Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධි දාමය දිග හැරුණු හැටි

පාස්කු ඉරිදා උදෑසන (අප්‍රේල් 21) ශ්‍රී ලාංකිකයන්ට අත් විඳින්නට සිදු වූයේ ඛේදජනක සිද්ධි මාලාවකට යි. එදින දවස පුරාම අසන්නට ලැබුණ විවිධ පුවත් ඇතැම් විට අදහාගත නොහැකියි.

මේ සිද්ධි දාමය දිග හැරුණ ආකාරය පිළිබඳ ව අප සැකසූ විස්තර වාර්තාව යි මේ.

උදෑසන 8.00 – 8.45

කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ එකම අවස්ථාවේ පුපුරා ගිය බෝම්බ හයක් පිළිබඳ වාර්තා වුණා. කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය​, කටාන සාන්ත සෙබස්තියන් දේවස්ථානය, සහ මඩකලපුවේ සයන් එවැන්ජෙලිකල් දේවස්ථානය මෙසේ ඉලක්ක වී තිබුණා. ඊට අමතරව කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රි ලා, සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ද ඉලක්ක වී තිබුණා.

කටාන සාන්ත සෙබස්තියන් දේවස්ථානය ප්‍රහාරයට පසු (AP)

ප්‍රහාර එල්ල වන අවස්ථාවේ දී දේවස්ථානවල බැතිමතුන් පාස්කු ඉරිදා දේව මෙහෙයන් සඳහා සහභාගීව සිටි බවයි වාර්තා වුණේ.

උදෑසන 9.00

දේවස්ථානයන්ට එල්ල වූ ප්‍රහාරයන් ශ්‍රී ලංකා පොලිසිය විසින් තහවුරු කෙරුණා. තුවාලකරුවන් සංඛ්‍යාව පිළිබාඳ නිල තොරතුරු ඒ වන විට පැහැදිලි වූයේ නැහැ.

උදෑසන 10.00

කාදිනල් මැල්කම් රන්ජිත් විසින් උදෑසන එල්ල වූ ත්‍රස්ත​ ප්‍රහාරයන් හෙළා දකිනු ලැබුණා. මහජනතාවගෙන් සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටි ඔහු නීතිය අතට නොගන්නා ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

උදෑසන 11.00

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ත්‍රස්ත​ ප්‍රහාරයන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප්‍රකාශ කළා. එමෙන්ම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මේ පිළිබඳව පරීක්ෂණ කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ කටකතාවලට නොරැවටී කටයුතු කරන ලෙස යි.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා අනතුරු ඇඟවීමක් ද නිකුත් කළා.

උදෑසන 11.30

ආරක්ෂක කමිටුවේ විශේෂ රැස්වීමක් අගමැති, ආරක්ෂක ලේකම් ආදීන්ගේ සහභගීත්වයෙන් පවත්වනු ලැබුණා. එයින් පසුව විශේෂ කැබිනට් රැස්වීමක් ද පවත්වනු ලැබුණා.

උදෑසන 11.50

අප්‍රේල් 22 සහ 23 යන දෙදින තුළ සියළුම රජයේ පාසැල් වසා තබන බව අධ්‍යාපන ඇමතිවරයා නිවේදනය කළා.

කටුනායක ගුවන් තොටුපලෙන් ගුවන් ගත වීමට නියමිත මඟීන් අවම වශයෙන් පැය හතරකට පෙර එහි පැමිණෙන ලෙස දන්වනු ලැබුණා. තවද​, අමුත්තන්ට එහි පැමිණීමට අවසර ලබා නොදීමට කටයුතු කෙරුණා.

දහවල් 12.20

අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරමින් සිදු වූ ප්‍රහාරයන් හෙළා දුටුවා. රජය තත්ත්වය පාලනය සඳහා උපරිම පියවර ගන්නා බව ඔහු පෙන්වා දුන්නා.

දහවල් 12.40

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් දොස්තර අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ප්‍රහාරවලින් සිදු වූ මරණ සංඛ්‍යාව 138 දක්වා ඉහළ ගොස් ඇති බව යි. මේ අතර විදේශිකයන් නව දෙනෙකු ද වුණා. තව ද​, 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද ඔහු සඳහන් කළා.

අගරදගුරු නිවස නිවේදනයක් කරමින් සවස් වරුවේ පැවැත්වීමට නියමිත වූ සියළු පාස්කු දේව මෙහෙයන් අවලංගු කළා.

