අන්තර්ජාතිකව පිළිගත් වාර ප්‍රකාශනයක් වන ෆෝර්බ්ස් සඟරාව 2010 හැරුණු විට 2006 සිට 2016 දක්වා අනෙක් සෑම වසරකම ලොව බලවත්ම කාන්තාව ලෙස ප්‍රකාශයට පත් කළේ ජර්මනියේ චාන්සලර්වරිය හෙවත් රාජ්‍ය නායිකාව වන ඇන්ගෙලා මර්කල්වයි. 2005 සිට එම තනතුර දරන ඇය මෙම වසරේ පැවැත්වෙන මැතිවරණයට ද ඉදිරිපත් වීමට නියමිත යි.
මීට මාස කිහිපයකට පෙර මර්කල්, 2017 මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කරන අවස්ථාවේ ඇය සිටියේ සිය දේශපාලන ජීවිතයේ නරකම කාලයක් ගෙවමින්. ඇය ප්‍රශ්න කිහිපයකට කොටුවී සිටි අතර ඇගේ ජනප්‍රියත්වය ද සැළකිය යුතු මට්ටමකින් අඩුවී තිබුණා. ජර්මනියට පැමිණෙමින් සිටි සරණාගතයන් කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ඇතැම් ඡන්ද දායකයන් ඇගේ පක්ෂයෙන් ඉවත් ව අන්ත දක්ෂිණාංශික “ජර්මනිය සඳහා විකල්පය” (Alternative für Deutschland – AfD) පක්ෂය දෙසට නැඹුරු වෙමින් තිබුණා. එමෙන්ම, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය සහ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීම ද පැවති අස්ථාවරත්වය කෙරෙහි බලපෑවා.
මේ අතර මෙම වසර මුලදී ජර්මනියේ ප්‍රධාන විපක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPD) සිය චාන්සලර් ධූර අපේක්ෂකයා ලෙස මාර්ටින් ෂුල්ට්ස් නම් කළා. ෂුල්ට්ස් යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති වශයෙන් කටයුතු කළ අයෙකු වුණත් ජාතික දේශපාලනයට අමුත්තෙක්. ඔහුගේ ආගමනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට සමත් වුණා.
සරණාගත ප්‍රශ්නය මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව (Christian Democratic Union – CDU) සහ බැවේරියාවේ ක්‍රිස්තියානි සමාජ එකමුතුව (Christian Social Union) අතර ද මතභේද ඇති කරන්නට සමත් වී තිබුණා. පෙබරවාරියේදී මෙම පක්ෂ දෙක අතර වූ රැස්වීමකට පසු ඇන්ගෙලා මර්කල්ගෙන් දිස් වූයේ විඩාබර බවක්. 2017 සැප්තැම්බර් 24 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේදී මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව ජයගනු ඇතැයි වැඩි දෙනෙක් එම අවස්ථාවේදී විශ්වාස කළේ නැහැ.
අනපේක්ෂිත මැතිවරණ ජය
නමුත් මාර්තු මාසයේ සාර්ලන්ත ප්‍රාන්ත මැතිවරණයෙන් CDU පක්ෂය ජයග්‍රහණය කිරීම මර්කල්ට නව බලාපොරොත්තුවක් එකතු කිරීමට සමත් වුණා. CDU පක්ෂය ආසන 51 න් 24 ක් දිනාගනිද්දී සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂය දිනාගත්තේ ආසන 17 ක් පමණයි.
මේ අතර AfD පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද දේශපාලන කරළියට නිරාවරණය වුණා. එය එම පක්ෂයට කිසි ලෙසකින්වත් වාසිදායක වුණේ නැහැ. එක්තරා අවස්ථාවක රටේ ඡන්ද ප්‍රමාණයෙන් සියයට දහයකට වඩා කිසිදු අපහසුවකින් තොරව ගනු ඇතැයි බලාපොරොත්තු වූ එම පක්ෂය සාර්ලන්ත මැතිවරණයේදී ලබාගත්තේ සියයට 6.2 ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. කෙසේ වෙතත් සාර්ලන්ත ප්‍රාන්තය කුඩා ප්‍රාන්තයක් බැවින් රටේ සමස්ථ ජනතා නැඹුරුව එමගින් පමණක් තීරණය කිරීම නිවැරදි යයි කියන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. එම ප්‍රතිඵලයෙන් හෙළි වූ එකම කරුණ නම් ඇන්ගෙලා මර්කල් තවමත් ප්‍රබල දේශපාලන චරිතයක් වන බවයි.
මෙම කරුණ තවත් ප්‍රකට වූයේ මැයි මාසයේ පැවති ප්‍රාන්ත මැතිවරණ දෙකකින්. මැයි 7 වනදා ෂ්ලස්විග්-හොල්ස්ටයින් මැතිවරණයේදී ආසන 73 කින් 25 ක් ලබාගත් CDU පක්ෂය පළමු ස්ථානයට පත් වුණා.
