Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නුවරඑළිය නගරය මැද ජාතික වන උයන

නුවරඑළියේ සංචාරය කරන අය අතරින් වැඩිදෙනෙක් නොදන්නා, ලංකාවේ නගරයක පිහිටි එකම ජාතික උද්‍යානය තමයි ගැල්වේස් ලෑන්ඩ් කියන්නේ. මෙය ග්‍රෙගරි වැව ඉස්මත්තේ ටිකක් උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන පුංචි කඳුකර වනාන්තරයක්. වැඩිපුර ප්‍රසිද්ධ නැති වුණත් එයටම ආවේණික අපූරු සොබා සුන්දරත්වයක් මේ පුංචි වනාන්තරයේ තියෙනවා. නගරයේ සිට දුර කිලෝ මීටර දෙකක් විතර වෙනවා.  වාහනයකින් එන්නත් පුළුවන් වුණත් නගරයේ සිට පයින් ඇවිදගෙන පැමිණීම වඩාත් සුන්දර අත්දැකීමක් වේවි.

නම හැදුණේ කොහොමද?

උද්‍යාන දොරටුවේ නාම පුවරුව- Thingstodosrilanka.com

“ගැල්වේස් ලෑන්ඩ්” කියන්නේ ඉතින් “ගැල්වේගේ ඉඩම” කියන එකනේ. ඒ වගේ නොගැලපෙන නමක් වනාන්තරයට වැටුණේ කොහොමද කියලා අපට හිතෙනවා නේද? 

බ්‍රිතාන්‍ය පාලන සමයේ නුවරඑළියේ මිනුම් කටයුතු කළ මේජර් තෝමස් ස්කිනර්ගේ ප්‍රධාන සහායක නිලධාරියා වශයෙන් සිටි කැප්ටන් ගැල්වේ අපුරු පුද්ගලයෙක්. නුවරඑළිය ගැන හොඳ දැනුමක් තිබූ ඔහුට එහි ඉඩම් විශාල ප්‍රමාණයක් ද අයිතිව පැවතුණා. අද ගැල්වේස් උද්‍යානය සහ එයට නුදුරින් පිහිටි ගැල්වේස් ගම්මානයේ ඉඩම් ද ඔහු සතු වුණා. පසුව ඔහු තමා සතු ඉඩම් බොහොමයක් නුවරඑළිය නගරයේ ඉදිකිරිමේ කටයුතුවලට ලබාදී තිබෙනවා. නගරයේ ජල පෝෂිතයක් වශයෙන් ඉතා වැදගත් මේ භූමිය 1938 දී ආණ්ඩුවට ලබාදී ඇත්තේ අභය භූමියක් ලෙස ආරක්ෂා කිරීමට යි. දෙවැනි ලෝක යුද සමයේ (1940 දශකයේ) ඉංග්‍රීසි සොල්දාදුවන් මෙහි යුද අභ්‍යාසවල නිරත වීලු. ඒ නිසාම මේ වනය “මිලිටරි වනය” කියලත් හඳුන්වා තිබෙනවා.

ගමන් මාර්ගය

කඳුකර වනාන්තර අතරින්-pinrest.com

නුවරඑළිය නගරයේ සිට උඩුපුස්සැල්ලාව මාර්ගයේ කි. මී. එකක් පමණ ගියවිට හමුවන ආර්ථික මධ්‍යස්ථානය අසලින් හැරී ගැල්වේස් පාර දිගේ තවත් කිලෝමීටරයක් යා යුතු යි. වනෝද්‍යානය විවෘතකර ඇත්තේ පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පමණ යි. වනෝද්‍යාන කාර්යාලයෙන් ප්‍රවේශපත්‍රයක් ගෙන ඇතුළු විය යුතු යි. ලංකාවේ පයින් ගමන් කිරීමට අවසර ලැබෙන වනෝද්‍යාන කිහිපය අතරින් එකක් තමයි මේක. හිරුඑළිය පතිත වන්නටත් ප්‍රථමව මෙහි  ගමන ආරම්භ කිරීමෙන් වඩාත් හොඳ අත්දැකීමක් විඳගත හැකිවේවි.

