කඳු තරණය යනු සංචාරයේ යෙදෙන අයගේ ප්‍රියතම අත්දැකිමකි. ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුවද අපිට තරණය කිරීම සදහා කඳු රැසක් පවතී. මේ අතරින් සප්ත කන්‍යා කඳු පෙළ තරණය කඳු තරණයන් අතර අපහසුම තාලේ එකකි. සප්ත කන්‍යාවෝ නැගී සිටින්නේ කුප්‍රකට ලක්ෂපාන ඇල්ලට උඩින් වූ සිරිපා සමනොළ රක්ෂිතයට යාබද කඳුකර වන ගහනය තුලය.
පිවිසීම
නෝටන් බ්‍රිජ් සිට නල්ලතන්නියට පිවිසෙන ශ්‍රී පාද පිවිසුම් මාර්ගයේ ලක්ෂපාන ඇල්ලට පිවිසෙන අතුරු මාර්ගයක් තිබේ. එම පළාත කොත්තල්ලෙන ලෙසද හැඳින්වේ. නෝටන් බ්‍රිජ් සිට මෙම පළාතට බස්රිය ධාවනය වේ. මෙම ගමනේදී ලක්ෂපාන ඇල්ල දැකබලා ගෙන වතුර වැඩිමනක් නොමැති කලෙක නම් ඇල්ලෙන්ම නාගැනීමේ පහසුවද තිබේ.
ගමනේදී ඇති බාධාවන්
මෙම කඳු පෙළ තරණයේදී දෙඅාකාරයක බාධාවන්ට මුහුණ දීමට සිදු වේ.
මාර්ග අපහසුතාව
යකාගේ පඩිපෙළ, සිරිපා තරණය, නමුණුකුල, ග්‍රෙට් වෙස්ටර්න් ආදී බොහෝ කඳු තරණවල නියමිත මාර්ගය පැහැදිලිව දක්නට ලැබේ. එහෙත් සප්ත කන්‍යා එවන් පැහැදිලි මාර්ගයක් ඇති කඳු පන්තියක් නොවේ. එහි වඩාත් පහසු පිවිසුම ලෙස ලක්ෂපාන ඇල්ලට උඩින් වූ මාර්ගය දැක්විය හැකිය. කෙසේ නමුත් ඒ මාර්ගය වුව දැඩි ආනතියකින් යුතු, ඇතැම් තැනක ලිස්සා රූටා යන සුළු අන්දමේ එකකි. බට පඳුරු සහ විශාල ගස්වලින් හෙබි වනය තුලින් ගමන් කරන විට තමුන් සිටින්නේ කවර ඉසව්වක දැයි සොයාගන්නටද මඳක් අපහසුය.
කූඩැල්ලන් සහ වන සතුන්
වැසිකලෙක ගිය අප කණ්ඩායමට නම් කූඩැල්ලන් දැඩි කරදරයක් විය. ඔවුන් පොදි පිටින් කකුල්වල මෙන්ම සිරුර පුරාමද එල්ලී ලේ උරා බීම මහත් කරදරයක් විය. වැසි ඇදහැලෙන මීදුම් සමයක නම් හුදෙක් කකුල්වල පමණක් යම් ද්‍රාවණයක් හෝ ආලේපයක් තවරා ගෙන යෑම කූඩැල්ලන් ගෙන් ගැලවිය හැකි ක්‍රමයක් නොවේ. වැසි වසින කල සිරුරම සේදී යන බැවින් තවරන කවරක් වුවද සේදී ගොස් කූඩැල්ලන්ට කැමති වටපිටාව අපගේ සම මත ඉක්මනින්ම සෑදේ. විසකරු සර්පයන් සහ දිවියන් ආදී සතුන් සිටියද පිරිසක් යන විට ඔවුන් දුරස් වනවා විනා පැන පැන ප්‍රහාර එල්ල කිරීම් නම් වාර්තා වන්නේ අඩුවෙනි.
