ඉරාන ජනාධිපතිවරණයෙන් හසන් රවුහානි ජයග්‍රහණය කිරීම එරට ප්‍රතිසංස්කරණවාදීන් ලැබූ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි.
මැයි මස 19 වනදා පවත්වන ලද ජනාධිපතිවරණයේදී ඔහු සියයට 57 ක් ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කළා. ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ ඊබ්‍රහීම් රයිසි ලබාගත්තේ සියයට 38 ක් පමණ ඡන්ද ප්‍රමාණයක් පමණයි.
රයිසි දැඩි මතධාරියකු ලෙස සැළකුණ අතර එහෙයින් රවුහානිගේ මෙම ජයග්‍රහණය ප්‍රතිසංස්කරණවාදීන් ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.
ජනාධිපතිවරණයට සුදුසුකම් ලැබීම
ඉරානයේ ජනාධිපතිවරණය සෑම වසර හතරකටම වරක් පැවැත්වෙනවා. මැතිවරණයට පෙර ඒ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් සිය නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා භාරකාර කවුන්සිලයට (Guardian Council) යොමු කළ යුතුයි.
මේ අය අතුරින් කවුන්සිලය විසින් අනුමත කෙරෙන අපේක්ෂකයන් නම් කෙරෙන අතර ඉන්පසු මැතිවරණ ව්‍යාපාරය ඇරඹෙනවා.
වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ඉරාන පුරවැසියකුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඉල්ලුම් කළ හැකියි. එයින් කිහිප දෙනෙකුට පමණක් සාමාන්‍යයෙන් අනුමැතිය හිමි වෙනවා.
මෙවර 1,636 දෙනෙකු මෙසේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වීමට ඉල්ලුම් කළා. ඉන් ඇතමෙක් ඉල්ලීම් කළේ එය ප්‍රතික්ෂේප වන බව දැන දැනමයි. ඔවුනගේ අරමුණු වූයේ සිය දේශපාලන ව්‍යාපාරයන්ට යම් ප්‍රචාරයක් එමගින් ලබා ගැනීම ආදී කරුණුයි.
මෙම ඉල්ලීම් කළ අය අතර කාන්තාවන් ද 137 දෙනෙකු වුණා. මෙය වාර්තාගත සංඛ්‍යාවක්. කෙසේ වෙතත් එයින් එක් අයකුටවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවසරය ලැබුණේ නැහැ. ඉරානයේ මේ දක්වා කාන්තාවක ඒ වරප්‍රසාදය දිනාගෙන නැති නමුත් කාන්තාවන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තහනම් කෙරෙන ආකාරයේ නීතියක් ද දකින්න ලැබෙන්නේ නැහැ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ අය අතර හිටපු ජනාධිපති මහමුද් අහ්මදිනජාද් ප්‍රමුඛයි.
2017 ජනාධිපතිවරණ අපේක්ෂකයෝ
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අනුමැතිය ලැබෙන අපේක්ෂකයන් සය දෙනාගේ නම් 2017 අප්‍රේල් 20 වනදා ප්‍රකාශයට පත් කෙරුණා. මේ අනුව, ජනාධිපති රවුහානි සහ ඊබ්‍රහීම් රයිසි යන දෙදෙනාට අමතරව තවත් සිව් දෙනෙකුගේ නම් අපේක්ෂකයන් ලෙස පිළිගැනුණා. එනම් එශාක් ජහන්ගිරි, මොස්ටාෆා හෂෙමිතාබා, මොස්ටාෆා මීර් – සලීම් සහ මුහමද් බැගර් ගලිබෆ් යන සිව් දෙනායි.
මෙයින් ජහන්ගිරි සහ ගලිබෆ් යන දෙදෙනාම මැතිවරණයට දින කිහිපයක් තිබියදී ඉන් ඉවත් වුණා. ඒ අනුව ජනාධිපතිවරණය සිව් දෙනෙකු අතර තරගයක් බවට පත් වූ නමුත් නියම තරගය තිබුණේ රවුහානි සහ රයිසි අතරයි.
හසන් රවුහානි 2013 සිට ඉරාන ජනාධිපති ලෙස කටයුතු කරන අතර සිය තරුණ කාලයේදී ඉරාන විප්ලවයට ක්‍රියාකාරීව දායකත්වය දැක්වූවෙක්. කෙසේ නමුත් පසු කාලීනව මධ්‍යස්ථ මතධාරියකු ලෙස ඔහු ප්‍රකට වුණා. 2013 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු ඔහු බටහිර රටවල් සමඟ සබඳතා වැඩිදියුණු කරගත්තා. එමෙන් ම ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහනට අදාල එකඟතාවයකට පැමිණ එමගින් ජාත්‍යන්තරව ඉරානය මත පැනවී තිබූ සම්බාධක ඉවත් කර ගැනීමට ද රවුහානි සමත් වුණා.
ඉරානයේ ප්‍රතිසංස්කරණවාදී කඳවුරේ සිටින ප්‍රබලම නායකයා ලෙස රවුහානි සැලකීමට හැකියාව තිබෙනවා. ඔහු නියෝජනය කරන්නේ ‘මධ්‍යස්ථතාව සහ සංවර්ධනය’ නම් දේශපාලන පක්ෂයයි.
රවුහානිගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඊබ්‍රහීම් රයිසි නියෝජනය කරන්නේ සටන්කාමී ආගමික පූජක පක්ෂය යි. ඔහු අස්ථාන් කුද්ස් රසාවි පදනමේ භාරකරු වන අතර ඉරානයේ නියෝජ්‍ය අගවිනිසුරු ලෙස 2004 – 2014 සමයේත්, නීතිපති ලෙස 2014 – 2016 සමයේත් කටයුතු කළා.
