Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පසුගිය සියවසක කාලය තුළ කේරළයට කඩා වැටුණු මහා ගංවතුර

නැගෙනහිරින් වෙස්ටර්න් ඝාට්ස් කඳු පන්තියෙන් ද, බටහිරින් කි.මී. 580ක් දිග වෙරළ තීරයකින් ද හෙබි කේරළය ඉන්දියානු මහා ගොඩබිමේ අරාබි මුහුදට මුහුණලා පිහිටි ව. කි. මී. 38,863ක වපසරියකින් යුතු පටු වපසරියකි. අප රටට මෙන්ම කේරළයට වැසි ලබා දෙන්නේ ද මෝසම් සුළං මඟිනි. මෝසම් සුළං ගොස් වෙස්ටර්න් ඝාට්ස් කඳු පන්තියේ වැදී ඉහලගොස් කේරළය වෙත වර්ෂාව ලබා දේ. ලංකාවට බොහෝ සෙයින් සමාන දේශගුණයක් ඇති කේරළය ලංකාවට සමාන වූ යටත්විජිත ඉතිහාසයකට හිමිකම් කියයි. මිනිසුන්, ආහාර පාන, ඇවතුම් පැවතුම් මෙන්ම ඇඳුම් පැළඳුම් අතින් ද ලාංකික අපි දකුණු ඉන්දියානුවන්ට වඩා වඩාත්ම සමිප වන්නේ කේරළ වැසියන්ට ය. ඔවුන් 2018 ජූලි අග දී සහ අගෝස්තුවේ දී දැවැන්ත ගංවතුර තත්ත්වයකට මුහුණ පෑවේ ය. ඒ ගංවතුර තත්ත්වය කුමක් ද? එවැනි දැවැන්ත ගංවතුර තත්ත්වයකට හේතු මොනවා ද? ආදී කරුණු අපිත් ටිකක් සොයා බලමු.

ගංවතුර විනාශයේ තත්ත්වය

ගංවතුරට පෙර සහ පසු චන්ද්‍රිකා ඡායාරූප  english.manoramaonline.com

මිලියන 33ක් වන කේරළ ජනගහනයෙන් හයෙන් එකක්ම මෙම මහා ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් විය. මේ වසරේ මෝසම් වැසි තත්ත්වය වෙනදා තත්ත්වයට වඩා දරුණු වීම මේ විපතට ප්‍රධානතම හේතුවකි. ගංවතුර විපත් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 400කට අධික ය. හානියට පත් වූ මාර්ග කි. මී. 10,000කට වැඩි අතර ගම්මාන 2600ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට විය. මේ මහා ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ විනාශය මුදලින් ඉන්දිය රුපියල් කෝටි 20,000කට අධිකයැ යි දළ වශයෙන් ඇස්තමේන්තු කර තිබේ. මේ විපත අවසානයේ මිනිසුන් 223,000කට පමණ සිය ගේදොර අතහැර දමා අනාථ කඳවුරුවල ජීවත් වන්නට සිදු වී තිබුණි.

කේරළය වගා කටයුතු ආදියෙන් සශ්‍රීක පළාතකි. කේරළයේ වගා කෙරෙන කෝපි, රබර්, තේ, ගම්මිරිස් ආදී වගාවන්ට මේ ගංවතුර සහ දැඩි වර්ෂා උවදුර දැඩිව බලපා තිබේ.

ගංවතුරින් පසු ඇති වූ සර්ප බිය

bengali.news18.com

කේරළය යනු සර්පයින්ට කදිම තෙත්බිම් පරිසර පද්ධතියක් ඇති පළාතකි. එහි වෙසෙන නොයෙකුත් විසකුරු සර්පයින් ද ගංවතුර තත්ත්වය හේතුවෙන් ගසාගෙන යන්නට විය. ඇතැම් තැනක දිවි බේරාගන්නට ගසකට හෝ උස ගොඩනැගිල්ලකට ගොඩවුණු මිනිසුන්ට සිදුවූයේ සර්පයින් සමග පණ බයේ ජිවත් වන්නට ය. ගංවතුරින් පසු ඉතිරි වූ සුන්බුන් ආදියේ ද සර්පයින් සැඟ වී සිට පහරදීම් කේරළයෙන් වාර්තා විය. මේ හේතුවෙන් ගංවතුර තත්ත්වය පැතිර තිබූ පළාත්වල සෞඛ්‍ය අංශවලට ප්‍රතිවිෂ ඔසු තොග වශයෙන් නිකුත් කරන්නට ද ඉන්දීය සෞඛ්‍ය බලධාරින්ට සිදු වී තිබේ.

