ලෝකය වටා සංචාරයේ යෙදෙන අයෙක්ට ලැබෙන අපූරු අත්දැකීමක් තමයි, එකිනෙකට හාත්පසින් ම වෙනස් දේශීය ආහාර වර්ග රස බලන්න ලැබීම. සෑම රටක් සතු ව ම වගේ ඔවුන්ට අනන්‍ය ආහාර වර්ගයක් පවතින බව පැවසීම බොරුවක් නෙමෙයි. මේ ආහාර වර්ග බොහෝමයක් රස විඳීම සඳහා අධික මිලක් අය කරන ආපණශාලාවකට ගොඩ වැදීමේ අවශ්‍යතාවයක් නැහැ. එයට හේතුව වීදි ආහාර හෙවත් කඩචෝරු අතරේ මේ ආහාර වර්ග අලෙවි වීම යි.
මේ ලෝකයේ විවිධ රටවල ජනප්‍රිය ම වීදි ආහාර ගැන තොරතුරු එකතුවක්. කිසියම් දිනෙක ලොව වටා සංචාරයට අවස්ථාවක් ලැබුණොත් මේ ආහාර රස විඳින්න අමතක කරන්න එපා.
කරීවර්ස්ට් (ජර්මනිය)
දැනට හමු වී ඇති සාක්ෂි අනුව 1949 දී බර්ලින් නුවර දී ‘කරීවර්ස්ට්’ නම් බර්ගර් විශේෂය මුල් වරට සකසා ඇත්තේ අත්වැරදීමක් ලෙස යි. හර්ටා හ්‍යුවර් නම් කාන්තාවක් ආහාර පිසින අතරතුරේ දී ජර්මනියේ රැඳී සිටි බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගෙන් ඇය මිල දී ගත් තුනපහ කුඩු සමග සෝස් මුසු කරගෙන තිබෙනවා. එහි රසයට ඇය ප්‍රිය කර ඇති අතර පසු ව ඇය කුළුබඩු සමග සෝස් මුසු කර එය වීදි ආහාරයක් ලෙස අලෙවි කර ඇත්තේ ඌරු මස් සොසේජස් ද සමගින්. මිල අඩු ආහාරයක් වූ නිසා මුල් කාලයේ දී කම්කරුවන් අතර ජනප්‍රිය වී ඇති එය මේ වන විට ජර්මනියේ සෑම නගරයක දී ම පාහේ දැක ගත හැකි වීදි ආහාරයක් වී අවසන්.
මසාලා දෝස (ඉන්දියාව)
කාලෙකට කලින් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය ආහාරයක් වූ ‘මසාලා දෝස’ දැන් ඉන්දියාවේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවේ දී පවා රස විඳීමේ හැකියාව පවතිනවා. සාම්ප්‍රදායික ව මසාලා දෝස සැකසීම සඳහා යොදා ගන්නේ සහල්, ලුණු, එළවළු තෙල්, මිරිස්, කරපිංචා, අල, ලූනු සහ පරිප්පු යන අමුද්‍රව්‍ය යි. එසේ ම ඉන්දියානු කුළුබඩු යොදා ගනිමින් මසාලා දෝස වඩාත් රසවත් සහ සුවඳවත් කිරීමට ඉන්දියානුවන් වග බලා ගන්නවා. සාමාන්‍යයෙන් මසාලා දෝස අනුභව කරන්නේ චට්නි හෝ සම්බාර් සමග යි. එසේ ම නගරයෙන් නගරයට මසාලා දෝස සකස් කරන ආකාරය ද වෙනස්.
පද් තායි (තායිලන්තය)
CNN වෙබ් අඩවිය මගින් ලොව 5 වැනියට රසවත් ම ආහාරය ලෙස නම් කරන ලද ‘පද් තායි’ දෙවැනි ලෝක සංග්‍රම සමයේ දී මුල් වරට සකසා ඇත්තේ සහල් හිඟයට පිළියමක් ලෙස යි. ටෝෆු, බිත්තර, මාළු සෝස්, වියළි ඉස්සන්, සුදු ලූනු, සීනි, සියඹලා සහ ගම්මිරිස් සමග නූඩ්ල්ස් එකතු කිරීමෙන් සකසන එය බොහෝ විට බදින ලද රටකජු සමග පිළි ගැන්වීම සිදු කරනවා.
අරන්චිනී (ඉතාලිය)
ඉතාලි බසින් ‘අරන්චිනී’ ලෙස හඳුන්වන්නේ කුඩා දොඩම් වුණත් මේ වීදි ආහාර වර්ගය මොන ම විදියෙන් හෝ දොඩම් සමග සම්බන්ධ වන්නේ නම් නැහැ. එයට ‘අරන්චිනී’ යන නම ලැබී ඇත්තේ එහි පැහැය සහ හැඩය හේතුවෙන්. සාමාන්‍යයෙන් ‘අරන්චිනී’ සකසන්නේ පුරවන ලද බත් බෝල පාන් කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැඳීම මගින්. බොහෝ විට ඇතුළත පිරවුම සඳහා තක්කාලි සෝස් දැවටූ මස්, මොසරැල්ලා චීස් සහ බෝංචි ඇට යොදා ගන්නවා. අද වන විට ඉතාලියේ සෑම නගරයක ම පාහේ දැක ගත හැකි මෙය මුල් වරට හඳුන්වා දී ඇත්තේ 10 වැනි සියවස තරම් ඈත කාලයේ දී යි.