දහවල් 12.45

ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුම ඔස්සේ, අගමැතිවරයා, ඇමතිවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන් අතර වන රැස්වීමක ඡායාරූපයක් පළ කළා. සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටියා.

අගමැති නිලධාරීන් හමුවෙයි (හර්ෂ ද සිල්වා)

දහවල් 12.55

විපක්ෂ නායක​, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්‍රස්ත​ ප්‍රහාරයන් හෙළා දකිමින් සඳහන් කළේ ශුද්ධ වූ දිනයක මෙවැන්නක් සිදු කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් බව යි.

දහවල් 1.00

කතානායක කරු ජයසූරිය මෙම ප්‍රහාරයන් හැඳින්වූයේ බියගුළු ක්‍රියා ලෙස යි. මෙය එක් ජාතියකට හෝ ආගමකට හෝ එරෙහි ප්‍රහාරයක් නොව මිත්‍රත්වයෙන් සහ සහෝදරත්වයෙන් බැඳුණ ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල කළ ප්‍රහාරයක් බව ඔහු කියා සිටියා.

දහවල් 1.15

ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් ඇතැ යි ද, ඉන් 35ක් විදේශිකයන් බව ද පොලිසිය ප්‍රකාශ කළා.

දහවල් 1.30

මියගිය සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගිය බව වාර්තා වුණා. කොළඹ ජාතික රෝහලේ මියගිය 46 දෙනෙකු සහ තුවාල ලද 469ක් ද​, දකුණු කොළඹ ශික්ෂණ (කළුබෝවිල​) රෝහලේ තුවාල ලද 17ක් ද​, මීගමු රෝහලේ මියගිය 74 දෙනකු සහ තුවාල ලද 113ක් ද​, මඩකලපු රෝහලේ මියගිය 27ක් සහ තුවාල ලද 80ක් ද ආදී වශයෙන් මියගිය සහ තුවාල ලද අය වාර්තා වුණා.

දහවල් 1.35

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මාධ්‍ය අමතමින් ව්‍යාජ පුවත් පැතිරවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා.

දහවල් 1.40

පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව අප්‍රේල් 23 වන දා රැස්වන බව කතානායක කාර්යයාලය නිවේදනය කළා.

දහවල් 2.00

ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර් සමාජ ජාල අවහිර කෙරුණ බවට වාර්තා වුණා.

සවස 2.10

දෙහිවල සත්වෝද්‍යානය අසළ කුඩා හෝටලයක පිපිරීමක්. දෙදෙනකු මියගිය බවට වාර්තා වුණා. දෙහිවල සත්වෝද්‍යානය වසා දැමුණා.

සවස 2.30

කොච්චිකඩේ සාන්ත අන්තෝනි පල්ලිය වෙත ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ අයට එරෙහිව දැඩිව කටයුතු කරන බව කියා සිටියා.

සවස 2.35

සවස 6 සිට පසුදා (අප්‍රේල් 22) උදෑසන 6 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව රජය කියා සිටියා.

සවස 2.40

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදු වුණා. තිදෙනකු රෝහල්ගත කෙරුණ බව ද වාර්තා වුණා.

සවස 3.15

කොළඹ ජම්පටා වීදිය හෙවත් කේ. බී. ක්‍රිස්ටි මාවතේ තිබී සැකකටයුතු පර්සලයක් හමු වුණා. පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය එහි පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුණා.

සවස 3.19

පොලිස්පති විසින් රටපුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. මෙය නැවත දැනුම්දෙන තුරු බලාත්මක බවයි පවසන ලද්දේ.

සවස 3.20

කලින් පිපිරීම සිදු වූ දෙමටගොඩ නිවසින්ම තවත් පිපිරීමක් වාර්තා වුණා.

සවස 3.30

පිපිරීම සිදු වූ දෙමටගොඩ ස්ථානයේදී සිව් දෙනකු අත් අඩංගුවට ගන්නා ලදැයි වාර්තා වුණා. මේ අතර එහි පිපිරීමෙන් පොලිසියේ තිදෙනකු මියගියා.

සවස 3.45

දෙමටගොඩ සහ කොටහේන ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

සවස 4.10

ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් පීඩාවට පත් ක්‍රිස්තියානි ප්‍රජාව ඇතුළු සියළු දෙනා වෙත් තම ශෝකය පළ කරන බව සිය පාස්කු දේවමෙහෙය අතරතුර දී ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කළා.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ (AP)

සවස 4.20

ආරක්ෂක අංශ සහ පොලිසිය සඳහා වන සියළු නිවාඩු අවලංගු කරනු ලැබුණා. සියළු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරනු ලබන බව ද නිවේදනය කෙරුණා.

