Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව ආදායම් බදු ජනතාවට බරක් වෙන්නෙ කොහොම ද?

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය වෙනස් වීම යනු ජනතාවගේ පොකට්ටුවට ඍජුවත් වක්‍රවත් බලපාන

කාරණයක් වන නිසා ඒ සම්බන්ධව විවිධ විවේචන එල්ල වීම වැලැක්විය නොහැකි ය. සෑම රජයක්ම දේශීය අදායම් බදු සංශෝධන මගින්, වාර්ෂික අයවැයෙන්, හෝ වෙනත් මූල්‍ය පනත් මගින් බදු වෙනස්කම් සිදු කරයි. ජනතාවට හිතකර මෙන්ම අහිතකර තීන්දු තීරණ ද ඒවායෙහි ඇතුළත්ව තිබූ බවට අපට ඉතිහාසයේ කොතෙකුත් උදාහරණ ඇත. ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වනුයේ ජනතා බදු මුදල් ය.

2017 අංක 24 දරණ නව දේශීය ආදායම් බදු පනත අප්‍රේල් පළමුවැනි දා සිට බලාත්මක විය. එමගින් මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් කිහිපයක්ම අපේක්ෂා කරන අතර, නව බදු හඳුන්වාදීම් රැසක් ද ඊට ඇතුළත් ය. නව පනත හරහා මෙරට ක්ෂේත්‍රයන් රැසක බදු සංශෝධනය වන අතර අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකු සඳහාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වේ.

නව දේශීය බදු පනතේ ඇතුළත් සංශෝධන පිළිබඳව ජනතාවගෙන් එතරම් ප්‍රසාදයක් හිමි වූයේ නැත. ආණ්ඩුව අසාධාරණ අන්දමින් ජනතාවගේ බදු බර වැඩි කර තිබෙන බවට විවිධ චෝදනා නැගෙන්නට විය. වැටුපටත්, විශ්‍රාමිකයින්ගේ තැන්පතුවලටත්, වෘත්තිකයන් විසින් එවන මුදල්වලටත් ආණ්ඩුව බදු පනවා තිබීම අසාධාරණ බවයි ඔවුනගේ තර්කය වී තිබෙන්නේ. ආදායම් බදු පනතේ තවත් එවැනි කරුණු ගණනාවක් ඇතුළත්.

ඇත්තෙන්ම නව දේශීය ආදායම් බදු පනතේ අරමුණ කුමක් ද යන්න පිළිබඳවත්, ජනතාව අතරින් මතු වූ පනතේ ඇතුළත් නව බදු සංශෝධන කිහිපයක් ගැනත් විමසීමේ දී රජයේ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න Roar වෙත කරුණු දැක්වූයේ මෙසේ යි.

eranw.org

ලංකාවට නව දේශීය ආදායම් බදු පනතක් ගෙන ඒමේ අවශ්‍යතාවයක් තිබෙනවා ද?

“මේ ආදායම් බදු පනත අපි ගෙනල්ලා දැනට මාස හයකට වැඩියි. නමුත් ඒ පනත ක්‍රියාත්මක කර තිබෙන්නේ 2018 අප්‍රේල් පළවෙනි දා සිටයි. මින් පෙර පැනවූ බදු සංශෝධන සඳහා කල් ලබා දීමක් සිදු කළේ නැහැ. නමුත් මෙවර ඒ තීරණයෙන් එහාට ගොස් මෙවැනි ප්‍රතිපත්ති සකස් කිරීමේ දී යම්කිසි කාලසීමාවක් ලබා දෙමින් කළ යුතුයි කියා අප තීරණය කළා. මෙම බදු සංශෝධන පිළිබඳව සමාජය තුළ යම් සාකච්ඡාවක් ඇති කිරීමේ අරමුණෙනුයි එවැන්නක් සිදු කළේ. බදු වල වෙනසක් වෙනවා කියල සාකච්ඡා වෙන්නේ දැන් වුණත්, මාස 6කට පෙර තමයි ඇත්තටම ඒ වෙනස ගැන කතා කළේ. එනිසා මෙය අලුත් දෙයක් නෙවෙයි. ඒ අවස්ථාවේදීම මේක ක්‍රියාත්මක කළා නම් මෙවැනි සාකච්ඡාවක් සිදු වෙන්න ඉඩකඩක් නැහැ. මම එය කළේ යම්කිසි ප්‍රතිපත්තියක් මත ඉදිරියට ගිහිල්ලා වැඩ කළ යුතුයි, ආපස්සට ගිහිල්ලා වැඩ කරන එක තේරුමක් නැහැ කියන පදනම මතයි. ආපස්සට ගිහින් ගන්න තීරණ රටේ ව්‍යාපාර පැත්තෙන් වුණත් යහපත් වෙන්නේ නැහැ.

