Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෆාරි සංචාරවල දී නරඹන්නන් මුහුණ දුන් අනතුරු 5ක්

ලෝකයේ ජීවත් වන බොහෝ මිනිසුන් ජාතික වනෝද්‍යානවල සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා. ඒ අයුරින් සිදු කරන සංචාරවල දී වනෝද්‍යානයේ සතුන් නැරඹීම සඳහා වෙන් j තිබෙන සෆාරි චාරිකාවලට සහභාගි වීමට ද ඔවුන් අමතක කරන්නේ නැහැ. එවැනි සෆාරි චාරිකාවල දී  ඇතැම් සංචාරකයන් සතුන්ට වඩාත් සමීප වීමට උත්සාහ කරනවා.

එය තරමක් අනතුරුදායක ක්‍රියාවක් වුණත් ඇතැම් සංචාරකයන් ඒ ගැන කිසිදු තැකීමක් කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සමහර සතුන් සංචාරකයන්ට පහර දුන් අවස්ථා රැසක් පිළිබඳ ව පසුගිය දශක කිහිපය තුළ වාර්තා වී තිබෙනවා. මේ ඔබට කියන්න යන්නේ එවැනි අනතුරු 5ක් පිළිබඳව යි. 

1). සිංහ ප්‍රහාරයකින් මිය ගිය 22 හැවිරිදි තරුණිය 

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර ඩිනොකෙන්ග් වනෝද්‍යානයේ දී  2018 පෙබරවාරි 27 වැනිදා ඉතාමත් අවාසනාවන්ත අනතුරක් සිදු වුණා. ඒ 22 හැවිරිදි තරුණියක් සිංහ ප්‍රහාරයක් නිසා මිය යාම යි. එම වනෝද්‍යානයේ සැලකිය යුතු තරම් සිංහයන් ප්‍රමාණයක් වාසය කළා. උන් පිළිබඳ ව අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී තිබුණේ ලයන් විස්පරර් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ කෙවින් රිචඩ්සන් නම් පුද්ගලයාට යි.

මෙම අනතුර සිදුවුණු දිනයේ අනතුරට පත්වුණු තරුණිය කෙවින් හමුවීමට පැමිණ සිටියේ සිංහයන් පිළිබඳ පැවරුමකට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා යි. 

කෙවින් රිචඩ්සන් – wildark.org

 

එදා අනතුරට පත්වුණු තරුණිය සහ ඇගේ මිතුරියක් කෙවින් රිචඩ්සන් සමඟින් සෆාරි චාරිකාවක නිරතවෙමින් සිංහයන් පිළිබඳ ව තොරතුරු එක් රැස් කළා. ඒ අතරතුරසිංහයන්ගේ විවිධ ආකාරයේ ඡායාරූප ගැනීමට ද  ඇය අමතක කළේ නැහැ. එම තරුණිය ඊට පෙර කිහිප වතාවක් මෙම වනෝද්‍යානයට පැමිණ තිබුණා. එනිසා ඇයට වනෝද්‍යානය ආගන්තුක ස්ථානයක් බවට පත්ව තිබුණේ නැහැ.

එදා ඇයට සාමාන්‍ය ජනතාවට ඇතුළුවීමට ඉඩ නොදෙන ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ කෙවින්ගේ අවසරය මත යි. එලෙස  ඇය සිංහයන්  සමඟ කාලය ගත කරමින් සිටිය දී සිංහ ධේනුවක් ඉම්පාලා මුවකු පසුපස පන්නමින් සිටියා. එම සිංහ ධේනුවට සිය ගොදුර අල්ලා ගැනීමට නොහැකි වුණු නිසා කෝපයට පත් ව සිටියා. 

