Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපයේ සුඛෝපභෝගි දුම්රිය සේවය: ඔරියන්ට් එක්ස්ප්‍රස්

19 වන සියවසේ අග භාගය වන විට ගමනාගමන කටයුතු සඳහා ගුවන් යානා භාවිත වුණේ නැහැ. එනිසා එම කාල වකවානුවේ දී වඩාත් දියුණු ගමනාගමන ක්‍රම බවට පත් ව තිබුණේ නැව් සහ දුම්රිය යි. ඒ අතුරින් දුම්රිය, ක්‍රමක්‍රමයෙන් ජනතාව අතර ජනප්‍රිය වීමට හේතු වුණේ මගීන්ට සාපේක්ෂ ව අඩු කාලයක දී අවශ්‍ය කරන ගමනාන්තය කරා ළඟා වීමට හැකිවුණු නිසා යි. 

දුම්රිය සේවය මගීන් අතර ජනප්‍රිය වෙද්දී සුඛෝපභෝගි දුම්රිය සේවා ආරම්භ කිරීමට දුම්රිය සමාගම් උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය සේවය 1883 වසරේ දී ආරම්භ  වුණා. එදා යුරෝපා රටවල් රැසක් අතර ධාවනය වුණු එම දුම්රිය සේවයට අයත් සුඛෝපභෝගි දුම්රියයන් මගීන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබුණා. මෙතැන් සිට ඔබට කියන්නේ ඔරියන්ට්ස් එක්ස්ප්‍රස් දුම්රියේ සේවාවේ සියවසකටත් වඩා පැරණි ඉතිහාස කතාව යි.

 

සුඛෝපභෝගී දුම්රිය සේවයක් පිළිබඳ අදහස කරළියට 

1870 දශකය ආරම්භ වන විට යුරෝපා රටවල් අතර දුම්රියයන් රැසක් ධාවනය වුණා. එම දුම්රියයන්වල තිබුණු පහසුකම් අවම මට්ටමක පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටවල් අතර දීර්ඝ දුම්රිය ගමන්වල යෙදුණු මගීන් අපහසුතාවට පත්වුණා. ඒ අනුව එම යුගයේ දී යුරෝපයට සුඛෝපභෝගි දුම්රියක අවශ්‍යතාව තදින් දැනුණා. එවැනි කාල වකවානුවක බෙල්ජියම් ජාතික ඉංජිනේරුවකු වුණු ජෝර්ජස් නැගල්මාකර්ස් අමෙරිකාවේ සංචාරයක නිරත වුණා.

අමෙරිකාවේ දුම්රිය සේවය ඒ වන විට වඩාත් දියුණු මට්ටමකට පත්ව තිබුණු නිසා සුඛෝපභෝගී රේල් බස්  සහ දුම්රියයන් ධාවනය සඳහා එක් කර තිබුණා. ඒවායේ ගමන් කිරීමට නැගල්මාකර්ස්ට අවස්ථාවක් ලැබුණා. එහි තිබුණු පහසුකම් දැකීමෙන් ඔහු මවිතයට පත්වුණා. එනිසා එවැනි සුපිරි දුම්රියයන් සහ රේල් කාර්  යුරෝපයේ ධාවනය කරවීමට ඔහුට අදහසක් පහළ වුණා.  

ජෝර්ජස් නැගල්මාකර්ස් – history.com

 

CIWL සමාගම බිහිවීම 

එකල අමෙරිකාවේ සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ස්ථාපිත කිරීම සඳහා මූලිකත්වය ගත්තේ ජෝර්ජ් පුල්මන් නම් ඉංජිනේරුවා යි. පුල්මන්ගේ එම අපූරු සංකල්පය පිළිබඳ ව දැඩි ලෙස පැහැදී සිටි නැගල්මාකර්ස් යුරෝපයේ එවැනි සේවාවක් ආරම්භ කිරීම සඳහා ඔහුගෙන් උදව් ඉල්ලා සිටියා. එයට සහාය වීමට පුල්මන් කැමැත්තක් දැක්වූයේ නැහැ.

ඉන් නොසැලුණු නැගල්මාකර්ස් යුරෝපයට පැමිණ අලුතින් දුම්රිය සේවාවක් නිර්මාණය කිරීම පිළිබඳ ව කල්පනා කළා. නමුත් 1870 දශකයේ මුල් භාගයේ ඇතිවුණු ෆ්රැන්කෝ-පර්සියන් යුද්ධය හේතුවෙන් එහි වැඩ කටයුතු අතරමග ඇණ හිටියා.