newsfirelk.com

පළමුව රටේ බදු ගෙවීම කියන එක නීත්‍යානුකූලව සිදු වෙන්න ඕන. එනම් රටේ බදු ගෙවීම rules based system එකකට එය සිදුවිය යුතුයි. සරලව කියනවා නම් සුදු කොලේ කළු අකුරෙන් පැහැදිලිව සටහන් වෙලා තියෙන්න ඕනෙ. මෙම පනතින් දේශපාලකයන්ට ගන්න පුළුවන් තීරණ අඩු කරලා තියෙනවා. දෙන-නොදෙන දේවල් සියල්ල පනතේ පැහැදිලිව සටහන් වෙලත් තියෙනවා. දේශපාලනඥයන්ට හෝ බලධාරීන්ට සිදුකළ හැකි ඇඟිලි ගැසීම් ප්‍රමාණය අවමයි. මෙමගින් දූෂණ අවම කරනවා. බදු සහන හොය හොයා ඇමතිවරයාගේ හෝ නියෝජ්‍ය ඇමතිවරයාගේ කාමරය අසල ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය කලින් තිබුණාට වඩා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයක්.

අනෙක් අතින් බදුවල කාර්යක්ෂමතාවය වැඩි කළ යුතුයි. බදු එකතු කිරීම බදු ගෙවන්නන්ට පහසු කිරීම අවශ්‍යයි වගේම බදුවලින් සාධාරණත්වයක් ඇති වෙන්න ඕනේ. රටේ සෘජු බදු හා වක්‍ර බදු තියෙනවා. වක්‍ර බදු කියන්නේ අපි භාවිතා කරන ආහාර වලින් භාණ්ඩ ආදියෙන් වක්‍ර විදිහට අය කෙරෙන බද්ද. රුපියල් 20,000ක මාසික වැටුපක් ලැබුණත් ලක්ෂ 2ක මාසික වැටුපක් ලැබුණත් ගෙවන්නේ එකම බද්ද නිසා අඩු ආදායම්ලාභින්ට ලැබෙන පීඩනය වැඩියි. සෘජු බදු වලින් තමයි සාධාරණත්වය ඇති වෙන්නේ. අඩු ආදායම් ලබන එක්කෙනාගෙන් අඩුවෙන් ගන්නවා වැඩියෙන් ආදායම් ලබන, ලාභ ලබන, වත්කම් තියෙන එක්කෙනාගෙන් වැඩියෙන් බදු අය කර ගන්නවා.

