස්ථාන සහ ස්මාරක – කුරුණෑගල දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපා.)
May 9, 2013 – මරුවා පැරදූ ජයබිම මරළුවාව රජ මහා විහාරය. ජනක වෙත්තසිංහ.
පුරාවිද්‍යා පාලන වාර්තා
කවරය- ඇතුගල මතට කුරුණෑගල නගරය සහ වැව දිස්වන අයුරු – කුසුම්සිරි විජයවර්ධන