යාපනය අර්ධද්වීපය සෑදී ඇත්තේ දූපත් සමූහයකින් බව අප මීට පෙරදී ද ඔබට පැවසුවා මතකයි. ඒවා නම් කරෙයිනගර්, නයිනතිව්, කයිට්ස්/වේලනෙයි, පුන්කුඩතිව්, මන්ඩතිව්, අනලතිව් හා නෙඩෙන්තිව් දූපත් හත යි. එයට අමතර ව එලුවතිව්, පරෙයිතිව්, පලෙයිතිව්,
කකරතිව් සහ කච්චතිව් යන දූපත් ද එහි වනවා. යාපනය නගර සීමාවේ සිට පන්නායී දෙසට යන්නකුට පන්නායී පටු මුහුදු මාර්ග හරහා ගුරුනගර්හි යාපනය ලන්දේසි බළකොටුව පසු කර AB 19 මාර්ගය ඔස්සේ මන්ඩතිව් දූපතට ඇතුළු විය හැකි යි. මෙවර අපේ අදහස යාපන අර්ධද්වීපය සුසැදි දුපත්වල සංචාරයක නිරත වීමට යි.
මේ දූපත් නැවත යා කරන පටු මුහුදු මාර්ග හරහා කයිට්ස් සිට කරෙයිනගර් දක්වා කයිට්ස් පාලම් පාරුවකින් ද, ඉන්පසු පුන්කුඩතිව් දක්වා ද ගමන් කළ හැකි යි. මේ සියල්ල පටු මුහුදු මාර්ග ඔස්සේ සිදු වූවත් නයිතතිව්, නෙඩන්දතිව් හා අනලතිව් දක්වා ගමන් කළ යුත්තේ පාලම් පාරුවක හෝ බෝට්ටු හරහා යි. හුදෙක් එය සංචාරකයනට අපූරු අත්දැකීමක් වූවාට එම දූපත්වල වෙසෙන්නන්ට නම් තම එදිනෙදා කටයුතුවලට එල්ල කරන්නේ යම් ආකාරය බාධාවක්.
ගොඩබිම් මාර්ගය ඔස්සේ කරෙයිනගර් වෙත පිවිසෙන්නේ නම් යාපනේ කන්කසන්තුරේ පාර දිගේ ගොස් වට්ටුක්කොඩෙයි, මූලායි පසුකරගෙන කරෙයිනගර් දූපතට ළඟා විය හැකි යි.
හරිතවන් කයිට්ස් නම් දූපත
මන්ඩතිව් නම් යාපනය අර්ධද්වීපයට මත්තෙන් වූ නිල්වන් මුහුදු තීරයට එහා හරිතවන් කයිට්ස් නම් දකුණු රටේ ගාල්ලට සමාන කොලනි ලක්ෂණ දැකිය හැකි අපූරු භූමිය යි. මේවා යටත් විජිත සමයේ වෙළඳ කටයුතු උදෙසා භාවිත කළ සංධිස්ථාන යි. නෙඩන්තිව් හෙවත් ඩෙල්ෆ්ට් දූපත මන්නාරම් ගල්ෆ් කලාපයේ සංචාරයේ නෙත ගැටුණු යෝධ අලිගස්(බයෝබැබ්) හා කැලෑ අශ්වයන් දැක බලා ගත හැකි තවත් නවාතැනක්. නයිනතීව් හෙවත් නාගදීපය නම් අපේ බුදු රජාණන්වහන්සේගේ පාදස්පර්ශය ලත් භූමිය යි.
යාල් ආගන්තුකයාගේ මන්ඩතිව් සංචාරය නම් අහවර යි. අමතක නොවන ගමනකට නම් වඩාත් සුදුසු කාලය වන්නේ හිරු බැස යන විට, ආලෝකය මෘදු ලෙස භූමිය මතට වැටෙන විට යි. කයිට්ස් හි සිවිල් යුද්ධයේ සලකුණු තවමත් දක්නට ලැබෙන අතර එහි මුල් අයිතිකරුවන් අතහැර දමා ඇති, පැරණි අලංකාරය තවමත් මූර්තිමත් කරන අබලන් නිවාස ගණනාවක් ද දැකිය හැකි යි.