නමුත් වඩාත් ම වැදගත් මැතිවරණය වූයේ මැයි 14 වනදා පවත්වන ලද උතුරු රයින් – වෙස්ට්ෆාලියා ප්‍රාන්ත මැතිවරණයයි. ජර්මනියේ විශාලම ප්‍රාන්තය වන මෙහි ප්‍රාන්ත සභාවේ ආසන සංඛ්‍යාව 199 ක් වෙනවා. එමෙන්ම මාර්ටින් ෂුල්ට්ස් ද මෙම ප්‍රාන්තයේ වැසියෙක්. මෙවර සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් එහි මැතිවරණය ජයගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ නමුත් CDU පක්ෂය එහිදී ද පළමු ස්ථානයට පත් වුණා. ඔවුන් ආසන 72 ක් දිනාගනිද්දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ආසන 69 ක් පමණක් දිනා ගැනීමට සමත් වුණා. මේ අතර AfD පක්ෂය ද ආසන 16 ක් පමණක් දිනාගත් අතර ඔවුනට ලැබුණේ සියයට 8 කට අඩු ඡන්ද ප්‍රතිශතයක්.
“නවකයකුගේ වැරදි”
පොලිටිකෝ වෙබ් අඩවියට අදහස් දැක්වූ “ප්‍රබල SPD ක්‍රියාකාරිකයකු” මෙම උතුරු රයින් – වෙස්ට්ෆාලියා පරාජයට හේතුව ලෙස දක්වා තිබුණේ මාර්ටින් ෂුල්ට්ස්ගේ වරදයි. ඔහු මෙම ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ නොවී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පරාජය අර්ථ දැක්වීමට එම ක්‍රියාකාරිකයා කටයුතු කර තිබුණා.
හිටපු ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය වූ හැනලෝර් ක්‍රාෆ්ට් ජාතික දේශපාලනයෙන් හැකි තරම් වියුක්තව ප්‍රාන්ත මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ අතර ෂුල්ට්ස් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීම කෙරෙහි ඇය එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් එම අකැමැත්ත නොසළකා ඔහු ඊට සම්බන්ධ විය යුතු වූ බව ඇතැම් පක්ෂ ක්‍රියාකාරිකයන් කියා සිටිනවා.
පැහැදිලි විකල්පයක් වීම
මෙම වසර මුලදී පළ වූ සමීක්ෂණ අනුව CDU පක්ෂය සහ SPD පක්ෂය ජනප්‍රියත්වයෙන් කරට කර සිටි නමුත් වර්තමාන තත්ත්වය SPD පක්ෂයට අවාසි සහගත බව පෙනී යනවා. SPD පක්ෂයේ ජනප්‍රසාදය සියයට 25 ක් පමණ වන විට CDU පක්ෂය සියයට 35 ක පමණ ජනප්‍රියත්වයක් ළඟා කරගෙන සිටිනවා.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දැන් තිබෙන ප්‍රධානම අභියෝගයක් වන්නේ මර්කල්ට වඩා වෙනස් වූ විකල්පයක් ඉදිරිපත් කිරීමයි. මර්කල් බලයෙන් නෙරපීම සඳහා ජනතාව පෙළඹවීමට නම් එවන් විකල්පයක් ඉදිරිපත් විය යුතුමයි.
ආරක්ෂක වියදම් අඩු කිරීම, රාජ්‍ය ආයෝජන වැඩි කිරීම, අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික ජනයාට බදු සහන ලබාදීම, විරැකියා දීමනාව ඉහළ දැමීම, අසල්වැසි රටවල් සමඟ සබඳතා තර කිරීම, යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ සාකච්ඡාවලදී බ්‍රිතාන්‍යය කෙරෙහි දැඩි ස්ථාවරයක සිටීම ආදිය ෂුල්ට්ස් ඉදිරිපත් කළ යෝජනා වුණා. නමුත් එයින් ප්‍රධාන පක්ෂ දෙක අතර ප්‍රකට වෙනසක් පෙන්නුම් කෙරුණේ නැහැ.
මේ අතර ජූනි මාසයේදී SPD ලේකම්වරයා කියා සිටියේ තම රජයක් යටතේ සමරිසි විවාහ නීතිගත කිරීමට අවස්ථාව දෙන බවයි. ඇන්ගෙලා මර්කල් ද 2017 මහ මැතිවරණයෙන් පසු ජර්මන් පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ ඡන්දයක් පැවැත්වීමට සූදානමින් සිටිය නමුත් SPD පක්ෂය එය සිය සටන් පාඨයක් කරගත් විට ඇය එම ක්‍රියාවලිය ඉක්මන් කළා. තම පක්ෂයේ මන්ත්‍රීන්ට එවන් ඡන්දයකදී තම සිතැඟි අනුව ඡන්දය භාවිතා කිරීමට ඉඩ දෙන බව ඇය කියා සිටියා. මේ අතර ජූලි 1 වනදා ඒ සම්බන්ධව පැවති ඡන්ද විමසීමෙන් පසු සමරිසි විවාහ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුණා. මේ අනුව SPD පක්ෂයට තිබුණ ප්‍රධාන සටන් පාඨයක් ඔවුනට අහිමි වුණා.
කවරයේ රූපය : ඇන්ගෙලා මර්කල් (Getty)
මූලාශ්‍ර
- Arne Delfs, Patrick Donahue and Birgit Jennen, Merkel Has the Edge in September’s German Elections, Bloomberg, May 19, 2017
- German Social Democrats try to recapture ‘Schulz effect’, Politico
- State Election Loss Has Merkel Challenger on the Ropes, Der Spiegel