මේ හදිසි සර්ප බිය නැති කරගැනීමට තමිල්නාඩු, ආන්ද්‍රා ආදී පළාත්වල වෘත්තීය වශයෙන් සර්පයින් අල්ලන පිරිස් ද කේරළයට විත් සර්පයින් ඉවත් කිරිමේ කටයුතු ද ගංවතුර බැස යෑම සමග ආරම්භ කොට තිබුණි. 2018 අගොස්තු 26 වැනි දා ට පෙර, දින 6ක කාලයක් තුළ දරුණු ගණයේ සර්ප දෂ්ට කිරීම් 56ක් කේරළයෙන් වාර්තා වී තිබුණි.

ගංවතුරින් පසු පිරිසිදු කිරීමේ මෙහෙයුම්

twitter.com

ලංකාවේ ද ගංවතුරකට නිවසක් යට වූ අයෙක් වෙත් නම් එහි ඇති වේදනාව කෙතෙක්දැ යි නැවත විස්තර කරදීමට වුවමනා නැත. දශක ගණනාවක් තිස්සේ දහඩිය මහන්සියෙන් උපයා සපයාගෙන නිම වූ ගෙදර ඇති සෑම සියලු දෙයක්ම තෙතබරිත වී දින දෙක තුනක් නොව ඇතැම් විට සතියක්, දෙකක් පුරාවට ජලයේ ගිලී පවතී. ඒ ගිලී යන්නේ පිරිසිදු ජලයේ නොවේ. නොයෙක් දෙසින් ආ කැළිකසල, මඩ තට්ටු නිවසේ ඇති සෑම විසිතුරු දෙයක්ම අවලස්සන කර දමන්නේ ය. කේරළයේ මෙසේ අපවිත්‍ර වූ නිවාස පිරිසිදු කරන්නට කේරළ පළාතේ 60,000ක් තරුණ තරුණියෝ සැදී පැහැදී සිටිති. පිට පළාත්වලින් ද ඒ ශ්‍රමදාන කටයුතුවලට දායක වීමට සෙනඟ පැමිණ තිබේ. එහි දී දේශපාලකයින්, කලාකරුවන් ආදි ජනප්‍රිය ජනයා ද මහජනයාට දිරිය සපයමින් නිවෙස් පිරිසිදු කිරිම් ආදිය සිදු කරති.

ඇතැම් නිවසක මඩ ගොහොරුවක තිබෙන මඩ තට්ටු මෙන් වූ මඩගොඩවල් උදලු, සවල්වලින් ඉවත් කරන තරමට පිරී ගොස් තිබේ. ලස්සනට තිබූ ගෙවතු උයන්වලට කොහෙන් හෝ ගසාගෙන පැමිණි පොලිතින්, ප්ලාස්ටික්, කැළිකසල වැටී අපවිත්‍ර වී තිබේ. ඒ අතර ගංවතුර රකුසා නිසා සිය සමීපතමයින් අහිමිව ගිය ජනයා නැවත නිවෙස්වලට එන්නේ ඒ සමීප ඥාති මිතුරන් නැවත කවදා නම් දකින්නට ලැබේ දෝ යන සොවින් තැවෙමිනි.

