Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාව හැඩ කරන සුන්දර වෙරළ තීරයන් 5ක්

සුන්දර ස්ථානවලින් පිරුණු ශ්‍රී ලංකාව ලොව පුරා සිටින සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වුණු දිවයිනක්. ලංකාව වටා තිබෙන රමණීය මුහුදු තීරය නිසා විදෙස් සංචාරකයන් මෙහි පැමිණීමට වඩාත් ප්‍රියතාවයක් දක්වනවා. මෙහි පැමිණෙන සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගන්නා වෙරළ තීරයන් කිහිපයක්ම රට වටා පිහිටා තිබෙනවා. එම වෙරළ තීරයන්ට දිනකට විශාල සංචාරකයන් ප්‍රමාණයක් ඇදී එන නිසා ඒවාට ලැබී තිබෙන්නේ ඉහළම ප්‍රසිද්ධියක්. එසේ නම් මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ අප රට වටා පිහිටා තිබෙන සුන්දරම වෙරළ තීරයන් කිහිපයක් පිළිබඳව යි.

උණවටුන 

දකුණු මුහුදු තීරය තුළ පිහිටා තිබෙන උණවටුන වෙරළ තීරය ලංකාවේ දී හමුවන සුන්දරම වෙරළ තීරයක්. වරෙක ඩිස්කවරි නාලිකාව විසින් උණවටුන ලොව හොඳම නිවර්තන වෙරළ තීරය ලෙසින් නම් කරනු ලැබුවා. එම නිසා උණවටුන වෙරළ තීරයට දෙස් විදෙස් සංචාරකයන් නිතරම පැමිණෙනවා. ඔබ කොළඹ සිට උණවටුනට පැමිණෙන සංචාරකයෙක් නම් මුලින්ම ගාල්ල නගරය දක්වා පැමිණිය යුතු යි. ඉන් පසුව ගාල්ල නගරයේ සිට මාතර දෙසට කිලෝමීටර් 6.7ක් පමණ ගමන් කළ විට සුන්දර උණවටුණ වෙරළ තීරය හමුවනවා. ඔබ කොළඹ සිට අධිවේගි මාර්ගය ඔස්සේ පැමිණෙන සංචාරකයෙක් නම් පින්නදූව හුවමාරුවෙන් පිටවී ගාල්ල දෙසට පැමිණෙන විට හමුවන බොනවිස්ටා වෙරළ අසලින් වම්පැත්තට හැරී මාතර දෙසට  කිලෝමීටර් 2.7ක් පමණ  ගමන් කළ විට උණවටුන වෙරළ තීරයට ළඟා විය හැකියි. විශාල ලෙස පැතිරී ගිය වෙරළ තීරයක් වන උණවටුන වෙරළ තීරයට ආසන්නව කොරල් පර පිහිටා තිබෙනවා. එසේම විශාල මුහුදු ප්‍රදේශයක් හරහා එන දිය රැළි උණවටුනට එන සංචාරකයන් කුල්මත් කරනවා. උණවටුනට නිරන්තරයෙන්ම   සංචාරකයන් පැමිණෙන නිසා වෙරළට ආසන්නව හෝටල් සහ ආපනශාලා රැසක් ඉදිකර තිබෙනවා. එම නිසාම විවේකී දිනයක උණවටුනට පැමිණෙන ඔබට කොරල්පර නරඹා මුහුදේ නෑමෙන් පසුව අවන්හලකින් ආහාර පාන ගෙන හොඳින් විනෝද වී ආපසු යා හැකියි.  

උණවටුන වෙරළ තීරය (gettyimages)

