Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඒසෝරස්: අත්ලාන්තික් සයුරේ හුදෙකලා පාරාදීසය

 ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධියට පත් වූ සංචාරක ගමනාන්ත රැසක් තිබෙනවා. පැරිස්, රෝමය, ඇතන්ස්, නිව් යෝර්ක් එවැනි ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත කිහිපයක් සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි යි. ඇතැම් පුද්ගලයන් මරණයට පත් වීමට කලින් ඉටු කර ගත යුතු දේවල්, එහෙමත් නැත්නම් “බකට් ලිස්ට්” එකට තමන් කැමති සංචාරක ගමනාන්තයකුත් ඇතුළත් කරගැනීමට උත්සහ කරනවා. ‍ලෝකයේ යම්කිසි ස්ථානයක් ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන්නේ එහි ඇති සුන්දරත්වය නිසා ම පමණක්  නොවෙයි. අදාළ ස්ථානයට ළඟා වීමේ ප්‍රවාහන පහසුකම්, සංචාරක ස්ථානය අයත් වන රාජ්‍යයේ තිබෙන සාමකාමී වාතාවරණය සහ භෞතික පහසුකම් යන තවත් බොහෝ කාරණා එයට බලපානවා.

 මේ සියලු සාධක සැපිරුවත්, මිනිසුන්ට මඟ හැරෙන සංචාරක ගමනාන්ත ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. නිසි ප්‍රචාරණයක් නොමැති වීමත් මේ සඳහා හේතු වෙන්න පුළුවන්. වැඩිපුර කතාබහට ලක් නොවන මෙවැනි ස්ථාන අපි අසා ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තවලටත් වඩා අතිශයින් සුන්දර වීමේ හැකියාවක් තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ, වැඩි කතාබහට ලක් නොවෙන සංචාරක ගමනාන්තයක් ගැන පැවසීම උදෙසා යි.

ඒසෝරස් දූපත් සමූහයේ පිහිටීම – pinterest.com 

අත්ලාන්තික් සයුරේ හුදෙකලා පරාදීසය

 මේ දූපත් සමූහය හඳුන්වන්නේ “ඒසෝරස්” යනුවෙන්. විවිධ රටවල භාෂා ශෛලිය අනුව, දූපත් සමූහයට තබා ඇති නම උච්චාරණය කිරීමේ දී සුළු සුළු වෙනස්කම් සිදු වෙනවා. ඇතැම් විට “එසෝරිස්” හෝ “ඇසෝරස්” යනුවෙනුත් දූපත් සමූහය හඳුන්වනවා. විස්තර කිරීම් අතරතුර භාවිතයේ පහසුව තකා මෙතැන් පටන් අප එයට “ඒසෝරස්” නාමය භාවිත කරනවා.

 ඒසෝරස් දූපත් සමූහය පෘතුගාලය යටතේ පවතින එහෙත්, ස්වයං පාලන ඒකකයක් වශයෙන් පවතින භූමියක් ලෙස එය සැලකෙනවා. පෘතුගාලයේ කොටසක් වුවත්, ප්‍රධාන භූමියට බොහෝ ඈතින්, හුදෙකලා ව පිහිටන නිසා ඒසෝරස් දූපත් සමූහයට අනන්‍ය වූ සොබා සුන්දරත්වයක් සහ සමාජ ජීවන රටාවක් උරුම වී තිබෙනවා. ඒසෝරස් දූපත් සමූහය පෘතුගාලයේ ලිස්බන් නුවර සිට කිලෝ මීටර් 1500ක් සහ උතුරු අමෙරිකාවේ නැගෙනහිර වෙරළේ සිට කිලෝ මීටර් 3900ක් පමණ ඈතින්, උතුරු අත්ලාන්තික් සාගරයේ මැදට වන්නට පිහිටා තිබෙනවා.

