නකල්ස් හෙවත් දුම්බර ලෝක උරුම වනාන්තරය පැතිර පවතින්නේ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල යි. මේ කඳුවැටියේ බෑවුම්වල තැන තැන පිහිටි හුදෙකලා ගම්මාන ගණනාවක් අදත් හමුවෙනවා.
ඉතා දුෂ්කර සමහර ගම් කිහිපයක් නම් දැන් අත්හැර දමලා. දුම්බර වනය විශාලත්වයෙන් හෙක්ටයාර 21000ක්. ආවේණික සංස්කෘතික අංග සහිත ගම්මාන මෙන් ම කඳුවැටි සහ දියඇලි පාරිසරික සංචාරකයන්ට අපූරු අත්දැකීම් ලබාදෙනවා. මේ ගම්මාන ඇතිවූ අන්දම සඳහන් ජනප්‍රවාද ඔස්සේ, ඒ ගම්මානවල සංචාරය කරමු.
ලග්ගල ගම්මාන
ලේඛනවලට අනුව නකල්ස් වනාන්තරය තුළ පවතින ගම්මාන ගණන 86ක්. මේ අතරින් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල අවට රණමුරේ, කයිකාවල, ගලමුදුන, උඩගල්දෙබොක්ක, කළුගල, දෙහිගොල්ල, ඉමාඩුව, ඇටන්වල ආදී හුදකලා මිනිස් වාස ගණනාවක් සැඟ වී තිබෙනවා. මේ ගම්මාන අයත් වන්නේ ලග්ගල උඩසියපත්තු කෙටසට යි. මාතලේ රත්තොට හරහා රිවස්ටන් හා පිටවල පතන පසුකරමින් ඉලුක්කුඹුරට පැමිණ මේ ගම්වලට පිවිසිය හැකි යි. මේ එහි ගම් කිහිපයක් ගැන කියවෙන ජන කවියක්:
‘‘ඇටන්වල නොවෙද වැද්දා පැණි ඇල්ල
කළු පහණේ නොවෙ ද නිසි දුවිලි ඇල්ල
ලග්ගල ගම් නවය හරී මැද හංවැල්ල
ගලා හැලෙයි පොත්තටවල සේරැල්ල ‘‘
පිටවල
සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගමනනාන්තයක් වන පිටවල පතනේ කුඩා ලෝකාන්තයෙන් පහළ බලන විට වනාන්තරය අතර පිහිටි කුඩා නිවෙස්, හෙල්මළු කුඹුරු, වගාබිම් දැකගත හැකි යි. ඒවා අයත්වන්නේ පිටවල ගමට යි. ජලමාර්ග පිරි කඳුවලින් වට වූ සුන්දර පරිසරයක් මෙහි දැකගත හැකි යි. රත්තොට හරහා රිවස්ටන් පසු කරමින් පැමිණෙන මාර්ගය පිටවල හන්දියට පැමිණෙනවා. එහි සිට එක් මාර්ගයක් පිටවල ගමට වැටී තිබෙනවා.
පිටවල ගම හැදුණු හැටි ගැන කියවෙන ජනකතාවක් මේ:
මේ ගමට වෙනත් ගමක ඉඳලා පිටගොඩ සහ ඇටගොඩ කියලා වැදි සහෝදරයන් දෙදෙනෙක් ආවා. එයින් පිටගොඩ වැද්දා නතර වූ ගම පිටවල නමින් ද ඇටගොඩ වැද්දා නතරවූ පෙදෙස ඇටන්වල නමින් ද හැඳින්වුණා. මේ වැද්දන්ගේ මුල් ගම ඕපල්ගල යි. කුඹුරු ගොවිතැන සහ ස්ථිර බිම්වල හේන් වගාවත්, කිරි ගවයන් ඇති කිරීම සහ වනයේ කිතුල් මැදීමත් ගැමියන් සිදු කරනවා.
