රාවණ ප්‍රවාදය විශ්වාස කරන්නන් රාවණා රජුගේ අසීමිත බලය ගැනත් විශ්වාස කරනවා. දඬුමොණරය නිපදවා අහසින් ගමන් කළ බව පැවසෙන රාවණගේ තාක්ෂණ ශක්තිය යොදා ලංකාව පුරා උමං මාර්ග ජාලයක් නිර්මාණය කළ බවත් පැවසෙනවා. ප්‍රධාන නගර සම්බන්ධ කළ දියුණු භූගත උමං ජාලයක් පැවතුණු බවත් ජනප්‍රවාදවල කියවෙනවා.
ඉන්දියාවේ රාමායනය ලියූ යුගයේ දී එනම් වසර 5000 කට පෙර අතීතයකට අයත් බව සැලකෙන මේ උමං ගැන පුරාවිද්‍යා හෝ ඓතිහාසික සාධක නම් කිසිවක් නැහැ. නමුත් බොහෝ ස්ථානවල උමංවලට ඇතුළුවන විවර දැකගත හැකි යි. අපේ සිත් තුළ කුතුහලයක් ජනිත කරන ජනප්‍රවාදගතව පවතින එම උමං ගැන කතා ඔබට ඉදිරිපත් කරන්නට අපි සිතුවා.
රාවණ ලෙන
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරය පසුකර කිලෝ මීටර් 7ක් දුර වැල්ලවාය දෙසට යන විට මහා මාර්ගය අසල ම නෙත ගැටෙන අලංකාර දිය ඇල්ල රාවණා ඇල්ල යි. දියඇල්ලට එපිටින් උස්බිමේ පිහිටි ගල්පර්වත අතර රාවණ ලෙන පිහිටා තිබෙනවා.
ඒ වෙත ගමන් කිරීම සඳහා අඩි පාරක කඳු තරණය කළ යුතු යි. මේ ලෙන වඩාත් ප්‍රකට වුණේ කලකට පෙර එහි සිදු කළ කැණීම්වලින් ලැබුණු මධ්‍ය ශිලා යුග මානව ඇටසැකිලි කොටස් නිස යි. කැණීම්වලට පෙර පටන් ම මේ ලෙන සම්බන්ධයෙන් රාවණ ප්‍රවාදය ගෙතී පැවතුණා.
රාවණා රජ මහා ලෙන් විහාරය ද ලෙනට පහළින් පිහිටා තිබෙනවා. ජනප්‍රවාදයක සඳහන් වන්නේ මේ ගුහාව රාවණා රජු සීතා දේවිය පැහැරගෙන විත් රඳවා තැබූ ස්ථානයක් කියල යි. විශාල ස්වභාවික ලෙනක් වන මෙහි කෙළවර උමං මාර්ගය පිහිටා තිබෙනවා. එහි මුවවිටෙන් මිනිසකුට ඇතුළුවිය හැක්කේ දෙකට නැවීගෙන අමාරුවෙන්. නමුත් ඇතුළට යනවිට ඉඩකඩ සහිත උමඟක් පිහිටා ඇති බවයි ජනප්‍රවාද පවසන්නේ.
මෙම පර්වතය යටින් බොහෝ දුරට විහිදුණු උමං මාර්ග කීපයක් ම තිබූ බව විශ්වාස කෙරෙනවා.
රාවණා ඇල්ල ගුහාවෙන් නුවරඑළියේ සීතාඑළියට ගමන් කළ හැකිව තිබූ බව ද රාවණ ප්‍රවාදය විශ්වාස කරන සමහරු පවසනවා. හාලිඇළ බෝගොඩ රජමහා විහාරය අසලින් හා දෝව රජමහා විහාරය අසලින් ද මේ හා සම්බන්ධ උමං මාර්ග විහිදී තිබුණ බවට සැලකෙනවා.
කරඳගොල්ලේ නිල්දිය පොකුණ උමඟ
රාවණා ඇල්ල පසුකර වැල්ලවාය මාර්ගයේ තවත් කිලෝ මීටර් 3ක් පමණ ගිය පසු කරඳගොල්ල ගම්මානය හමුවෙනවා. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කටටත් මොණරාගල දිස්ත්‍රික්කයටත් මායිම්ව තමයි මේ ගම පිහිටා ඇත්තේ. කුරුල්ලන්ගල ලෙන් සිතුවම් පිහිටා තියෙන්නෙත් කරඳගොල්ලේ කඳු මුදුනක යි.