දකින්නට ඇති දෑ
මෙම ගමනේදී 1974 දෙසැම්බර් 04 වැනිදා අනතුරට ලක් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ ගිය අයගේ සොහොන් කොත් දැකබලාගත හැකිය. තතු විස්තරවල දැක්වෙන පරිදි එම ගුවන් යානය ගැටී තිබෙන්නේ පස්වැනි කන්දේය. පස්වැනි කන්ද දක්වා නැගීමට අඩු වශයෙන් සම්පූර්ණ දිනක්වත් සාමාන්‍යයෙන් ගත වේ. එහි පහළින් පිහිටි තැනක ඉතිරි වූ සිරුරු කොටස් මිහිදන් කොට තැනූ සොහොන් කොත් සහිත ප්‍රදේශයක් පවතී. කාලයාගේ ඇවෑමෙන් කැලයට යට වෙමින් පවතින එම සොහොන් කොත් අතීතයේ වූ ඛේදවාචකය සිහිකරන ගුප්ත වූ මතක සටහන් රැසක් මෙනි.
මෙම සප්ත කන්‍යාවේ බොහෝ තැන්වල බට පඳුරු පිරි බට කැලෑව දක්නට තිබේ. ඒ අතර රූස්ස ගස් සහ පඳුරුවලින් පිරුණු කඳුකර වියළි වනාන්තර ද නැත්තේ නොවේ. මුල් අවස්ථාවලදී එතරම් භූමි දර්ශනයන්ගෙන් සැදුණු ගමනක් නොවුණත් පසුව අලංකාර භූමි දර්ශන ගණනාවක් හමු වේ. අප ගිය ගමනේදී වැසි සමය නිසාත්, ආරම්භ කරන්නට ප්‍රමාද වූ නිසාත් දෙවන කඳු මුදුන, එනම් මීටර 1400ක් පමණ උස සීමාවට පමණක් ළගා වුණෙමු. එහෙත් මීටර 1800ක් තරම් උස දක්වාකඳු මුදුන් තිබෙන බැව් සිතියම් අධ්‍යයනයේදී පෙනී යයි.
සැලකිලිමත් විය යුතු කරුණු
පෙර කී පරිදි සලකුණු කරන ලද මගක් හෝ පහසුවෙන් සොයාගත හැකි මගක් නොවන බැවින් මග පෙන්වීම සඳහා වනය ගැන දැනුමක් ඇති අයෙකු සොයාගැනීම වැදගත් වේ. ඇතැම්විට ඒ පළාතේ ජනයාට සාමාන්‍යයෙන් ලැබෙන මුදලට සාපේක්‍ෂව ගයිඩ් වරයෙකුට ලැබෙන මුදල වැඩි හෙයින් වැඩිමනක් වනයේ මාර්ග සහ කඳුමුදුන් ගැන නොදන්නා අයවලුන්ද පවා මග පෙන්වනන් ලෙස පෙනී සිටිති.
ඔවුන් සමග යෑමේදී අතරමං වීමේ දැඩි අවදානමක් තිබේ. අනුන්ට මග පෙන්වන්නට තබා ඔවුන්ටවත් මග සොයාගැන්නට නොහැකි වූ කල මහ වනය තුල අතරමං වීමට සිදුවීම ඛේදනීය තත්වයකි. එබැවින් මග පෙන්වන්නා ඉසව්ව සහ මාර්ග ආදිය ගැන දන්නේදැයි කලින් සොයා බලා යා හැකි නම් ඒ මනාය.
සාමාන්‍යයෙන් සිරිපා සමය මේ ඉසව්වටද වර්ෂාව අඩු කාලයකි. එම කාලයේ ඇතැම් විට කඳු නගින පිරිසද වැඩිය. වැසි සමයෙකදී තෙත පසට පය රූටා යෑම, කූඩැල්ලන්ගේ උවදුරු, මීදුම නිසා මාර්ගය සොයාගත නොහැකිවීම ආදී බාධාවලට මුහුණ දෙන්නට සිදු වේ. එබැවින් වැසි අඩු කාලයක් ගමන සඳහා තෝරා ගන්නේ නම් අගනේය.