රවුහානිගේ උප ජනාධිපති වූ ජහන්ගිරි 1984 සිට විවිධ දේශපාලන නිලතල දරා තිබෙනවා. 1984 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1992 දී ඉස්ෆහාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වුණා. 1997 – 2005 සමය තුළ ඔහු ඉරානයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළා. මැයි 16 වනදා රවුහානිට සහය දක්වමින් ඔහු මැතිවරණ සටනින් ඉවත් වුණා. ඔහුගේ ඉදිරිපත් වීම මුල පටන් ම රවුහානිට අමතර සහයක් ලබාදීම සඳහා සිදු කරන ලද්දක් බව පෙනෙන්නටම තිබුණා.
මොහොමඩ් බැගර් ගලිබෆ් තවමත් 55 වන වියේ පසු වන සාපේක්ෂව තරුණ අපේක්ෂකයෙක් වූ අතර මින් පෙර දෙවතාවක් ඔහු ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත්ව තිබෙනවා. 2005 දී සිව් වන ස්ථානය දිනාගත් ඔහු 2013 දී හසන් රවුහානි පළමු වරට ජනාධිපතිවරණය ජයගත් අවස්ථාවේ දෙවන ස්ථානයට පත් වුණා. 2000 – 2005 සමයේ ඉරාන පොලිස් ප්‍රධානියා වූ ඔහු 2005 සිට ටෙහෙරාන් අගනුවර නගරාධිපති ලෙස කටයුතු කරනවා. මෙවර ජනාධිපතිවරණයේදී ජනමත සමීක්ෂණ අනුව පැහැදිලි වූයේ ඔහු තුන්වන ස්ථානය ගැනීමට ඉඩ ඇති බවයි. ඒ හේතුවෙන්, රයිසිට ජයග්‍රහණය ලබා ගැනීමට අවස්ථාවක් දෙමින් ඔහු මැයි 15 වනදා ජනපති සටනෙන් ඉවත් වුණේ රයිසිට සිය සහය පළ කරමින්. මැයි 16 වනදා පැවති රයිසිගේ රැළියකට ගලිබෆ් සහභාගී වූයේ සිය සහය ඔහුට ප්‍රසිද්ධියේම පළ කරමින්.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අනෙක් අපේක්ෂකයන් දෙදෙනා ජයග්‍රහණය කරනු ඇතැයි විශාල බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ දෙදෙනාගෙන් ද හෂෙමිතාබා සිය සහය රවුහානි වෙත පළ කළා. නමුත් ඔහු ජනාධිපති සටනින් ඉවත් වුණේ නැහැ.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු මැයි 17 වනදා අවසන් වුණා. ඒ වනවිට නිකුත් ව තිබූ සමීක්ෂණ වාර්තා සඳහන් කළේ හසන් රවුහානි නැවතත් ජයග්‍රහණය කරනු ඇති බවයි.
මැතිවරණ ප්‍රතිඵල
ඉරාන ඡන්ද දායකයන් අතුරින් සියයට 73 කට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කළා. එමෙන්ම ඡන්ද පොළවල් වසා දැමීමට නියමිත වූ වේලාවට වඩා පැය පහමාරක් ඒවා විවෘතව තැබීමට ද බලධාරීන් කටයුතු කළා. සමස්ථයක් ලෙස මිලියන 41.22 ක පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද පොළවල් කරා පැමිණ තිබුණා.
රවුහානි ඡන්ද 23,549,616 ක් (57.13%) ලබා ගනිද්දී රයිසි ලබාගත්තේ ඡන්ද 15,786,449 ක් (38.30%) පමණයි. අනෙක් අපේක්ෂකයන් දෙදෙනාම ඡන්ද 500,000 සීමාවට පැමිණියේ ද නැහැ.
මෙම ප්‍රතිඵලවලින් පැහැදිලි වුණේ ඉරාන ජනයා ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වන බවයි. එරට තරුණ ජනතාව අතර ඒ පිළිබඳ විශාල අභිලාෂයක් තිබෙනවා. 2011 ජන සංඝණනය අනුව ඉරානයේ ජනගහනයෙන් සියයට 31.53 ක් අවුරුදු 15-29 කාණ්ඩයට අයත් වුණා. දැන් මේ අය අවුරුදු 21-35 අතර පිරිස වනවා. ඔවුන් ඉරාන ඉස්ලාමික විප්ලවයෙන් පසුව උපන් අය වන අතර ඔවුන් අතර ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වනවා. එමෙන්ම මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද යම් පණිවිඩයක් දී තිබෙනවා. එනම් ඉරාන ජනතාව න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳ ඇතිකරගත් ගිවිසුමට සහාය දෙන බවයි. ට්‍රම්ප් එයට එරෙහිව කිහිප විටෙක ම අදහස් දක්වා තිබෙනවා.
මේ අනුව මීළඟ වසර හතර ද ප්‍රතිසංස්කරණවාදී රජයක් ඉරානය පාලනය කරනු ඇති.
මූලාශ්‍ර
- Hassan Rouhani wins Iran’s presidential election, Al Jazeera
- Iran: Hassan Rouhani wins landslide in huge victory for reformists, The Guardian
Cover Image: ඉරාන ජනාධිපති හසන් රවුහානි (Reuters)