එහි 10 කණුවෙන් හැරි බණ්ඩාරවෙල විකල්ප මාර්ගයේ තවත් කිලෝමිටර් 3ක් පමණ ගොස් මාර්ගයට පහළින් වනරොදක් හරහා ගොස් තමයි කරඳගොල්ල උමං මාර්ගයට පිවිසිය හැකි වන්නේ. මේ උමඟ හා පොළෝ අභ්‍යන්තරයේ පිහිටි නිල්දිය පොකුණ සොයා ගත්තේ මෑතකදි යි. ඒ එහි ගම්වැසියකු විසින්. ඉන් පසු ත්‍රාසයට කැමති සංචාරකයන් එයට පිවිසීමට උනන්දු වුණා. ඒ සඳහා ගම්වැසියන්ගේ මඟ පෙන්වීම ලබාගත යුතු වෙනවා.
එය පොළෝ මට්ටමේ සිට මීටර 80ක් යටින් පිහිටා තිබෙන බවයි සැලකෙන්නේ. උමඟට පිවිසිය යුත්තේ පොළොව මතුපිට පිහිටි කුඩා විවරයකින්. එයට ඇතුළු වීමට පොළොවේ සිට ස්ථාන දෙකක් පවතිනවා. එක් ස්ථානයක් ඇත්තේ පුද්ගලික වත්තක් තුළයි. අනෙක රජයේ කැලෑබිම තුළ තිබෙනවා.
රාවණා රජු මෙහි වාසය කළ අතර ඔහුගේ අන්තඃ පුරයක් මෙම ගුහාව තුළ තිබූ බවත්, උමං මාර්ගයෙන් විවිධ ප්‍රදේශවලට ගමන් කළ හැකි ව තිබු බවටත් ජනප්‍රවාද ගැමියන් තුළ පැතිර තිබෙනවා. පොළෝ මතුපිට සිට ගුහා කුහරයකින් පහළට බැසීම කළ යුත්තේ කඹයක ආධාරයෙන්. එම ස්ථානයේ මතුපිට දකින්න ලැබෙන්නේ පොළොව තුළට හෑරුණු විශාල වළක් පමණ යි.
සංචාරකයන් සඳහන් කරන්නේ පොළොව තුළට කි. මී. 1ක් පමණ බැසිය යුතු බව යි. ඉන් පසුව නිල් පැහැති පැහැදිලි ජලය පිරි විශාල පොකුණක් හමුවෙනවා. එම පොකුණ තමයි දැන් නිල්දිය පොකුණ කියලා හඳුන්වන්නේ. එතැන විශාල අවකාශයක් පවතින බවත් පැවසෙනවා. එතැනින් එහාට උමග තවත් දුරට විහිදී යනවා. නමුත් ඒ ස්ථානවලට තවමත් කිසිවකු ගමන් කර නැහැ. පොළොව තුළ අඳුරේ පවතින මේ ස්ථානයේ ජලයේ නිල් පැහැය දැකගත හැක්කේ විදුලි පන්දම්වල ආධාරයෙන්.
බෝගොඩ විහාර උමඟ
බදුල්ලේ හාලිඇළට නුදුරෙන් පිහිටා ඇති බෝගොඩ රජ මහා විහාරය ප්‍රසිද්ධ ව ඇත්තේ එහි පිහිටි ලී පාලම නිස යි. මහනුවර යුගයට අයත් බව සැලකෙන ලී පාලම මෙන් ම ලෙන් විහාරය ද වැදගත් පුරාවිද්‍යා ස්මාරක යි. ලෙන් විහාරයට දකුණු පසින් පර්වතයේ උමං මාර්ගයක විවරය පිහිටා තිබෙනවා. ජනප්‍රවාද පවසන්නේ බ්‍රහ්මදත්ත නම් ඌවේ පාලකයා විහාරය කරවා වළගම්බා රජුට පිරිනැමූ බව යි.
බෝගොඩ උමඟ ඔස්සේ දෝව රජමහ විහාරයටත්, නාරංගල කන්දටත් යා හැකි බවත් එය රාවණ උමංවලට සම්බන්ධ බවත් බව ජන විශ්වාසයේ කියවෙන කතාවක්. මෙහි උමං විවරය විවෘත ව තිබුණත් ඇතුළත ඇත්තේ දැඩි අඳුරක්. එහි වවුලන් බහුල ව ජනපද පිහිටුවාගෙන තිබෙනවා.