ඩිනොකෙන්ග් වනෝද්‍යානය (bushbreaks.co.za)

 

ඒ මොහොතේ සිංහ ධේනුවට මෙම තරුණිය හමු වුණා. ඇය සැලකිය යුතු තරම් කාලයක සිට විවිධ අවස්ථාවල දී මෙම වනෝද්‍යානයේ සංචාරය කර තිබුණු නිසා ඈතින් එන සිංහ ධේනුව දැක බියට පත්වුණේ නැහැ. ඒ වාගේම කෙවින් රිචඩ්සන් එම ස්ථානයේ සිටි නිසා තරුණියට බිය වන්නට කාරණයක් තිබුණේ නැහැ. ඒ මොහොතේ කිසිවෙකු බලාපොරොත්තු නොවුණු අයුරින් සිංහ ධේනුව තරුණිය වෙත කඩා පැන්නා.

කෝපයට පත්ව සිටි සිංහ ධේනුවක් සමඟින් සටන් කිරීමට එහි සිටි කිසිම කෙනකුට හැකියාවක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරුණිය එම ස්ථානයේ දීම මරණයට පත්වුණා. එම මරණය පිළිබඳ ව දැඩි ලෙස කනගාටුවට පත් වුණු කෙවින් රිචඩ්සන් තරුණියගේ පවුලේ උදවිය වෙත සිය ශෝකය පළ කරමින් ඔවුන්ට වන්දි මුදලක් ද ලබා දුන්නා. 

2). කැතරින් චැපල්ගේ අවාසනාවන්ත මරණය 

කැතරින් චැපල් නම් තරුණිය ගේම් ඔෆ් ත්‍රෝන් නම් ජනප්‍රිය අමෙරිකානු කතා මාලාවේ දෘෂ්‍ය ප්‍රයෝග සංස්කාරවරියක් වශයෙන් කටයුතු කළා. ඇය සැලකිය යුතු තරම් කාලයක සිට වනජීවී සංරක්ෂණ කටයුතුවල ද නිරත ව සිටියා. 2015 වසරේ මැයි මාසයේ දී ඇය දකුණු අප්‍රිකාව බලා ගියේ අනතුරට පත්වන රයිනෝසිරස් සහ අලි ඇතුන් බේරා ගෙන රැක බලා ගන්නා වනෝද්‍යානයක සති 2ක කාලයක්  ස්වේච්ඡා සේවයේ යෙදීම සඳහා යි.

සිය ස්වේච්ඡා සේවා කාලය අවසන් වීමෙන් පසුව ඇය එරට වෙනත් වනෝද්‍යාන නැරැඹීමට ගියා. එහි දී ඇය ජොහැන්ස්බර්ග් හි සිංහ උද්‍යානයට යාමට අමතක කළේ නැහැ. 

 කැතරින් චැපල් – cbsnews.com

 

2015 ජනවාරි 1 වැනිදා කැතරින් සිංහ උද්‍යානයේ සෆාරි සංචාරයකට සහභාගි වුණා. උද්‍යානයේ නීතිරීතිවලට අනුව සෆාරි සංචාරයක් අතරතුර සෆාරී ජීප් රථවල ජනෙල් විවෘත කර ඡායාරූප ගැනීමට අවසරයක් තිබුණේ නැහැ. නමුත් කැතරින් එම නීතිය උල්ලංඝණය කරමින් සෆාරි සංචාරය අතරතුර වාහනේ ජනේලය විවෘත කර ඡායාරූප ගැනීම සිදුකළා.

ඡායාරූපය ගනිමින් සිටි අවස්ථාවේ ඇය බාහිර පරිසරයේ සිදුවන දේවල්  පිළිබඳ අවධානයක් යොමු කළේ නැහැ. ඒ අතරතුර ඇය ගමන් කරමින් සිටි ජීප් රථය ආසන්නයට සිංහයකු පැමිණියා. එම අවස්ථාව වන විට ඡායාරූප ගැනීම පිළිබඳ තදින් ම අවධානය යොමු කර සිටි කැතරින් සිංහයා දුටුවේ නැහැ.

