Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවුරුදු නිවාඩුවට යන්න වැඩි දෙනෙක් නොදත් තැන්

නගරයෙන් පිටතට ගොස් ඊළඟ වාරයේ රැකියා ආරම්භයට පෙර හිත සැහැල්ලු කරගන්න හොඳ ම අවස්ථාව අවුරුදු නිවාඩුව යි. 

අප්‍රේල් කාලයට දකුණු වෙරළ හෝ නුවර එළිය අප බහුල ව යනෙන තැන් වුණත් ශ්‍රී ලංකාව කියන්නේ පාරිසරික අත්දැකීම නිම්හිම් නැති පාරාදීසයක්. අඩු ඉන්ධන වියදමකින්, දැරිය හැකි පිරිවැයකින් කොළඹ සිට පැය පහකට අඩු කාලයකින් යන්න පුළුවන් එවන් හොඳ ම තැන් කිහිපයකුයි මේ.

උඩවලවේ 

ඡායාරූපය: banyancamp.com

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම කුඩා නගරය ඔබ ස්වභාවධර්මය වෙත කැන්දා ගෙන යන්නක්. සංක්‍රමණික කොකුන්, දිය කෙළියේ යෙදෙන අලින් වෙත ළංව බලන්නට ඉඩ සලසන ගඟ දිගේ සවාරි, ගඟ අසබඩ පිහිටි නිවාඩු නිකේතනවලින් උඩවලව ප්‍රදේශය පිරි ඉතිරී තිබෙනවා.

මෙහි නැරඹීමට සුවිශේෂී ස්ථාන මෙන් ම ක්‍රියාකාරකම් ද පවතිනවා. උඩවලවේ වනෝද්‍යානයේ සෆාරියක් ගොස් ඇත් අතුරු සෙවණෙහි සිටින අලි පැටවුන්ගේ කුස පුරවන්නටත්, මහපැලැස්ස උණුවතුර ළිඳකින් නා ගන්නටත්, උස්සන්ගොඩ ජාතික උද්‍යානයේ පුරාවිද්‍යා අසිරිය විඳගන්නට පමණක් නොව, වලවේ ගං ඉවුරේ පිහිටි රම්බා බෞද්ධ විහාරයේ සුන්දරත්වය විඳගන්නටත් ඔබට අවස්ථාව තිබෙනවා.

අනුරාධපුරය

ඡායාරූපය: මොරටුව විශ්වවිද්‍යාලය

වැදගත් සන්ධිස්ථානයක් වන අනුරාධපුරය, දැවැන්ත ස්ථූප සහ පෞරාණික නටබුන් සහිත පූජනීය නගරයක්. කලක් පුරාණ සිංහල ශිෂ්ටාචාරයක් වූ එය දැන් උතුරු මැද පළාතේ සශ්‍රීක හරිත බිම් මධ්‍යයේ පිහිටි සුඛෝපභෝගී නිවාඩු නිකේතනවලින් සමන්විත වෙනවා.

රුවන්වැලි සෑය, රිටිගල ආරණ්‍ය සේනාසනය, විල්පත්තු ජාතික වනෝද්‍යානය, මිහින්තලේ, සහ තවත් බොහෝ අසංඛ්‍යාත ආකර්ෂණීය ස්ථාන ගවේෂණය කරන්නට පමණක් නොව, බයිසිකලයකින් රවුමක් යන්නට, ජලාශයක ඔරු පදින්නට, සහ අශ්වයන් පිටේ යන්නටත් මේ ප්‍රදේශයේ දී ඔබට අවස්ථාව උදා වෙනවා. 

පමුණුගම

ඡායාරූපය: GetYourGuide

කෙටි චාරිකාවක් යන්නට අදහස් කරන්නන්ට මීගමු වෙරළ තීරය මතක් වුවත්, එහි කළපු ගැන මතක් වන්නේ නැහැ. කළපුවට මුහුණ ලා පිහිටි නිවාඩු නිකේතනවලින් සපිරි පමුණුගම යනු සන්සුන් බවින්, සාමකාමී බවින් සහ විවේකී බවින් පිරි රජදහනක්.

මීගමුව කළපුවේ සශ්‍රීක කඩොලාන පරිසර පද්ධතිය තුළ බෝට්ටු සවාරියක් යන්න. නැතහොත්, ලන්දේසි යුගයේ භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රධාන මාර්ගය වූ ලන්දේසි ඇළේ නවතා ඇති සිසිල් සුළඟට දෙපසට වැනෙන වර්ණවත් බෝට්ටුවල අසිරිය විඳ ගන්න. එහි ඇති ප්‍රධාන මාළු වෙළඳ‍පොළින් නැවුම් මාළු මිලදී ගැනීමටත්, මීගමුවේ ඇති නානාවිධ පල්ලිවල අසිරිය විඳින්නටත්, මීගමුව කොටුවේ ගෘහ නිර්මාණ ශිල්පීය විස්කම් දකින්නටත් මේ ප්‍රදේශයේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. පමුණුගම, කොළඹට ආසන්න ව පවතින නිසා ගමනාගමනයට ගතවන කාලය ඉතා අඩුයි.