දෝව විහාර උමඟ
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෝව ග්‍රාම නිලධාරි වසමේ තමයි දෝව ලෙන් විහාරය පිහිටා තිබෙන්නේ. දෝව විහාර භූමියේ කෙළවර පර්වතය ඇතුළට වන්නට උමං මාර්ගයක් දැකගත හැකි යි. එම උමඟ පසුකාලීන ව වසා දමා තිබෙනවා.
මෙය පැරැණි රජවරුන් සිය ආරක්ෂාව සඳහා භාවිත කළ බවටත් සැලකෙනවා. මේ උමං මාර්ගය බෝගොඩ ලෙන් විහාරය තෙක් වැටී තිබුණ බවයි පැවසෙන්නේ. එමෙන් ම එතැනින් එම උමඟ නාරංගල කන්දටත් ඇල්ලේ රාවණා ගුහාවටත් සම්බන්ධ බවට විශ්වාසයක් පවතිනවා.
ස්ත්‍රීපුර කන්ද- ඌව පරණගම
රාම සීතා පුරා වෘත්තයට සම්බන්ධ තවත් උමං මාර්ගයක් පිහිටා තිබෙන්නේ ඌව පරණගම යි. සීතා දේවිය පැහැර ගෙන විත් සඟවා ගෙන සිටි එක් ස්ථානයක් ලෙස ඌව පරණගම ස්ත්‍රීපුර කන්දේ පිහිටි උමඟ ගැන ජනප්‍රවාදවල විස්තර වෙනවා. මෙම උමඟ නුවරඑළිය සීතාඑළිය අසලින් අවසන් වන බවයි පැවසෙන්නේ.
සීතා දේවිය රාම කුමරු ඇතුළු පිරිස ඉදිරියේ දී වැලිමඩ දිවුරුම්වෙල රජමහා විහාර භුමියේ දී ගිනිමැලයට පැන සති පූජාව පවත්වා තම පති භක්තිය ආරක්ෂා කළ බව ඔප්පු කළ බවත් ජනප්‍රවාදවල කියවෙනවා.
ස්ත්‍රීපුර යනු ඌව පරණගම පිහිටි විශාල කඳුවැටියක්. එම කන්දට ඌවපරණගම, මූදනාව හා සපුගොල්ල යන ගම් ප්‍රදේශවලින් පැමිණිය හැකියි. කඳුමුදුනට පිවිසෙන විට දී අඩි 8-10 ක පමණ විශ්කම්භයකින් යුත් ගුහා තුනකට ඇතුළුවන විවර පොළව මතුපිටින් දැකගත හැකි වෙනවා. ඒවා ත්‍රිකෝණාකාරව පිහිටා තිබෙනවා. මෙම උමං මාර්ග තුනෙක් දෙකක් පස්වලින් වැසීම නිසා ඇතුළුවීම දුෂ්කර යි. ගමේ පැරැන්නන් පවසන්නේ අතීතයේ දී මෙම උමං ගුහා තුනට ම ඇතුළුවීමට හැකියාව පැවති බවත් ඒවා ඔස්සේ ටික දුරක් ගමන් කිරීමේ හැකියාවත් තිබුණු බව යි.
දැනට ඇතුළු විය හැකි උමඟ ඔස්සේ ගමන් කිරීමේ දී දෙපසට ගමන් කරන තවත් ප්‍රධාන භූගත මාර්ග දෙකක් ද විවිධ දිශාවන්ට ගමන් කරන භූගත මාර්ග ද පවතින බව එය තරණය කිරීමට උත්සාහ කළ පිරිස් පවසනවා. මෙම උමඟ දිගේ කිලෝමීටර ගණනක් දුරට පොළොව යටින් ගමන් කළ හැකි බවයි පැවසෙන්නේ. ජනප්‍රවාදවල කියවෙන්නේ සීතා දේවිය ඇතුළු රාවණා රජුගේ අන්ත:පුර කාන්තාවන් 700ක් මේ උමගේ රහසිගත ව රඳවා සිටි බව යි.
සීතා දේවිය මෙහි සිටි කාලයේ ස්නානය කළ බව පැවසෙන්නේ සුන්දර මානා දියඇල්ලෙන්. එය ස්ත්‍රීපුර කන්දට කිලෝ මීටර් 3ක් දකුණු දෙසින් ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා තිබෙනවා. මෙම උමඟෙහි එක් අන්තයක් මානා දියඇල්ල වෙත ගමන් කරන බවට ද කතාවක් පවතිනවා. මෙසේ විවිධ ජන විශ්වාසවලට පාදක වුණු උමං මාර්ග පැවතුණ ද මේවා ගැන භූ විද්‍යාත්මක පර්යේෂණ නම් තව ම සිදු ව නැහැ.