සීතල දේශගුණය

වනයේ වනමල් – travelsrilanka.org fb page 

කඳුකර තෙත් දේශගුණික කලාපයට අයත් මේ භුමියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.5ක් වන අතර වාර්ෂිකව මි. මී. 2400ක් පමණ වර්ෂාපතනයක් පතිත වෙනවා. නිරිතදිග මෝසම් හා සංවහන වැසි ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශයට ලැබෙනවා. නුවරඑළිය නගරයටත් වඩා මේ වනය තුළ සීතල වැඩියි.

නගරයේ වනෝද්‍යානය 

වන වියන අතරින් පෙරෙනා හිරු රැස්- travelsrilanka.org fb page

හෙක්ටයාර 56.6කින් යුතු මේ ජාතික උද්‍යානය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්වන්නේ 1938 මැයි 27 වැනිදා. වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති නමුත් විවිධ අත්පත් කරගැනීම් නිසා මෙහි විශාලත්වය ක්‍රමයෙන් අඩුවී යමින් පැවතුණා. අපූර්ව ජෛව විවිධත්වයකින් යුතු නිසාම මේ වන පියස සංරක්ෂණය කරගැනීමේ අවශ්‍යතාවය පැවතුණා. ඒ නිසා 2006 මැයි 18 වැනිදා මෙය ජාතික වන උද්‍යානයක් බවට පත්කළා. ඒ අනුව ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි මේ අභයභූමියෙන් හෙක්ටයාර් 29.32ක් ජාතික වන උද්‍යානයට ඇතුළත් කෙරුණා. කිලෝ මීටර් දෙකක විතර සකස් කරපු අඩි පාරක් මේ වනාන්තරය හරහා තනා තියෙනවා. එහි පියමං කරමින් අවට සුන්දරත්වය දැකගත හැකියි.

ජෛව විවිධත්වය

සුලබ ආවේණික කඳුකර පක්ෂියෙක් ලංකා සිතැසියා – timeout.com

නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට ඉතා පහසුවෙන් කඳුකර වනාන්තරයක අත්දැකීම විඳගැනීම සඳහා තමයි මේ වනපෙත ජාතික උද්‍යානයක් බවට පත්කර තිබෙන්නේ. පක්ෂී නාද නිතර නැගෙන ඝන වන වදුල, පර්ණාංග සහ උඩවැඩියා, දිලීර, ලයිකන වර්ග, පෙඳපාසි ආදියෙන් පිරි මේ වනාන්තරය ඉතා සුන්දර අධික සීතලෙන් යුත් පෙදෙසක්. උඩු රෝපණය වගේම යටි රෝපණයත් ඝනව පැතිරිලා තියෙනවා.

වනයේ විවිධත්වය- travelsrilanka.org fb page

යටි රෝපණයේ බහුලව දකින්න ලැබෙන්නේ හෝටන් තැන්නේදීත් දකින නෙලු පඳුරු යි. වැහි කාලෙට ඉර එළිය නොවැටෙන තරමටම උඩු වන වැස්ම ඝනව වැවී තිබෙනවා. ඒ නිසාම යන්තම් හවස් වේගෙන එන වෙලාවේ දී වුණත් මේ වනෝද්‍යානයේ තියෙන්නේ මඳ අඳුර පිරුණු නිස්කලංක පරිසරයක්. ඉතා කෙටි කාලයකින් වනෝද්‍යානය නැරඹීටමත් පුළුවන්. අඩිපාර හරහා ඇවිදගෙන යන අතරමඟ දී ඔබට හමුවෙන සතුන් ගැන තොරතුරු අඩංගු පුවරු ගණනාවක් වනජීවී දෙපාර්තමේන්තුවෙන් සවිකර තිබෙනවා. 

වනවැස්මේ ශාක

වැල් බහුල පෙදෙසක්- Wikipedia.org 

කඳුකර තෙත් සදාහරිත වනාන්තරවලට අයත් ශාක වැස්මක් මෙහි දැකගත හැකියි. නමුත් මේ වනාන්තරය මිනිස් ක්‍රියාකාරකම් නිසා කලක් විනාශ වී තිබෙනවා. විශාල වශයෙන් කීන, දඹ, යන ශාක පැතිරී පවතිනවා. පසුව හඳුන්වා දුන් යුකැලිප්ටස් සහ පයිනස් යන ශාකයන් ද ඒ අතර වෙනවා. දැන් යළිත් වනපෙත ස්වභාවික වනාන්තරයක් බවට ක්‍රමයෙන් පත්වන අයුරු ද නිරීක්ෂණය කළ හැනියි. 

