සීත සුලං වදින ජනශුන්‍ය භූමියක්, තෙරක් නොපෙනෙන දුඹුරු පැහැ කදුවලල්ලක්, උසැති කදු මත ඇති රූ සේද සුදු රෙද්දක් මෙන් වූ හිම ආස්තරයක්, ලෝකයේ උසම මහාමාර්ගයන්හී භයානක දරුනු ප්‍රපාතාකාර බෑවුම් ඔස්සේ සිදුකරන ත්‍රාසජනක ගමනක්, තන්ත්රයාන ශෛලියේ වෙනස්ම ඇදහීම් සහිත බෞද්ධ ස්මාරක සහ බැතිමතුන් වගේම ඉඳහිට හමුවන ටිබෙට් ජනයාගේ පෙනුමැති මිනිසුන් සහ සංස්කෘතික අංගයන්.
මේ සියල්ල දැකගන්නට වගේම විඳගන්නට හැකි රට කුමක්ද? ඒ තමයි අපේ අසල්වැසි රට ඉන්දියාව. ඉන්දියාවේ ඉහලම කෙළවරේ පාකිස්ථානයට, ටිබෙටයට, චීනයට සහ භූතානයට මායිම්ව ඇති ලදාක් පලාත සමස්ථ ඉන්දියාවේ අනෙක් පලාත්වලට වඩා හාත්පසින්ම වෙනස් ලක්ෂන පෙන්වන පලාතකි. ප්‍රකට 3 idiots චිත්‍රපටයේ වූ කදුකර ගම්මානය පිහිටා තිබුනේද ලදාක් පලාතේ භූටාන දේශසීමාවට ආසන්නයේය. වර්ථමානයේද දේශ සීමාවක පිහිටා ඇති මෙම ලදාක් පලාත බොහෝ අතීතයේදී චීනය සහ ඉන්දියාව අතර ටිබෙට් දේශයට යාබද කොටසක් ලෙස පැවතුන නමුත් පසුකාලීනව මෙම ලදාක් කොටස ඉන්දියාවට නතු විය.
ලදාක් පරිසරය
ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලට වර්ෂාව ලැබෙන ප්‍රධානතම මාර්ගය මෝසම් සුලං ප්රවාහයන් වේ. මෝසම් සුලං හිමාල කඳුපන්තියේ වැදී ඉහලට ගොස් සමස්ථ ඉන්දීය උපමහද්වීපයේ බිලියන 1.3කටත් වැඩි ජනතාවකගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරනු ලබයි.
සුලං වදින මුහුනතින් ප්රතිවිරුද්ධව පිහිටා ඇති නිසා හිමාල බටහිර බෑවුමේ ලදාක් කදු වලල්ලට මෝසම් සුලං පතිත වන්නේ නැත. මීටර් 4000-5000 අතර වූ උසැති කඳුවලින් සමන්විත කඳු පන්ති මත පිහිටා තිබීමෙන් මුහුදු මට්ටමේ සිට උස වැඩි හෙයින් මෙම ලදාක් හි දේශගුණය වසරේ සෑම කාලයකදිම පාහේ ඉන්දියාවේ අනෙක් පෙදෙස් වලට වඩා ශීතල ස්වභාවයක් ගනී. කාමර උෂ්ණත්වය සෘණ අගයන් දක්වා අඩුවෙන ඔක්තෝම්බර්- පෙබරවාරී කාල සීමාවේදී ලදාක්හි කදුවැටි බොහොමයක් හිමෙන් සම්පූර්ණයෙන්ම පාහේ වැසී පවතී. ඉන්දියාවේ සෑම කලකදීම ශීතල වැඩිම ස්ථාන දෙක ලෙස සැලකෙන ඩ්රාස් (Drass) සහ කාර්ගිල්(Kargil) යන කුඩානගර දෙකම පිහිටා ඇත්තේ ලදාක් පලාතේය. මේ දෙසැම්බර් ජනවාරි සමයේ ඒ ස්ථාන දෙකේම උෂ්ණත්වය සෘණ අගයක් ගනී.
ලදාක් වල විඳගන්නට තිබෙන දේ
කාර් එකෙන් උඩම තැන් වලට
හිමාල බටහිර බෑවුම් පද්ධතියට අයත් ලදාක්හි ලෝකයේ මෝටර් වාහන ගමනාගමනය කල හැකි ඉහලම මහාමාර්ග පිහිටා තිබේ. හිමාල සීමාවේ වඩාත් ඉහලට මෝටර් රථයකින් පහසුවෙන්ම ගමන්කල හැකි ස්ථාන වෙත්නම් ඒ තැන්වලින් ලදාක් පලාත අගතැන තිබේ. නේපාලයේ එවරස්ට්, අන්නපූර්ණා, මකාලු, මනස්ලු ආදී ලොව උසින් වැඩිම කදුවැටි රැසක් තිබුනද නේපාල සීමාව තුලදී පා ගමනින් තරණය කරනවා විනා මීටර 4000ක් තරම් වත් උසකට මෝටර රියකින් ගමන් කිරීමේ හැකියාවක් නොමැත. නමුත් ලදාක් සීමාවේදී මීටර 4000කට වඩා උසින් ගමන් කල හැකි, රියෙන්ම ගොස් ඕනෑම කලෙක හිම ඇල්ලිය හැකි ස්ථාන රැසක්ම පවතී.