දම්මන්තැන්න
ඉලුක්කුඹුරට නුදුරු තවත් කඳු අතර පිහිටි පුරාණ ගමක් තමයි මේ. මෙයත් දුෂ්කර ගමක් වශයෙන් සැලකෙනවා. එය නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත්. අතීතයේ දී ගම්මානයක් සඳහා හොඳ ම ස්ථානයක් සොයා යන කුමාරවරුන් දෙදෙනෙක් මෙම ප්‍රදේශය හරහා දෙපැත්තකින් පැමිණ ඇති අතර එසේ පැමිණි එක් කුමාරයෙක් කන්දක් තරණය කරමින් ද, අනෙක් කුමාරයා තැනිතලාවක් පසු කරමින් ද පැමිණ ඇත. තැන්න පසුකර පැමිණි කුමාරයා කන්ද අසල දී’’ මං දැන් තැන්නේ සිටිනවා’’ යැයි අනෙක් කුමාරයාට ඇසෙන සේ හඬ නඟා පවසා තිබෙනවා. ඒ කුමාරයා පසු කළ තැනිතලාව පසුකලෙක දම්මන්තැන්න ලෙස ප්‍රසිද්ධියට පත් වූ බව පැවසෙනවා.
දම්මන්තැන්න ගම පිළිබඳව තිබෙන ජනකවියක් අහමු:
‘‘දම්මන් තැන්න රූසිරි ගමයි බොලං
වෙලට නැමුණු පොල් පේළිය රුවයි බොලං
ඉලන්දාරි සෙල්ලම් කළ වෙලයි බොලං
දම්මන්තැන්න හැරලා යා නොහැක බොලං
කහගල
කහගල ගමට නම ලැබී ඇත්තේ ගම ඉදිරිපිට තිබෙන විශාල ගල් පර්වතයක් හින්ද යි. මේ කඳුවැටියේ තිබෙන ගල් පර්වතය කහ පාටට තමයි පේන්නේ. පර්වතය මත වැවී ඇති තණකොළ ආදියත් හිරු එළිය වැටුණා ම පේන්නේ කහ පැහැයෙන්. ගල් පර්වතයේ පිහිටි තැනිතලාවත් කහ පැහැති පස්වලින් යුක්ත යි. කහ පාට පර්වතය පාමුල පිහිටි ගමට කහගල කියා නම වැටුණේ එහෙම යි.
මහලකොටුව
දුම්බර කඳුකරයේ තරමක් පහසුකම්වලින් යුත් ගමක් තමයි මහගකොටුව. පිටවල පතනට නුදුරින් ඉලුක්කුඹුරට ආසන්න ව පිහිටි මේ ගමට මාර්ග පහසුකම් පවතිනවා. මෙහි මහා විද්‍යාලයක් ද පිහිටා තිබෙනවා. ජනප්‍රවාදවලට අනුව මේ ගමට මුලින් ම ඇවිත් පදිංචි වී ඇත්තේ හඳුගොඩ බණ්ඩා නම් මුත්තා යි. ඔහු මුලින් ම පදිංචි ව සිටි දම්මැන්නාතොට සිට පැමිණ මෙහි නැවතී ජීවත්වීම ආරම්භ කළා. හඳුගොඩ බණ්ඩා ඒ ගමෙන් පලා ඇවිත් තියෙන්නේ යම් වරදකට මහනුවර රජ වාසලේ රාජ උදහසට ලක්වේ කියන බයට යි.
ඉන්පසු තවත් පවුල් කීපයක් ඕපල්ගල සිට මහලකොටුවට ඇවිත් තිබෙනවා. කලකට පසු දුෂ්කර කඳු අතර දිවිගෙවන ගමන් සතුරු සේනා ගමට පැමිණෙන විට සැඟ ව සිට පහර දී ඔවුන් විනාශ කර තිබෙනවා. ඉන්පසු මහනුවර රජුට ඒ ගැන දන්වා යැවූ බව සඳහන්. ඉන් සතුටට පත් රජු ගමේ මායිම් නියම කර සන්නසකින් මහලකොටුව ගම හඳුගොඩ මුත්තාට පවරා දී තිබෙනවා.