ඩෝනර් කෙබාබ් (තුර්කිය)
රෝස් කරන ලද මාංශ වර්ග යොදා ගනිමින් සකස් කරන ඩෝනර් කෙබාබ් බිහි වී ඇත්තේ 19 වැනි සියවසේ දී වන අතර එය ඔටෝමන් අධිරාජ්‍යය තුළ පවා ජනප්‍රිය ආහාරයක් ව පැවති බවට සාක්ෂි පවතිනවා. තුර්කි බසින් ‘ඩෝනර් කෙබාබ්’ යන වදනේ අරුත වන්නේ ‘භ්‍රමණය වන කෙබාබ්’ යන්න යි. බැටළු මස්, හරක් මස් හෝ කුකුළු මස් තිරස් අතට සිටුවන ලද සෙමින් කරකැවෙන තුඩක අමුණා රෝස් කිරීම මගින් ‘ඩෝනර් කෙබාබ්’ සැකසීම සිදු කිරීම මෙයට හේතුව යි. තුර්කියෙන් බිහි වූ ‘ඩෝනර් කෙබාබ්’ සංක්‍රමණිකයින් විසින් 1970 දී පමණ ජර්මනියට රැගෙන පැමිණ ඇති අතර මේ වන විට එය ජර්මනියේ පමණක් නොව යුරෝපයේ බොහෝ රටවල ජනප්‍රිය වීදි ආහාරයක්.
පූටීන් (කැනඩාව)
1950 දශකයේ දී කැනඩාවේ ක්‍යුබෙක් ප්‍රාන්තයෙන් බිහි වූ ‘පූටීන්’ සැකසීම සිදු කරන්නේ බදින ලද අල තීරු, චීස් කැදලි (cheese curd) සහ උකු හොදි සමග මුසු කිරීම මගින්. උණුවෙන් පිළි ගන්වන පූටීන්, මුල් කාලයේ දී ක්‍යුබෙක් ප්‍රාන්තයට පමණක් සීමා වී තිබුණ ද මේ වන විට එය කැනඩාව පුරා රසවත් වීදි ආහාරයක් ලෙස ජනප්‍රියත්වයක් ළඟා කරගෙන අවසන්.
පිරෝස්කි (රුසියාව)
කුඩා පස්තෑල යන අරුතින් රුසියානු බසින් ‘පිරෝස්කි’ ලෙස හඳුන්වන මේ රසවත් වීදි ආහාරය සකසනු ලබන්නේ පස්තෑල තුළට මස්, මාළු, බිත්තර, එළවළු හෝ පලතුරු පිරවුමක් යෙදීම මගින්. රුසියාවේ පමණක් නොව මැද පෙරදිග රටවල පවා ජනප්‍රිය පිරෝස්කි, ඈත අතීතයේ දී රුසියානුවන් අනුභව කර ඇත්තේ සතුටුදායක අවස්ථාවන් සැමරීම සඳහා යි.
පැස්ටල් ඩි නාටා (පෘතුගාලය)
18 වැනි සියවසේ දී කතෝලික පූජකවරුන් විසින් මුල් වරට සකසන ලද ‘පැස්ටල් ඩි නාටා’, ක්‍රීම් පුරවන ලද පේස්ට්‍රියක් ලෙස හැඳින්විය හැකි යි. මුල් කාලයේ දී ඉවතලන බිත්තර කහ මදය යොදා ගනිමින් සකසන ලද ‘පැස්ටල් ඩි නාටා’ වර්තමානයේ දී සකස් කරන්නේ බිත්තර සුදු මද සමග සීනි සහ බටර් එකතු කිරීම මගින්. උණු උණුවේ ‘පැස්ටල් ඩි නාටා’ පිළි ගන්වන්නේ කුරුඳු සීනි හෝ අයිසින් සීනි සමග යි.
සිවීචි (පේරු)
පේරු රාජ්‍යයේ පමණක් නොව බොහෝමයක් ලතින් ඇමෙරිකානු රටවල ජනප්‍රිය වීදි ආහාරයක් වන ‘සිවීචි’ සකස් කරන්නේ දෙහි හෝ දොඩම් ඉස්ම, ලූණු, මිරිස්, ගම්මිරිස් සහ ලුනු යොදාගෙන පදම් කරන ලද මාළු භාවිතා කරමින්. ශීත කළ ආහාරයක් ලෙස පිළි ගන්වන සිවීචි බොහෝ විට කට ගැස්මක් ලෙස ආහාරයට ගන්නවා. සිවීචි මුල් වරට සකසන ලද්දේ කුමන කාලයේ ද යන්න අවිනිශ්චිත වුණත් පේරු රාජ්‍යය විසින් එය පේරු සංස්කෘතියේ ම කොටසක් ලෙස පිළිගෙන තිබෙනවා. එසේ ම සෑම වසරක ම ජූනි 28 සැලකෙන්නේ ජාතික සිවීචි දිනය ලෙස යි.
කවරයේ පින්තූරය : © Young Woo Park