Marsimik La (5,582m), Semo La (5562m), Kardung La (5359m), Taglang la (5328m) ආදී මාර්ගයෙන් යා හැකි උසම ස්ථාන රැසක් ලදාක් හි ඇතිමුත් ඒ අතරින් වැඩිම උස සහිත මෝටර් වාහන ගමන් කල හැකි ස්ථානය පිළිබද මතභේද පවතී. කෙසේ වුවද ලෝකයේ උසම මෝටර් වාහනයකින් ගමන් කල හැක් ස්ථාන 10 ඇතුලත ලදාක් හි ස්ථාන 5කට වඩා බොහෝ අන්තර්ජාලයීය ලැයිස්තුවල තිබේ. ටිබෙට් බසින් ලා යනු ගිරි ශිඛරය කඳුකර මුදුන යන අර්ථය වේ.
මෝටර්බයිසිකල් සහ වාහන ගමන්
1000cc, 800cc වැනි විශාල ධාරිතාවයකින් යුතු Royal Enfield සහ ඒ මාදිලියේ මෝටර් බයිිසිකල් වලින් ලදාක් තරණය කිරීම ඉන්දියානු තරුණයින්ගේද විදේශිකයින්ගේද ප්‍රකට විනෝදාංශයකි.
ලදාක් වල අගනුවර වන ලේහ් නගරයේ අගෝස්තු මාසයේදී සතර අතින්ම මෙවැනි සුවිසල් බයික් රථවල නැගුනු විදේශිකයින් නිතර ඔබ මොබ සැරිසරති. දුෂ්කර මාර්ගයන්හි ගිරිදුර්ග, හිම, ජලපහර මතින් මේ විශාල බයික් මතින් කදු තරණය කිරීම විටෙක ලොමුදැහැගන්වන ත්‍රාසජනක අත්දැකීමකි.
2014 වර්ශයේ අගෝස්තුවේදී ලාංකික මිතුරන් පිරිසක් සමග ලදාක් වෙත ගිය අතර එහිදී අපට ලදාක් සිට මනාලි දක්වා ගමනාගමනයට හමු වූ කැබ්රථ රියදුරා වූ කලී ලංකාවේ දුරගමන් ලේලන්ඩ් බස් රිය රියදුරකු වැනි අයෙක් වීය. පතුල නොපෙනෙන ප්‍රපාතාකාර බෑවුම් සහිත එක් බැල්මෙන් මුදුන දැකිය නොහැකි ගිරි හිස කදු මුදුන් සහිත භයානක වංගු පාරේ ඒ රියදුරු තෙමේ රාත්‍රී කාලයේද අධික වේගයෙන් රථය ධාවනය කලේය.
මා සමග ගිය ඇතැම් මිතුරන් එම අවස්ථාවේදී කැබ් රියේ ආසන තදින් අල්වාගෙන භීතියෙන් විටෙක ලංකාවේ දෙවි දේවතාවුන් වහන්සේලාද සිහිකරන්නට වූයේ ඔවුන් ගේ හෝ පිහිටාරක්ෂාව බලාපොරොත්තුවෙන් විය යුතුය.
විල් සහ දුර්ග
3 idiots හි අවසාන ජවනිකාව රූගත කරන්නේ Pangong-Tso Lake නැමැති ඉන්දියා භූතාන දේශසීමාවේ පිහිටි ස්ථානයකදීය. නිල් පැහැති තැනිතලාවේ ශීතල මිදෙන වතුර සපිරි Tso Moriri විලද සංචාරකයින් ආකර්ශනය වන ස්ථානයකි. අරාබියානු කාන්තාරය පෙනුම සහිත Nubra Valley නම් දුර්ඝය පෙනුමෙන් එසේ වුවත් කාන්තාරයක් දෝ හෝ සිතාගන්නටවත් බැරි තරම් වූ සිසිල් පරිසරයකින් සමන්විතය. උසින් පිහිටි මෙම විල් ආශ්‍රිතව කූඩාරම් ගසාගෙන රැය පහන් කිරීමත් ඒවායේ අධි සිසිල් ජලයෙන් ඉතා අපහසුවෙන් සිරුර දෝවනය කරගැනීමටත් ඇතැම් සංචාරකයෝ කිලෝමීටර සිය ගනන් දුර ගෙවා මේ දුරබැහැර විල් කරා ඇදී එති.
