අපේ වැඩි දෙනෙක් පැරණි නටබුන් නැරඹීමට අනුරාධපුර, පොළොන්නරු යාමට කැමැතියි. ඒත් කොළඹට එතරම්ම දුර නොවන යාපහුවට ගියොත් ඉපැරණි රාජධානියක කදිම නටබුන් දැකබලා ගැනීමට පුළුවන්. ඒ වගේම එක්දිනකින් මේ චාරිකාව නිම කරන්නත් පුළුවන්. බොහෝ දෙනෙක් මේ පිළිබඳව නොදැනුවත් නිසා, යාපහුව ගැන මෙවන් ලිපියක් ඔබ වෙත ගෙන ආ යුතුයැ යි අප සිතුවා.
යාපහුව පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබෙන වැදගත්ම පුරාවිද්‍යාත්මක ස්ථානය යි.
යන්නේ කොහොම ද?
කුරුණෑගල සිට ඇල්ල හරහා අනුරාධපුර පාරේ ගිහින් දළදාගම හන්දියෙන් හැරී කි. මී. 2ක් ගිය විට ළඟා වන්නේ මහව නගරයට යි. මහව සිට ගල්ටැම්වැව පාරේ තවත් කි. මී. 5ක් ගමන් කළ විට යාපහුව පර්වතය පාමුලට පැමිණිය හැකියි.
ඉතිහාසය
අනුරාධපුරයෙන් පොළොන්නරුවටත්, එතැනින් දඹදෙනියටත් මාරු වූ අගනුවර ඊට පසු පිහිටවූයේ යාපහුවෙයි. මේ පර්වතය මුලින්ම රටේ අගනුවර බවට පත්කර ගත්තේ පළමුවැනි බුවනෙකබාහු (1272-1284) රජු යි. මුලින්ම දඹදෙණියේ රජ වූ ඔහු වැඩි ආරක්ෂාව පතා යාපහුවට රාජධානිය අරන් යනවා. දළදා වහන්සේ අවුරුදු 11ක් යාපහුවේ වැඩ හිඳි බවත් වංශකතාවල සඳහන් වෙනවා. මේ රජුගෙන් පසුව ආර්යචක්‍රවර්ති නම් දකුණු ඉන්දීය ආක්‍රමණිකයා ලංකාව ආක්‍රමණය කරනවා. ඔහු යාපහුවට පැමිණ දළදා වහන්සේත් කොල්ලකාගෙන පඬි රටට අරන් යනවා. මේ අලංකාර රාජධානිය ඉන්පසු කැළෑවට යටවෙනවා.
හැබැයි යාපහුව ඊට පෙරත් පාලන මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බව මහාවංශයේ සඳහන් වෙනවා. පොළොන්නරුවට කාලිංග මාඝ ආක්‍රමණ එල්ල වූ කාලයේ (13 සියවස) සුභ සෙනෙවියා මෙහි ආරක්ෂිත බලකොටුවක් තනා ප්‍රාදේශීය පාලනයක් ගෙන ගිහින් තිබෙනවා.
ප්‍රාග් ඉතිහාසය
මෙම ප්‍රදේශයේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඇදී යනවා. 2016 දී මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් යාපහුව පර්වතය පාමුල වනගත ගුහාවක කැණීම් කළා. එම කැණීම්වලින් හෙළිවූයේ මින් වසර 4000කට පෙර මධ්‍ය ශිලා යුග මානවයන් මෙහි ජීවත් වූ බව යි. ඔවුන් තිරිවානා සහ කහඳ ගල්වලින් කළ ආයුධ භාවිත කර තිබෙනවා.
යාපහුවට කි. මී. 1ක් නුදුරින් පිහිටි පිංවැව ගල්සොහොන් කනත්ත ක්‍රි. පූ. 900-600 දක්වා යුගයකට අයත් මහා ශිලා සුසාන භූමියක්. මෙම සුසාන භූමියත් යාපහුවට පැමිණි විට ඔබට නැරඹීමට පුළුවන්.