 ප්‍රධාන දූපත් නවයක් සහ තවත් කුඩා බිම්කඩවල් කිහිපයකින් සමන්විත වූ දූපත් සමූහයේ මුළු වපසරිය වර්ග කිලෝමීටර් 2000 ට මඳක් වැඩි යි.  ඒසෝරස්හි සම්භවය මූලික වශයෙන් ගිනි කඳු ක්‍රියාකාරීත්වය නිසා ඇති වී තිබෙනවා. මේ නිසා ඒසෝරස් භූමියේ සාපේක්ෂව උසින් වැඩි කඳු බහුල යි. ඒ අතරින් උස ම ස්ථානය “පිකෝ කන්ද” ලෙස හඳුන්වන අතර, එය උසින් එය මීටර් 2351ක් පමණ වෙනවා.

 ඒසෝරස් තුළ පවත්නා දේශගුණයත් තරමක් සුවිශේෂ යි. එහි පවතින්නේ සමුද්‍රීය උප නිවර්තන ආකාරයේ දේශගුණයක්. දිනපතා උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 16-25 අතර අගයක පවතින නිසා සෞම්‍ය පරිසරයක් අපේක්ෂා කළ හැකි යි.

සෙට් සිඩේඩ්ස් ප්‍රදේශයේ දර්ශනීය භූමි

 ඒසෝරස් ගැන කතා කරන්න දේ ගොඩක් තිබෙනවා. ඒත් මේ ලිපියේ අරමුණ වන්නේ දූපත් සමූහය තුළ සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්වභාවික ස්ථාන සහ සංස්කෘතික, සමාජීය අංගවල විස්තර ඔබ වෙත ගෙන ඒම යි.

 ඒසෝරස් කියන්නේ බොහොම චමත්කාරජනක භූමි දර්ශන රැසක් සහිත ස්ථානයක්. ඒ අතරින් “සෙට් සිඩේඩ්ස්” ප්‍රදේශය විශේෂ යි. එසෝරස් දූපත් සමූහයට අයත් “සාඕ මිගෙල්” නම් දූපතේ මෙම ස්ථානය පිහිටා තිබෙනවා. යමහල් විදාරණයෙන් ඉතිරි වූ ගිනි කඳු ආවාට සහිත භූ විෂමතාව නිසා බොහොම සුවිශේෂී සුන්දරත්වයක් “සෙට් සිඩේඩ්ස්” ප්‍රදේශයට ලැබී තිබෙනවා.

සෙට් සිඩේඩ්ස් ප්‍රදේශයේ පිහිටි වර්ණ දෙකකින් යුත් විල් – hiddeneurope.eu 

සැතපුම් තුනක් පමණ පළල ගිනි කඳු කල්දේරාවක නිර්මාණය වී ඇති වර්ණ දෙකකින් යුත් විල් දෙකකුත් “සෙට් සිඩේඩ්ස්”වල දකින්නට ලැබෙනවා. මෙයින් එක් විලක ජලය ඈතට නීල පැහැති වර්ණයෙන් දිස්වෙන අතර, අනෙක් විල හරිත පැහැයෙන් දර්ශනය වෙනවා. කාලයත් සමඟ වනයෙන් වැසී ගිය ගිනිකඳු ආවාට නැඟීම සඳහා මංපෙත් නිර්මාණය වී තිබෙන නිසා කඳු නඟින්නන් අතරත් මේ ප්‍රදේශය ප්‍රසිද්ධ යි.

 සාඕ මිගෙල් දූපතේ සුන්දරත්වය නිසි ලෙස විඳීමට ඇවැසි නම් පාපැදියකින් සංචාරය කිරීම වඩාත් උචිත යි. ගිනිකඳු ආවාටයක් වටා පාපැදියකින් ගමන් කළ හැකි ස්ථානයකුත් සාඕ මිගෙල්හි පිහිටා තිබෙනවා. ඒවා හරිත වර්ණයෙන් වැසී ඇති නිසා මවන දර්ශනය මනසට සැහැල්ලුවක්.

ගිනිකඳු වලින් උපදින භූ තාපය උපකාරයෙන් ආහාර පිසින සම්ප්‍රදාය හෙවත් “කොසිඩෝ නාස් ෆර්නාස්” – azoresgetaways.com 

ගිනිකඳු උණුසුමෙන් පිසින ආහාර!