දේශසීමා ආසන්න ඇතැම් ස්ථානවලට2014 දී දකුණු ආසියාතිකයන් වූ ලාංකික අපිට පිවිසීමට අවසර නොලැබුන නමුත් වර්ථමානයේදී එම නීති රැසක් ලිහිල් කොට දකුණු ආසියාතික බංග්ලාදේශ ජාතිකයින්ට එම දේශසීමාසන්න මනබදින සංචාරක ස්ථාන නැරඹීමට යෑමට හැකියාව ඇති බව අන්තර්ජාලයේ සදහන් වුනි.
ටිබෙට් බුදු දහම
මතබේදයට තුඩුදෙන ප්‍රකාශ නිතර නිකුත් කරන සමන්තබද්‍ර හිමි (පෙර පිටිදූවේ සිරිධම්ම හිමි) ලදාක් හි කල සංචාරයක සේයා රූ කලකදී ලාංකික සමාජ ජාලා වපසරිය තුල ජනප්‍රිය වීය. සැබැවින්ම ටිබෙටියානු බුදු සමය විශ්වාස කරන ලදාක් වාසීන් ථෙරවාද බෞද්ධයින් නොවේ. ඔවුහු මධ්‍යම ආසියාවේ ඇතැම් ස්ථාන වලත් ටිබෙට් රටේත් අදහන තන්ත්රයාන බෞද්ධ ධර්මය (Tantric Buddhism) විශ්වාස කරන්නෝ වෙති. ලදාක් හි බෞද්ධ ස්තූප සහ වෙහෙර විහාර, ඇදහිලි සහ පිළිම ආදී සංස්කෘතික අංගයන් පැවතුනත් ඒවායේ ලාංකික බුදුසමයට වඩා වෙනස්කම් රැසක් දැකගන්නට තිබේ.
Spituk, Namgyal, Hemis, Lamayuru, Likir ආදී බෞද්ධ විහාරාරාම රැසක්ද ලදාක්හිදී නැරඹීමට ඇති අතර එයින් ඇතැම් ඒවා කදුමුදුන් සහ ගිරිදුර්ග මත අපිට සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ගෘහනිර්මාණ ආකෘති අනුව නිමවා තිබේ.
ලදාක් තොරතුරු
ඉන්දීය ජම්මු කාශ්මීර ප්රාන්ථයට අයත් ලේහ්/ලදාක් සහ කාර්ගිල් පලාත් 2011 සංගණන වාර්තා අනුව වර්ග කිලෝමීටර 59,146 ක් වසා පැතිර ඇති කදු පද්ධති වලින් සමන්විත වන අතර සමස්ථ ජනගහනය 274,289 ක් පමණි. කඳුමුදුන් මත ග්ලැසියර දියවී පහලට ඇදෙන ජලධාරා ආශ්‍රිතව මිනිසුන් කුඩා ප්‍රමාණයක් කටුක ලෙස ජිවත් වුවත් මෙම ලදාක් පලාත තුල සංචරනයට මිස ජීවත් වීම පිණිස මිනිසාට සුවදායි පරිසරයක් නම් නොපවතී.
2014 වර්ශයේදී අප ශ්‍රීනගර් සිට ලදාක් වෙත බස් රියේ ගමන් කරන අවස්ථාවේ ලදාක් ආසන්න ගමක කුඩා පාසැලක උගන්වන ගුරු මහතෙක් හමුවිය. ඔහු උගන්වන පාසලේ සිට කිලොමීටර 350කට එහා නගරයක් වූ කාශ්මීර ශ්‍රී නගර් වැසියෙකි. ශීත කාලයේදී ඔහුට පාසැල් නවාතැනේ මාස කිහිපයක්ම නවාතැන් ගැනීමට සිදුවන බවත් නෑයෙකුගේ අසනීපයක් වියෝවක් වුවද දැඩි හිම පතනය හේතුවෙන් සිදුවන මාර්ග අවහිරතා නිසා එයට සහභාගී වීමට නොහැකිවන බවත් ඔහු සැහැල්ලුවෙන් පැවසීය.
ලදාක් වෙත ළගාවීම
ලදාක් පලාතේ බොහෝ ස්ථාන මුහුදු මට්ටමේ සිට මීටර 4000 හෝ ඊට වඩා වැඩි සීමාවේ පිහිටා ඇති අතර මෙම සීමාවන්හිදී වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුය. එම නිසා සාමාන්‍යයෙන් ලෝකයේ කවර පෙදෙසෙක අයකුට වුවද ලදාක් වලට අතුලුවන විට යම් හිස කැක්කුම් ගතියක් ඔක්කාරයක් ඇතිවේ. ඉතා කලාතුරකින් පුද්ගලයෙකුට මෙය දරුණු ලෙස බලපැවැත්වීමේ හැකියාවද ඇත.