රජය බදු අය කළ පසුව එය භාවිත කරන්නේ පොදුජන යහපත වෙනුවෙන්. මහජනතාවගේ බදු මුදල් මහජනතාව වෙනුවෙන්ම ලබා දෙන සේවාවන් ලෙස සලකන සෞඛ්‍යය, අධ්‍යාපනය සමාජ සුබසාධනය ඊට අමතරව පොලීසිය, ත්‍රිවිධ හමුදාවන් මෙන්ම අධිකරණ පද්ධති පවත්වාගෙන යාමට යෙදවෙනවා. ලංකාවේ වක්‍ර බදු ප්‍රමාණය මුළු බදු ප්‍රමාණයෙන් 82% ක් පමණ වෙනවා. නමුත් ඍජු බදු ප්‍රතිශතය 18% ක්. පසුගිය රජය සමයේ දී වක්‍ර බදු වැඩි වුණා සහ ඍජු බදු අඩු වුණා. මෙම අසාධාරණ ක්‍රමවේදය වෙනස් කළ යුතු යි. ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව යමින් මංගල සමරවීර ඇමති වක්‍ර බදු 82% ඉඳලා 60% ට අඩු කරන්නත්, සෘජු බදු 18 % ඉඳලා 40% දක්වා වැඩි කිරීම ඉලක්කගත සැලසුමක් මත සිදු කරමින් තියෙනවා. ඒ අනුව තමයි මෙවර බදු වල ප්‍රතිශතයන් වෙනස් වෙලා තියෙන්නේ. එය කිසිසේත්ම අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් වෙන අයුරින් සිදුව නැහැ.

ආදායම් බදු ගත්තොත්, ව්‍යාපාරයක ලාභවලින් ආදායම් බදු 28% යි. නමුත් තෝරාගත් කර්මාන්ත වලින් 14% ක් අය කෙරෙනවා. එසේ තෝරාගෙන තියෙන්නේ ඒ කර්මාන්ත දියුණු කිරීම සහ වර්ධනය කිරීම සඳහා යි. පුද්ගල ආදායම් බදු ලැබෙන ආදායම් ප්‍රමාණයන් අනුව 0%, 4%, 8%, 12% වැඩිම ගාන 24% දක්වා ආදායම් බදු අය කිරීම සිදු වෙනවා.”

newsfirst.lk

මැදපෙරදිග ශ්‍රමිකයින් මෙරටට එවන මුදලින් ආදායම් බදු අය කෙරෙනවා ද?

“විදේශ රටවලට ගිහින් හම්බ කරලා හරි සල්ලි එවනවා නම් ඒවාට බදු ගහනව ද කියලා හුඟ දෙනෙක් අහනවා. යෝජිත නව ආදායම් බදු පනත මගින් විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය කරන මුදල් මත කිසිදු බද්දක් අය කරන්නේ නැහැ. ඔවුන්ට කිසිදු ගැටලුවකින් තොරව ලංකාවට මුදල් එවන්න පුළුවන්. මැදපෙරදිග හෝ වෙනත් රටක ගෘහ සේවකයෙකු ලෙස හෝ ගෘහ සේවිකාවක් ලෙස වැඩ කරනවා නම් මාසිකව නිවසට එවන මුදල් වලට කිසිසේත්ම බද්දක් අය වෙන්නේ නැහැ. නමුත් කවුරුන් හෝ විදෙස් රටවල ලබන ආදායම මිලියන ගණනින් මෙරටට එවනවා නම් ඒ සඳහා බදු අය වෙනවා. විශේෂයෙන්ම  වෘත්තිකයෙක් විදෙස් රටක වැඩ කරද්දී ඔවුනට විශාල දීමනාවක් ලැබෙනවා. විදේශයක සිට වැඩි ආදායම් ලබන ශ්‍රී ලාංකික වෘත්තිකයෙක් ශ්‍රී ලංකාවේ බැංකුවක රඳවා ඇති මුදලට ලැබෙන පොලිය මත 5% බද්ද පැනවෙනවා. නමුත් එයිනුත් මිලියන දහයත්, පහළවත් අතර එවන මුදල් සදහා කිසිසේත්ම බදු ගෙවිය යුතු නැහැ.”

විශ්‍රාමිකයන්ගේ තැන්පතු වලට බදු අය කිරීම සාධාරණ ද?

“විශ්‍රාමිකයන් තමන්ගේ මුදල් තැන්පතු ලෙස තබාගෙන ඒවායේ පොලියෙන් මාස්පතා ජීවත් වෙනවා නම් ඒ සඳහාත් බදු අය කරන බවට අසත්‍ය ප්‍රචාරයක් යනවා. නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදියි.