යාපහුව පර්වතය භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාගේ පිංබිමක් බවටත් පත්වුණා. ක්‍රි. පූ. 2 සියවසට අයත් බ්‍රාහ්මී සෙල්ලිපි මේ පෙදෙසින් හමුවෙනවා.
වනගතව පැවති මේ රාජධානිය ගැන ඉංග්‍රීසි පාලන යුගයේ දී නැවත අවධානයට ලක්වුණා. 1840 දී මේජර් පෝබ්ස් මේ නටබුන් ගැන සඳහන් කරනවා. 1910-11 වර්ෂවල දී පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් යාපහුව ගැන පුර්ණ ගවේෂණයක් කරනවා.
යාපහුවේ නටබුන්
නටබුන් ඇතුළු නුවර, පිටි නුවර, විසිතුරු සෝපානය සහ පර්වතය මත වශයෙන් වර්ග කර දැක්වීම නැරඹීමට පහසුවක්. යාපහුවට යන ඔබ පිටදිය අගල සහ ප්‍රාකාරය පසුකර පිවිසෙන්නේ ඇතුළු නුවරට යි. මේ ප්‍රාකාරය දිගින් කිලෝ මීටරයක් පමණ වෙනවා. මෙය උසින් අඩි 12ක් ද, පළලින් අඩි 7ක් ද වෙනවා. ප්‍රාකාරය මත අශ්වයෙකුට වුණත් ගමන් කළ හැකියි. ඊට මෙපිටින් ඇත්තේ දියඅගල යි. අද එය ගොඩ වී තිබුණත් වැසි සමයට ජලය පිරෙනවා.
ඇතුළු නගර ප්‍රාකාරය සහ දියඅගල
පිට නගර ප්‍රාකාරයට අමතරව වැඩි ආරක්ෂාවට එයට සමාන්තරව තවත් කොටු පවුරක් ඉදිකර තිබෙනවා. ඒ ඇතුළු නගර ප්‍රකාරය යි. දෙපසින් පර්වතයට සම්බන්ධ වන එය දිගින් අඩි 1000ක්. එය පාමුලින් තවත් දියඅගලක් පිහිටා තිබෙනවා. මෙම ප්‍රාකාරයෙන් ඇතුළු වන්නේ රාජකීය ගොඩනැගිලි පිහිටි තැනිබිමට යි.
සභා ශාලාව
යාපහුව පර්වතයට පිවිසෙන පියගැටපෙළ පාමුල වර්තමාන විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ල අසල පිහිටා තිබෙන මෙය ගල්කණු සහිත ගොඩනැගිල්ලක්.
රජ මාලිගය
සභා ශාලාව අසලම පිහිටි ගොඩනැගිල්ලක් වන මෙය ආයත-චතුරස්‍රාකාර යි. බොරදමින් අලංකාර කළ ගඩොල් පාදමක් දැකගත හැකියි. මේ අසලම තවත් ගොඩනැගිලි දෙකක් ද පිහිටා තිබෙනවා.
රජමහා විහාරය
මෙහි ලෙන් විහාරයක් ද, දාගැබ සහ බෝධි වෘක්ෂය ඇතුළු අංග ද දක්නට පුළුවන්. ලෙන් විහාරය තුළ උඩරට සම්ප්‍රදායේ ප්‍රතිමා සහ බිතුසිතුවම් තිබෙනවා. වෙස්සන්තර ජාතකය, සූවිසි විවරණය, සත්සතිය ආදී සිත්තම් මෙහි නිර්මාණය කර තිබෙනවා.