ගමේ නම හැදුණු හැටි ගැන ජනප්‍රවාද කීපයක් අහන්නට ලැබෙනවා. ඒ අතරින් එකක් වන්නේ ලග්ගල විසිඑක් පත්තුවෙන්ම සාරවත් පසක් පැවති නිසා අල වර්ග ඉතා හොඳින් බැහැපු ගම නිසා මහ අල කොටුව ලෙස ගැමියන් අතර ප්‍රකට වී පසුව මහලකොටුව වූ බව යි.
මහලකොටුව ගැන සඳහන් ජන කවියක් කියවා බලමු:
‘‘ පෑල දිගින් ගිරි රූ ඇල්ල ගල යස
ලෝල වඩන කෙත් ඇති නැගෙනහිර දෙස
බාල මෙමන් කියනා කවි මිහිරි රස
මහලකොටුව ගම වෙයි සිරි රඳන යස
රත්නින්ද
ඉලුක්කුඹුර සිට රත්නින්ද දක්වා වැටී ඇති පටු මාර්ගයේ ගමන් කිරීමෙන් මේ ගමට පැමිණිය හැකි යි. රත්නින්දට මාතලේ සිට බස්රථයක් ද ධාවනය වෙනවා. කුඩා මාර්ගය රත්නින්දෙන් අවසන් වන අතර ඉන් එපිට පිහිටි ඇටන්වල ඇතුළු කඳුකර ගම්මානවලට යායුත්තේ පාගමනින්. කිරිගවයන්, මීහරකුන් ඇති කිරීමත් කුඹුරු ගොවිතැනත් එළවළු වගාවත් ගැමියන් සිදුකරනවා. ගමට තරමක් දුරින් ඉහළ නගින මානිගල දක්වා දැවැන්ත පවුරක් සේ ගමට දිස්වෙනවා.
රත්නින්ද ගම කෙළවරේ පිහිටි දියඇල්ල නිසා ගමට විශාල අලංකාරයක් ලැබී තිබෙනවා. දියඇල්ල හඳුන්වන්නෙත් ගමේ නමින්ම යි. මෙය සංචාරකයන්ට පහසුවෙන් ළඟා විය හැකි දියඇල්ලක්. මීටර 1157ක් උසැති කිරිමැටියා කන්දෙන් උපත ලබන ජල ධාරාවලින් මෙය නිර්මාණය වෙනවා. මෙහි ජලය පසුව තෙලිගමු ඔයට එක්වෙනවා. මෙය කුඩා දියඇල්ලක්. ඇල්ල සමීපයට යාමට නම් කඳුබෑවුම තරණය කළ යුතු යි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ වැලිවිට සරණංකර හාමුදුරුවො දළදාවත් රැගෙන ඇටන්වලට ඇවිත් තිබෙනවා. ලන්දේසි ආක්‍රමණ නිසා දළදා වහන්සේ සැඟවීමටයි උන්වහන්සේ පැමිණ ඇත්තේ. ඒ හාමුදුරුවො කැලේ තිබුණු අලවත්තාපිටිය ගල්ලෙනේ දළදා වහන්සේ සඟවා ඇප උපස්ථාන කරමින් සිටියා. හාමුදුරුවන්ට දානය සපයමින් උපස්ථාන කළේ රත්නායක මුත්තා යි. ලන්දේසින් මහනුවරින් පන්නා දැමූ පසු රජුගේ නියෝගයෙන් දළදා වහන්සේ සමඟ සරණංකර හාමුදුරුවො නැවත මහනුවරට කැඳවාගෙන ගොස් තිබෙනවා. ඒ සමඟ ම රත්නායක මුත්තා කරපු උපස්ථාන නිසා ඔහු පදිංචි ගම නින්දගම් කොට දුන්නා. රත්නායකට දුන්න ගම පසුව රත්නින්ද වෙලා තිබෙන බවයි පැවසෙන්නේ.
