පළමු කාශ්‍යප රජු විසින් ක්‍රි. ව. 473 – 491 අතර කාලයේ දී සාදවන ලද සීගිරිය ස්මාරකයන් වෙසමුණිගේ ආලකමන්දාව මිහිමත නිර්මාණය කළාක් වන් විශ්මිත නිර්මාණයක්. මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමළුව කෝරළයේ මලය රට කඳු පාමුලට ආසන්නව පිහිටා ඇති අඩි 600ක් (මීටර 180ක් පමණ) පමණ උස පර්වත ශිඛරයක් මුදුනේ පිහිටන මෙම පුරාවිද්‍යාත්මක ස්මාරක රජ මාළිගා, ආරක්ෂක පවුරු, ජලෝද්‍යාන, සහ කලාගාර වලින් සමන්විතයි.
කාශ්‍යප රජු විසින් කරවන ලද මෙම විශිෂ්ට නිර්මාණය නැරඹීමට දිනපතා එහි යන එන ජනකාය ඉතා විශාලයි. එසේම සීගිරිය නරඹන්නට යෑමේ මෙම සම්ප්‍රදාය ඇති වුණේ මෑතක දීත් නොවන බවට සාධක ද බොහොමයි. ඉතා ඈත අතීතයේ පටන්ම මෙම කලා නිර්මාණ නැරඹීමට ජනයා පැමිණි බවට හොඳම සාක්ෂිය තමයි සීගිරි කුරුටු ගී. ලාංකික පද්‍ය සාහිත්‍යයේ දැනට ඉතිරිව ඇති පැරණිතම නිර්මාණ වලින් කීපයක් විදියට මෙම ‘කුරුටු ගී’ හඳුන්වන්න පුළුවන්. සීගිරිය පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින් කියවන්නට පුළුවන්.
සීගිරිය ගොඩනැංවූයේ ඇයි?
පළමු කාශ්‍යප විසින් සීගිරිය මත මාළිගා සංකීර්ණය ඉදිකිරීම දේශපාලන පෙරළියක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එකල ලක්දිව රජකම් කළ පළමු ධාතුසේන (ක්‍රි. ව. 455 – 473) නම් තම පියා මැරවීමෙන් පසුව රජකම අත්පත් කරගත් කාශ්‍යප කුමරු, සිහසුනට නියම උරුමකරු වන තම සොයුරා වන මොග්ගල්ලාන කුමරුගෙන් ඇතිවිය හැකි ප්‍රහාරයකට බියෙන්, අනුරාධපුර පිහිටි අගනගර සහ මාළිගාව වඩාත් ආරක්ෂිත ප්‍රදේශයක් වන සීගිරියට ගෙනගියා.
පර්වතයේ සමතලා ශිඛරයට සැතපුම් ගණනක් දුර ඇත පෙනෙන නිසාත්, ශිඛරය නැගීම පහසු කටයුත්තක් නොවන නිසාත් ශිඛරය මත මාළිගාව ඉදිකෙරෙනු ලබනවා. කාශ්‍යප කුමරු ධාතුසේන රජුගේ වැඩිමල් පුතු වුවත්, අග බිසවගේ දරුවා වීම නිසා සිහසුනට උරුමක්කාරයා වූයේ් මොග්ගල්ලාන කුමරුනුයි. තම පියා මැරූ පළිය ගෙන, සිහසුන අත්පත් කරගැනීමටත් ඔහු නැවත පැමිණෙන බව අනිවාර්ය වුණා. එනිසා පර්වතය මත ද, පහළ තැනිතලාවේ ද ප්‍රාකාර හා බලකොටු ඉදිකර, දිග අගල් ද කප්පවා සීගිරිය ඉතා ආරක්ෂාකාරී ස්ථානයක් ලෙස සකස්කරවන්නට කාශ්‍යප කුමරු පියවර ගෙන තිබෙනවා.
කැටපත් පවුර
සීගිරි පර්වතයේ බටහිර දෙසින් මගක් තරණය කළ පසු ගලේ උතුරු සහ දකුණු දෙස යා කරමින් පඩි සහිත මගක් නිර්මාණය කර තිබෙනවා. මෙහි පිටත බෑවුම ආරක්ෂා කර ඇත්තේ මීටර දෙකක් පමණ උස බැම්මකින්. මෙම බැම්මේ මතුපිට විශේෂ හුණු මිශ්‍රණයක් ආලේප කර ඔප දමා තිබෙනවා. ‘කැටපත් පවුර’ යනුවෙන් හැඳින්වෙන්නේ මෙම බැම්මයි.
කැටපත් පවුර අපට වැදගත් වන්නේ සීගිරි කුරුටු ගී ලියා ඇත්තේ මේ කැටපත් පවුර මත වන නිසායි. 6වන සියවසේ සිට 14 වන සියවස දක්වාම ආදි සංචාරකයින් විසින් ලියූ කව් ගී සහ නාමයන් 1500ක් පමණ ඔවුන්ගේම අත් අකුරින් කැටපත් පවුර මත සඳහන් කරන ලදුව අදටත් සුරක්ෂිතව තිබෙනවා.