ගිනි මැල දැල්වීම වැනි කටයුතු වියළි කාලයේදී සිදුකිරීමට පෙර සැලකිලිමත් විය යුතුය. බට සහ වියළි පඳුරුවලින් පිරි වනය සුළං ප්‍රවාහයට හසු වූ එක ගිනි පුපුරකින් දැවී අළු වී යනු නිසැකය. එබැවින් ගිනි දැල්වීමේදී ඔබේ ජීවිතය ගැනත්, වනය ගැනත් සිතා වගකීමෙන් කටයුතු කළ යුතුය.
කන්‍යාවියන් ලෙස මෙම කඳු මුදුන් හඳුන්වන්නට ඇත්තේද එහි නැගීමට ඇති අපහසුතාවය හේතුවෙන් විය හැකිය. එවැනි අපහසු කඳුවැටි තරණයද එක්තරා ආකාරයක විනෝදාංශයකි. අත්දැකීම් අවම නම් අවදානම අඩු වන පරිදි තරණය සංවිධානය කරගන යෑම වඩාත් උචිත වේ.
කෑම බීම සහ සුව පහසුව
ලක්ෂපාන ඇල්ලට පිවිසෙන ස්ථානය අවට නවාතැන්පොළ කිහිපයක්ම තිබේ. ඒවායේ නවාතැන් ගෙන සුවපහසුවෙන් ගමන ආරම්භ කරන්නට ද හැකියාව අැත. ලක්ෂපාන ඇල්ල සහ දර්ශනීය තේ වතු අසල විවේකය ගතකරන්නට කැමති අයටද මෙම පෙදෙස කදිම තෝතැන්නකි.
වර්ෂා කාලයේ හැර වෙනත් කාලවල සප්ත කන්‍යාකඳු වල ඉහළ කොටස්වල ජලය හිඟ වේ. සැබැවින්ම මෙය පර්වත පන්තියක් මත ඇති වූ කඳු වලල්ලකි.එබැවින් ගල් පර්වතය තුල ජලය අැතැයි බලාපොරොත්තුවෙන් ගමනේ යෑම තේරුමක් නැත. සිරිපා සමයේදී සිරිපා මග දෙපස ඇති රොටී කඩ මෙන් වූ අතරමැද ගම්මාන හෝ කඩ මෙහිදී හමු නොවේ. කඳු නැගීම අරඹන තැන පටන් ගෙන තේ වතු පසුකර ගිය තැන සිට ඇත්තේ කන්දත් මහ වනයත් පමණි. එබැවින් අවශ්‍ය ආහාර සහ ජලය ප්‍රමාණවත් ලෙස රැගෙන යෑම කළ යුතුම දෙයකි.
අවසර ලබාගැනීම
මෙය සමනල රක්ෂිතයට අයත් මහා කඳුකර වනාන්තරවලින් එක් කොටසකි. එබැවින් මෙහි රක්ෂිතයකදී සාමාන්‍යයෙන් කළ යුතු පරිදි නිසි අවසර ලබාගැනීමත්, ඉන් පසු ඒ ලැබෙන උපදෙස් පිළිපැදීමත් අනිවාර්ය වේ.
ලාංකික කඳු තරණය කරන්නන්ට DC-8 අහස් යන්තරය වැදුණු සප්ත කන්‍යාව යනු අමතක නොකළ යුතු තවත් එක කඩ ඉමකි. මග හොදින් දැන, නිසි පහසුකම් සලසා ගෙන ගමන පිටත් වන්නේ නම් සප්ත කන්‍යාව නැගීමද ඔබගේ චාරිකා මතක සටහන්වලට එකතු කරගත හැකි තවත් සුන්දර අත්දැකීමකි.