 ඒසෝරස් දූපත් සමූහයේ ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක් එක වර දැකබලා ගැනීම සඳහා සුදුසු ම ස්ථානය ලෙස සලකන්නේ ෆර්නාස් නිම්නය යි. ෆර්නාස් ප්‍රදේශය මූලික වශයෙන් නිද්‍රාශීලි ගිනිකන්දක් ආශ්‍රිත ව පිහිටා තිබුණත්, ඒ අවට උණු දිය උල්පත්, හුමාල සහ වායු පිට කරන විවර, මඩ උල්පත් රැසක් පිහිටා තිබෙනවා.

ෆර්නාස් නිම්නයේ උණු දිය උල්පත් – pinterest.com 

 ස්වදේශිකයන් විවිධ අයුරින් මේ භූ විද්‍යාත්මක දායාදයෙන් ප්‍රයෝජන ලබා ගන්නවා. ඛනිජ ද්‍රව්‍ය පිරුණු ජලය ස්නානය කිරීම ඒ අතරින් වඩාත් ප්‍රචලිත ක්‍රියාවක්. මීට අමතර ව යමහල් ක්‍රියාකාරීත්වයෙන් උපදින උණුසුම් ජලයෙන් තේ පැන් සකසා ගැනීම සහ වාෂ්ප විවර හෝ භූ තාප ක්‍රියාකාරීත්වයෙන් හට ගන්නා උණුසුම ආධාරයෙන් ආහාර පිසීමත් දූපතේ පවතින ජනප්‍රිය සම්ප්‍රදායක්. මේ අමුතු ම ආහාර සම්ප්‍රදාය හඳුන්වන්නේ “කොසිඩෝ නාස් ෆර්නාස්” නමින්.

“කොසිඩෝ නාස් ෆර්නාස්” ක්‍රමයට සෑදූ ආහාර වේලක් – byacores.com 

 ඒසෝරස් දූපත්වලට පැමිණෙන සංචාරකයන් බොහෝමයක් “කොසිඩෝ නාස් ෆර්නාස්” ආහාර වේලක රස විඳීමට උත්සහ කරනවා. විවිධ මස් වර්ග, සොසේජස්, ගෝවා සහ අර්තාපල් යොදා සකසන ආහාර පැය හතක් පමණ පොළොව යට වළලා තැබීමෙන් පිසගන්නවා. පිසීම සඳහා ජලය, තෙල් වැනි කිසිදු බාහිර ද්‍රවයක් මෙහි දී භාවිත වන්නේ නැහැ. ආහාරය සකසන අමුද්‍රව්‍යවල පවතින යුෂ ගතියෙන් ම ආහාර පිසීමට ලක් වෙනවා.

පිකෝ දූපතේ වයින් සංස්කෘතිය

ඒසෝරස්හි නියම සංචාරක අත්දැකීමක් ලබා ගැනීමට අවැසි නම් මේ සියලු දූපත්වලට සංචාරය කිරීම අවශ්‍ය යි. ඒසෝරස් කොදෙව්වේ එක් එක් දූපත් කිසියම් දෙයක් උදෙසා සුවිශේෂත්වයක් දරනවා. පිකෝ දූපත කියන්නේ 15 වන සියවසේ සිට වයින් නිෂ්පාදනය සඳහා ප්‍රචලිත වූ භූමියක්. දූපතට එහි මුල් පදිංචිකරුවන් පැමිණ ඇත්තේ 1439 වර්ෂයේදී යි. ඔවුන් බොහොම ඉක්මනින් වයින් නිෂ්පාදනය දූපත තුළ ස්ථාපනය කිරීමට සමත් වී ඇති බව මෙයින් පෙනී යනවා.

යුරෝපයේ ඇතැම් රටවල් මෙන් විශාල පරිමාණයේ සාරවත් මිදිවතු එහි දක්නට නොලැබුණත්, ගිනිකඳු ප්‍රදේශයක දක්නට ලැබෙන බැසෝල්ට් පාෂාණ පිරුණු පොළොවට අනුවර්තනය වූ මිදිවතු මෙහි දක්නට ලැබෙනවා. මේ නිසා අමුතු ම ආකාරයේ භූමි දර්ශනයක් පිකෝ දූපතේදී අත්විඳිය හැකි යි.

