ඉතා සිසිල් දේශගුණයකින් ද නිතර හමා යන වේගවත් සුළං ධාරාවලින් ද යුක්ත දොළොස්බාගේ සබරගමුව පළාතට සහ මධ්‍යම පළාතට අයත් සුන්දර කඳුකර ප්‍රදේශයක්. අහස උසට විහිදුණු මිහිදුමින් බරවුණු අලංකාර කඳු පන්තිවලින් වට වූ මේ පෙදෙස වැඩිපුර සංචාරක ආකර්ශනයට ලක්වූ පැත්තක් නම් නොවෙයි.
මෑතක සිට ටිකින් ටික සංචාරකයන් දොළොස්බාගේ සොබා සුන්දරත්වය විඳ ගැනීමට එනවා. තේ වගාව තමයි මෙහි සෑම තැනක ම දැක ගත හැක්කේ. විශාල තේවතු යායන් වගේ ම කුඩා තේවතුත් එහි පැතිරී තිබෙනවා.
පිහිටීම
දොළොස්බාගේ කඳු පන්තිය අප රටේ ඉතා සුන්දර කඳුකරයක් ලෙස නම් දරා තිබෙනවා. දොළොස්බාගේ කුඩා නගරය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 985ක් ( අඩි 3232)ක් උසින්. මහනුවරටත් වඩා සිසිල් දේශගුණයක් අවට අත්විඳින්නට ලැබෙනවා. මේ නිසා පුංචි නුවරඑළිය යන නමත් මේ පළාතට භාවිත කරනවා.
නාගරිකරණයෙන් දූෂීත නොවූ පිටිසර වටපිටාවක් තමයි මෙහි පවතින්නේ. පුරාණ බෙදීම් අනුව උඩ පළාත දිසාවට අයත් දොළොස්බාගේ දකුණින් පස්බාගේ කෝරළයෙන් ද, බටහිරෙන් පාත බුලත්ගම රටින් ද, උතුරින් සතර කෝරළය මහ දිසාවට අයත් පරණකුරු කෝරළයෙන් ද මායිම් වෙනවා.
ඒ. සී ලෝරිගේ ගැසටියර් වාර්තාවේ සඳහන් කරන අන්දමට 1890 කාලය වනවිට දොළොස්බාගේ වැඩි භූමි ප්‍රමාණයක් කෝපි සහ තේ වගාවට යටවී පැවතුණා. 1871 වනවිට එහි වතු 28ක් පැවතුණ අතර, 1896 වනවිට පැවති ඉංග්‍රීසි වතු 57 ක ලැයිස්තුවක් ලෝරි සිය වාර්තාවේ ඉදිරිපත්කර තිබෙනවා.
යන්නෙ කොහොමද?
කොළඹ සිට බුලත්කොහුපිටිය පත්තම්පිටිය හරහා තමයි මේ පෙදෙසට ළඟා විය හැකි සුන්දරත ම මඟ වන්නේ. ඒ පාරේ දොළොස්බාගෙට දුර කිලෝ මීටර් 110ක්. පත්තම්පිටියේ සිට තේවතු හරහා කිලෝමීටර 2ක් පමණ දුරට යනතෙක් මාර්ගය වසර දෙක තුනකට පෙර නම් තිබුණේ ඉතා අබලන් අයුරින්.
බුලත්කොහුපිටිය ගමන් මාර්ගයේදී රුක්මල් ඇල්ල, නලඟන ඇල්ල වැනි දියඇලි රාශියක් දැකබලා ගැනීමට ලැබෙනවා. ( ඒ ගැන දැන ගන්න අප පළ කළ බුලත්කොහුපිටිය දියඇලි පාරාදීසය ලිපිය කියවන්න).මහනුවර ගම්පොළ හරහා නාවලපිටියට පැමිණීමෙන් ද දොළොස්බාගේ පෙදෙසට පිවිසිය හැකි යි. නාවලපිටියට එහි සිට කිලෝ මීටර් 20ක් පමණ දුර යි. නාවලපිටියේ සිට මේ දක්වා ඇති පාරත් පසුගිය කාලයේ නම් ඉතා අබලන් ව තිබුණා. ඉතා අලංකාර තේවතුවලින් යුක්ත කඳු වගේ ම වනාන්තර සහිත කඳු මුදුන් ද මේ පෙදෙසට සුන්දරත්වයක් ගෙනෙනවා.