යටි වගාවේ බහුලව පැතිර තිබෙන්නේ නෙලු ශාකය යි. වල් සපු හා වැල්උණ යන ශාක ද වනවැස්ම අලංකාර කරනවා. විදේශීය විවෘත බීජ ශාකයක් වන ඇරෑකේරියා ද, ගිනිහොට පර්ණාංග ශාකය ද මෙහි බහුල යි. යුකැලිප්ටස් හා ෆයිනස් ගස් වගාවකුත් එක පෙදෙසක පැතිර තිබෙනවා. 

පක්ෂි විශේෂ 35ක්

ලංකා පීතකන් කොණ්ඩයා- lakpura.com

මේ වනයේ පක්ෂී විශේෂ 35ක් වාර්තා වෙනවා. ඉන් 7ක්ම ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්. ලංකා පීතකන් කොණ්ඩයා නම් ආවේණික පක්ෂියා මෙහි සුලබ යි. මොවුන් යුගල වශයෙන් හෝ රංචු වශයෙන් වනයේ සැරිසරනවා. ලංකා උරුවන් තිරාසිකයා, ලංකා වලිකුකුළා, ලංකා අඳුරු නිල් මැසිමරා, ලංකා සිතැසියා, අරංගයා ආවේණික පක්ෂින් අතර සිටිනවා. පුංචි මිණිවිත්තා, කහ කුරුල්ලා, නීල කොබෙයියා,  පොල්කිච්චා, වනහැලපෙන්දා, බොර සබරිත්තා, කඳුකර රාජාලියා වැනි පක්ෂින් ද මෙහි තුරු අතර සරනවා.  මේ පක්ෂීන් උදෑසන ආහාර සොයමින් ගමන් කරන ආකාරය බලා සිටීමත් කදිම අත්දැකීමක්. ඔබ කුරුලු ලෝලියකු නම් දුරදක්නයත් මේ ගමනේ දී අත්‍යවශ්‍ය වෙනවා. කණ්ඩායමක් විදිහට යනවා නම් වැඩිය සද්ද නොකර ගමන් කිරීමෙන් වැඩිපුර පක්ෂීන් දැකගැනීමට ලැබෙනවා.

ක්ෂීරපායින් සහ උරගයන්

ආවේණික දුලබ අංකටුස්සා- travelsrilanka.org fb page

 අතීතයේ මෙහි ගෝනුන් සිටින්නට ඇති වුවත් දැන් නම් නැහැ. ඉංග්‍රීසි කාලේ දඩයම නිසා උන් වඳවී ගිහින්. වල්ඌරා, වැලිමුවා, හඳුන් දිවියා, කළු වඳුරා, ලේනා සහ  දඩුලේනා, හාවා යන සතුන් සිටිනවා. ඒ අතරින්  ලෙහෙනුන්, දඬු ලෙහෙනුන් බහුල යි.  

කුරුබෝදිලිමා- Buddhika Mavella, aturesummery.blogspot.com

 

කටුසු වර්ග කිහිපයක් වගේම සමනල් වර්ග ගණනාවක් මේ වනයේ දී ඔබට දැකගැනීමට ලැබෙනවා. අං කටුස්සා, කුරු බෝදිලිමා, කළු කොපුල් කටුස්සා  ඒ අතර සිටිනවා. ලේමැඩිල්ලා නම් සර්පයා ද මෙහි සිටිනවා.

යළිත් වරක් නුවරඑළියට ගියොත් මේ වනෝද්‍යානයේ රවුමක් ගහන්නත් අමතක කරන්න එපා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Silumina.lk

සිරිලක ජාතික වනෝද්‍යාන 2 - ජගත් කණහැරආරච්චි

කවරය- වනතුරු අතරින් වැටුණු මංපෙත- timeout.com

Related Articles