ආරුගම් බොක්ක 

නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා තිබෙන සුන්දරම මුහුදු තීරයක් වන ආරුගම් බොක්ක වෙත කොළඹ සිට ළඟා විය හැකි මාර්ග කිහිපයක් තිබෙනවා. එහි දී කොළඹ සිට නුවර හරහාත් කොළඹ සිට රත්නපුර හරහාත් ආරුගම් බොක්ක වෙත පැමිණිය හැකි මාර්ග දුරින් අඩු යි. නමුත් දුරින් වැඩි වුණත් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ වැටී තිබෙන මඟ ඔස්සේ ඉක්මනින්ම ආරුගම් බොක්ක වෙත ළඟාවන්නට පුළුවන්. ආරුගම් බොක්ක මුහුදු තීරය ගැන සඳහන් කරන විට බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ සර්ෆින් ක්‍රීඩාව යි. ලංකාවේ වගේම ලෝකයේ සර්ෆින්වලට ප්‍රසිද්ධම මුහුදු තීරයක් විදියටත් ආරුගම් බොක්ක මුහුදු තීරයට ප්‍රසිද්ධියක් හිමිව තිබෙනවා. ආරුගම් බොක්කේ සර්ෆින්වලට සුදුසුම කාලය වන්නේ මැයි සිට නොවැම්බර් දක්වා කාලය යි. එසේම ලංකාවේ තිබෙන පිරිසිදුම වෙරළ තීරයන් ගෙන් එකක් වන මෙම වෙරළ තීරය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි. ආරුගම් බොක්ක මුහුදු තීරය ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක් වුණු තවත් සිදුවීමක් 2004 වසරේ දී සිදු වුණා. ඒ ප්‍රථම ජාත්‍යන්තර රළ මත ලිස්සා යෑමේ තරගාවලිය මෙහි පැවැත්වීම මඟින්. ආරුගම් බොක්ක සංචාරක පාරාදීසයක් ලෙස වඩාත් ප්‍රචලිත වී තිබෙන නිසා මෙම ප්‍රදේශය ආශ්‍රිතව සුපිරි පැලැන්තියේ සංචාරක හෝටල් ද නිර්මාණය වී තිබෙනවා. ඔබ සංචාරයට ප්‍රිය කරන කෙනෙක් නම් ආරුගම් බොක්ක මුහුදු තීරයට ගොස් එහි ඇති අසිරිය නැරැඹීමට හැකියි.

ආරුගම් බොක්කේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන්නෙක් (gettyimages)

පාසිකුඩා 

කොළඹ සිට පාසිකුඩා දක්වා ගමන් කරන සංචාරකයෙකු පොළොන්නරුව වෙත ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පසුකර වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ළඟා විය යුතු යි. ඉන් අනතුරුව  වාලච්චේන පොලිසිය ළඟින් වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකර ගිය පසුව මනරම්  පාසිකුඩා මුහුදු තීරය වෙත ළඟා විය හැකියි. එසේම කොළඹ සිට මහනුවරට පැමිණ  නුවර – මඩකලපුව මාර්ගය  හරහා ද  පාසිකුඩා වෙත ළඟා විය හැකියි. නමුත් අඩුම දුරක් ගෙවමින් අවම කාලයක් වැයකරමින් පාසිකුඩා වෙත ළඟා වීමට කැමති කෙනෙකු තෝරාගත යුත්තේ පොළොන්නරුව හරහා පාසිකුඩා වෙත වැටී තිබෙන මාර්ගය යි. මුහුදේ සිට කිලෝමීටරයක් පමණ දුරක් දක්වා විහිදී යන ස්වාභාවික දිය තටාකයක් පාසිකුඩා වෙරළේ දක්නට ලැබෙනවා.  සොබාදහමෙන් ලැබී තිබෙන එම අපූරු තිළිණය නිසාම පාසිකුඩා වෙරළට ලොව පුරා සිටින සංචාරකයන් පැමිණෙනවා. එම ප්‍රදේශය තුළ  මුහුදු රළ සෞම්‍යය ආකාරයට පැවතීම නිසා  එහි  පැමිණෙන සංචාරකයන්ට රිසි සේ මුහුදේ බැස විනෝද වන්නට හැකියාව ලැබී තිබෙනවා. එසේම පාසිකුඩා වෙරළ තිරයේ අලංකාර කොරල් වැටියක් ද දක්නට ලැබෙනවා. එම සුන්දර කොරල් වැටිය මඟින්  වෙරළ තිරයට අලංකාරයක් මෙන්ම ආරක්ෂාවක් ද ගෙන දෙනවා. පාසිකුඩා වෙරළේ සෞම්‍ය රළ සහිත තටාකයක් නිර්මාණය වී තිබෙන්නේත් එම කොරල් වැටිය මඟින් මුහුදු රළ බිඳින නිසා යි.