පිටි නුවර නටබුන්
යාපහුව ගල්ටැම්වැව මාර්ගය සහ පර්වතය අතර මෙම තැනිතලා භූමි භාගය පිහිටා තිබෙනවා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ බංගලාපිටිය යනුවෙන්. මෙය පුරාණයේ රාජධානියට යාබදව පැවති විහාර සංකීර්ණයක් බව යි පේන්නේ. බෝධිඝරය මෙහි පිහිටි වැදගත්ම ස්මාරකය යි. පාදම සහ බිත්ති ද කළු ගලින්ම කළ මෙය වාස්තු විද්‍යාත්මකව වැදගත් ගොඩනැගිල්ලක්. මෙම ගොඩනැගිල්ල මැද බෝධිය රෝපණය කර තිබූ ස්ථානයත් දැකගත හැකියි. මෙහි දොරටුවට ඉහළින් ඇති අලංකාර ශෛලමය මකර තොරණෙහි බුද්ධ ප්‍රතිමාවක් නිරූපණය කර තිබෙනවා. මෙයට නුදුරින් සංරක්ෂණය කළ නටබුන් දාගැබක් පිහිටා තිබෙනවා. තවත් දාගැබ් ගොඩැල්ලක් ද ඊට එපිටින් තිබෙනවා. එයට ආසන්නව තටබුන් වූ පොහොය ගෙයක් ද දැකගත හැකියි. මෙම ස්ථානයේ සිට පර්වත බෑවුමට ගමන් කළ විට හමුවන්නේ ලෙන් සංකීර්ණයක්. කැණීම්විලින් ප්‍රාග් ඓතිහාසික සාධක ලැබුණේ එම ලෙන්වලින්.
පර්වතය තරණය කරමු
තැනිතලාවෙන් එක්වරම ඉහළ නගින යාපහුව පර්වතය සෘජු බෑවුමකින් යුක්ත යි. මෙයට පිවිසිය හැක්කේ දකුණු පසින් පමණක් නිසා එය ආරක්ෂාව අතින් ද වැදගත් වුණා. දකුණු පසින් පව්ව නැගීමට තැනූ පියගැට පෙළ විශිෂ්ට කැටයම් සහිතව කළ නිර්මාණයක්. විනාඩි 20කින් පමණ පර්වතය තරණය කිරීමට ඔබට පුළුවන්. පර්වතය මත දී නටබුන්වලට අමතරව වන්නිහත්පත්තුවේ වැව්, කෙත්වතු සහ වනාන්තර සහිත සොඳුරු දර්ශනයක් ද දැකගත හැකියි.
විසිතුරු පියගැට පෙළ
මෙය ස්වභාවික බාධක ජයගැනීමට පුරාණ ඉංජිනේරුවන් සතු හැකියාව පෙන්නුම් කරන උදාහරණයක්. පර්වතයේ ශීඝ්‍ර බෑවුම මඟහරවාගෙන ඇත්තේ මළු කිහිපයක් වශයෙන් ඉදිකළ පියගැට පන්ති තුනකින්. පියගැට පන්තිවලට ආරක්ෂාව ලබා දී ඇත්තේ කළුගල් කුට්ටිවලින් තැනූ පනාබැමිවලින්. මෙහි තුන්වන පියගැට පන්තිය විසිතුරු අයුරින් සියුම් කැටයම්වලින් සරසා තිබෙනවා. එහි තැනක දක්නට ලැබෙන සායම්වලින් පේන්නේ එදා මෙය වර්ණ ගන්වා තිබූ බව යි.
විසිතුරු සෝපානය ආරම්භ වන්නේ හිඳ සිටින වාමන රූපයකින්. ඊට ඉහළින් ඇති ගල්පුරුව වේගවත් රංගන විලාසයක් සහිත නාටිකංගනාවකගෙන් සරසා තිබෙනවා.
එයට ඉහළින් කුහරයක් තුළ නිමාකර අැති කාන්තා රූපය ද ඉතා අගනා නිර්මාණයක්. ස්ත්‍රී ලාලිත්‍යය මනාව නිරූපණය කිරීමට කැටයම් ශිල්පියා සමත් වී තිබෙනවා. ඉන්පසු පියගැට දෙපස අත්වැල අසල ඇත්තේ යාපහුවේ ප්‍රකට සිංහ රූ දෙක යි. නිදහස් චතුරස්‍රය වටා ඇත්තේ ද මෙම සිංහ රූපවල අනුකරණයක්. පසුපස කකුල් නවාගෙන හිස මඳක් බිමට නැඹුරු කර ඉදිරිය බලා සිටින මෙම සිංහ මූර්ති ප්‍රතාපවත් අයුරින් කැටයම් කර තිබෙනවා.