ආධාර උපකාර

indiawest.com

ගංවතුර තත්ත්ව හේතුවෙන් විපතට පත් වූ සමස්ත ඉන්දියානු රුපියල් කෝටි 20,000කම විපත නැවත එපරිදිම යථා තත්ත්වයට පත් කරගත නොහැකි වුවත්, වහා අවශ්‍ය සහන කටයුතු ආදිය වෙනුවෙන් ප්‍රාන්ත රජයට මුදල් අවශ්‍ය වි තිබේ. ඒ වෙනුවෙන් කේරළ මහ ඇමතිතුමා ඇරඹූ අරමුදලට නන්දෙසින් මුදල් ගලා ඇවිත් තිබේ. ඉන්දීය ප්‍රාන්තවලින් කෝටි 20-15-10 ආදී ලෙසින් මුදල් ලඟා වී ඇති අතර ඉන්දීය ජනයාගෙන් ද අරමුදල වෙත විශාල දායකත්වයක් ලැබී තිබේ. ඉන්දීය මධ්‍යම රජයෙන් ලැබී ඇති ඉන්දීය රුපියල් කෝටි 600ක මුදල ඉක්මවමින් බැංකු සහ පේ.ටී.එම් ආදී ජංගම ක්‍රම හරහා මහජනතාවගේ දායකත්වයෙන් එකතු වී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 700කට ආසන්න වී තිබේ. ගංවතුර අවස්ථාවේ දී ජල බෝතල් දුම්රිය මඟින් ද තොග වශයෙන් ප්‍රවාහනය කොට තිබුණි. එහෙත් පසුකාලීනව වඩාත් මුදල් යොදවලා වඩාත් විධිමත්ව ආධාර උපකාර ලබාදිය හැකි නිසා ඒ කෙරෙහි ජනයා යොමු වීම වඩාත් හොඳ ප්‍රවනතාවයකි.

ඉන්දීය ඔන්ලයන් බඩු අලෙවිකරණයේ ප්‍රමුඛයන් වන ඉන්දියානු ඇමේසන් සහ ඉන්දියානු ෆ්ලිප්කාට් වෙතින් ද අලුත් නිර්මාණ ශිල්ප ක්‍රම හරහා ගංවතුර විපතට පත් වූ අයට උදව් කරන්නට පෙළඹී තිබේ. ගංවතුරෙන් විපතට පත් වූ ජනයාට අවශ්‍ය දෑ ඕනෑම අයෙකුට අන්තර්ජාලය මඟින් කෙලින්ම ඇණවුම් කර අදාළ රාජ්‍ය නොවන සංවිධානවලට සැපයීමේ පහසුව ඇමේසන් සහ ෆ්ලිප්කාට් සේවා මඟින් ආරම්භ කර තිබේ. ඒ අනුව වතුර ෆිල්ටර්, ඇඳුම් පැළඳුම් ආදිය අවශ්‍ය පමණට ඒ සංවිධානවලට රැගෙන දීමට ඒ ඔන්ලයින් අඩවිවලට අවකාශය සැලසී තිබේ.

මහා ගංවතුරට හේතුව

පිටාර මට්ටමට ගිය ඉඩුකි වේල්ල. theprint.in

මෙම වර්ෂයේ මෝසම් වර්ෂාව වෙන වර්ෂවලට වඩා 37%කින් පමණ වැඩි වී තිබේ. එසේම වර්ෂා ජලය ස්පොන්චයක මෙන් රඳවා තබාගන්නා වනගහනය, වගුරු බිම් ආදිය ද නාගරීකරණය නිසා එන්න එන්නම කේරළයේ ද අඩු වෙමින් පවතී. කේරළයේ ඝාට්ස් කඳු මතින් සහ යාබද ප්‍රාන්තවලින් පැමිණෙන දිය දහරාවෝ ගංගා 41ක් ලෙසින් කේරළය හරහා අරාබි මුහුදට එකතු වේ. එතැන දී තමිල්නාඩුව විසින් නිකුත් කරන ලද අමතර ජලය ද මෙම ගංවතුර තත්ත්වය වැඩිවන්නට හේතු වූ බවට කේරළ පාර්ශව චෝදනා කරනු ලැබීය.