පාසිකුඩා වෙරළ තීරය (gettyimages)

මාබල් බීච් 

කොළඹ සිට මාබල් බීච් දක්වා ගමන් කරන සංචාරකයෙකු කුරුණෑගල, දඹුල්ල, කන්තලේ යන නගර කිහිපය පසුකර තඹලගමුව හන්දිය දක්වා ගමන් කළ යුතු යි. ඉන් පසුව තඹලගමුව හන්දියේ සිට කින්නියා හරහා කිලෝමීටර් 20ක පමණ දුරක් ගමන් කර පසු සුන්දර මාබල් බීච් වෙත ළඟාවන්නට පුළුවන්. නැගෙනහිර මුහුදු තීරය තුළ පිහිටා තිබෙන සුන්දර වෙරළ තීරයක් වන මාබල් බීච්  කොඩ්ඩියාර් බොක්කට මුහුණලා පිහිටා තිබෙනවා. එම වෙරළ තීරයට දිවා කාලයේ දී හිරු එළිය වැටී කිරිගරුඬ මතුපිටක් මෙන් දිදුලන නිසාවෙන් කිරිගරුඬ වෙරළ යන නාමය ලැබී තිබෙනවා. එසේම මෙම වෙරළ අසල මුහුදු ප්‍රදේශය නොගැඹුරු නිසා ජල තටාකයක්‌ සේ දිස්වනවා. එම නොගැඹුරු මුහුදු ප්‍රදේශයට හිරු රැස් පතිත වුණු විට මාබල් ඇල්ලූ පෙදෙසක් මෙන් දිස්වන නිසා මෙම වෙරළ තීරය මාබල් බීච් යන නමින් හඳුන්වනවා. මාබල් බීච් වෙරළ තීරය රැක බලා ගනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින්. එම නිසා මාබල් බීච් වෙරළ තීරයේ සංචාරකයන්ට මුදල් ගෙවීමකින් තොරව ඇතුළුවිය හැකි පොදු වෙරළ කලාපයට අමතරව ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන විශේෂ වෙරළ කලාපයක් තිබෙනවා. එම විශේෂ වෙරළ කලාපය තුළ පිහිටා තිබෙන නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යන්නේ ගුවන් හමුදාව විසින්. ඔබට මාබල් බීච් ආශ්‍රිත නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් එම නිවාඩු නිකේතනයට පැමිණ එහි නවාතැන් ගෙන මනරම් වටපිටාවක විවේකී දිනයක් ගත කළ හැකියි. 

මාබල් බීච් (gettyimages)

නිලාවෙලි 

කොළඹ සිට නිලාවෙලි වෙරළ තීරය දක්වා ගමන් කරන සංචාරකයෙකු මුලින්ම ත්‍රිකුණාමලය නගරයට යා යුතු යි. ඉන් පසුව ත්‍රිකුණාමල-පුල්මුඩේ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 15ක පමණ දුරක් ගමන් කළ පසු රමණීය නිලාවෙලි වෙරළ තීරය හමුවනවා. දැකුම්කළු මුහුදු තීරයක් ලෙස සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙන නිලාවෙලි වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් සිටින විට මඳක් දුරින් පිහිටා තිබෙන පරෙවි දූපත දිස්වනවා. ලංකාවේ ඇති විශිෂ්ටතම නොගැඹුරු දියේ කිමිදුම් කටයුතුවල නිරත විය හැකි ස්ථානයක් ලෙසින් පරෙවි දූපත අසල මුහුදු ප්‍රදේශය හඳුනාගෙන තිබෙනවා. එසේම ජල ක්‍රීඩා සඳහා ද යෝග්‍ය නිලාවෙලි මුහුදු තීරයේ දී මනාව සංරක්ෂණය වුණු ජීව පරයක් දැක ගැනීමට හැකි අතර එය වර්ණවත් නිවර්තන මසුන් රාශ්‍රියකට ද  නවාතැන් සපයනවා.

නිලාවෙලි වෙරළ තීරය (gettyimages)

කවරයේ ඡායාරූපය- උණවටුන වෙරළ තීරය (gettyimages)

Related Articles