ලෝකයේ දේශගුණික කළාප දැක්වෙන කොප්පෙන් වර්ගීකරණයේ මූලික බෙදීම් පිළිබඳව අපි පළමු ලිපියෙන් සාකච්ඡා කළා. මේ දෙවන කොටසෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ලෝකය පුරා විවිධ දේශගුණික කළාප ඇති වීමට හේතු වී ඇති සාධක හා වර්ගීකරණයට අනුව බෙදා වෙන් කර ඇති උප කළාප පිලිබඳ වැඩි දුර විස්තරයි.
දේශගුණික කළාපයක් ඇති වීමට බලපාන සාධක
විවිධ දේශගුණික කළාප ලොව පුරා ඇති වීමට ප්‍රධාන හේතු 8ක් ඇති බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. ඒවා පහත පරිදි වෙනවා
- .අක්ෂාංශ ගත පිහිටීම හා ලැබෙන සූර්ය විකිරණ ප්‍රමාණය
- අවකාශයේ ඇති වාත කඳෙහි බරෙහි බලපෑම
- ලෝකයේ ඇති අඩු පීඩන හා වැඩි පීඩන කළාප වල බලපෑම
- සාගර දිය වැල් වලින් සිදු වන තාප හුවමාරුවේ බලපෑම
- සුළං හමන දිශාව හා ස්වභාවය
- උස් කඳු පන්ති වලින් සිදු වන අවහිර වීම්
- ගොඩබිමින් හා මුහුදෙන් සිදු වන අවහිර වීම්
- උන්නතාශය හෙවත් මුහුදු මට්ට්මේ සිට උස
ඉහත සඳහන් හේතු නිසා සමස්ථ වශයෙන් උත්ස්වේදනයෙන්, වාෂ්පීභවනයෙන් හෝ සාගරයෙන් ඒ ඒ අදාල ස්ථාන වෙත ළඟා වෙන හෝ රැඳෙන ජල වාෂ්ප ප්‍රමාණය හා තාප ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර විට ළඟා වුණත් යම් ස්ථානයක් අවට එක් රැස් වීමේ හා ජල වාෂ්පනම් ඝනීභවනය වීමේ පසුබිම ඒ ඒ ස්ථාන අනුව වෙනස් වෙනවා.ඒ අනුව එකම අක්ෂාංශයක පිහිටන ස්ථාන දෙකක සම්පූර්ණයෙන් වෙනස් පරිසර කළාප දෙකක් ඇති වී තිබිය හැකියි.
නිවර්තන තෙත් දේශගුණික කළාපය (Af)
මේ කළාපයේ සාමාන්‍ය ලක්ෂණයක් වෙන්නේ සාමාන්‍යයෙන් උණුසුම් ඉහළ (සෙල්සියස් අංශක 20-30 ) දෛනික උෂ්ණත්වයක් පැවතීමයි. මාසික මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24-30 අතර පවතින අතර අවුරුද්ද පුරාවටම මෙය විචල්‍ය වන්නේ සෙල්සියස් අංශක 3 කට වඩා අඩුවෙන්. අවුරුද්ද පුරාම පැතිරුණු වසරකට මිලිමීටර 2000ක පමණ වර්ෂාපතනයක් ලැබෙන මේ කළාපය තුල නිතිපතාම අන්තර් නිවර්තන සමබරතා කළාපයේ බලපෑම ක්‍රියාත්මක වෙන්වා. එම නිසා ඕනෑම අවස්ථාවක වැසි වලාවන් සමුච්චයක් සෑදී වැසි ඇති වෙන්නට පුළුවන්. මේ කළාපය තුළ ලොව විවිධ වනාන්තර පද්ධතීන් පිහිටා ඇති අතර ඇමසන් වනයත් ශ්‍රී ලංකාවේ සිංහරාජයත් නිවර්තන තෙත් සදා හරිත වැසි වනාන්තර ඝණයට වැටෙනවා.
