Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිගු ඉතිහාසයක් හිමි පිට්සා ගැන අප නොදත් අපූරු කතා

පිට්සා වර්තමානයේ ඉතාමත් ජනප්‍රිය ආහාරයක් ලෙස හැඳින්විය හැකියි. පීසා කෙටි කෑමකට වඩා ආහාරයකි. එය කොතරම් ජනප්‍රියද යත් පිට්සා අලෙවි කිරීම සඳහා ම වෙන් වූ ආපනශාලා ජාල කිහිපයක් මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ ද එවැනි ආපනශාලා කිහිපයක් පිහිටා ඇත. ඒවාට ගොස් පිට්සා මිලදී ගැනීමට අමතර ව විවිධ ඩිලිවරි සේවා හරහා තමන් සිටින ස්ථානයකට පිට්සා ගෙන්වා ගැනීමේ පහසුකම් ද මේ වන විට අදාළ ආයතන සලසා ඇත.

සාමාන්‍යයෙන් වර්තමානයේ බොහෝ ජනප්‍රිය ආහාරවලට ඇත්තේ තරමක් කෙටි ඉතිහාසයක් වුවත් පිට්සා ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. කෙසේ නමුත් වර්තමානයේ දී පිට්සා සකස් කරන ආකාරයට ම අතීතයේදී ඒවා සකස් කර නොමැති නමුත් දීර්ඝ කාලයක් තිස්සේ විවිධ වෙනස්කම්වලට ලක් ව අද වන විට ඉතාමත් ජනප්‍රිය ආහාරයක් ලෙස බාල මහලු කාගේත් සිත් දිනා ගත් ආහාරයක් බවට පත් වීමට ඊට හැකියාව ලැබී ඇත. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඔබ කවුරුත් දන්නා මේ පිට්සා ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් පිළිබඳ ව යි.

පිට්සා – foodnerd

පිට්සාවල ඉතිහාසය

ඓතිහාසික මුලාශ්‍රයන්ට අනුව නව ශිලා යුගයේ පටන් ම පිට්සාවලට සමාන ආහාර පිළියෙළ කර තිබෙන අතර එහි ආරම්භය වන්නට ඇති බවට සැලකෙන්නේ පාන් රසවත් කිරීම සඳහා මිනිසුන් වෙනත් විවිධ දෑ පාන්වලට එකතු කිරීම ආරම්භ කළ කාල සීමාව යි. විශේෂයෙන් ම පුරාණ ග්‍රීක ජනතාව පාන් රසවත් කිරීම සඳහා තෙල්, චීස් සහ විවිධ පැළෑටි වර්ග යොදා ගෙන තිබෙන අතර පසුකාලීන ව පිසූ එළවළු ඇතිරූ රවුම් හැඩයට සකස් කර ගත් පාන් වර්ග ආහාරයට ගැනීම ග්‍රීක ජනතාව අතර ජනප්‍රිය වී තිබේ.

දකුණු ඉතාලියට අයත් නගරයක් වන ගේටා හි තිබී සොයා ගැනුණු ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසට පමණ අයත් ලතින් අත්පිටපතක තිබී ‘පිට්සා’ යන වචනය මුලින් ම හමු වී ඇති අතර නූතන පිට්සාවල ආරම්භය සිදු වූ බවට සැලකෙන්නේ ඉතාලියේ නේපල්ස් නගරයේ ය.

නේපල්ස් නගරයේ පිට්සා අවන්හලක් – Guardian

බොහෝ විට 18 වැනි සහ 19 වැනි සියවසේ ඉතාලියේ නේපල්ස් නගරයේ ප්‍රචලිත ව තිබූ පැතලි හැඩැති පාන් වර්ග මතුපිට යම් මිශ්‍රණයක් අතුරා සකස් කරගැනීමට ජනතාව හුරු වීමත් සමඟ නූතන පිට්සා පිළියෙළ කිරීමේ කලාව ආරම්භ වූ බව විශ්වාස කෙරේ. ඊට පෙර එවැනි පාන් වර්ගවල මතුපිට බොහෝ විට අතුරන ලද්දේ සුදුළූණු, ලුණු, සහ චීස් වැනි දේවල් ය. කෙසේ නමුත් පිට්සා සඳහා තක්කාලි යොදා ගැනීම ආරම්භ වූ කාලසීමාව පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොමැති අතර මුල් කාලයේ දී පිට්සා අලෙවි කර ඇත්තේ ඒ සඳහා ම වෙන් වූ ස්ථානවල නොව එළිමහනේ තැනූ කුඩා වෙළෙඳසල් තුළ ය.