සිංහ උද්‍යානය – bellenews.com

 

කැතරින් දෙස ටික වේලාවක් බලා ගෙන සිටි සිංහයා එක් වරම ඇය වෙත කඩා පැන්නා. ඉන් පසු සිංහයා කැතරින් කිහිප වරක් සපා කෑවා. ඒ සමඟ ම ක්‍රියාත්මක වුණු උද්‍යාන කාර්ය මණ්ඩලය සිංහයා එළවා දමා අනතුරට පත්වුණු තරුණියට ප්‍රථමාධාර ලබා දුන්නා. ඒ අතරතුර එහි පැමිණි ගිලන් රථයක් ඇය රෝහලට රැගෙන යාමට සූදානම් වුණා.

ඇය ඊට පෙර එම ස්ථානයේ දී ම අවාසනාවන්ත අයුරින් මරණයට පත්වුණා. එම අනතුරෙන් සෆාරි ජීප් රථයේ රියදුරා ද තුවාල ලැබුවා. එලෙස සිදුවුණු මරණය පිළිබඳ සිංහ උද්‍යානයේ කාර්ය මණ්ඩලය දැඩි ලෙස කනගාටුවට පත්වුණා. එහි දී ඔවුන් පවසා සිටියේ මිය ගිය තරුණිය උද්‍යානයේ නීතිරීතිවලට අනුව ක්‍රියා කළා නම් එවැනි කනගාටුදායක මරණයක් අත්වීමට ඉඩ නොතිබුණු බව යි.   

3). කෝටිපතියකුට එල්ල වුණු අලි ප්‍රහාරය 

අමෙරිකානු ජාතික ටොම් සීබෙල්  C3.ai මෘදුකාංග සමාගමේ නිර්මාතෘවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීයා යි. විවේකයක් ලද විගස ම ලොව පුරා සංචාරයේ යෙදුණු සීබෙල් 2009 වසරේ එක්තරා මාසයක ටැන්සානියාවේ සෙරෙන්ගෙති ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වුණා. ඒ සඳහා ඔහුගේ බිරිය සහ දරුවන් ද එකතු වුණා.

එම සංචාරය අතරතුර ඔවුන්ට සෆාරි චාරිකාවක නිරත වීමට ද අවස්ථාව හිමිවුණා. එම සෆාරි චාරිකාව අතරතුර සීබෙල් සිය වටිනා කැමරාවෙන්  සතුන්ගේ ඡායාරූප ලබා ගත්තා. ඒ සඳහා ඔහුගේ මාර්ගෝපදේශකයා ගෙන් සහාය ලැබුණා. එම වනෝද්‍යානයේ සුන්දර පරිසරය නරඹන අතරතුර ඡායාරූප ගනිමින් සිටි සීබෙල් අවට පරිසරයේ  සිදුවන කිසිම දෙයක් පිළිබඳ ව අවධානය යොමු කළේ නැහැ. ඒ අතරතුර දැවැන්ත අලියෙක් ඔහු සමීපයට පැමිණියා.

ටොම් සීබෙල්  – bizjournals.com

 

බලාපොරොත්තු නොවුණු මොහොතක පැමිණි දැවැන්ත අලියා දැකීමත් සමඟ ම සීබෙල්ට සහ ඔහුගේ මාර්ගෝපදේශකයාට අනතුරක සේයාවක් දැනුණා. එනිසා ඔවුන් ආරක්ෂිත ස්ථානයක් වෙත දිව යන්නට පටන් ගත්තා. ඒ සමඟ ම අලියා සීබෙල්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. ඉන් පසුව ක්‍රියාත්මක වුණු වනෝද්‍යාන නිලධාරින් සීබෙල්ගේ ජීවිතය බේරා ගත්තා.

එම ප්‍රහාරය හේතුවෙන් සීබෙල්ගේ පාදයක් කැඩී ගියා. ඒ වාගේ ම ඔහු දරුණු ලෙස තුවාල ලැබුවා. එහි දී ඔහුගේ අයිෆෝනය කැබලි 200කට කැඩී ගොස් තිබීමෙන් ම ප්‍රහාරයේ දරුණු බව පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ අයුරින් අනතුරට පත්වුණු සීබෙල් ඉක්මනින් ම ප්‍රතිකාර සඳහා යොමු කළා. ඉන් පසුව සිදු කළ ශල්‍යකර්ම 16කින් ඔහුගේ පාදය බේරා ගැනීමට හැකිවුණා.