පිකෝ දූපතේ මිදිවතු සඳහා තැනූ ගල්වැටිවල නටබුන් – epicureandculture.com 

 අත්ලාන්තික් සයුර දෙසින් නිරන්තරයෙන් හමන දැඩි සුළඟ මෙන් ම, කරදිය ජලයෙන් පස සහ සුළඟ සාන්ද්‍රිත වී ඇති නිසා පිකෝ දූපතේ මිදි වගාවට හානි පැමිණෙන්න පුළුවන්. මේ හේතුවෙන් සියවස් ගණනාවක සිට දූපත් වැසියන් පාෂාණවලින් තැනූ බිත්ති මිදිවතු වටා නිර්මාණය කොට තිබෙනවා. නෙළා ගත් අස්වැන්නේ ආරක්ෂාව පතා තැනූ පාෂාණ ගෙවල් ද පිකෝ දූපතේ පිහිටා තිබෙනවා. ලෝකයේ කිසිදු තැනක දක්නට නොලැබෙන අන්දමේ ආවේණික වයින් නිෂ්පාදන පිළිවෙත සහ සම්ප්‍රදාය නිසා ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

ටර්සීරා දූපතේ පිහිටි ගුහා සංකීර්ණ – exploreterceira.com 

පොළොව යට ගුහා සංකීර්ණ

 ඒසෝරස් දූපත් යනු ගිනි කඳු ක්‍රියාකාරීත්වයෙන් හට ගත් භූමියක් නිසා පොළොව මත මෙන් ම, පොළොව යටත් අමුතු භූ විෂමතා දක්නට ලැබෙනවා. භූගත ගුහා සංකීර්ණ ඒ අතරින් විශේෂ යි. ප්‍රකට ම ගුහා සංකීර්ණය “ඇල්ගාර් ඩෝ කාර්වෝ” ලෙස හඳුන්වන අතර, ටර්සීරා දූපතේ එය පිහිටා තිබෙනවා. “ඇල්ගාර් ඩෝ කාර්වෝ” ගුහා සංකීර්ණය අධ්‍යයනය කිරීම එක්තරා අන්දමක වික්‍රමාන්විත ක්‍රියාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය එතරම් පහසු සංචාරක ගමනාන්තයක් නොවෙයි. ගුහා සංකීර්ණය තුළ තිබෙන හුණුගල් විවිධ හැඩතල මවමින් නිර්මාණය වී තිබෙන අන්දම නිසා එහි සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරනවා.

පොන්ටා ඩෙල්ගාඩා නගරයේ අසිරිය – pinterest.co.uk

පොන්ටා ඩෙල්ගාඩා, දර්ශනීය කළු-සුදු නගරය

 පොන්ටා ඩෙල්ගාඩා යනු සාඕ මිගෙල් හි පිහිටි ඒසෝරස් කොදෙව්වේ විශාලත ම නගරය යි. එහි ගොඩනැඟිලි බොහෝමයක් සුදු සහ කළු යන වර්ණ ඉස්මතු වන පරිද්දෙන් පින්තාරු කර ඇති නිසා අමුතු ම දර්ශනීය බවක් ලැබී තිබෙනවා. පොන්ටා ඩෙල්ගාඩා නගරයේ වටකුරු සහ විවිධ වර්ණ සංයෝජනය කළ වටකුරු ගල් ඇල්ලූ වීදි බහුල යි. උස් ස්ථානයක් සිට නගරය දෙස බලන විට වීදිවල විවිධ රටා දැකිය හැකි වෙනවා. 17 සහ 18 වැනි සියවස්වල දකින්නට ලැබෙන ගෘහ නිර්මාණ ශිල්පය නගරයට යම් අනන්‍ය බවක් ලබා දී තිබෙනවා. නිහතමානී ධීවර ප්‍රජාවකින් ජනාවාස වීම ඇරඹුණු පොන්ටා ඩෙල්ගාඩා, කාලයත් සමඟ බොහොම කාර්යබහුල වරාය නගරයක් බවට පත් වුණා. දර්ශනීය හෝටල් රැසකට නිවහන සපයන නිසා පොන්ටා ඩෙල්ගාඩා නගරයට සැලකිය යුතු සංචාරක පිරිසක් පැමිණෙනවා.