නිවර්ථන තෙත් සහ වියලි දේශගුණික කළාප (Aw සහ Am)
මේ කළාප දෙක තුළ ඉතාම පැහැදිළි තෙත් හා වියලි කාල තිබෙනවා. මෙහි කාලනුරූපීව අවකාශයේ සිදු වන ජල වාෂ්ප ඝණත්ව වෙනසට හේතුව අන්තර් නිවර්ථන සමබරතා කළාපයේ බලපෑමයි. එනම් සමකාසන්නව ඇති දිය වැල් හා හිරු විකිරණ බලපෑමෙන් සිදු වන ජල වාෂ්පීභවනය හේතුවෙන් සිදුවන වායු පීඩන වෙනස් වීමේ ක්‍රියාවලියේ බලපෑමයි. තෙත් කාලය හිරු මුදුන් වීමෙන් ඇති වන වැඩි වාෂ්පීභවන ක්‍රියා වලිය නිසා ඇති වන සංවහන වලාකුළු හා, දිය වැල් වල බලපෑමෙන් සිදු වන මෝසම් වැසි වලාවන් නිෂ්පාදනය වීමෙන් ප්‍රතිඵල වන අතර වියලි කාලය හිරු රැස් ආනතව වැටෙන කාළයේදී උදා වෙනවා. නිවර්තන තෙත් කලාපයට සමාන දේශගුණයක් මෙහි තෙත් කාලයේදී දක්නට ලැබෙන අතර වියලි කාලයේදී අර්ධ ශුෂ්ක ලක්ෂණ පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාවේ තෙත් සහ වියලි කළාප උදාහරණයට ගත හැකියි.
උප නිවර්තන කාන්තාර හා අර්ධ ශුෂ්ක දේශගුණික කළාපය (BWh සහ BSh)
මෙය පෘථිවි ගොඩබිමින් 12% ක් පමණ අයත් වන දේශගුණික කලාපයක්. සාමන්‍යයේ මේවා පවතින්නේ කර්කටක හා මකර නිවර්ථන අතර ප්‍රදේශයේ මහාද්වීප වල බටහිරට වන්නටයි. මේ දේශගුණය සහිත ප්‍රදේශ වල ඉතා අඩු සාපේක්ෂ ආර්ද්‍රතාවයක් හා වලාකුළු වැස්මක්, ඉතා අඩු වර්ෂාපතනයක්, වැඩි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වයක්, වැඩි මාසික උෂ්ණත්වයක්, වැඩි උෂ්ණත්ව විචල්‍ය වීමක් හා වැඩි සුළං වේගයක් අත් දකින්නට ලැබෙනවා. මුහුදෙන් ජලය වාෂ්පීභවනය වීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සෑදෙන උප නිවර්ථන වැඩි පීඩන කළාප වල බලපෑම මේ ප්‍රදේශ වලට නිතරම දැනෙනවා. මේ නිසා වර්ෂාපතනය වසර පුරාම අවම වන අතර 10%- 30% දක්වා වන ඉතා අඩු අර්ද්‍රතාවයක්ද ඇති වෙනවා.
ලොව වැඩිම මාසික උෂ්ණත්ව සාමාන්‍ය වාර්තා වෙන්නේ මේ ඝර්ම කළාපික කාන්තාර ප්‍රදේශ වලයි. එය සෙල්සියස් අංශක 29-35 මට්ටමේ වෙනවා. ශීත කාලයේදී මෙය ග්‍රීෂ්මයට වඩා සෙල්සියස් 15- 25 පමණ ප්‍රමාණයකින් අඩු වන අතර දවස පුරාද සෙල්සියස් 14 -25 තරමේ විශාල උෂ්ණත්ව අඩු වැඩි වීම් සිදු වෙනවා. කාන්තාරික දේශගුණය සහරා කාන්තාරය අවට ඇති ඇල්ජීරියාව හා ඊජිප්තුව වැනි රට වලින් හමු වෙනවා.
මධ්‍ය අක්ෂාංශික කාන්තාර හා අර්ධ ශුෂ්ක දේශගුණික කළාපය (BWk සහ BSk)
මේ දේශගුණික කළාපය සම්පූර්ණ ගොඩබිමින් 14% වසා පැතිරී තිබෙනවා. මේ කළාපයට විශේෂිත ලක්ෂණ වශයෙන් අඩු සාපේක්ෂ ආර්ද්‍රතාවක් පැවතීම, අඩු වර්ෂාපතනයක් පැවතීම, සාමාන්‍ය සිට වැඩි දක්වා වූ වාර්ෂික උෂ්ණත්ව පැවතීම හා සාමාන්‍ය සිට වැඩි මාසික උෂ්ණත්ව පැවතීම ගත හැකියි.