කුඩා නගරයක්
මේ කඳුකරය සබරගමු පළාතට සහ මධ්‍යම පළාතට අයත්. ප්‍රධාන මාර්ගවලින් ඈත් ව පිහිටි නිසා වාහන ඉතා අඩු සංඛ්‍යාවක් තමයි මේ පාරවල්වල දැකගත හැක්කේ. දොළොස්බාගේ නගරයේ දැකගත හැක්කේත් කඩසාප්පු කිහිපයක් පමණ යි.
එහි රෝහල මුලින් ම ඉදිකර ඇත්තේ ඉංග්‍රීසින්1865දි යි. කොලෝනියල් ක්‍රමයට තැනූ පැරණී ගොඩනැඟිල්ලත් රෝහලේ තවම දක්නට තිබෙනවා. ඉංග්‍රීසි සමයේ මෙය කඩිසර නගරයක් වූ බව පැවසෙතත් අද වනවිට එය කුඩා හන්දියක් පමණ යි. හින්දු බැතිමතුන් නිතර පැමිණෙන කෝවිලත් එහි පැරණි ස්මාරකයක්.
කබරගල තරණය
මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරය ආසන්නයේදිත්, බුලත්කොහුපිටිය දේදුගල හරහා යන ගමනේදීත් දොළොස්බාගේ කඳු වැටියේ උස ම කන්ද වන කබරගල කන්ද අපට දැක ගත හැකි යි. නිතර මිහිදුමෙන් බර ව පවතින මේ කන්දේ උස ම මුදුන වන්නේ මීටර 1506ක් පමණ උස කබරගල කන්ද යි.
මෑතක සිට දේශීය ගවේෂණශීලි සංචාරකයන්ගේ වඩා ආකර්ෂණයට පත් කඳු මුදුනක් ලෙස කබරගල ප්‍රකට වී තිබෙනවා. බොහෝ පිරිස් එක් දිනකින් තරණය කළ හැකි කබරගල නැගීමට පැමිණෙන ඇතර සමහරුන් කඳු මුදුනේ කඳවුරු තනා රාත්‍රිය ගත කරනවා. කබරගල කන්ද අයත් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි.
නාවලපිටිය නගරයට පැමිණ දොළොස්බාගේ පාරේ කිලෝමීටර 11ක් ගමන් කරන විට මෙරිවිල හන්දිය හමු වෙනවා. එතැනින් හැරී, තොලබෝවල ශ්‍රී ජේතවනාරාම විහාරය අසලට පැමිණ එහි සිට අඩිපාරක් ඔස්සේ කබරගල කඳු තරණය ආරම්භ කළ හැකි යි. තේ වතු හා ෆයිනස් කැලෑව පසු කර ගෙන කන්ද වෙත ගමන් කළ යුතු යි.
මේ කඳු තරණයේ දී කූඩැල්ලන් බහුල ව හමුවන නිසා උන් සිරුරුවල එල්ලීම වැලැක්වීමේ පිළියම් සහිත ව පැමිණීම අවශ්‍ය යි. කඳු මස්තකයේ දී සිත් මෝහනයට පත්කරන දසුනක් දැකගත හැකි යි. කොත්මලේ ජලාශය, මොණරකන්ද හා පුස්සැල්ලාව අවට තේවතු, ගම්පොළ හා අම්බුලුවාව කන්ද ආශ්‍රිත ප්‍රදේශ මෙන් ම සමනළ කඳුවැටිය තෙක් පැතිරුණු මධ්‍යම කදුකරයේ නිරිත දිග ප්‍රදේශත් ඉතා අලංකාර ව දිස් වෙනවා.