රජයේ විශ්වවිද්‍යාලයයන් වසා තැබෙන බවත්, ඒවායේ විභාග සියල්ල කල් තබන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව කියා සිටියා.

සවස 4.45

ප්‍රහාරයන්ට සම්බන්ධ හත් දෙනකු අත් අඩංගුවට ගන්නා ලද බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ප්‍රකාශ කළා. බොහෝ ප්‍රහාර මරාගෙන මැරෙන ඒවා වූ බවත්, එකම කණ්ඩායමක ක්‍රියාවකැ යි දිස්වන බවත් ඔහු සඳහන් කළා.

සවස 5.00

මියගිය පොලිස් නිලධාරියා සහ කොස්තාපල්වරුන් දෙදෙනා එම අවස්ථාවේ දී සැකකරුවන් අල්ලාගැනීමේ මෙහෙයුම්වලට සහභාගී ව සිටි බව විජේවර්ධන කියා සිටියා.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් එය ජනාධිපතිවරයා සමග 22 වනදා කරන සාකච්ඡාවකින් පසු තීරණය කෙරෙන බවත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළා.

සවස 5.20

දෙමටගොඩ පිපිරීම් සිදු වූයේ පොලිසියට ලැබුණ තොරතුරක් අනුව සැකකරුවන් අල්ලා ගැනීම සඳහා එහි පැමිණි අවස්ථාවේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළා. මෙම අවස්ථාව වන විට ත්‍රස්ත ප්‍රහාරවලින් 207 දෙනකු මියගොස් 450ක් පමණ තුවාල ලබා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

සවස 5.45

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ ආරක්ෂාව සහ පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ නගරයේ පමණක් ත්‍රිවිධ හමුදාවන් හි 1,000ක් දෙනා යොදවා ඇති බව යි.

සවස 5.50

අවම වශයෙන් විදේශිකයන් 27 දෙනකු ප්‍රහාරවලින් මියගොස් ඇති බවත් පස් දෙනෙකු අතුරුදහන්ව ඇති බවත් විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ හෙළි කළා.

රාත්‍රී 7.00

කොළඹට පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ වෑන් රථයක් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ දී අත් අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කළා.

රාත්‍රී 7.10

ප්‍රහාරවලින් විදේශිකයන් 35 දෙනකු මියගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කළා. ඇමරිකා එක්සත් ජනපදය​, ඩෙන්මාර්කය​, චීනය​, ජපානය​, පාකිස්තානය​, මොරොක්කෝව​, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයන් ඒ අතර වුණා.

රාත්‍රී 8.30

දෙමටගොඩ පිපිරීම් වූ නිවසෙන් කාන්තාවකගේ සහ ළමුන් දෙදෙනකුගේ සිරුරු සොයා ගැනුණා.

රාත්‍රී 8.50

රූපවාහිනියෙන් සජීවී ව ජාතිය ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රහාර පිළිබඳ බුද්ධි වාර්තා ලැබුණ බවත්, ඒ පිළිබඳ කටයුතු කෙරී නැති බවත් කියා සිටියා. තමන් සහ ඇමති මණ්ඩලය ඒ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු නොවූ බව ද ඔහු සඳහන් කළා.

ඔහු මේ ප්‍රකාශය කරන්නට ප්‍රධාන හේතුව වූයේ උදෑසන සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ ලිපියක්. එහි පැවති කරුණු අනුව තව්හීද් ජමාත් නම් අන්තවාදී ඉස්ලාමීය සංවිධානය ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි වාර්තා ලැබී තිබුණ බව සඳහන් වුණා. මෙය ව්‍යාජ ලිපියක් බව යි මුලින් විශ්වාස කෙරුණේ. නමුත් ඇමති හරීන් ප්‍රනාන්දු විසින් සවස කළ ප්‍රකාශයක් සමග මේ පිළිබඳ සැකය යළි ඇවිලී තිබුණා.

රාත්‍රී 9.30

සැකකරුවන් විසින් භාවිතා කළේයැ යි කියන නිවෙසක් පානදුර ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියා සිටියා.

රාත්‍රී 9.40

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනය සඳහා විශේෂ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කෙරුණා. සති දෙකකින් එම කමිටු වාර්තාව ලබා දිය යුතුයැ යි ද සඳහන් වුණා.