ජෝර්ජ් පුල්මන් – alchetron.com

 

 වසර කිහිපයකට පසුවසිය කටයුතු  යළිත් ආරම්භ කළ නැගල්මාකර්ස් සුඛෝපභෝගි දුම්රිය සේවාව ආරම්භ කිරීමේ අරමුණ ඇතිව ජෝර්ජස් නැගල්මාකර්ස් යන නමින් ම අලුතින් සමාගමක් පිහිටුවා ගත්තා. පසුව එම සමාගමේ නම CIWL ( Compagnie Internationale des Wagons-Lits) ලෙසින් වෙනස් කළා.

ඔහුගේ සමාගම මුල් යුගයේ දී සුඛෝපභෝගි රේල් බස් භාවිතයෙන් මගීන් ප්‍රවාහනය කිරීම ආරම්භ කළා. එය වැඩි කලක් යන්නට පෙර මගීන් අතර ජනප්‍රිය වුණා. ඒ එවැනි සේවාවක් ඊට පෙර යුරෝපයේ ක්‍රියාත්මක නොවුණු නිසා යි.

CIWL සමාගමේ රේල් බස්  රථයක් – wagons-lits-diffusion.com

 

සමාගමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම 

1870 දශකයේ අග භාගය වන විට නැගල්මාකර්ස්ගේ රේල් බස් රථවලට පුදුම ඉල්ලුමක් තිබුණා. නමුත් රේල් බස් රථවල විශාල මගීන් ප්‍රමාණයකට ගමන් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එනිසා ඒ වන විට සුඛෝපභෝගි දුම්රියක අවශ්‍යතාව තදින්ම දැනුණා. එවැනි දුම්රියක් නිර්මාණය කිරීමේ කටයුත්ත සඳහා සමාගම සතුව ප්‍රමාණවත් තරම් මුදලක් තිබුණේ නැහැ. ඒ සඳහා බලවත් අනුග්‍රාහකයකුගේ මැදිහත්වීම අවශ්‍ය වුණා.

එලෙස කාලය ගෙවීයද්දී බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජතුමාට නැගල්මාකර්ස්ගේ සමාගම ගැන තොරතුරු දැනගන්නට ලැබුණා. ඉන් පසුව රජතුමා නැගල්මාකර්ස්ට පණිවිඩයක් යවමින් ආරාධනා කළේ තමන් හමුවීමට එන ලෙස යි. එදා රජතුමා හමුවීමට ගිය නැගල්මාකර්ස් ඔහුගේ සුඛෝපභෝගි දුම්රිය පිළිබඳ සැලැස්ම අනාවරණය කළා. ඉතාමත් හොඳ දුම්රිය ලෝලියකු වුණු රජතුමා එම දුම්රිය සේවාව ආරම්භ කිරීම සඳහා සහාය ලබාදීමට තීරණය කළා. ඒ වාගේම  CIWL සමාගම තවත් දියුණු කිරීම සඳහා සහාය ලබාදීමටත් එකඟ වුණා. 

දෙවන ලියෝපෝල්ඩ් රජතුමා – thefamouspeople.com

 

ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය සේවාව බිහිවීම 

 දෙවන ලියෝපෝල්ඩ් රජතුමාගේ මැදිහත්වීම නිසා වෙනත් දුම්රිය සමාගම්වල කොන්ත්‍රාත්තු රැසක් CIWL සමාගමට ලැබුණා. එහි දී CIWL සමාගම විවිධ ආකාරයේ දුම්රිය මැදිරි නිර්මාණය කර එම සමාගම්වලට අලෙවි කළා. එමඟින් සමාගමට විශාල ආදායමක් ලැබුණා. ඒ අතරතුර නව සුඛෝපභෝගි දුම්රිය සේවාවේ ඉදිරි කටයුතු සිදුවෙමින් පැවතුණා. ඉංජිනේරු නැගල්මාකර්ස් නිතරම එහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළා.

ඔහුට අවශ්‍ය වුණේ අමෙරිකාවේ දුම්රිය සේවාවන්ට වඩා තත්ත්වයෙන් උසස් දුම්රිය සේවාවක් යුරෝපයේ නිර්මාණය කිරීම යි. නැගල්මාකර්ස්ගේ උත්සාහය මල් ඵල නංවමින් 1882 වසරේ මැද භාගය පමණ වන විට මුල්ම ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රියේ වැඩ අවසන් කිරීමට හැකිවුණා. වැඩ අවසන් වුණු දුම්රිය නිරීක්ෂණය කිරීමට පැමිණි ලියෝපෝල්ඩ් රජතුමා එහි ප්‍රමිතිය බෙහෙවින් අගය කළා.

ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය පිළිබඳව පළවුණු දැන්වීමක් – Wikipedia

 

මංගල දුම්රිය ගමන 

ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රියේ මංගල ගමන් වාරය 1882 ඔක්තෝබර් 10 වැනිදා යෙදී තිබුණා. එදා දුම්රිය ප්‍රංශයේ පැරිස් නගරයේ සිට ඔස්ට්‍රියාවේ වියානා නගරය දක්වා ගමන් කළා. බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජතුමා දුම්රිය ගමනේ ප්‍රධාන ආරාධිතයා බවට පත්වෙද්දී තවත් ප්‍රභූවරුන් රැසක් ගමන සඳහා එක්ව සිටියා.