කයිට්ස් හෙවත් “ඌර්කාවතුරෙයි” අර්ධද්වීපයේ වූ විශාල ම දූපත යි. එය වර්ග කිලෝමීටර් හැටපහක පමණ භූමියක්. දිගින් කිලෝමීටර් දහ අටක් හා පළල කිලෝමීටර් හතරක්. ඉතිහාස කරුණු ගවේෂණය කරන කල ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ රජ කළ වලගම්බා පාලන සමයේ දීපරාජ නම් අන්ධ කුමාරයකු නාගදීපය මුල්කර ගෙන යාපනය පාලනය කළ බව සඳහන්.
කයිට්ස් යන නම ලද ඌරාතොට
අතීතයේ මෙය නම් ප්‍රසිද්ධ වරායක්. ඌරාතොටට කයිට්ස් යන නම ලබා දී ඇත්තේ පෘතුගිසීන්.එය “Caes dos Elefantes” යන්නෙන් බිඳී ආ නාමයක්. මෙම පදයේ තේරුම “ඇතුන්ගේ තොට” යන්න යි. පසුව “Caes dos Elefantes” යන නම පහසුවට “Cais” ලෙස හදුන්වා ඇතත් පෘතුගිසීන් පලවා හැර ලන්දේසීන් යාපනයට පැමිණි පසු මෙම නම තවදුරටත් “Cays” ලෙස ද ඉන්පසු කයිට්ස් (“Kayts”) ලෙස පරිනාමය වී ඇති බව යි පැවසෙන්නේ.
දූපතේ තැන තැන වගුරුබිම්. එහිවූ එක් සංචාරක අඩවියක් නම් පෘතුගීසීන් 1629 ඉදි කළ බළකොටුව යි. ලන්දේසීන් යාපනය ආක්‍රමණය කළ පසු කයිට්ස් බළකොටුව නැවත ගොඩනැගීමට තැත් කර නොමැති බවයි ඉතිහාසය පෙන්වා දෙන්නේ. මීට හේතුව ආසන්නයේ පැවතුණු හැමන්හිල් බළකොටුව නිසා විය හැකි යි. එකල මෙය හඳුන්වා ඇත්තේ “අයර් බළකොටුව” (Erie Fort) යන නමිනු යි. හිරිගල්වලින් ඉදි කර ඇති මෙහි නටබුන් අධ්‍යයනය කිරීමෙන් එය අඩි 130ක් දිග හා පළල, සිලින්ඩාකාර අට්ටාල 4 ක් සහිත ඉතා පුළුල්වූ බිත්ති ඇති බළ කොටුවක් බව සඳහන්.
මීට නුදුරින් භූමියට මත්තෙන් මීටර් හාරසීයකට එහා සාගරය මධ්‍යයේ ඉදි කළ හැමන්හිල් බළකොටුව පර්චස් තිස්දෙකක භූමිය පුරා පැතුරුණු තවත් සංචාරක ස්ථානයක්. මෙය” key to Jaffna” හෙවත් යාපනයේ යතුර යන අන්වර්ථ නාමයෙන් හදුන්වනවා.
“ෆෝටලෙසා රීල්” හෙවත් රාජකීය බළකොටුව
මේ බළකොටුව මුලින් ම හඳුන්වා ඇත්තේ “ෆෝටලෙසා රීල්” හෙවත් රාජකීය බළකොටුව නමින්. කොරල් කපා 1618 දී පෘතුගීසී ආණ්ඩුකාර අන්තෝනියෝ ඩි අමරල් ඩි මෙනසස්ගේ අණ පරිදියි මේ බළකොටුව ඉදිකරවා ඇත්තේ. පෘතුගීසීන් යාපනය බළකොටුව ඉදිකිරීමෙන් පසු යාපනය නගරය සහ ඒ ආශ්‍රිත මුහුදු මාර්ගයේ ආරක්ෂාව තර කිරීමට ඉදිකර වූ මේ බළකොටුව පාෂාණමය දිවයිනක වූ කොරල්පර කඩා සිමෙන්තියෙන් බැඳ ඇතැයි සලකනවා. බළකොටුව 1658 දී මාස තුනක යුද වැදීමකින් පසු ලන්දේසීන් අත්පත්කරගෙන ඇති බවයි ඉතිහාසය කියන්නේ. පසුව ඔවුන් මේ බළකොටුව ‘හැමන්හිල්’ ලෙස නම් කර තිබෙනවා.