රාත්‍රී 10.00

අත් අඩංගුවට ගත් පිරිස 13 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන් 10 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

රාත්‍රී 11.15

කටුනායක ගුවන් තොටුපළ අසළ දී බෝම්බයක් සොයාගනු ලැබ එය නිශ්ක්‍රීය කළ බව ගුවන් හමුදාව සනාථ කළා.

අප්‍රේල් 22 වන දා

උදෑසන 8.30

සැක කටයුතු ලෙස හැසිරුණ මාවනැල්ලේ සහ කාතන්කුඩියේ පදිංචිකරුවන් දෙදෙනෙක් දඹුල්ලේ දී අත් අඩංගුවට ගන්නා ලදැ යි වාර්තා වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගිය බව යි.

උදෑසන 9.00

රජයේ රස පරීක්ෂණ වාර්තා අනුව කලින් දා එල්ල වූ ප්‍රහාර හතරක් මරාගෙන මැරෙන ප්‍රහාර වන්නේයැ යි වර්තා වුණා. මේ අතර මාධ්‍ය වාර්තා කළේ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් 24 දෙනකු අත් අඩංගුවට ගත් බව යි.

දහවල් 12.30

එක්සත් ජාතික පක්ෂය සිය මැයි දින රැළිය අවලංගු කළ බව නිවේදනය කළා.

දහවල් 1.00

රාත්‍රී 8 සිට අළුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා බල පවත්වන බව රජය ප්‍රකාශ කළා. මේ අතර රාත්‍රී තැපැල් දුම්රිය ද ගමන් නොකරනු ඇතැ යි වාර්තා වුණා.

මේ අතර වත්තල​, ජ ඇල​, කැළණිය, සහ කිරිබත්ගොඩ ආදී ප්‍රදේශයන් හි නල ජලයට විෂ එක්ව ඇතැ යි වන කටකතා පොලිසිය සහ ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළා.

දහවල් 1.25

මාධ්‍ය හමුවක් අමතමින් ඇමති රිෂාඩ් බදුර්දීන් කියා සිටියේ මෙම ප්‍රහාර යම් කිසි කල්ලියක ක්‍රියාවක් බව යි.

නමුත් ඉන් සුළු මොහොතකට පසුව​, එම මාධ්‍ය හමුවම අමතමින් ඇමති රාජිත සේනාරත්න කියා සිටියේ බුද්ධි තොරතුරු ලැබුණ බවට කලින් පළවූ වාර්තා සත්‍ය බවත්, පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවත්. මේ අනුව ප්‍රහාරය ජාතික​ තව්හීද් ජමාත් සංවිධානය විසින් එල්ල කළේ ය යන චෝදනාව රජය වෙතින් එල්ල වුණා.

සවස 2.15

ෂැංග්‍රිලා හෝටලය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව එහි පාලනාධිකාරිය නිවේදනය කළා.

සවස 2.17

ප්‍රහාරයෙන් දින එකහමාරක් ගතවූ පසු, ජනාධිපතිවරයා විසින් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කළා. ඒ අනුව අප්‍රේල් 23 වන දා ජාතික ශෝක දිනයක් බව නිවේදනය කෙරුණා.

මේ අතර මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශ කරන බව ද නිවේදනය කෙරුණා.

සවස 2.45

පිටකොටුවේ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පලෙහි තිබී ඩෙටනේටර් 87ක් සොයාගන්නා ලද බව පොලිසිය සඳහන් කළා.

සවස 3.30

ෂැංග්‍රිලා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත් නව දෙනෙකු මැයි 6 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

සවස 4.00

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල වූ වාහනයක තිබූ බෝම්බයක් පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය ක්‍රියා කළා.

සවස 5.00

තත්ත්වය පාලනය කිරීමට අදාල අංශයන් වෙත උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට්විටර් පණිවිඩයක් ඔස්සේ කියා සිටියා.

වත්තල එඬේරමුල්ලේ පල්ලියක් අසල නිවෙසක් පරීක්ෂා කළ පොලිසිය පසුව දෙදෙනකු අත් අඩංගුවට ගත්තා.

වැලිසර නවලෝක ක්‍රීඩාංගනය අසල සැක කටයුතු වාහනයක් හේතුවෙන් කොළඹ – මීගමුව මාර්ගය තාවකාලිකව වසා දැමුණා.

සවස 5.40

දෙමටගොඩ පිපිරීම වීඩියෝ කළ තරුණයකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ අංශයට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර දෙනු ලැබුණා.