ඒ වාගේම පළමු ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය නිර්මාණය කිරීම සඳහා සහාය ලබාදුන් තවත් බොහෝ පිරිසක් ගමන සඳහා එකතු කරගැනීමට නැගල්මාකර්ස් කටයුතු කළා.  

මංගල දුම්රිය ගමනේ අවස්ථාවක්  – gettyimages.com

 

එදා සුව පහසු දුම්රිය මැදිරිවල ගමන් කළ අමුත්තන්ට ඉස්තරම් කෑම වේල් ලබාදීමට දුම්රියේ කාර්යය මණ්ඩලය කටයුතු කළා. ඒ අනුව අමුත්තන්ට ඉතාලි පැස්ටා සමඟ සුප්, බෙල්ලන්, චිකන් චැසියර්, ටර්බොට්, බීෆ් ටෙන්ඩර්ලොයින්, මුව මස්, පලතුරු සලාද සහ පේස්ට්‍රි ආහාර වශයෙන් ලබා දුන්නා. ඒ වාගේම බෝඩෝ සහ බර්ගන්ඩි වයින් වර්ග සහ ප්‍රංශ ෂැම්පේන් වැනි ඉස්තරම් පාන වර්ගවලට රස බැලීමට ද අමුත්තන්ට අවස්ථාව ලැබුණා.

ඔක්තෝබර් 10 වැනිදා පස්වරු 6.30 ට පැරිස් නගරයෙන් පිටත් වුණු දුම්රිය, වියානා නගරය වෙත පසු දින රාත්‍රී 11.20ට ළඟා වුණා. ඔක්තෝබර් 13 වැනිදා යළිත් වියානාවෙන් පිටත් වුණු දුම්රිය පැරිස් වෙත පසු දින රාත්‍රී 8ට ළගා වුණා. ඒ සමඟ ම ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රියේ මංගල ගමන නිමාවට පත්වුණා.

දුම්රිය තුළ ආහාරය පිළියෙල කළ ආකාරය (gettyimages.com)

 

දුම්රිය සේවාව නිල වශයෙන් ආරම්භ වීම 

ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය නිල වශයෙන් සිය ධාවන කටයුතු 1883 ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ කළා. එදා දුම්රිය ප්‍රංශයේ පැරිස් නගරයේ සිට තුර්කියේ ඉස්තාන්බුල් නගරය දක්වා ගමන් කළා. එම ගමන සඳහා දින දෙකකට වැඩි කාලයක් ගත වුණා. දුම්රිය සේවය නිල වශයෙන් ආරම්භ වුණු දිනයේ දුම්රියේ සියලු ම ආසන මගීන්ගෙන් පිරී තිබුණා.

එම දුම්රිය ගමන පිළිබඳ ව පුවත්පත්වලින් කල් ඇතිව ම දැනුම් දී තිබුණු නිසා මගීන් ප්‍රවේශ පත්‍ර වේලාසනින් ම වෙන් කරගෙන තිබුණා. එනිසා මංගල දුම්රිය ගමනෙන් CIWL සමාගමට විශාල ලාභයක් ලැබුණා. ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රියට මගීන්ගෙන් විශාල ඉල්ලුමක් ද ලැබුණා. එනිසා වසර කිහිපයක් යන විට මෙම දුම්රිය සේවය යුරෝපා රටවල් අතර වඩාත් ජනප්‍රිය වුණා.

සුඛෝපභෝගි දුම්රිය මැදිරියක්  – gettyimages.com

 

දුම්රිය තුළ තිබුණු පහසුකම් 

මෙම  සුඛෝපභෝගි දුම්රියේ සැප පහසු නිදන ඇඳන් සහිත මැදිරි තිබුණා. මගීන්ගේ ගමන් මළු ආරක්ෂිත ව  තැන්පත් කිරීම සඳහා මැදිරි වෙන් කර තිබුණා. මෙහි තිබුණු ඉස්තරම් වර්ගයේ ආහාර පාන පිළියෙළ කළ ආපන ශාලා මගීන්ගේ සිත් ගත්තා. එම ආපනශාලාවල ඉතාලි, ජර්මන්, ප්‍රංශ ආහාර වට්ටෝරු අනුව කෑම සැකසුණා.

ගමන අතරතුර වෙහෙස නිවා ගැනීම සඳහා අවශ්‍ය වුණු මගීන්ට ස්නානය සඳහා නවීන පන්නයේ නාන කාමර ඉදිකර තිබුණා. ඒ වාගේම පුස්තකාල , සංගීත කාමර, සහ ක්‍රීඩා කාමර වැනි දේවල් දුම්රිය තුළ තිබුණු නිසා මගීන්ට කිසිදු වෙහෙස මහන්සියකින් තොරව සිය ගමනාන්තය වෙත ළඟා වීමට හැකිවුණා. 