රාස්සගල කන්ද
දොළොස්බාගේ පිහිටි තවත් සුන්දර කඳු මුදුනක් තමයි රාස්සගල නැත්නම් රාක්ෂාව කියන්නේ. එය මේ කඳු පන්තියේ උසින් දෙවැනි කඳුවැටිය යි. මීටර 1438ක් උස මෙම කන්ද මුදුනේ පිහිටි ගල් තලාව හා ගල් කුළුවල විවිධාකාර හැඩතල නිසා කා තුළත් හටගන්නේ කුතුහලයක්.
ගම්පොළ හා නාවලපිටිය නගරවලට මේ කන්ද කදිමට දිස්වෙනවා. දොළොස්බාගේ සිට වංගු ගැසෙමින් ඇදෙන පටු පාරේ රාක්ෂාව හන්දියට පැමිණ රාක්ෂාව තේ කර්මාන්ත ශාලාවට අයත් තේ වතු ඔස්සේ තේ ෆැක්ටරිය අසලට පිවිස අඩි පාරක් දිගේ කඳු මුදුනට ළගා විය හැකියි. ඈතින් කබරගල කන්දත් නිතර මේ පාරට දිස්වෙනවා. ගමන් මඟ දෙපස කුඩා දියඇලි රාශියක් ද හමු වෙනවා.
රාවණ රජු හා සම්බන්ධ ජනප්‍රවාදයත් මේ කන්දට ගෙතී තිබෙනවා. කිනිහිර කන්ද, පත්තිනි අම්මා කන්ද, වංගෙඩි මෝල්ගස් කන්ද ලෙස ප්‍රාදේශීයව විවිධ නම් කිහිපයක් රාස්සාව කන්ද හැඳින්වීමට යෙදෙනවා. රාවණාට ආයුධ සෑදූ ස්ථානය වූ නිසා කිනිහිර කන්ද නම ලැබුණු බවයි පැවසෙන්නේ. කිනිහිරි ගල නම් කිනිහිරයක් හැඩැති පර්වතයක් මේ කන්දේ දැක ගත හැකි යි.
අරණායක හරහා ගලන මාඔය ආරම්භ වන්නේ රාස්සගල කන්දේ මීටර් 1200ක් උස බටහිර බෑවුම් ප්‍රදේශවලිනුයි. මේ කන්දේ පහළ බෑවුම් සබරගමුව පළාතේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙනවා. අසුපිනි ඇල්ල පිහිටා තිබෙන්නෙත් රාස්සගල කඳුවැටියට අයත් පහළ බෑවුම්වල යි.
පුංචි දානිගල නම් කඳුවැටියක් ද රාස්සගලට නුදුරින් පිහිටා තිබෙනවා.
දේවගිරි ඇල්ල
දොළොස්බාගේ කඳු පන්තියේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බෑවුමක තමයි දියනගිරි ඇල්ල හෙවත් දේවගිරි ඇල්ල පිහිටා තිබෙන්නේ. උසින් මීටර 90ක් (අඩි 295ක් ) පමණ වන දේවගිරි ඇල්ල තවමත් සංචාරකයන්ගේ ආකර්ශනයට එතරම් ලක්වී නැහැ.
බුලත්කොහුපිටිය හරහා දේදුගලට පැමිණ දොළොස්බාගේ පාරේ ගමන් කර අතුරු මාර්ගයක පියමං කිරීමෙන් මේ ඇල්ල අසලට පැමිණිය හැකි යි. මෙහි විශාල ජල කඳක් දැකගත නොහැකි වුණත් ඉතා සුන්දර දිය සේල රාශියකින් ඇල්ල සමන්විත යි. මෙහි ජලයෙන් කැලණි ගඟේ ශාඛාවක් වන වී ඔය ද පෝෂණය වෙනවා.