සිංහ මූර්ති යුගලයෙන් පසු පියගැට පෙළෙහි දෙවන කොටස ඇරඹෙනවා. ගජසිංහ රූ සහිත කොරවක් ගල් දෙකකින් මෙම පියගැට පෙළ ඇරඹෙනවා. ඊට පසු වාමන රූ පෙළක් කැටයම් කර තිබෙනවා. පියගැට පෙළෙහි අවසාන කොටසෙහි හමුවන්නේ ද්වාර මණ්ඩපය යි. ගලින් නිමා කළ බිත්ති සහ කුළුණු සහිත මෙය අපූරු නිර්මාණයක්. තනිගලින් කළ එහි උළුවහුවල කැටයම් විශිෂ්ට යි. මෙහි කැටයම් දකුණු ඉන්දීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පළ කරනවා. ද්වාර මණ්ඩපයේ පාදමෙහි කැටයම් අතර නටන වයන ස්ත්‍රී පුරුෂ රූප සමූහයක් කැපී පෙනනෙවා.
දළදා මාලිගය
ද්වාර මණ්ඩපයෙන් පසු හමුවන්නේ කඳුබෑවුමේ පිහිටි තැනිබිමක්. එය වෙන් වී තිබෙන්නේ ගඩොල් පදනමින් යුත් ගොඩනැගිල්ලකට යි. මෙය දැනට දළදා මැදුර වශයෙන් හඳුනාගෙන තිබෙනවා. දළදා මැදුර ලෙස හැඳින්වුව ද එයට නිශ්චිත සාධක නම් හමු වී නැහැ.
පර්වතය මත නටබුන්
මෙහි සිට පර්වතයට පිවිසීමට පැරණි පියගැට පේළි සකසා තිබෙනවා. වනය අතරින් සුන්දර වටපිටාවක් අතරින් එම මාර්ගය ඇදී යනවා. පර්වතය මත නටබුන් දාගැබක් දක්නට පුළුවන්. එය මහනුවර යුගයට අයත්. එය තනවා තිබෙන්නේ නෙත්තිපොලගම උන්නාන්සේ නම් භික්ෂුන් වහන්සේ නමක් බව යි පැවසෙන්නේ. කළුගලින් තැනූ බෝධිඝරයක් එයට නුදුරින් පිහිටා තිබෙනවා. බෝධි ප්‍රාකාරයට එපිටින් පර්වතය මත කැණීම් නොකළ ගොඩනැගිලි තිබෙනවා. ජනප්‍රවාද පවසන්නේ ඒ රජ මාලිගය බව යි. පර්වතය මත හාරා ඇති සිදුරුවලින් පෙනෙන්නේ එකල මෙහි දැව ගොඩනැගිලි රාශියක් තිබූ බව යි.
කෞතුකාගාරය
යාපහුව පුරාවිද්‍යා කටුගේ අපේ උරුමය සොයන්නන්ට වැදගත් ස්ථානයක්. යාපහුව කැණීම්වල දී මෙන්ම අවටින් හමු වූ පුරාවස්තු රාශියක් එහි දී නැරඹිය හැකියි. ඒ අතරින් විශේෂත්වය ගන්නේ විසිතුරු සෝපානයේ ද්වාර මණ්ඩපයෙන් ලැබුණු පසාරු කැටයම්වලින් යුත් ශෛලමය වා කවුළුව යි. පිංවැව ගල් සොහොන් කනත්තෙන් ලැබුණු අවශේෂ ද එහි ප්‍රදර්ශනය කරනවා.
මූලාශ්‍රයයන්:
යාපහුව පුරාණ රාජධානිය: කුසුම්සිරි විජයවර්ධන
අසිරිමත් යාපහුව: සෙනරත් දිසානායක
පුරාවිද්‍යා පාලන වාර්තා
වයඹ ලංකාවේ රාජධානි: ඇන්. ටී. කරුණාතිලක
Yapahuwa – W. B. Marcus Fernando