හපුතලේ

ඡායාරූපය: Walk My World

වලාකුළු වනාන්තර සහ තේ වතුවලින් පිරුණු හපුතලේ යනු, විවිධ ශාක හා සත්ත්ව විශේෂ සහිත පොහොසත් ජෛව විවිධත්වයකින් යුත්, බදුල්ල දිස්ත්‍රික්කයේ නගරයක්. සිසිල් දේශගුණය සහ හරිත බව තුළ සිත නිදහසේ පා කර හරින්නට පසුබිම් සැලසෙන හපුතලේ මනරම් වටපිටාවකින් සමන්විත වෙනවා.

මේ ගමනේ දී ශ්‍රී ලංකාවේ උස ම දිය ඇල්ල වන බඹරකන්ද හෝ දෙවන උස ම දිය ඇල්ල වන දියලුමෙහි සිසිල් ජලයෙන් ගත සතපවා ගන්නටත්, දඹතැන්න තේ කම්හලේ සංචාරය කරන්නටත්, ලිප්ටන් සීට් හි සිට හිරු උදාව නැරඹීමටත්, ඇඩිෂම්හි බංගලාවේ නැවුම් ස්ට්‍රෝබෙරි ජෑම් රස විඳින්නටත් අමතක කරන්න එපා.

කලමැටිය

ඡායාරූපය: Like Sri Lanka

ජෛව විවිධත්වයෙන් පොහොසත් වෙරළබඩ තෙත්බිම් ප්‍රදේශයක් වන කලමැටිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. එය කුඩා බොකු, සශ්‍රීක කළපු සහ පෞරාණික පෞද්ගලික වෙරළ තීරයන්ගෙන් ද පිරී තිබෙනවා.

නිවාඩු නිකේතනයක සිට පරිසරයේ නිහඬ බව විඳීමටත්, කලමැටිය කුරුළු අභය භූමියේ කුරුල්ලන් නැරඹීමට යාමටත්, කලමැටිය මුහුදු තීරයේ සිට හිරු එළිය විඳගන්නටත් මෙහි දී ඔබට හැකිවේවි.

දෙනියාය

ඡායාරූපය: Travelocity.com

මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දෙනියාය සිංහරාජ වනාන්තරයෙන් වට වී තිබෙනවා. එනිසා, උණුසුම් කොළඹ නගරයෙන් පිටතට ගොස් සාපේක්ෂ ව, සිසිල් දේශගුණයක් විඳගන්නට ඔබට අවස්ථාව සලසනවා. නැවුම් වාතය ආශ්වාස කිරීමට, වැසි වනාන්තරයක් හරහා ඇවිද යාමට හෝ දිය ඇලි බැලීමට දෙනියාය ප්‍රදේශය කදිම පරාදීසයක්.

දෙනියායේ දී ඔබට යා හැකි හොඳ ම තැනක් වන්නේ මාදු ගල්තලා මත දිය දහර ඇදෙන ෆැට්නා නැරඹීමට යාම යි. නැතහොත් ඔබට ගිං ගඟ‍ේ නෑමට හෝ සත්මාලේ ඇල්ල නැරඹීමටත්, සිංහරාජ වනයේ සැරිසැරීමටත්, දළු තේ මධ්‍යස්ථානයෙන් උණුසුම් තේ කෝප්පයක රසය විඳීමටත් හැකි වෙනවා. ඔබ අකුරැස්ස මාර්ගයේ ගමන් කරනවා නම්, ඒ අතර මඟ මොරවක දී හමුවන ගුරුබෑවුල වෙතින් කිරි වීදුරුවක් හෝ රස ම රස මිල්ක් ෂේක් එකක් බොන්නටත් අමතක කරන්න එපා.

දැන් ඔබට ඔබේ අවුරුදු නිවාඩුවට යන්නට හොඳ තැන් කිහිපයක් ලැබී තිබෙන නිසා හැමදා ම යන තැන් වෙනුවට මේ අලුත් ම තැන්වලින් අලුත් අවුරුද්දට අලුත් ම අත්දැකීමක් ලබන්නට ඔබට හැකි වේවි.


මෙම අවුරුදු සමයේ සැබවින්ම ශ්‍රී ලාංකීය පෑන් ඒෂියා බැංකුව ශ්‍රී ලංකාවේ මනහර හෝටල් සහ නිවාඩු නිකේතන කිහිපයක් සමඟ හවුල් ව දිවයින පුරා පිහිටි නිවාඩු නිකේතන වෙතින් ඔබට විශේෂ වට්ටම් සහ දීමනා ද ගෙන එනවා!

https://bit.ly/3ritdK9

Related Articles