Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කරඹගල සෙනසුනේ යටගියාව

හම්බන්තොට ප්‍රදේශයේ අම්බලන්තොට නගරය මැදින් වලවේ ගඟට සමාන්තරව උතුරු පෙදෙසට ඇති මාර්ගයේ මහබෝලාන දක්වා ගොස් ඉන් හැරී කොක්ගල්ල දෙසට යාමේදී යි, මේ කරඹගල සෙනසුන හමු වන්නේ. එනම් මේ පුදසුන ඇත්තේ අම්බලන්තොට නගරයට උතුරු දෙසින් ය.

එඩ්වඩ් මුලර් මහතා ද, සී. ඩබ්ලිව්. නිකලස් මහතා ද කරඹගල ගැන සටහන් තබා ඇත. යුනිවර්සිටි සිලෝන් රිවිව් සඟරාවේ ද මේ පිළිබඳ තරමක විස්තරයකි. නමුත් එල්ලාවල මේධානන්ද හිමියන් ගේ අදහසට අනුව නම් මේ ස්ථානය පිළිබඳ පූර්ණ ගවේෂණයක් තවමත් සිදු කොට නොමැත.

කරඹගල පුරාවස්තු

කරඹගල පෙදෙසේ දැකගත හැකි පුරාවස්තු රැසක් වේ. මේ අතර ස්ථූප 3 කි. එක් ස්ථූපයක් ඇත්තේ කරඹගල උස්ම පර්වතය මුදුනේ ය. එය දර්ශනීය ස්ථානයකි. වන පියස මැදින් ගලා යන වලවේ නදිය රිදියගම වැවට නුදුරින් දැකගත හැකි වන අතර කතරගම කඳුවැටියත්, රත්මල්කන්දත්, ඇඹිලිපිටියත් අනෙක් පසින් දිස් වෙයි. මෑත දී ප්‍රතිසංස්කරණය කරන ලද්දක් වන එහි පැරණි ගඩොල් තැන තැන විසිර තිබෙනු දැකගත හැකියි. සෑ මළුවේ ගොඩනැගිල්ලකට අයත් යැයි සැළකෙන ගල් කණු කිහිපයකි. නෙලුම් පෙති රටාවෙන් පමණක් හැඩ වුණු සඳකඩ පහනක් ද මෙහි දැකගත හැකියි.

amazinglanka.com

මේ ස්ථානයට පහළින් වන ගල් තලාවක තවත් ස්ථූපයක් දැකගත හැකියි. අඩි 30 ක් පමණ වට වූ ද, අඩි 1 ක් පමණ උස වූ ද මෙය පෞරාණික ස්වභාවයක් පෙන්නුම් කරයි. ස්ථූපය නිධන් හාරන්නන් විසින් හාරා විනාශ කර ඇති බැවින් මෙසේ ගරා වැටී ඇත. සෑයේ ගඩොල් වැටී තැන තැන විසිරි විනාශ වී ගොස් ඇති අතර ගඩොල් සමහරක් පර්වතය පාමුලටම ඇද වැටී ගොස් ය.

තවත් ස්ථූපයක් මෙහි දැකගත හැකි වන අතර එය මදුනාගල කොටසක් ලෙසින් සැළකෙයි. සුවිශාල පර්වතය මුදුනේ මේ ස්ථූපය තිබී ඇති අතර පැරණි සෑය වර්තමානයේ දැකගත හැකි වන්නේ නැත. නිධන් සොයන්නන් ස්ථූපය මුළුමුනින්ම විනාශ කර දමා ඇති අතර එහි ගඩොල් සෑම තැනකම විසිර තිබෙනු දැකගත හැකි වේ. මෙහි වර්ග කිහිපයකම ගඩොල් දැකගත හැකි අතර, ඒ අතර අඩි 1.4 × 0.8 වර්ගයේ වන ගඩොල් බහුල ය. මීට පහළින් ඇති ගල් තලාවක පොකුණක් ද දැකගත හැකි යි. ඒ අසලින්ම දැකගත හැකි වන්නේ කිසියම් පැරණි ගොඩනැගිල්ලකට අයත් යැයි සැළකෙන කණු පාදම් ගල් දා හතරක් (14) ය. පහත් බිමේ ද තැන් තැන් වල ගඩොල් විසිරි තිබෙනු දැකගත හැකියි.