මාගරීටා පිට්සා

ජනප්‍රවාදයකට අනුව මාගරීටා පිට්සා යන නමින් හඳුන්වන පිට්සා වර්ගය 1889 වසරේ දී මුලින් ම සකස් කර ඇති අතර එම පිට්සා විශේෂය නම් කර ඇත්තේ එවකට ඉතාලියේ ජීවත් වූ රජ බිසවක වූ මාගරීටා නම් වූ රැජනකට ගෞරවයක් වශයෙනි. ඒ අනුව රතු පැහැති තක්කාලි, කොළ පැහැති බැසිල් පත්‍ර සහ සුදු පැහැති මොසරැල්ලා චීස් යොදා සකස් කර තිබූ පිට්සා වර්ගයේ වර්ණ ඉතාලි ජාතික ධජයේ දැකිය හැකි වර්ණවලට බොහෝ සෙයින් සමාන වූ නිසා රැජන බොහෝ සෙයින් ඊට ප්‍රිය කර ඇත.

මාගරීටා පිට්සා – foodbyjonister

වෙනත් රටවලට ව්‍යාප්ත වීම

ඉතාලියේ සිට අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ ඉතාලි ජාතිකයන් 19 වැනි සියවසේ අගභාගයේ දී පිට්සා අමෙරිකාවට හඳුන්වා දුන් අතර එහි මුල් කාලයේ දී පිට්සා ජනප්‍රිය ව තිබුණේ ඉතාලි සංක්‍රමණිකයන් ජීවත් වූ ප්‍රදේශවල පමණි. අමෙරිකාවේ ආරම්භ කළ ප්‍රථම පිට්සා අවන්හල 1905 වසරේ දී විවෘත කර ඇත. 1905 සිට ජෙනාරෝ ලොම්බාර්ඩි නේපල්ස් වෙතින් ඉගෙන ගත් බේකරි කලාව භාවිත කරමින් එක්සත් ජනපදයේ පීසා සකස් කළේ ය. නිව් යෝර්ක් විලාසිතාවේ පීසා නිපදවීම සහ ‘ලොම්බාර්ඩි’ එක්සත් ජනපදයේ ප්‍රථම පීසාරියාව බවට පත් කිරීමේ ගෞරවය ලොම්බාර්ඩිට හිමි වේ.

අමෙරිකා එක්සත් ජනපදයේ සාදන පිට්සාවල බොහෝ විට අඩංගු වන්නේ ගව මස්, කුකුළු මස්, බිම්මල්, ඔලිව්, ළූණු, අන්නාසි, සොසේජස්, නිවිති හෝ තක්කාලි වැනි දේ යි. 20 වන සියවසේ දී අමෙරිකා එක්සත් ජනපදයේ සහ තවත් බොහෝ රටවල ඒ ඒ ප්‍රදේශවලට ආවේණික පිට්සා වර්ග සකස් කිරීම ආරම්භ වූ අතර ඒවා සඳහා යොදා ගන්නා මිශ්‍රණය සහ ඒවායේ හැඩය වැනි කරුණු නිසා එම පිට්සා වර්ග එකිනෙකට වෙනස් විය. වර්තමානය වන විට අමෙරිකා එක්සත් ජනපදයේ සම්පුර්ණ ජනගහනයෙන් සියයට දහතුනක් පමණ දෛනිකව පිට්සා ආහාරයට ගන්නා බව සමික්ෂණවලදී අනාවරණය වී ඇත. පිට්සා අලෙවි කිරීම සඳහාම වෙන් වූ අලෙවිසල් ගණනාවක් එහි දැකිය හැකි ය.

lombardis
‘ලොම්බාර්ඩි’ එක්සත් ජනපදයේ ප්‍රථම පීසාරියාව –  thedailymeal.com 

ඉන් අනතුරුව ඉතාලියේ සහ අමෙරිකාවේ පමණක් නොව තවත් රටවල් ගණනාවක පිට්සා ජනප්‍රිය වූ අතර මේ වන විට එය යුරෝපයේ, ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආහාරයක් තරමටම ජනප්‍රිය වී ඇත.

පිට්සා සාදාගන්නා ආකාරය

පිටි මුලික කර ගත් මිශ්‍රණයක් පැතලි කොට, වෘත්තාකාර ආකාරයට සකස් කරගන්නා පිට්සා එකක මතුපිට තක්කාලි, චීස්, බිම්මල්, මස් වර්ග හෝ අන්නාසි වැනි යමක් සහිත මිශ්‍රණයක් අතුරා ඉහළ උෂ්ණත්වයක් යටතේ පෝරණුවක් ආධාරයෙන් පුළුස්සා ගනියි. පිට්සා සකස් කරගැනීම සඳහා භාවිත කරන ලද පෝරණුව අතීතයේ දී බොහෝ විට දර යොදා ගිනි මොලවා ගන්නා ලද එකක් විය. එම දර පෝරණු බුබ්බුලාකාර හැඩයකින් යුතු අතර ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉතාලි ජාතික පිට්සා සාදන්නන් එම පෝරණු යොදාගෙන තිබේ.

පිට්සා පෝරණුවක්/ Liana’s Kitchen

කෙසේ වුවත් වර්තමානය වන විට ඒ සඳහා දර සපයා ගැනීමට අපහසු වීම වැනි හේතු නිසා බොහෝ ස්ථානවල පිට්සා සෑදීමට යොදා ගන්නේ විදුලි උඳුන් ය. ඉතාලි ජනවහරට අනුව පිට්සා පිළියෙළ කරන පුද්ගලයා හඳුන්වන්නේ ‘පිට්සායොලෝ’ යන විශේෂිත නමකිනි.