අෂ්ටාස්‍රයක හැඩය ගත් මෙම කොටුව ලන්දේසීන් ඔවුන් ගේ සිරකරුවන් රඳවා තබා ගැනීම සඳහා බන්ධනාගාරයක් වශයෙන් ද යොදා ගෙන ඇති බවයි ආරංචිය. මෙම බළකොටු බන්ධනාගාරයේ වෙඩි බෙහෙත් තැන්පත් කර තැබීම සඳහා සෑදූ විශාල කුටීර නවයක් දක්නට ලැබෙනවා.
කරෙයිනගර් (කරෙයි ගස් දූපත)
1971 දී හටගත් කැරලි කෝලාහල සමයේ දී ශ්‍රී ලංකා රජය අත්අඩංගුවට ගත් සිරකරුවන් මෙම බළකොටුවෙහි රඳවා තබා තිබූ බව කියවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භ නායකයකු වන රෝහණ විජේවීර ද මෙම බළකොටුවෙහි සිරමැදිරියක රැඳවූ බව සඳහන්. පසුකාලීන ව ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගත් චූදිත සමුද්‍ර යාත්‍රිකයන් මෙම බළකොටු බන්ධනාගාරයෙහි රඳවා තිබුණා.
අද වන විට මෙම බළකොටුව පාලනය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ යි. කලින් තිබූ පෙනුම වෙනස් කර ඇති මෙය අද වනවිට සංචාරක හෝටලයක්.
කරෙයිනගර් (කරෙයි ගස් දූපත) නම් සාගරයේ ශ්‍රේෂ්ඨත්වය, පෞරාණික කෝවිල්වල අසිරිය සහ අසංඛ්‍යාත මුහුදු ආහාර ආයාසයකින් තොරව ඒකාබද්ධ කරන්නක්. එය යාපනය නගර මධ්‍යයේ සිට කිලෝමීටර් විස්සකට එහා දුරක වූ ගමනාන්තයක්. කරෙයිනගර් පාරාදීසයක් යයි නිර්වචනය කිරීමට යොදාගත හැකි ගමනාන්තයක් ලෙස හැදින්වීම වරදක් නැහැ. දශක කිහිපයකට පෙර මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ “කරෙයිථීවු” ලෙසිනු යි. (දෙමළ භාෂාවෙන් “තීව්”යන්නෙහි තේරුම දූපත). පසුගිය දශකය තුළ කරෙයිනගර් යන නම ලැබී ඇත්තේ මේ දූපත ප්‍රධාන භූමියට සම්බන්ධ කරන්නේ මුහුදු හරහා ඉදිවූ පාලම් නැත්නම් මාර්ග හරහා මේවා යා වූ නිසා යි.
කරෙයිනගර් කරා යන කෙනකුගේ ඇස ගැටෙන සුලබ දසුන නම් මුහදේ ඈතට වන්නට ඉස්සන් කොටු ආශ්‍රිත ව ධීවරයන් ඉණ ගැඹුරට කිමිදී මාළු අල්ලන අයුරු යි. විසි දැල් සමඟ පොර බදින ධීවරයන් ද, තැන තැන කරවල වේළන කාන්තාවන් ද එහි සුලබ දසුන්.
“වැල්ලන්තාලෙයි” නම් නිහඬ නගරය
කරෙයිනගර් ගමනේ හමුවන නිහඬ නගරය නම් “වැල්ලන්තාලෙයි”. සූර්යයා රශ්මිය විහිදුවමින් පරිසරය ගිනියම් කළත් කරෙයිනගර් පිවිසුමට සමීප වෙද්දී දෙපසින් හමා එන මුහුදු සුළඟ කාස්ටක අව්වෙන් හෙම්බත් වූ ගත විඩාව නිවන්නේ හරි පුදුමාකාර අයුරින්.