රැඳවුම් බද්ද (witholding tax) මුලින්ම තිබුණේ 2.5% ට. එය මේ වන විට 5% දක්වා වැඩිකර තිබෙනවා. 2012 දී එය තිබුණේ 8 %කට. ඒ කියන්නේ මේ රැඳවුම් බද්ද (withholding tax) නිතරම ඉහළ පහළ යනවා. නමුත් එය බදු ගෙවන්න තියෙනවා නම් පමණයි. විශ්‍රාමිකයෙකු බැංකුවක මුදල් තැන්පත් කළොත් වාර්ෂික ආදායම ලක්ෂ පහළොවක් (1,500 000) වෙනකල්, තවත් විදිහකට කිව්වොත් මාසෙකට එක්ලක්ෂ විසිපන් දහසක (රු. 125 000) පොළී ආදායමක් ලැබෙනවා නම් කිසිම බද්දක් ගෙවන්න අවශ්‍ය නැහැ. 10% පොලියට බැංකුවේ මිලියන පහළොවක් තියෙන්න ඕනේ. පොලිය තුළින් ලක්ෂ 15 ක මුදලක් වාර්ෂිකව ලබාගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මිලියන පහළවක් 10% පොලියට දැම්මත් විශ්‍රාමිකයන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මිලියන 15ට වඩා වැඩි තැන්පතු සඳහා බදු අය වෙනවා.”

i.pinimg.com

නිවාස හා ඉඩම් විකිණීමේ දී අය වන ප්‍රාග්ධන බද්ද මොකද්ද?

“යම් කෙනෙක් තමන්ට තිබෙන වෙනත් නිවසක් හෝ ඉඩමක් විකිණීමේ දී වටිනාකම් එකතු කිරීමේ (VAT) බද්දට යටත් වෙනවා. රුපියල් ලක්ෂ 150කට (මිලියන 15කට) අඩුවෙන් ගන්නවා නම් ඒ සඳහා බදු අය වෙන්නෙ නැහැ. එමෙන්ම මීට අයත් වන්නේ ආයෝජන වත්කම් පමණයි. එතරම් වටිනාකමක් තිබෙන ඉඩමක් හෝ නිවසක් තියෙන්නෙ ඉතාම සුළු පිරිසකට පමණයි. මේ බදු වලට විරුද්ධව කෑ ගහන්නේ ධනවත් අය. විශේෂයෙන්ම ව්‍යාපාරිකයෝ.”

එතකොට මාසික වැටුපට අය වන ආදායම් බද්ද?

“මාසික වැටුප රුපියල් ලක්ෂයකට වැඩි වෙනකල් ආදායම් බදු වල පළමු ස්තරයට හසු වෙන්නේ නැහැ. එනම් රුපියල් ලක්ෂයක වැටුප දක්වා ආදායම් බදු අය වෙන්නේ නැහැ. ලක්ෂයකට වැඩි නම් 4% ක බද්දට යටත් වෙනවා. ලක්ෂය බැගින් වැටුප් වැඩි වන විට බදු ප්‍රතිශතය 8%, 12%, 24% ආදී වශයෙන් ඉහළ යනවා. වර්ෂයකට රුපියල් මිලියන 25.5ක ආදායමක් උපයන වෘත්තිකයන්ට පෙර බලපෑ ඉහළම බදු අනුපාතය වුණේ 12% වුවත් දැන් ඒක 24% දක්වා වැඩි වී තිබෙනවා. සාමාන්‍ය වැටුප් තල ලබන කාටවත් කිසිම බද්දක් පැනවිලා නැහැ.

විශාල වැටුප් හා දීමනා ලබන වෘත්තිකයන්ට මෙම බදු අදාළ වෙනවා. ඔවුන් ලබන ආදායම් මත මෙවැනි බද්දක් ගෙවිය හැකියි.”

මේ, අලුතෙන් පැනවූ බදු පිළිබඳව රජයේ මතය යි. මීට ප්‍රතිවිරුද්ධ විද්වත් අදහස් මීළඟ ලිපියකින් ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

Cover – transferwise.com

Related Articles