මහනුවර හෙවත් සෙංකඩගල නගරය මුල් කරගෙන උඩරට රාජධානිය පිහිටවූයේ සේනාසම්මත වික්‍රමබාහු (1473-1511) රජු විසින්. ඊට පසු රජවරු 13කගේ පමණ පාලනයට යටත්ව පැවති මහනුවර නගරය පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණ සමයේ දී විටින්විට කතෝලික බලපෑමට යටත් වුණා. ඒ අතර රජවරුන්ගේ අවසරය මත කතෝලික පියතුමන්ලා මහනුවර වාසය කළ බව ද සඳහන් වෙනවා. ඒ අතර ප්‍රමුඛයකු වන්නේ ශුද්ධවරයට ඔසවන ලද ජුසේවාස් පියතුමා යි. උන්වහන්සේ දෙවන විමලධර්මසූරිය රජ කළ මහනුවර නගරයට පැමිණ කටුකැලේ දැන් පුල්ලෙයාර් කෝවිල තිබෙන ස්ථානයේ කුඩා දෙව්මැදුරක් තනාගෙන වාසය කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඊට පසු රජ වූ වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජුත් ජුසේවාස් පියතුමාට අනුග්‍රහය දැක්වූ බව පැවසෙනවා. ඒ පියතුමාගේ අවසන් කටයුතු සිදු කර ඇත්තේ ද මහනුවරදීම යි.
උඩරට ඇතුළු ලංකාවම 1815 දී ඉංග්‍රීසින්ට යටත්වීමෙන් පසු කතෝලික බලපෑම මහනුවරට තදින් දැනෙන්නට පටන් ගන්නවා. ඉංග්‍රීසි නිලධාරින්ට සහ සෙබළුන්ට ආගමික කටයුතු සඳහා කතෝලික පල්ලි අවශ්‍ය වෙනවා. ඉංග්‍රීසි පාලන සමයේ දී නගරවැසියන් අතරින් සමහරු කතෝලිකාගම වැළඳ ගැනීම ද සිදු වුණා. මේ නිසා නගරයේ දෙව් මැදුරු කිහිපයක්ම ටික කලකින් ඉදිවෙනවා. ඒ සඳහා ඉංග්‍රීසි ආණ්ඩුවේ අනුග්‍රහය ද ගැබෙනවා. ඒ දේවස්ථාන අතරින් සමහරක් අද දක්වාත් දකින්න පුළුවන්. ඒවා මහනුවර ලෝක උරුම නගරයේ අගය ඉහළ නංවනා පුරාවිද්‍යා ස්මාරක වශයෙන් ද වැදගත්.
ශාන්ත පාවුලු දේවස්ථානය
මහනුවර නගරයේ පැරණිම කතෝලික දෙවස්ථානය වශයෙන් සැලකෙන මෙය දළදා මාළිගය අසල නාථ දේවාලයට හා පත්තිනි දේවාලයට නුදුරින් බෞද්ධ ආගමික ගොඩනැගිලි අතර පිහිටා තිබෙනවා. ඉංග්‍රීසි පාලන සමයේ මුල් යුගයේ දී සුද්දන් තම ආගමික කටයුතු සඳහා මඟුල් මඩුව යොදාගෙන තිබෙනවා. එහි යාඥා කිරීම්, දේව පූජා ඇතුළු ක්‍රිස්තියානි ආගමික කටයුතු පවත්වාගෙන යෑමට සිංහල රදළවරු දැඩි සේ විරුද්ධ වී තිබෙනවා. එවිට ඉංග්‍රීසි නිලධාරින් පවසා ඇත්තේ විනිශ්චයකාරවරුන්ට රාජකාරියට යාමට පෙර දෙවියන් ඉදිරියේ දිව්රුම් දීම අවශ්‍ය බව යි. ඒ නිසා දේවස්ථානයක් ඉදිකිරීමට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අලකොළමඩිත්ත නම් ඉඩමෙන් කොටසක් ලබා දුන්නා. එහි දේවස්ථානය ඉදිකිරීමේ අදහස 1825 දී ඉදිරිපත් වුණා. එය මුලින්ම ඉදිරිපත් කළේ කල්කටාවේ දෙවැනි බිෂොප් රෙජිනල්ස් හීබර් පියනම මෙරටට පැමිණි අවස්ථාවේ දී යි. නමුත් දේවස්ථානයේ ඉදිකිරීම් දවසින් දවස පමා වුණා.
ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 1843 දී මදුරාසියේ බිෂොප්වරයා විසින්. දේවස්ථාන ගොඩනැගිල්ල ගඩොල්වලින් ඉදිකළ අතර 1848 දී ආගමික කටයුතුවලට විවෘත කළා. මෙය කුරුසයක ආකාරයට ඉදිකළ ගොඩනැගිල්ලක්. දේවස්ථානය ඉදිරිපස තිබෙන්නේ ඉහළට විහිදී යන කුලුනක්. එහි තුන් පැත්තක ඔරලෝසු සවිකර තිබෙනවා. කලකට පෙර මෙම දේවස්ථානය මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බලපෑම් පැමිණියත් එහි පුරාවිද්‍යාත්මක වැදගත්කම නිසා ඒ අදහස ක්‍රියාවට නැංවුණේ නැහැ. මෙම ගොඩනැගිල්ල 2005 ජූලි 8 දා පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා.
දේවස්ථානය අලංකාර කරන වර්ණ වීදුරු 1874 දී එංගලන්තයෙන් ගෙන්වා තිබෙනවා. එමෙන්ම 1874ට අයත් පයිප්ප ඕගන් එකක් ද මෙහි තිබෙනවා. අද මෙය ඇග්ලිකන් ක්‍රිස්තියානි දේවස්ථානයක් ලෙස ක්‍රියාත්මකයි.
මෙතෝදිස්ත පල්ලිය
ලංකාවේ මෙතෝදිස්ත පල්ලියක් මුලින්ම ආරම්භ වුණේ 1814 දී ගාල්ලේ දී. ඉංග්‍රිසින් උඩරටත් යටත් කරගත් පසු මහනුවරටත් මෙම පල්ලි පිවිසුණා. 1800 මුල් කාලයේ එය ඉදිකර තිබුණත් අද තිබෙන දේවස්ථාන ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ 1897 දී. මහනුවර උසස් බාලිකා විදුහල මෙතෝදිස්ත පල්ලියට අයත් පාසැලක්. එය 1879 දී දැන් තිබෙන ස්ථානයට රැගෙනවිත් තිබෙනවා. යටිනුවර වීදියේ පිහිටා ඇති මෙම පල්ලියේ දැනට තිබෙන ගොඩනැගිල්ල 1897 ඉදිකළ බව එහි සටහන් කර තිබෙනවා. අලංකාර දේවස්ථානයක් වන මෙය 2005 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කළා.
ගැලවීමේ හමුදා මූලස්ථානය
ලංකාවේ ගැලවීමේ හමුදාව ආරම්භ කරන්නේ ඉන්දියාවේ සිට පැමිණි කැප්ටන් විලියම් ග්ලැඩ්වින් විසින්. ඒ 1883 ජනවාරි 26 වෙනි දින පිටකොටුවේ ඔරලෝසු කණුව (පරණ මාර්කට්ටුව අසල) අභියස පැවත්වූ පළමු රැස්වීමෙන් අනතුරුව යි. පළමු ලාංකික ගැලවීමේ හමුදා සාමාජිකයා වූයේ ආර්නෝලිස් වීරසූරිය නම් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ තරුණ ගුරුවරයෙක්. බෞද්ධාගමෙන් ඉවත් වී කතෝලික ආගම වැළඳ ගත් ඔහු ඉතා උද්‍යෝගයෙන් ගැලවීමේ හමුදාවට බැදී රටපුරා සේවය කළ බව සඳහන්. තරුණ අවධියේදීම ඔහු කොලරා රෝගය වැළඳී ජීවිතයෙන් සමුගත්තා. ඒ ඉන්දියාවේ එම රෝගයෙන් මියයමින් සිටි පිරිසකට උපස්ථාන කරමින් සිටින අතර වාරයේ දී.