කරෙයිනගර් ද්වාරය නිරූපණය කරන්නේ විශේෂ “සිවන් කෝවිල “යි. මේ කෝවිල හඳුන්වන්නේ “ඊලත්ති චිදන්බරම්” ලෙසයි. කරෙයිනගර් පිවිසුම් ද්වාරයේ වූ තොරණේ දෙපස වූ “නන්ති” ගවයන් දෙදෙනා ශිව නටරාජා මැදි කර ගෙන ගාම්භීර ව යාපනේ දෙස රැකවල් තනමින් බලා සිටින්නේ කරෙයිනගර් වැසියන්ගේ ආරක්ෂකයන් ලෙස යි.
දූපතට යන පාර දෙපස වු කඩොලාන ශාක පරිසරය දකින අයකුට නම් හිතෙන්නේ කඩොලාන ශාකවල වූ කරු මුල් මුහුදු ජල මට්ටමෙන් ඔබ්බට පැමිණ වායූන් අවශෝෂණය කරගෙන සාරවත්ව වැඩෙන්නාක් සේම මේ දූපත්වල වැසියන් ඔවුන් සතු සමුද්‍ර සම්පත පල ප්‍රයෝජනයට ගනිමින් ධීවර කටයුතුවල නිරත වෙමින් යට ගිය තිස්වසරක අඳුරු මතක උහුලාගෙන ජීවිත සටන සිදු කරන බවක්. අතරින් පතර වු අලුතෙන් රෝපණය කළ කඩොලාන වගාවත්, මුහුදු කෑම වලක්වමින් සාරවත්ව වැඩෙන්නේ කරෙයිනගර් වැසියන්ට නැවුම් බලාපොරොත්තු එක්කාසු කරමින්.
පසෙක වූ ප්‍රාදේශීය වෙළඳපොල කොයිකවුරුත් ආකර්ෂණය කරගත්තේ නැවුම් මාළු වල දැඩි සුවඳ වාතය පුරා පතුරුවා හරිමින්. මාළු ගොඩවල් සහ ධීවරයන්ගේ බයියිකල් පසුකර යද්දී ඒවා කේවල් කරන ධීවරයන්ගේ උන්නදුව ඔවුන්ගේ ඇස්වලින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි යි.
විශ්වාසදායක ප්‍රවාහන මාධ්‍යය
සැල වූ පරිද්දෙන් නම් අර්ධද්වීපයේ වඩාත් විශ්වාසදායක ප්‍රවාහන මාධ්‍යය වන්නේ බයිසිකලය යි. කරෙයිනගර් හි ද එය එසේ යි.නිවාස පවා ඉදිකර ඇත්තේ ස්වාභාවික පරිසරය සමඟ මිශ්‍ර වන අයුරින්. සෙවණ වෙනුවෙන් ගස් ගස්කොළං හතර අත පැතිර පවති යි. මිනිසුන්ගේ දෛනික චර්යාව සොබාදහම සමඟ සහජීවනයෙන් බැඳී සිටීමෙන් සිදු කරන බව මගේ හැඟීම යි. තැන තැන තරමක් ගැඹුරු ළිං. එහි ජලය පානය කිරීම නම් තරමක් අසීරු යි.
පාරවල් නිහඬ යි.නගරයේ මෙන් නොසන්සුන් බවක් නැත. කාන්තාවන් කිහිප දෙනෙක් වතුර භාජන රැගෙන ඇවිද යන්නේ වතුර ගෙන ඒමටයි. ඔවුන්ගෙන් එක් අයකුගේ නාසයේ මුදුව හිරු එළියට බැබළුණේත් අව්වේ සැර බව කොතෙක් දැයි ඒත්තු ගැන්වීමට ද?
තල් අතුවලින් ඉදිකර ඇති වැටකින් වට වූ ගෙයක වත්තේ වේලෙන්නට දැමූ රතු මිරිස් පැදුරක්. මුහුදු වෙරළට යාබදව පිහිටි මෙම භූමියේ මුහුදු ආහාරවල නම් අඩුවක් නෑ. කකුළුවන්,ඉස්සන් හා මුහුදු මාළුවල රස පුදුම සහගත යි. කරවල වේළීම සිදුකරන්නේ ද මුහුදට යාබද ව යි.