 ඒසෝරස් කොදෙව්වේ සමාජ හා සංස්කෘතික පසුබිම අධ්‍යයනය කිරීමට සංචාරකයකුට අවැසි නම් පොන්ටා ඩෙල්ගාඩා නගරයේ දින කිහිපයක් නැවතීම ඉතා ප්‍රයෝජනවත්. දූපත්වාසීන්ගේ ප්‍රධාන භාෂාව වන්නේ පෘතුගීසි. ඉංග්‍රීසි බස නොදන්නා මිනිසුන් පවා තමා දන්නා සීමිත වචන කිහිපයෙන් සංචාරකයන්ට උපකාර කිරීමට සැදී පැහැදී සිටිනවා. සංචාරකයෙකු ලෙස මූලික පෘතුගීසි වාක්‍ය ඛණ්ඩ කිහිපයක් දැනගෙන පැමිණීම ඉතා ප්‍රයෝජනවත්. සංචාරකයකු පෘතුගීසි බස අමාරුවෙන් හෝ කතා කිරීමට දරණ උත්සාහය පවා අගය කිරීමට තරම් ඒසෝරස් කොදෙව්වේ මිනිස්සු නිහතමානි යි.

මඟ නොහැරෙන්න ලිස්බන් යන්න

 දූපතේ ආහාර සංස්කෘතියත් ඉතා පොහොසත් වන අතර, සාරවත් භූමිය නිසා නැවුම් ආහාර භුක්ති විඳීමේ හැකියාව තිබෙනවා. කාලගුණික තත්ත්වය හේතුවෙන් සාරවත් තෘණ භූමි ඒසෝරස් කොදෙව්වේ බහුල යි. එයින් සතුන්ට ඕනෑ තරම් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන නිසා ඒසෝරස් තුළ පිළියෙළ වන සත්ත්ව ආහාරවල ගුණාත්මකභාවයට ඉහළ පිළි ගැනීමක් තිබෙනවා. තල්මසුන් නැරඹීම සහ කිමිදීම සඳහාත් දූපත ආශ්‍රිත මුහුදු තීරය දැන් දැන් ජනප්‍රිය වෙමින් තිබෙනවා.

 මේ කරුණු කාරණාවලින් පෙනී යන අන්දමට ඒසෝරස් දූපත් සමූහය කියන්නේ මූලිකව ම සොබා සෞන්දර්යත්වය පැත්තෙන් සංචාරක අත්දැකීමක් ලබාගත හැකි ස්ථානයක්. සමාජීය ක්‍රියාවලින් ජීවිතය විඳිනවාට වඩා හුදෙකලාව හෝ තම සමීපතමයකු සමඟ ජීවිතය විඳිය හැකි සාමකාමී තැනක් තමයි ඒසෝරස්. මේ නිසා ම ඇතැම් කෙනකුගේ සංචාරක අරමුණට ඒසෝරස් නොගැළපෙන තැනක් වෙන්නත් පුළුවන්.

 අත්ලාන්තික් සයුරේ හුදෙකලාව සිටින මේ පාරාදීසය තවමත් බොහෝ මිනිසුන්ට මඟ හැරෙනවා. ඒසෝරස් වෙත ළඟා විය හැකි පහසු ම ක්‍රමය වන්නේ පෘතුගාලයේ ලිස්බන් නුවරට පැමිණීම යි. ලිස්බන් සිට ඒසෝරස් දක්වා ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වෙනවා. ඔබ දැනටමත් යුරෝපයේ පදිංචි ව සිටින හෝ රැකියාවක නිරත වෙන කෙනෙක් නම් වෙනස්ම සංචාරක අත්දැකීමකට මූලික ප්‍රවේශයක් මේ ලිපියෙන් ලබාගත හැකි යි. සරලව ම, යුරෝපයේ සිටින්නකුට නිවාඩුව සඳහා කෙටි කලකින් මැදිහත් නිවර්තන දේශගුණයක් සහිත තැනකට යන්න අවැසි නම්, ඒසෝරස් තමයි එයට හොඳ ම විකල්පය.

කවරයේ පින්තූරය: ඒසෝරස් දූපතේ දර්ශනීය භූමිය - theintrepidguide.com

මූලාශ්‍ර:

tripstodiscover.com

azores.com 

worldatlas.com

theintrepidguide.com

galloparoundtheglobe.com

thecrazytourist.com

Related Articles