ඉලුක්කුඹුර රත්නින්ද හරහා ඇටන්වලට යන බොරලු පාරේ ගමන් කරන විට තෙලිගමු ඔයෙන් නිර්මාණය වූ වැද්දාපැණි ඇල්ල හමුවෙනවා. ඇල්ල අසලට යාමට පයින් කිලෝ මීටර එකක් පමණ ගමන් කළ යුතු යි. මීටර දෙකක් පළල ගල්පර්වත දෙකක් අතරින් ඔය කඩාහැලීමෙන් මේ අලංකාර ඇල්ල නිර්මාණය වී තිබෙනවා.
ඇටන්වල
මේ ගමට යන මාර්ගයේ ජීප්රථවලට මිස විශාල වාහනවලට ගමන් කිරීම අපහසු යි. රත්නින්ද පසුකර තවත් කිලෝ මීටර 4ක් පමණ අඩිපාරක් ඔස්සේ ගොස් තෙලිගමු ඔයෙන් ගොඩ වූ පසු ඇටන්වල ග්‍රාමය හමුවෙනවා. ගම අද්දරින් ගලා යන්නේ කඵළුපහන කන්දෙන් ආරම්භ වන තෙලිගමු ඔය යි. ගමට පිවිසීමට ඔය තරණය කර පඩිපෙළක් වැනි කන්දක් තරණය කළ යුතු යි.
ගමේ විහාරයක් ද තිබෙනවා. ගමට ඉහළින් ප්‍රාකාරයක් සේ පැතිර යන්නේ මානිගල කන්දයි. ගම පසුකර කඳු තරණය කරන අඩිපාර වැටී ඇත්තේ වල්පොලමුල්ල ගම වෙත යි. ඉතා රමණීය පරිසරයක් මේ ගමේ දී දැකගන්න පුළුවන්. ගම හරහා මානිගල කන්ද නැඟීමට විශාල සංචාරකයන් පිරිසක් ඇදී එනවා.
පිටවල ගමේ සිට පැමිණි පිටගොඩ වැද්දාගේ සොයුරා වූ ඇටගොඩ වැද්දා තමයි ගමේ මුලින් ම පදිංචිවුණු බව ජනප්‍රවාදවල සඳහන් වන්නේ. ඒ නිසයි ගමට ඇටන්වල නම ලැබුණේ. මේ වැද්දා දිනක් වනයට ගෙස් පැණි කදකුත් අරන් ගම හරහා ගලන තෙල්ගමු එයේ ගල්දෙබොක්කාවකින් එගොඩ වී ගමට පැමිණීමට යාමේ දී පර්වතයෙන් වතුරට වැටී මැරුණා. එතනට තමයි වැදදාපැණිඇල්ල කියන්නේ. වැලිවිට සරණංකර හිමි වැඩසිටි බව පැවසෙන ගල්ලෙනක් ද ගමට නුදුරින් වනයේ පිහිටා තිබෙනවා.
ගම අද්දරින් ගලායන්නේ තෙල්ගමු ඔය යි. එළවළු, දුම්කොළ සහ වී වගාව ද ගමේ දකින්නට පුළුවන්. ගම පිහිටා ඇත්තේ කඳු අතර පිහිටි සමබිමක යි.
මෙම ගැමියන් බුලත් කොළ වෙනුවට හපන්නේ තලාකොළ නමැති කොළ වර්ගයක්. ගඟේ බණ්ඩාර දෙවියන් දේවත්වයෙන් සලකන ගම්වාසින් කුඹුරු වැපිරීමේ දී මෙන් ම අස්වනු නෙළීමෙන් පසු පළමු අස්වැන්න ද, ගඟේ බණ්ඩාර දෙවියන් වෙත පූජා කිරීම සිදුකරනවා. වී කල්තබා ගැනීම සඳහා වී බිස්ස සහිත මිදුලත්, ගේට්ටුව වෙනුවට කඩුල්ලත් මැටී ගැසූ ගෙවලුත් එහි දැක ගැනීමට ලැබෙනවා. ගම කෙළවර පිහිටි සමතලා ගල්පව්ව පුරාණයේ දී වී කෙටීමට භාවිත කළ බවයි පැවසෙන්නේ.