ලදාක් වෙත පිවිසීමට මාර්ග දෙකකි. එකක් ජම්මු ශ්‍රී නගර් සිට පිවිසීම වේ. අනික හිමචල් ප්‍රදේශය හරහා මනාලි සිට ලේ ලදාක් පිවිසීමයි. වඩාත් සෙමෙන් කාලය ගනිමින් කන්ද නගින ශ්‍රී නගර් ලේ මාර්ගය සිරුරට පරිසරයේ අඩු ඔක්සිජන් මට්ටම දරාගැනීමට කාලයට ඉඩ දෙන යෝග්‍යතම මාර්ගය වේ. අප ලදාක් තරණය කිරීමට යොදාගත්තේ එම ශ්‍රී නගර් සිට වූ මාර්ගයයි. දිල්ලියේ සිට ජම්මු දක්වා දුම්රියේ පැමිණ එතැන් සිට නැවත ශ්‍රී නගර් වෙත අප ලගා වුනෙමු. සරලව පැවසුවද දිල්ලි සිට ශ්‍රී නගර් ලගාවීමටම අපිට දවසකට වඩා ගතවිය.
පසුව දින කිහිපයක් ශ්‍රී නගර් සිරි නරඹා ලදාක් වෙත ගමන් කිරීමේදී ලදාක් අගනුවර වන ලේහ් වෙත ශ්‍රී නගර් සිට පිවිසීමට පමණක් අපිට දින දෙකක කාලයක් ගත විය. සාමාන්‍යයෙන් යන බස් රිය පවා අතරමග කාර්ගිල් හි නවත්වා මගී ජනතාව නවාතැනක රැය පහන්කොට ඊලග දිනයේ පාන්දරම ගමන නැවත පටන් ගනී. ශ්‍රී නගර් සිට ලේ දක්වා දුර කිලෝමීටර 415කි.
අපි නැවත දිල්ලියට පැමිණියේ ලදාක් වලට හිමාචල් ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේය. කිලෝමීටර 490ක් වූ එම ගමනේදී වඩාත් උස ස්ථානයක් වූ Taglang la (5328m) දුර්ගය හමුවේ. ශ්‍රී නගර් සිට ලේ ලදාක් මාර්ගයට වඩා කටුක මගක් වන මනාලි දක්වා වූ මාර්ගයේදී එක් අවස්ථාවකදී කුඩා හිම බිදිති සහිත හදිසි කුණාටු වර්ශාවකටද අපිට මුහුනදෙන්නට සිදු විය. එම මාර්ගයේදීද එක් අතරමැද ස්ථානයකදී රැය පහන් කල යුතුය.
මේ මාර්ග දෙකේම ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම විවෘත වන්නේ ජුනි සිට සැප්තැම්බර් දක්වා මාස 5-6ක කාලයකට පමණි..ඉතිරි කාලයේ මේ මාර්ග දෙකම හිමෙන් වැසී යයි. කෙලින්ම ගුවනින් ලේ ගුවන් තොටින් ලදාක් වෙත පිවිසිය හැකිය. නමුත් එහිදී අඩු ඔක්සිජන් මට්ටමට හුරු වීමට දවසක් වත් කල් ගත කලයුතුය.
අපගේ කාශ්මීර සහ ලදාක් ගමන නිමවී කලක් ගත වුවද ඇතැම් මිතුරන්ට පවා හිමාලයේ බටහිර මායිමේ ඉන්දීය ලදාක් වෙත අපහසුවෙන් ලගා වී ආවේ මන්දැයි වටහාදීමට අපහසුය. කාශ්මීරය සහ ලදාක් ආදී ප්‍රදේශ ඒවාට ආවේනික චමත්කාරජනක සොබා සෞන්දර්යෙන් මෙන්ම ජන ජීවන රටාවන්ගෙන්ද යුක්තය. අපිට ඒවායේ සිරිය වදන් වලින්වත් ලබාගත් අත්දැකීම වීඩියෝ වලින්වත් තවත් අයෙකුට සම්පූර්ණයෙන්ම විස්තර කරදීම අපහසු කාර්යයකි.
ඉන්දියානු සහ නොයෙක් සංස්කෘතින් ගේ කෑම බීම, ත්‍රාසජනක ගමන්, අරුම පුදුම නවාතැන් පොලවල්, හමු වූ මිනිසුන් ලබාගත් ජීවන අත්දැකීම් ආදී බොහෝ කාරණා නිසා කාශ්මීර ලදාක් ගමන වනාහී ජීවිතයට එක් වූ සොදුරු මතකසටහන් අහුරක්ම විය.