මේ කළාප වල වියලි භාවයට හේතු වශයෙන් මහද්වීපයක් මැද පිහිටීම හා දැඩි උන්නතාශයක් තිබීම ඉදිරිපත් කළ හැකියි. මහාද්වීපයක් මැද පිහිටීම නිසා සාගර වලින් ලැබෙන ජල වාෂ්ප මේවාට ලැබෙන්නේ නෑ. එම නිසා වර්ෂාව ඇති වෙන්නට නිසි ක්‍රමවේදයක් නෑ. කඳු වල සුළං මුවාවේ පිහිටීම නිසා ලඟා වෙන ජල වාශ්ප ප්‍රමාණයත් අවහිර වෙනවා. මේ ඝනයේ දේශගුණයක් පවතින ප්‍රදේශ කැස්පියන් මුහුදට නැඟෙනහිරින්, හිමාළයට උතුරින්, බටහිර ඇ.එ. ජනපදයේ හා අන්දීස් කඳු පන්තියට නැඟෙනහිරින් දකුණු ඇමෙරිකාවේ දී හමු වෙනවා. මේවායේ දෛනික උෂ්ණත්ව වෙනස උපනිවර්තන කාන්තාර වලටත් වඩා වැඩියි. සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම ඍතු උෂ්ණත්වය උප නිවර්ථන කාන්තාර තරම් වැඩි නොවුණත් කැලිෆෝනියානු මරණයේ මිටියාවත වැනි විශේෂ වැඩි උෂ්ණත්ව ප්‍රදේශද ඉඳ හිට මේ කළාපය තුල හමු වෙනවා. ශීත ඍතු උෂ්ණත්වය සාමාන්‍යයෙන් අඩුයි.
මේ කොටසට අයත් අර්ධ ශුෂ්ක කළාප බටහිර, උතුරු ඇමෙරිකාවේ හා මධ්‍යම ආසියාවේදී මුණ ගැසෙනවා. මේවායේද මධ්‍ය අක්ෂාංශික කාන්තාර ලක්ෂණ තිබුණද වඩා වැඩි වර්ෂාවක් ලැබෙනවා.
මධ්‍ය අක්ෂාංශික තෙත් දේශගුණික කළාපය (Cf සහ Df)
මධ්‍ය අක්ෂාංශික තෙත් දේශගුණය උතුරු අර්ධගෝලයේ අක්ෂාංශ 25ත් 60ත් අතර විශේෂයෙන්ම මහාද්වීප වල නැඟෙනහිර සීමාවේදී හමු වෙනවා. දකුණු අර්ධගෝලයේදී මෙය හමුවන්නේ දකුණු ඇමෙරිකාවේ දකුණු කෙළවරේ, නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ ගිණිකොන දිග වෙරළබඩයි.
ග්‍රීෂ්ම කාලය වැසි වලින් බහුල අතර මාසික මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 සිට 26 දක්වා විය හැකි අතර නිවර්ථන කොටස් වල එය 29ක්ද විය හැකියි. ශීත කාලයේදී වාසුළි මඟින් වර්ෂාව ලැබෙනවා.
මේ කොටසේ වර්ෂාව අවුරුද්ද පුරාම පැතිරී පවතිනවා. මහාද්වීපයක ස්ථානගත වී ඇති ස්ථානය අනුව වර්ෂාපතනය වෙනස් විය හැකියි. නිවර්තන ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි ලැබෙන්නේ සංවහන වර්ෂා ලෙස වන අතර ඉඳ හිට හරිකේන් කුණාටුද ඇති වෙනවා. විශේෂයෙන් මේ දේශගුණික කළාපයට අයත් ඇමරිකාවේ ගිණිකොන දිග වෙරළ තීරයට සාමාන්‍යයෙන් වාර්ෂිකව දින 40-60 අතර ප්‍රමාණයක වර්ෂාව පතිත වන අතර උතුරට යන්නට යන්නට එය අඩු වෙනවා.