කරඹගල නටඹුන්

කරඹගල නටඹුන් කොටස් දෙකකට අයත් ය. ඒ කරඹගල කොටස හා මදුනාගල කොටස යනුවෙන්. මදුනාගලට සැතපුම් දෙකක පමණ දුරකින් ය, ඓතිහාසික රිදීගම වැව ඇත්තේ. කරඹගල හා මදුනාගල අතර දුර මිටර් 500 ක් පමණ වෙයි. මේ දෙක අතරතුර ගල් ලෙන් ආදිය ද දැකගත හැකියි. ඝන වනාන්තරය ස්ථාන දෙකම වට කරමින් පැතිර පවතී. මේ නිසා වන සතුන්ගේ ගැවසීම ද සුලභ ය. මදුනාගල අඩි 327 ක් ද, කරඹගල අඩි 392 ක් ද උස් වේ.

කරඹගල ලෙන්

කරඹගල සෑම තැනකම පාහේ පර්වත ඇසුරු කර ගනිමින් ලෙන් දැකගත හැකියි. විහාර ලෙන අසළ ඇති එක් ලෙනක විශාල තුඹසක් බැඳ ඇත. ගඩොල් රැසක් ද මෙහිදී දැකගත හැකි අතර ඒවා පැරණි ගොඩනැගිල්ලක සලකුණු දක්වයි. ඒ අසළම පියගැට පෙළක් වන අතර මේ ලෙන පසුපසින් ශෛලමය ආසනයකි.

මෙහි ඇති තවත් තරමක් විශාල ලෙනක බුදු මැඳුරකි. මෙහි තරමක හිඳි පිළිමයක් ද වේ. එහි පපුව පෙදෙස හාරා විනාශ කර ඇත්තේ නිධන් සොයන්නන් වන්නට ඇත. පිළිමය දෙපස ශක්‍රයාගේ සහ බ්‍රහ්මයා ගේ රූප අඹා තිබීම ද විශේෂත්වයක්. පසෙකින් පස්වග මහණුන්ගේ රූප ද අඹා තිබේ.

hiveminer.com

තවත් පසෙක ඡත්‍රාකාර ලෙනකි. එහි මිනිසුන් 400 කට පමණ එකවර ඇතුළු විය හැකි බවයි පැවසෙන්නේ.

“චිත්ත ගුත්ත ලෙන” ලෙසින් ප්‍රසිද්ධ ලෙනක් ද මෙහි ඇත. මේ ලෙන අසළ එක පෙළට ගල් කණු 4 ක් සිටුවා තිබේ. කණු පාදම් ගල් 10 ක් ද මේ අසළින්ම තිබෙනු දැකගත හැකියි. විචාරකයන් පවසන්නේ මේ ලෙන කලින් පියස්සක් සහිතව තිබෙන්නට ඇති බවයි. මේ ලෙනේ වහලයේ සිතුවම් ඇඳ තිබුණු බවක් පැවසෙන නමුත් ඒවා දැන් දැකගත හැකි නොවේ.

කරඹගල සහ මදුනාගල අතර කොටසේ ද විචිත්‍රවත් ලෙනකි. එය වේදිකාවක් මතය ඇත්තේ.

පර්වත ලිපි

කරඹගල පර්වත ලිපිවලින් දෙකක් ඇත්තේ මදුනාගල කොටසේ ය. එක් ලිපියක් ගල්තලාවේ පොකුණ අසළ බ්‍රාහ්මි අක්ෂරයෙන් දැකගත හැකියි. අනෙක් ලිපිය පේළි 6 කින් පමණ යුක්ත වන නමුත් කියවිය හැක්කේ අකුරු කිහිපයක් පමණි.

“කරඹගල ලිපිය” ලෙසින් ප්‍රසිද්ධ ලිපිය මහසෙන් මහා රජුගේ පුත්‍රයා වන සිරිමෙකවන අභය රජු විසින් බිලිවන විහාරයට කරන ලද පුජා ගැන ය, සඳහන් කරන්නේ.

තවත් ලිපි මෙහි දැකගත හැකි වුවත් බහුතරය පැහැදිලි නැත.

බොහෝ අය කරඹගල ගැන අසාවත් නැති අතර රටේ වැඩි පිරිසක් මෙම ස්ථානය ගැන දන්නේ නැත. එහි යටගියාව ද වැළලී ගොස් ය. කාලයත් සමඟ මේ පූජනීය ස්ථානය වනයෙන් වැසී ගොස් ඇති නමුත් දැනට වසර 50 ක පමණ සිට නැවතත් මෙහි භික්ෂු වාසයක් ඇතිව තිබෙනු දැකගත හැකි වීම භාග්‍යයකි.

කවරයේ රූපය : hiveminer.com

මුලාශ්‍ර :

amazinglanka.com

trips.lakdasun.org

www.archaeology.gov.lk

mapcarta.com

Related Articles