සමාජ සේවා සහ සුභසාධන කටයුතු සඳහා වෙන්වූ මේ එවැන්ජලික සංවිධානය මහනුවරටත් ඒ නුදුරු කාලයකදීම පැමිණියා. එහි මහනුවර මූලස්ථානය සඳහා කොළඹ වීදියේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි වුණා. අදටත් දැකිය හැකි මේ ගොඩනැගිල්ල 2005 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කළා. එය ඕලන්ද සහ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව කළ ඉදිකිරීමක්. ඇතුළුවීමට ආරුක්කු ආකාරයේ දොරටු තුනක් ඉදිරිපස තිබෙනවා. ඒ අවට වෙනත් ගොඩනැගිලි අතර හිරවී තිබීම නිසා මෙයට පෙනුමක් නම් ලැබී නැහැ.
ශාන්ත අන්තෝනි ආසන දෙව් මැදුර
මහනුවර නගරයේ පිහිටි විශාලම දෙව් මැදුර මෙයයි. එය පිහිටා ඇත්තේ ඊ. එල්. සේනානායක වීදියෙ යි. මහනුවරට ආසන දෙව්මැදුරක් නැතිවීම ගැන කනස්සල්ලෙන් සිටි කතෝලික පුජකවරුන්ගේ අදහස සඵල කරමින් මෙයට මුල්ගල තැබුවේ 1875 ජූනි 3 දා යි. වර්ෂ 1877 දී එය විවෘත වෙනවා. රෝමානු කතෝලික ඉදිකිරීම් සම්ප්‍රදාය අනුව මෙය නිමවා තිබෙනවා. පැරණි අංග ලක්ෂණ සහිත මෙම ගොඩනැගිල්ල ලෝක උරුම නගරයට ගෙන එන්නේ අලංකාරයක්. ශාන්ත අන්තෝනි දෙව් මැදුරත් 2005 දී පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් වුණා. විශාල කිතුනු බැතිමතුන් පිරිසක් මෙහි ආගමික කටයුතුවලට නිතර සහභාගි වෙනවා.
ප්‍රෙස්බිටීරියන් පල්ලිය
ඩී. එස්. සේනානායක වීදියේ පිහිටා ඇති මෙම දේවස්ථානයත් පුරාවිද්‍යා ස්මාරකයක්.
ත්‍රිත්ව විදුහල් දෙව්මැඳුර
මහනුවර නගරයේ ඇති ත්‍රිත්ව විදුහල් භූමියේ පිහිටි මෙම දෙව් මැඳුර බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකළ කතෝලික පල්ලියක් වීම සුවිශේෂිත යි. කැටයම් කළ ගල්කණු උඩරට ගෘහ නිර්මාණයට අනුව තනා තිබෙනවා. පියස්ස සවිකර තිබෙන්නේ මෙම ගල්කණු මතයි. ගොඩනැගිල්ල විවෘත මණ්ඩපයක් ලෙස තනා තිබෙනවා. ඇතුළත පියස්ස ද සිව්රැස් පේකඩ කැටයම්වලින් යුක්ත යි.
මෙහි සිත්තම් ඇඳ තිබෙන්නේ විශිෂ්ට සිත්තරෙක් වූ ඩේවිඩ් පේන්ටර් විසින්. 1922 දී ඉදිකිරීම් ආරම්භ කළ මෙය 1935 දී තනා නිමකර තිබෙනවා.
ආශ්‍රිත මූලාශ්‍රයයන්:
මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක- කුසුම්සිරි විජයවර්ධන
stpaulschurchkandy.lk
ඥානාර්ථ ප්‍රදීපය 2015 ජන. 11