සවස 6.15

සියළුම කතෝලික පුද්ගලික පාසැල් අප්‍රේල් 29 වන දා නැවත විවෘත කරන බව දැනුම් දුන්නා.

සවස 6.30

ශ්‍රී ලංකාවේ පරීක්ෂණ සඳහා සහාය දීමට තම කණ්ඩායමක් එවන බව ඉන්ටර්පෝල් (ජාත්‍යන්තර පොලිසිය​) නිවේදනය කළා.

අප්‍රේල් 23

මධ්‍යම රාත්‍රිය​

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

උදෑසන 8.30

ප්‍රහාරවලින් මියගිය අය වෙනුවෙන් විනාඩි තුනක නිශ්ශබ්දතාවක් රට පුරා පවත්වනු ලැබුණා.

උදෑසන 9.00

ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පිරිස 310 තෙක් ඉහළ ගිය බව පොලිසිය නිවේදනය කළා.

මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් මියගිය අයගේ අවමංගල්‍යය කටුවාපිටියේ දී පැවැත්වුණා.

උදෑසන 9.30

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව 40 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. ඉන් 26 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ද තිදෙනෙකු ත්‍රස්‍ත විමර්ශන ඒකකය භාරයේ ද වන බව යි ඔහු සඳහන් කළේ.

උදෑසන 11.00

ප්‍රහාර සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා සිරියානු ජාතිකයකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේයැ යි රොයිටර්ස් පුවත් සේවය කියා සිටියා.

සවස 2.00

අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් සිදු කළා. ත්‍රස්ත ප්‍රහාර මනාව සැලසුම් කරන ලද බව සහ ඉතා රහසිගතව කරන ලද බව පෙනෙන්නේයැ යි ඔහු කියා සිටියා. වගකිවයුත්තන් අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරන බව ඔහු සඳහන් කළා. හදිසි නීතිය පනවා ඇත්තේ ද එම කටයුතු සඳහා බව යි ඔහු පෙන්වා දුන්නේ.

සවස 3.00

පුපුරන ද්‍රව්‍ය අඩංගුව වෑන් රථයක් සහ ලොරියක් පිළිබඳ අවධානයෙන් සිටිනා ලෙස පොලිස් මූලස්ථානය සියළු පොලිස් ස්ථාන වෙත දැනුම් දුන් බව සඳහන් කෙරුණා.

මේ අතර ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ මෙම ප්‍රහාර ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට පළි ගැනීමක් ලෙස සිදු කළ බව තොරතුරු ලැබී ඇති බව යි. මෙයට සම්බන්ධ ජාතික තවුෆීක් ජමාත් සංවිධානය නම් සංවිධානයක් සමග ද සබඳතා පවත්වන්නේ යයි ඔහු සඳහන් කළා.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන් 2015 දී භාර දුන්නේ සුරක්ෂිත රටක් බව යි. මෙම රජයට රටේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඔහු කියා සිටියා.

සවස 3.20

ජලයට විෂ එක්ව ඇතැයි ව්‍යාජ පුවත් පැතිරූ බවට සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු මැයි 6 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළේයැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

සවස 4.00

ISIS සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයන් හි වගකීම භාරගත් බව ඔවුනගේ අමක් පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

සවස 5.00

රාත්‍රි 9 සිට අළුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැනුම් දුන්නා.

සවස 6.00

අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය අමතමින් කියා සිටියේ ප්‍රහාරයන් පිටුපස විදෙස් හස්තයක් ඇති බවට සැක කෙරෙන බව යි. එයට සම්බන්ධ ඇතැමුන් විදේශයන් හි සංචාරය කර පැමිණ ඇතැ යි පැහැදිලි බව ද සඳහන් කරනු ලැබුණා. මේ හේතුව නිසා පරීක්ෂණ කටයුතු සඳහා විදෙස් සහය ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියා.

රාත්‍රී 9.00

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් කළා. ඔහු සඳහන් කළේ ඔහුට ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු පිළිබඳ දැනුවත් කිරීමක් නොවූ බව යි.


මෙම ලිපියRoar සිංහල වෙබ් අඩවියේ  2019 වසරේ දී මුලින් ම පළ කෙරිණි.

කවරයේ ඡායාරූපය: කොටහේන සාන්ත අන්තෝනි දේවස්ථානය අසල ආරක්ෂාවට යෙදවූ ආරක්ෂක අංශ - එරංග ජයවර්ධන - AP

Related Articles