කැෂූරීනා වෙරළ
ඉන් පසු කැෂූරීනා වෙරළ නම් ඔබ නැරඹිය යුතු ම තවත් ගමනාන්තයක්. වෙරළ ඉතා පිරිසුදු යි. හිරු බැසීම සිත් ඇදගන්නාසුලු දසුනක්. මුහුදට දැඩි සේ කැමැත්තක් දැක්වන උදවියට සුදුසු ම ස්ථානය මෙය යි.
කැෂූරීනා වෙරළට අමතර ව මෙහි ඇති “කෝවලම් ” නම් වෙරළ උද්‍යානයක්. ඒ සමීපයේ මීටර් 25 ක් පමණ උස ප්‍රදීපාගාරයක්. මෙය 1916 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකරවූවක්.
කැෂූරීනා යන පාරේ ඇති එක් ආහාර අලෙවි සලක් හුදෙක් දකුණේ වූ හෙළ බොජුන් හල හා සමාන යි. යාපනේ ආවේණික ආහරවේලක රස මනාව විඳිය හැකියි. යාපනේ වඩයක්, තෝසයක්,පිට්ටුවක් එහිදී රස බැලිය හැකි යි. මගේ නම් ප්‍රියත ම ආහාරය මෝතගම්. “මෝතගම්” පැණිරස කෑමක් වන අතර, ගාන ලද පොල්, මුං ඇට සහ හකුරු පුරවා හාල්පිටිවලින් සෑදූ ආවරණයකින් වට කර වාෂ්පයෙන් තැම්බූවක්.පාල් ආප්පම් ද යාපනේ ජනප්‍රිය ආහාරක්. එය පැණි රස විටෙක සව් ද එකතු කරන පොල්කිරි පුරවා ගත් ආප්පයක්.
පොන්නලෙයි කිරුෂනන් කෝවිල
කරෙයිනගර් දූපතට ඇතුළු වීමට මත්තෙන් පොන්නාලෙයි දෙසට ගියහොත් කිලෝමීටර් එකකට එහා “පොන්නාලෙයි වරදරාජ පෙරුමාල් කෝවිල ” දැකබලා ගත හැකි යි. එය පොන්නලෙයි කිරුෂනන් කෝවිල නමින් ද හඳුන්වන හින්දු දේවස්ථානයක්. එය ද යාපනයේ පිහිටි ඉතා පෞරාණික දේවාලයක්. මෙම විහාරය පෙරුමාල් දෙවියන් උදෙසා කැප කරවූවක්. එය හැඳින්වෙන්නේ වර්තරාජා පෙරුමාල් කෝවිල, කන්නන් කෝවිල සහ කිරුෂන් කෝවිල යනුවෙන්. මෙම විහාරස්ථානයේ ශුද්ධ තීර්ථය සාගරයයි.
මීට මත්තෙන් වූ තිරුවඩිනිලෙයි මුහුදු තීරයේ දී ධීවරයකුට කැස්බෑවෙක් හමුවී ඇත. ගොඩබිමට රැගෙන හා මේ කැස්බෑවා පසුව ගලක් බවට පරිවර්තනයවූ බවයි පවසන්නේ. ඒ බව දැකගත් මේ ධීවරයා පුදුමයට පත්වී පසුව එයට පුද පූජා පවත්වා ලු. පසුව ඒ ආශ්‍රිතව මේ කෝවිල ඉදිවී ඇති ඉවයි පවසන්නේ. විශාල වපසරියක් පුරාවට ම විහිදුණු කෝවිල පෘතුගීසීන් ආක්‍රමණය කළ සමයක කඩා බිද දමා යාපනය බළකොටුව තැනීමට අවශ්‍ය පාෂාණ ලබාගෙන තිබෙනවා. දැන ගත් පරිද්දෙන් මේ භූමියේ වැඩෙන වන්නි වෘක්‍ෂය ද යම් දිව්‍යමය වැදගත්කමක් දරන බව විශ්වාස කරන්නක් බවයි කියන්නේ.