ශ්‍රී ලංකාවේ දශක කිහිපයක් තිස්සේ LTTE ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ අඳුරු යුගයක ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ දේශපාලකයන් කිහිප දෙනෙක් පිළිබඳව සටහනක් ගෙන එන්නටයි අපේ සුදානම.
එම දේශපාලකයන්ගේ ක්‍රියා කලාප පිළිබඳව විවිධ මති මතාන්තර සමාජය තුළ පැවතියත් මෙම ලිපියේ අරමුණ වන්නේ ඔවුන්ගේ නිවැරදි හෝ වැරදි දේශපාලන මුහුණත විග්‍රහ කිරීම නොවේ. ඔවුන්ගේ ජිවන චරිතයත්, LTTE ගොදුරු බවට පත්වීමට අදාළ සිදුවීම් හා ඊට පාදක වූ හේතූන් පිළිබඳව පාඨක ඔබ දැනුවත් කිරීමයි.
කාර් බෝම්බයකට ගොදුරු වූ රන්ජන් විජේරත්න අමාත්‍යවරයා
LTTE සංවිධානය විසින් ඝාතනය කළ ඉහළ බලතල සහිත ප්‍රථම අමාත්‍යවරයා වන්නේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නයි. වර්ෂ 1931 අප්‍රේල් හතර වනදා මෙලොව එළිය දකින ඔහු ගුරුතලාව හා ගල්කිස්‌ස ශාන්ත තෝමස් විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය ලබනවා. පසුව කඳපොල හයිපොරන්ට් වතුයායේ සහකාර වතු අධිකාරිවරයකු වශයෙන් සිය වැවිලි කර්මාන්ත ජීවිතය ආරම්භ කරනවා.
1971 ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලද කැරැල්ල මැඩ පවත්වන්නට බණ්ඩාරනායක මැතිණියට සහය දෙමින් දේශපාලනය පිවිසෙන මොහු 1977 එක්‌සත් ජාතික පක්‍ෂ රජයේ කෘෂිකර්මාන්ත අමාත්‍යංශ ලේකම් වශයෙන් පත් වී පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට මුල් වෙනවා. 80 දශකයේ අග භාගයේදී එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලෙස පත්වෙනවා.
ප්‍රේමදාස ජනපති සමයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල ඉතා කෘෘර ලෙස මර්ධනය කිරීමට සක්‍රියව සහභාගී වෙනවා. තවද ජනතා විමුක්ති පෙරමුණ සමඟ යටින් ගනුදෙනු නොකළ නායකයෙක් ලෙසයි මොහුව හඳුන්වනු ලබන්නේ.
දකුණේ කැරැල්ල මර්ධනය කළ ආකාරයෙන්ම උතුරේ ප්‍රශ්නයත් විසඳිය යුතු බව ඇමතිවරයාගේ අදහස වුණා. එයට හේතුව වුයේ 1990 වසරේදී LTTE සංවිධානය හා රජය අතර සාම සාකච්ඡා අසාර්ථක වීමයි. මේ අතර ප්‍රභාකරන්ගේ හිස ගෙනවිත් දෙන කෙනෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමන බව රන්ජන් විජේරත්න විසින් ප්‍රකාශ කරනවා. ”දැන් මම මුළු වෙර යොදන්නේ LTTEය පරාජය කිරීමටයි. අපි කොටි සංවිධානය සම්පුර්ණයෙන්ම විනාශ කරලයි පස්ස බලන්නේ..” යැයි එතුමා වරෙක කියා සිටිනවා.
1991 වසර වන විට කොටි සංවිධානය ශක්තිමත්ව සිටි අතර රන්ජන් විජේරත්න අමාත්‍යවරයා කොටි සංවිධානයේ ඉලක්කයක් බව බුද්ධි අංශ විසින් සදහන් කරනවා. ඇමතිවරයා ගමන් කරන්නේ සෑම විටම එකම මාර්ගයේ බැවින් එය විටින් විට වෙනස් කරන ලෙස ආරක්ෂක අංශ විසින් දැනුවත් කරනවා. නමුත් ඒ පිළිබඳව ඔහු එතරම් තැකීමක් කරන්නේ නෑ.
1991 වසරේ මාර්තු දෙවනදා ඔහු රැගත් රථය සුපුරුදු පරිදි ආරක්ෂක නිලධාරීන් සමඟ හැව්ලොක් මාවත දිගේ ඉදිරියට ඇදෙනවා. සියළු තොරතුරු දැන සිටි ත්‍රස්තවාදීන් නවතා තිබූ වාහනයක සවි කර තිබූ බෝම්බය ඇමතිවරයාගේ වාහනය තිඹිරිගස්යාය ප්‍රදේශයට ලං වෙනවාත් සමඟ පුපුරා හරිනවා.
මොහොතකින් ගිනි ජාලාවක් බවට පත් වූ විජේරත්න අමාත්‍යවරයාගේ වාහනයේ ගමන් කළ ආරක්ෂක නිලධාරීන් හතක් හා අවට සිටි සිවිල් වැසියන් 24 දෙනෙකු මරණයට පත් වෙනවා. රන්ජන් විජේරත්නගේ සිරුර දැඩි ලෙස පිළිස්සී හැඳින ගැනීමට අපහසු වූ අතර ඥාතීන් විසින් ඔහුව හඳුනා ගන්නේ අතේ පැළඳ සිටි මුදුවෙන්.
මෙම ඝාතනයේ වගකීම LTTE සංවිධානය විසින් භාරගන්නා අතර 1990 සාම ක්‍රියාවලිය අතරවාරයේ රන්ජන් විජේරත්න අමාත්‍යවරයා විසින් ඔවුන්ගේ ත්‍රස්ත නායකයා වූ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඝාතනයට උත්සාහ කළ බවයි ඝාතනයට ප්‍රධාන හේතුව ලෙස දක්වා සිටින්නේ.
මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක් වූ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක
1994 වසරේ ඔක්තෝම්බර් 23 වනදා රාත්‍රියේ කොළඹ තොටළඟ ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ ජනාධිපති මැතිවරණ ප්‍රචාරක රැලියකදී ශ්‍රී ලංකාවේ හතරවැනි විධායක ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ ගාමිණී දිසානායක LTTE මරාගෙන මැරෙන බෝම්බයකට හසු වී ඝාතනයට ලක් වෙනවා.
ඒ සමඟම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් වන ගාමිණී විජේසේකර, වීරසිංහ මල්ලිමාරච්චි, ජි.එම් ප්‍රේමචන්ද්‍ර හා ශ්‍රී ලංකා මහජන පක්ෂ ක්‍රියාකාරියෙකු වූ ඔසී අබේසේකර ඇතුළු පනහකට ආසන්න පිරිසක් මරණයට පත් වෙනවා.
1942 වසරේ මාර්තු 20 වැනි දින කොත්මලේ උපදින ගාමිණී දිසානායක අධ්‍යාපනය ලබන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්. 1970 මහමැතිවරණයෙන් නුවර එළිය ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙන මෙතුමා පසුව ජේ.ආර් ආණ්ඩු සමයේ වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග පිළිබඳව ඇමතිවරයා ලෙස කටයුතු කරනවා.
පසුව එම රජයේම මහවැලි අමාත්‍ය ධුරයට පත්වෙන ගාමිණි දිසානායක මහවැලිය කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කැපවී කටයුතු කළ අයෙක් ලෙස හඳුනාගන්නට පුළුවන්. ජේ.ආර්. ජයවර්ධන සමයේ අත්සන් තැබූ ඉන්දු ලංකා ගිවිසුමට ඇතුලත්මුදලි හා ප්‍රේමදාස වැනි අමාත්‍යවරුන් බලවත් විරෝධය එල්ලකළ අතර ගාමිණී දිසානායක ජේ.ආර් මෙන්ම ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂව කටයුතු කර ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තයෙක් ලෙස නමක් දිනා ගන්නවා.
තවද ජනාධිපති ප්‍රේමදාස සමයේ ඇති වූ ජනතා විමුක්ති පෙරමුණ දෙවන කැරැල්ල ආණ්ඩුව විසින් මර්ධනය කළ ආකාරය ප්‍රසිද්ධියේ විවේචනය කළ මෙතුමා වරෙක “මිනී මැරුම් සංකල්පයට මම තරයේ විරුද්ධයි”යැයි ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කරනවා.
ජනාධිපති ප්‍රේමදාස සමයේ පක්ෂයේ වූ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් 1990 වසරේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගාමිණී දිසානායකට අමාත්‍ය ධුරයක් හිමි වෙන්නේ නෑ. ඒ අතර ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවන අතර එහිදී ඔහුට 1989 වසරේ මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස් පැහැරගෙන යාමේ චෝදනාව හා ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට මහවැලියේ මුදල් ලබා දුන් බවට චෝදනා එල්ල වෙනවා. නමුත් ලංකාවට පැමිණි පසු ඔහු රැල්ෆ් බුල්ජන්ස් නඩුවෙන් හා මොසාඩ් කොමිසමෙන් එල්ල වූ චෝදනා වලින් නිදහස් වෙනවා.
පසුව ලලිත් ඇතුලත්මුදලි හා එක්ව ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන නමුත් එය පරාජයට පත් වෙනවා. ඒ හේතුවෙන් එක්සත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවා ගන්නට ලලිත් ඇතුලත්මුදලි හා එකතු වෙනවා. පසුව ජනාධිපති ප්‍රේමදාස මියගිය පසුව ජනාධිපති බවට පත්වූ ඩී. බී. විජේතුංගගේ ආරාධනාව මත නැවතත් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙනවා.
ගාමිණී දිසානායක කොටි ඉලක්කය බවට පත් වීමට බලපෑ ප්‍රධාන කරුණ ලෙස මහවැලි ව්‍යාපාරය යටතේ “එල්” කලාපය නමින් වැලිඔය ප්‍රදේශය ජනපදයක් කිරීමට අවශ්‍ය පහසුකම් හා ආරක්ෂාව නිර්මාණය කිරීම හඳුන්වා දිය හැකියි. ඒ වන විට වැලිඔය ප්‍රදේශය කොටි සංවිධානයට උපායමාර්ගික ලෙස වැදගත් වූ ප්‍රදේශයක් විය. ඔහු බලයට පැමිණියොත් ඉන්දු ලංකා ගිවිසුමට අනුව තමන්ට නැවතත් භූමිය අහිමිවේයැයි යන බියද කොටි සංවිධානය තුළ පැවති බව සඳහන් වෙනවා.
මෙම ඝාතන වලින් නොනැවතුණු කොටි ත්‍රස්තවාදී සංවිධානය මෙරට දේශපාලඥයෝ මරා දැමීම සඳහා ඝාතන රැල්ලක් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව තවත් තොරතුරු ඊළඟ ලිපියෙන් ගෙන එන්නට අපි සුදානමින් සිටිනවා.
කවරයේ ජායාරූපය – Daily News
මුලාශ්‍ර – බෙදුණු යුගයේ මතක – මලික් චමින්ද ISBN 978-955-552-121-5
සමර අමර 6 – අමර හේවාමද්දුම ISBN 978-955-671-362-6