කේරළයේ පහළ කෙළවරේ ඇති ඉඩිකි නම් කේරළයේ විශාලතම වේල්ලේ ජලය එය විවෘත කර වසර 40කට පසු දොරටු 5න්ම නිකුත් කරන්නට සිදු වූ පළමු අවස්ථාව මෙය විය. එසේම වේලි පද්ධති අතර මෙවන් අවස්ථාවක දි ජලය නිකුත් කිරීමේ රටාව ගැන කලින් තිබී ඇති සැලසුම්වල යම් යම් අඩුපාඩු තිබී ඇත. එනම් වතුර වැඩි වන දැඩි වැසි අවස්ථාවක දී පිහිටා ඇති වාරි සහ විදුලිබල ජලාශයන්හි ජලය නිකුත් කිරීම් කුමන අනුපිළිවෙලකට සිදුවිය යුතු ද යන්න ගැන නිසි සැලසුම් තිබි නැති බවක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් බලධාරීන් කියා සිටින්නේ මෙවැනි මහා වර්ෂාවක දී ගංවතුර විපතක් වළක්වා ගන්නට ඇති හැකියාව සැලසුම්වලින් ගොඩ දැමිය නොහැකි බවකි.

කේරළයෙන් ගත හැකි පාඩම්

currentriggers.com

අප රට ද ගංවතුර අනතුරක් වූ කළඇතැම් ජනයා නිවෙස්වලින් ඉවත් නොවී කෙසේ හෝ ගංවතුර අඩුවෙතැ යි හිතුවක්කාර ලෙස බලා සිටිති. කේරළයේ ද එසේම ය. ජනයාට ඇතැම් විට අනතුරු ඇගවීම් නිකුත් කළ ද ඔවුන් නිවෙස් වෙතින් නික්මී තිබුණේ නැත. ජල මට්ටමේ වැඩි වීම වැස්ස සහ ජලාශවල ජල නිකුත් වීම් අනුව වෙනස් වන නිසා ඒ ගැන හරියටම කියන්නට අපහසු ය. එබැවින් විපත් අවස්ථාවක හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යෑමට මින්පසුවත් කේරළ වැසියන් පාඩමක් ලෙස ඉගෙන ගනු ඇත.

ඉන්දියාවේ අනෙක් පළාත්වලට වඩා දෙතුන් ගුණයක වර්ෂාපතනයක් වැටෙන කේරළය ජලය නිකුත්  කිරීම ගැන එතරම් අවදානයක් යොමු කර තිබුණේ නැත. විශේෂයෙන්ම මෙවන් තද වැසි අවස්ථාවල දී කුමන ආකාරයෙන් ජලය එක් එක් ජලාශවලට නිකුත් කළ යුතු ද යන්න ගැන පැහැදිලි සැලැස්මක් කේරළයට නොවීය. එය ද ගංවතුර විපත් වැඩි වන්නට හේතු විය.

ගොඩනැගිලි ඉදිකර, ජල මාර්ග හරස් කොට,වනාන්තර එළිපෙහෙළි කොට සිදුකරන සංවර්ධනය තුළ ස්වාභාවික විපත්වල බලපෑම් වැඩි ය. එබැවින් පරිසරය ගැන නැවත හිතන්නට ද කේරළයට මේ නව මහා ගංවතුර තත්ත්වය හේතු විය.

අප රටේ ගංවතුර

අප රටේ ද වර්ෂා කාලය සමග නාය යෑම් ඛේදවාචක සහ ගංවතුර තත්ත්වයන් ඇති වේ. නැවත වර්ෂා සමයක් පැමිණෙන තෙක් නොසිට ගංවතුර තත්ත්වයන් වළක්වා ගැනීම් ආදියට අනතුරු ඇඟවීම් ආදියට අදාළ බලධාරින් උනන්දු විය යුතු ය. නැතහොත් සිදුවන්නේ කේරළයට මෙන් වතුරේ ගිලී ගිය කෝටි විසි තිස් දාහක් වටිනා ධනය සහ මිල කළ නොහැකි හාරසියයකට අධික මිනිස් ජිවිත වෙනුවෙන් හූල්ල හූල්ලා සිටින්නට ය.

Cover Image factly.in

Related Articles