වර්තමාන ප්‍රවණතා

ඉතාලියේ පිහිටි අවන්හල්වල දී බොහෝ විට පිට්සා පිළිගන්වන්නේ කැබලිවලට නොකපා වන අතර පිහියක් හෝ ගෑරුප්පුවක් භාවිත කරමින් ඔවුන් පිට්සා ආහාරයට ගැනීම සිදු කරයි. වර්තමානය වන විට බොහෝ රටවල පිට්සා පිළිගන්වන්නේ කැබලි කිහිපයකට කැපීමෙන් අනතුරුව වන අතර ඒ හේතුවෙන් පිහියක් හෝ ගෑරුප්පුවක් නොමැතිව වුවත් ඒවා ආහාරයට ගැනීමට හැකියාව ලැබී තිබේ.

පිට්සා පිළියෙළ කරන සහ අලෙවි කරන ස්ථාන හැඳින්වීම සඳහා පීසාරියා (Pizzeria) යන යෙදුම යොදාගනු ලබන අතර ඊට අමතර ව සාමාන්‍ය ගෘහස්ත උඳුනක දමා රත් කර ආහාරයට ගත හැකි ආකාරයෙන් සකස් කරන ලද පිට්සා මේ වන විට රටවල් ගණනාවක පිහිටි සුපිරි වෙළෙඳසල් වැනි ස්ථානවල අධි ශිතකරණවල තබා අලෙවි කරයි.

ශීත කළ පිට්සා – Pinterest

යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් වූ පිට්සා පිළියෙළ කිරීමේ කලාව

සාම්ප්‍රදායික පිට්සා ප්‍රවර්ධනය කිරීම සිය අරමුණ කර ගත් True Neapolitan Pizza Association, එනම් “නියම නේපල්ස් පිට්සා සංගමය” යනුවෙන් හැඳින්වෙන ආයතනයක් 1984 වසරේ දී පිහිටු වූ අතර ඉතාලියේ ඉල්ලීම පරිදි 2009 වසරේදී සාම්ප්‍රදායික සුවිශේෂී ආහාරයක් ලෙස පිට්සා නම් කිරීමට යුරෝපා සංගමය කටයුතු කළේ ය. එමෙන්ම පිට්සා පිළියෙළ කිරීමේ කලාව 2017 වසරේදී යුනෙස්කෝ සංවිධානයේ සංස්කෘතික උරුම ලැයිස්තුවට ද ඇතුළත් කෙරිණි.

පිට්සා සමඟ බැඳුණු වාර්තා

2012 වසරේ දී රෝමයේ දී ලොව විශාලත ම පිට්සාව සකස් කළ අතර එහි විශාලත්වය වර්ග අඩි 13,570ක් පමණ විය. ඊට අමතර ව ලොව දිග ම පිට්සාව 2017 වසරේ දී කැලිෆෝනියාවේ ෆොන්ටානා හි දී සකස් කළ අතර එය මීටර් 1,930.39ක පමණ දිගකින් යුක්ත විය. ඊට අමතර ව ලොව වටිනාකමෙන් වැඩි ම පිට්සාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් ව ඇත්තේ එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ පිහිටා ඇති අවන්හලක සකස් කළ පිට්සාවකි. එහි වටිනාකම ස්ටර්ලින් පවුම් 100ක් පමණ වේ.

ප්‍රමාණයෙන් විශාල පිට්සාවක් – Pinterest

ඊට   වරින් වර විවිධ රටවල්වල වටිනාකමින් වැඩි පිට්සා පිළියෙළ කළ අතර එක වරක් ස්කොට්ලන්තයේ පිහිටි අවන්හලක සකස් කළ පිට්සාවක් ස්ටර්ලින් පවුම් 4,200කට පමණ අලෙවි විය. එහි පිට්සා සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්න අමුද්‍රව්‍යවලට අමතර ව කෑමට ගත හැකි කැරට් 22 රත්‍රන් කුඩු ද අඩංගු වී තිබිණි.

ජාතික පිට්සා මාසය

ජාතික පිට්සා මාසය යනු අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාවේ සමහර ප්‍රදේශවල සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී සිදු කරන සැමරුමකි. මෙම සැමරුම 1984 වසරේදී ආරම්භ වූ අතර එහි නිර්මාතෘවරයා වුයේ පිට්සා ටුඩේ නම් සඟරාවේ   ප්‍රකාශකයා ය. මෙම මාසය තුළ බොහෝ දෙනෙක් විවිධ වර්ගයේ පිට්සා ආහාරයට ගැනීම සහ පිට්සා අලෙවි කරන අවන්හල්වලට යාම සිරිතක් කරගෙන සිටිති.

කවරයේ පින්තූරය- පිට්සා - Eat Lanka

මූලාශ්‍ර:

www.britannica.com

www.encyclopedia.com

www.webfoodculture.com

www.howstuffworks.com

Related Articles