ටැන්සානියාවේ වනෝද්‍යානයක සිටින අලියෙක් – worldanimalprotection.org

 

4). හිපෝ ප්‍රහාරයකින් මිය ගිය 75 හැවිරිදි මිත්තණිය 

කැරොල් කිර්කන් අමෙරිකාවේ මිචිගන් ප්‍රදේශයේ ජිවත් වුණු 75 හැවිරිදි කාන්තාවක්. දානපතිනියක වශයෙන් ප්‍රසිද්ධියට පත් ව සිටි ඇය ලොව වටා සංචාරය කිරීම විනෝදාංශක් කරගෙන සිටියා. ඒ අනුව 2017 වසරේ අගෝස්තු මාසයේ දී ඇය ටැන්සානියාවේ සංචාරය කළා. එම සංචාරය සඳහා ඇයගේ පුත්‍රයා වුණු රොබට් ද එකතු වුණා. එහි දී ඔවුන් වනෝද්‍යානයක සෆාරි චාරිකාවක් සඳහා සහභාගි වුණා.

ඒ අතරතුර කැරොල් සහ ඇයගේ පුත්‍රයා වඩාත් සමීප වී සතුන් නැරඹුවා. එසේ සතුන් නරඹමින් සිටි මොහොතේ හිපපොටේමස් කෙනකු දුටු කැරොල් ඌට වඩාත් සමීප වන්නට උත්සාහ කළා. හිපපොටේමස්  ඒ සමඟ ම කැරොල් මිත්තණියට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා. ඉන් අනතුරු ව ඇයගේ පුත්‍රයා එහි පැමිණ සිය මව ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කළා. කැරොල්ට තවදුරටත් ජීවත් වීමට වාසනාවක් තිබුණේ නැහැ. ඇය සිය පුත්‍රයාගේ තුරුලේ ම අවසන් ගමන් ගියා. 

කැරොල් කිර්කන් – people.com

 

5). මධුසමයේ දී එල්ල වුණු ගෝරිලි ප්‍රහාරය 

ගැමා කොස්ග්‍රිෆ් ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක්. 2016 මාර්තු මාසයේ දී විවාහ දිවියට ඇතුළත් වුණු ඇය මධුසමය ගත කිරීම සඳහා රුවන්ඩාව බලා ගියා. එම සංචාරයේ දී ඇය සිය සැමියා වුණු ඩේමියන් සමඟින් වොල්කැනෝස් ජාතික වනෝද්‍යානයේ සෆාරි චාරිකාවක නිරත වුණා. ඔවුන් දෙදෙනා අවට පරිසරය නරඹමින් හොඳින් විනෝදවෙමින් සිටි අවස්ථාවක සිල්වර්බැක් වර්ගයේ ගෝරිල්ලෙක් ගැමාට ප්‍රහාරයක් එල්ල කළා.

එහි දී ගෝරිල්ලා ඇය ඔසවා බිමට දමන ආකාරය නිරීක්ෂණය කරන්නට ලැබුණා.  ඇයට ඉක්මනින්ම උපදෙස් ලැබුණා. ගෝරිල්ලාගේ ඇස් දෙස නොබලමින් යටහත් පහත්ව කටයුතු කරන ලෙස එහි දී මාර්ගෝපදේශකයාගෙන් ඇයට උපදෙස් ලැබුණා. එම උපදෙස්වලට අනුව ක්‍රියා කළ ගැමාට සිය ජීවිතය බේරා ගැනීමට හැකි වුණා. 

ගැමා සහ ඇගේ සැමියා – thatslife.com.au

කවරයේ ඡායාරූපය- අප්‍රිකාවේ සෆාරි සංචාරයක අවස්ථාවක්  - wanderlust.co.uk 

මූලාශ්‍ර:

insider.com

usatoday.com

cnn.com

forbes.com

Related Articles