කුරුටු ගී
පුරාණ ලංකා වැසියන්ගේ සාහිත්‍යමය ප්‍රතිභා ශක්තිය, භාෂාමය හැකියාවන්, සහ භාෂාවේ ලක්ෂණ ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කළ හැකි මූලයක් විදියට සීගිරි කුරුටු ගී හඳුන්වන්නට පුළුවන්.
සියවස් 5ක් පුරාවටම මෙය මත කවි ගී ලියැවුණත්, මේවායින් බොහොමයක් 8, 9, හා 10 සියවස් වල නිර්මාණය වූ බව කියැවෙනවා. සීගිරිය අවට සුන්දරත්වය, කලා නිර්මාණ වල විශ්මිතබව, සීගිරි බිතු සිතුවම් වල සුන්දරත්වය, කතුන්ගේ රූ සිරි ආදී විවිධ තේමා යටතේ කවි ලියා ඇති සංචාරකයින් තම නම ගම, ගොත්, සහ රැකියා ආදිය ද ඒ සමඟම සඳහන් කර තිබෙනවා. මේ ගී බොහොමයක් ප්‍රධාන ලෙසම කාව්‍ය සම්ප්‍රදායන් දෙකකට, එනම්, සංස්කෘත කාව්‍ය සහ ජනකවි, ලෙස වෙන් කළ හැකියි.
පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් පුරාණ හෙළ බසින් ලියැවුණු මෙවන් කවි 685ක් පරිවර්තනය කොට වෙලුම් දෙකක පොතක් ලෙස 1956 දී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. බෙනිල් ප්‍රියංක විසින් 2010 දී තවත් අසම්පූර්ණ හා කෙටි කවි 800ක් අඩංගු අධ්‍යනයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
සීගිරි කුරුටු ගී වන එකළ බසෙහි භාවිතා වූ වදන් 1000ක් පමණ අඩංගු වනවා.
එමෙන්ම එම නිර්මාණ වල කතුවරුන්ගේ නම් 250ක් පමණත්, ස්ථාන නාම, රාජකීයයන්ගේ නාම, සහ කතුවරුන්ගේ රැකියා සහ තනතුරු ආදිය ද මේවායේ බහුලව සඳහන් වෙනවා. පහතින් දැක්වෙන්නේ එවැනි කුරුටු ගී කීපයක් සහ ඒවායේ පරිවර්තන යි.
බුදල්මි
සියොර ආමි සිහිගිරි
බැලීමි ගි බොහො ජන
ලිතූයෙන් නොලිමි
මෙය ලියූ මම බුදල් වෙමි. බොහෝ ජනයා සමඟ සීගිරිය බැලීමට පැමිණියෙමි. බොහෝ දෙනෙක් කවි ලියා ඇති බැවින් මම නොලියමි.
සිරි ලක් දෙවෙහි (පොළො) දැක සියලග
(තුටු) දා ලොමු ඩැහැ ගනානෙලි
තෙපුලාදින්න මැ
සීගිරිය නැග ස්වභාවික සෞන්දර්ය දුටු මා ඉතා ප්‍රීතියට පත්ව සිටිමි. ඈ තෙපල වදන් මා කුල්මත් කර ඇත.
නැගි සිහිගිරි සිහි කොට් ගියක්
බ(ද)නා
බතිමි නා ගි නුයුම් මන
ගන්නනත් ජනා
මා සීගිරිය නැගි බාති වේ. පැරණි දේ සිහි වූ නිසා සින්දුවක් ලියමි.
(නු) යුම් මන බඩන පියවුරු
බැලුම් රුස්නා
ආ බයදහි රන්වන් මන
මත හැස් යො-මු කල තමා
අහා සියල්ලන්ගේ සිත් සහ ඇස් පිනවන, පර්වත පෙදෙසේ ඒ රන්වන් පැහැ තැනැත්තිය. ඇගේ පියයුරු හංසයින් සිහිගන්වයි.
ස්වස්ති අග්බොය්මි ලීමි
නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු
වැට්කොළ මලසෙය්
සැන්දැ ගැ සිහිවෙන්නේ
මහනෙල් වන හය් රන්වන හුන්
යහපතක් වේවා! මම අග්බෝ වෙමි. නිල් කටරොළු මලක් සමඟ පැටළුණු වැටකොළු මලක් වන මෙම ස්ත්‍රීන්ගේ සුන්දරත්වය සැඳෑ සමය සිහි ගන්වයි.
සීගිරි කුරුටු ගී වල සාහිත්‍යමය අලංකාරය පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් නිමකරන්නට නොහැකි වුණත්, කුරුටු ගී පහක් පමණක් සඳහන් කර ලිපිය අවසන් කරන්නේ නොවැලැක්විය හැකි සීමා නිසායි. නමුත් ඔබ වැඩිදුර තොරතුරු දැනගැනීමට උනන්දු නම්, අප වෙත දන්වන්න. සීගිරි කුරුටු ගී පිළිබඳව ලිපි පෙලක් ඉදිරිපත් කිරීමට අප සූදානම්.
මුලාශ්‍ර: Sigiriya Mirror Wall and Graffiti by Prof. Nimal De Silva