මගීන්ව පිනවන සංගීතකරුවන්  – gettyimages.com

 

විවිධ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය 

ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය මුල් යුගයේ දී පැරිස් සිට ඉස්තාන්බුල් දක්වා ගමන් කළා. ටික කලකින් එම දුම්රිය ලන්ඩන් සිට ඉස්තාන්බුල් දක්වා ගමන් කළා. එහි දී දුම්රිය ලන්ඩන්, පැරිස්, ස්ට්‍රාස්බර්ග්, මියුනිච්, වියානා, බුඩාපේස්ට් සහ බුකරෙස්ට් යන නගර හරහා ඉස්තාන්බුල් වෙත ළඟා වුණා. එම දුම්රිය සේවාව 1962 වසර දක්වා පැවතුණා.

එම දුම්රිය ධාවනයේ පවතිද්දී තවත් ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රියක් 1919 දී සේවයට එක් වුණා. සිම්ප්ලෝන් ඔරියන්ට් එක්ස්ප්‍රස් නමින් හැඳින්වුණු එය පැරිස් නගරයේ සිට ඉස්තාන්බුල් දක්වා ගමන් කළේ වෙනත් මාර්ගයක් ඔස්සේ යි. එම දුම්රිය ලෝසාන්, මිලාන්, වැනීසිය, බෙල්ග්‍රේඩ්, සොෆියා යන නගර හරහා ඉස්තාන්බුල් වෙත ගමන් කළා. 1977 වසර දක්වා පැවති එම දුම්රිය සේවයේ නම 1962 වසරේ දී ඩිරෙක්ට් ඔරියන්ට් එක්ස්ප්‍රස් යන නමින් වෙනස් වුණා. 

ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රියක් – gettyimages.com

 

1930-1962 කාල සමයේ අර්ල්බර්ග් ඔරියන්ට් එක්ස්ප්‍රස් නමින් තවත් දුම්රියක් ලන්ඩන් නගරයේ සිට ග්‍රීසියේ ඇතන්ස් සහ රුමේනියාවේ බුකරෙස්ට් යන නගර වෙත ගමන් කළා. එම දුම්රිය පැරිස්, සූරිච්, වියානා, බුඩාපේස්ට් දක්වා පැමිණ එතනින් දෙපසට බෙදී ඇතන්ස් සහ බුකරෙස්ට් වෙත ගමන් කළා. 1982-2005 කාල සමයේ ධාවනය වුණු වැනීස් සිම්ප්ලෝන් ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ප්‍රංශයේ කැලේස් නගරයේ සිට ඉතාලියේ වැනීසිය දක්වා ධාවනයේ යෙදුණා. ඒ වාගේම 1977-2001 දක්වා පැරිස් සිට බුඩාපේස්ට්, 2001-2007 දක්වා පැරිස් සිට වියානා, 2007-2009 දක්වා ස්ට්‍රාස්බර්ග් සිට වියානා දක්වා ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රියයන් ධාවනය වුණා. 

සේවාවේ අවසානය සහ යළි ඇරඹීම 

21 වන සියවස ආරම්භ වන විට අධිවේගී දුම්රිය සේවා ලොව පුරා ප්‍රචලිත වී තිබුණා. ගුවන් යානා ද ගමනාගමන කටයුතු සඳහා බහුල ව භාවිත වෙමින් පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය සේවයට තිබුණු ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගත්තා. එනිසා  2009 වසරේ දී ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය සේවාව නවතා දැමීමට තීරණය කළා. ඒ අනුව 2009 දෙසැම්බර් 12 වැනිදා අවසන් වරට ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රියක් ධාවනය වුණා.

ඒ වන විට එම දුම්රිය සේවාව වසර 126ක් යුරෝපා රටවල ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා ඉටු කර තිබුණා. එලෙස නතර කළ මෙම සුඛෝපභෝගි දුම්රිය සේවාව බොහෝ දෙනකුගේ ඉල්ලිම පරිදි 2021 වසරේ දී යළි ආරම්භ වුණා. ඒ අනුව වැනීස් සිම්ප්ලෝන් ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය සේවාව දැන් ලන්ඩනයේ සිට වැනීසිය දක්වා ක්‍රියාත්මක වෙනවා. එනිසා යුරෝපයේ මගීන්ට යළිත් වරක් ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ගමනේ අත්දැකීම විඳ ගැනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.

කවරයේ ඡායාරූපය- ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රියක් - itinari.com 

මූලාශ්‍ර:

nationalgeographic.com

orient-express.com

belmond.com 

Related Articles