මධ්‍ය අක්ෂාංශික වියලි ශීත ඍතු දේශගුණික කළාපය (Cw සහ Dw)
මේ දේශගුණික කළාපයේ විශේෂත්වය වනුයේ විශාල ඍතුමය වෙනස්කම් තිබීමයි. සාමාන්‍යයෙන් මේ දේශගුණය සහිත ප්‍රදේශ හමු වන්නේ මහාද්වීප වල මැදට වෙන්නටයි. පිහිටා ඇති ස්ථානය අනුව මධ්‍ය වාර්ෂික උෂ්ණත්වයේ පරාසය වෙනස් වෙනවා. මේ ප්‍රදේශ වලට ග්‍රීෂ්මයේදී යාබද කාන්තාර වල සිට හා අනෙකුත් නිවර්ථන ප්‍රදේශ වලින් සුළං ධාරා හමන අතර ශීත ඍතුවේදී ධ්‍රැව දෙසින් සුළං ධාරා හමනවා. මේ නිසා ග්‍රීෂ්මය උණුසුම් හා තෙත් එකක් වන්නේ සංවහන වර්ෂා ද සහිතවයි. ශීත කාලයෙදී සෞම්‍ය කළාපික වාසුළි මඟින් යම් වර්ෂාවක් ළැබුණද ප්‍රධාන වශයෙන් පවතින්නේ සිසිල් වියලි කාළගුණයක්.
මධ්‍ය අක්ෂාංශික වියලි ග්‍රීෂ්ම ඍතු දේශගුණික කළාපය (Cs)
මේ දේශගුණික කළාපය හමු වන්නේ මහාද්වීප වල බටහිර සීමාවේ උතුරු හෝ ද්කුණු අක්ෂාංශ 30ත් 40 ත් අතරයි. සාමාන්‍යයෙන් මේ දේශගුණික කළාපය මහාද්වීප වල මධ්‍යට වෙන්නට පිහිටන්නේ නැහැ. මේ දේශගුණික කළාපය මධ්‍යධරණී කළාපයේ ලෙසද හඳුන්වනවා. උප නිවර්තන වාසුළි මඟින් එන වර්ෂාවෙන් මේ කළාපයට ශීත ඍතුවේදී වැසි ලැබෙනවා. ග්‍රීෂ්මයේදී මෙම ප්‍රදේශ වලට උප නිවර්තන වැඩි පීඩන කළාප බල පවත්වන නිසා උණුසුම් වියලි දේශගුණයක් පවතිනවා. කැලිෆෝනියා ප්‍රාන්තය මීට නිදසුන්.
ධ්‍රැවාසන්න තුන්ද්‍රා (ET)
ධ්‍රැවාසන්න තුන්ද්‍රා දේශගුණය පවතින ප්‍රදේශ වල ශීතල ශීත ඍතුද, සෞම්‍ය ග්‍රීෂ්ම ඍතු ද පවතිනවා. සාමාන්‍යයෙන් වැසි ලැබෙන්නේ ග්‍රීෂ්මයේදීයි. මේ දේශගුණය හමු වන්නේ උතුරු ඇමෙරිකාවේ, යුරෝපයේ හා ආසියාවේ ආක්ටික් වෘත්තයට අසු වන ප්‍රදේශ, අයිස්ලන්තය, ග්‍රීන්ලන්තයේ වෙරළබඩ වැනි ප්‍රදේශ වලයි. මේ ප්‍රදේශ වල වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍යයෙන් මිලිමීටර 250ට අඩුයි.
තුන්ද්‍රා මීට අමතරව උස් කඳු මුදුන් වන් කිලිමන්ජාරෝ, හිමාලය කඳු පන්තිය වැනි ස්ථාන වලද දැක ගත හැකියි.
ධ්‍රැවාසන්න අයිස් ස්ථරය (EF)
ධ්‍රැවාසන්න අයිස් ස්ථරය දකින්නට ලැබෙන්නේ ග්‍රීන්ලන්තයේ හා ඇන්ටක්ටිකාවේ. මේ දේශගුණික කළාපයත් පෘථිවි ගොඩබිමේ සැළකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරනවා. මේ ප්‍රදේශ වලට වසරේ මාස 6 ක පමණ කාළයක් හිරු එළිය හරිහැටි ලැබෙන්නේ නෑ. ග්‍රීෂ්මයේදී ඉතා දිගු දහවල් කාළයක් අත් විඳින්න්ට පුළුවන්. සාමාන්‍යයෙන් මාසික මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වඩා අඩු අගයක් ගන්නවා. වේගයෙන් හමන සුළංද ඉතා සුළබ සංසිද්ධියක්.
(කවරයේ පින්තූරය- The Secret of Antarctica/ADVEXON TV/Youtube)
මූලාශ්‍ර –
PhysicalGeography.net