බොහෝදෙනා සිරිපා කරුණාවට තෝරාගන්නේ පහසුම හැටන් පාර. හැටන් පාර යටත්විජිත සමයේ දුම්රිය මාර්ග ඇතිවුනාට පසුව ජනප්‍රිය වූ මාර්ගයක් වුණත් ඊට කලින් ජනප්‍රියම මාර්ගය වුණේ රත්නපුර පලාබද්දල රජමාවත. වර්තමානයේ සිරිපා කරුණා කිරීමට තිබෙන ජනප්‍රියම මාවත් දෙක මේවා මුදුනේ ඇති සිරිපා මළුවට එකතු වන්නේ දෙපසකින්.
මෙම ප්‍රධාන මාර්ග දෙකට තවත් මාර්ග ගණනාවක් සම්බන්ධ වී තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ මිනිසාගේ නිබඳ වන්දනාවට බඳුන් වුණු සිරිපා ඉමේ තිබූ සියලුම මාර්ග කොතෙක්දැයි නිගමනය කිරීමට අපහසුයි. අපිත් එක්ක කතාවට එකතු වුනු කුරුවිට එරත්න මාර්ගයේ තේ කඩයක් හිමි අයියා කෙනෙක් පැවසුවේ ඉපැරණි සිරිපා මාවත කුරුවිට එරත්න සහ පලාබද්දල මාර්ග දෙකට මැදිව පිහිටා තිබෙන බවයි. එය සනාථ කරන්නට ඔහු ධර්මරාජ ගලේ නටඹුන් වූ ස්ථානයක ඉපැරණි පඩිපේලියක් තිබෙන බවකුත් සඳහන් කළා.
ශ්‍රී පාදයේ මෑත ඉතිහාසය පිරික්සීමේදී 1953 – 54 කාලයේදී දිවාගුහාව සොයා විශාල පිරිසක් එක්ව සමස්‌ත සමනල අඩවියම පීරා තිබෙන බව සඳහන් වෙනවා. එකල විස්තරවල සඳහන් ආකාරයට සමනල අඩවියේ ඇති ගුහාවල සහ ගල් ස්ථරවල මතුපිට ඇතැම් තැන්වල පැරණි පුරාවස්තු පවා හමු වී තිබෙනවා. හැටන් අන්තයේද ඇතැම් තැන්වල ඉපැරණි ගුහා සහ නටඹුන් හමුව තිබෙනවා.
වර්තමානයේදී මෙන් රථවාහනවලින් ගොස් නැවත පාගමනින් සිරිපා නැගීමේ රටාවක් නොතිබුණු එ් කාලයේදී ලංකාවේ සතර දිග්බාගයේ මිනිසුන් තමන් එන පළාත අනුව සිරිපා ඉමට වඩාත් පහසු මාර්ගයෙන් පයින්ම සිරිපා කරුණා කරන්නට යොමු වන්නට ඇතැයි සිතිය හැකියි.
දැරණියගලට ලගා වීම
දැරණියගල උඩමාලිබොඩ දෙසින් සිරිපා කරුණාවට අපි සති අන්තයක් යොදාගත්තේ බොහෝ මිතුරන්ට නිවාඩු ලබාගැනිමේ පහසුව නිසා. උඩමාලිබොඩ හරහා ගමන සිරිපා ගමනකටත් වඩා වන සිරියෙන් මත් විය හැකි සොබා සිරියෙන් පිරුණු ගමනක්. දැරණියගලට සිකුරාදා හැන්දෑ වෙද්දී පැමිණි අපි දැරණියගලින් අවශ්‍ය අඩුම කුඩුම ආදිය සපයාගෙන උඩමාලිබොඩ දක්වා බසයෙන් පිටත් වුණා.
අවිස්සාවේල්ල සිට දැරණියගල දක්වා එන ඔබට ටිකක් වටපිට බැලුවොත් කහනවිට නාන තොටුපල, කහනවිට අලුත් පාර, ආදී දුටුවනම සිනහ නැංවෙන පුවරු ඇතුලත් “කහනවිට” ගම්මානය හමු වෙනවා. “කහනවිට පස් කන්දක් කඩා වැටිලා” යැයි පුවත්පත් සිරස්තලයක් දුටුවිට එය වැරදි පුවතක් යැයි සිතූ අප සැබැවින්ම කහනවිට යනු කඩාවැටිය හැකි කඳු සහිත සැබෑම ගමක් බව එම ගමනේදී දැනකියා ගත්තා.
දැරණියගල කියන්නේ කුඩා නගරයක්. එහි බැංකු සහ අනෙකුත් උපනගර පහසුකම් තිබෙනවා. උඩමාලිබොඩ බසය ගමන්කරන මාර්ගය දුෂ්කර, කුඩා එකක්. තනිදොර බස් ගමන් කරන එම මාර්ගයේ වාහන දෙකකට දෙපසට මාරැ වෙන එක පවා ඇතැම් තැනකදී අපහසුයි.
මගදීම රෑ වුණු නිසා අපිට සුන්දර භූමි දර්ශන දැකගන්නට අවස්ථාවක් නොලැබුණත් සපත්තු පාලම්, ගිරිහෙල් මැදින් යන ගමන දිවා කල සැබැවින්ම දර්ශනීය එකක් වන්නට ඇතැයි සිතන්නට පුළුවන්.උඩමාලිබොඩ තේ කර්මාන්තශාලාව අසලට පැමිණ එතැනින් උඩමාලිබොඩ දික්වැල්ල කන්ද ගෙදරට ළඟා වුනා. එහි අප රෑ නවාතැන් ගත්තේ පාන්දරම ගමන් ආරම්භ කරන අදහසින්.
උඩමාලිබොඩ සිට ගමන් ආරම්භය
උඩමාලිබොඩ තේ වත්ත ළඟ සිට දික්වැල්ලකන්ද, නැත්නම් උඩමාලිබොඩ පැත්තෙන් සිරිපා කරුණාව ආරම්භ කරන තැනට කිලෝමීටර 5-6ක දුෂ්කර ත්‍රීරෝද රිය ගමනක් තිබෙනවා. ගල් ගොඩැලි පිරුණු මාර්ගයේ අමාරුවෙන් ත්‍රීරෝද රිය ගෙන යෑම වෙනුවෙන් ඔබට අමතර මුදලක්ද ගෙවන්නට සිදු වෙනවා.
ඊළඟ දිනයේ පාන්දරම ගමන ආරම්භ කරන්න තිබුණත් කෑම පිළියෙල කර, අනෙක් කටයුතු හමාර කරගෙන සූදානම් වෙද්දී උදේ 08:30 විතර වෙලා තිබුණා. අපි එක්ක ගමනේ ගිය අනෙක් කණ්ඩායමත් ළඟපාත දොල අයිනේදී හමු වුණා.
හැටන් නල්ලතන්නි දෙසින් සිරිපා කරුණාව පටන්ගන්නේ තේ වතු තිබෙන පළාතකින්. රත්නපුර පලාබද්දල දෙසින් ගමන පටන් ගන්නේත් ගම්මාන මැදින්. අපි ගමන් කරන්නට යන දැරණියගල උඩමාලිබොඩ හරහා මාර්ගය මුල දොල පාර තරණය කළ සැනින් සමනල රක්ෂිතය වෙත පිවිසෙනවා. ඉන් පසු පේන පේන අත අැත්තේ මිනිස් පුළුටක පහසක් නැති මහ වනය. ටාර්සන්ගේ කතාවේ මෙන් බැලූ බැලූ දෙස වනයෙන් වැසුණු, ආදිකල්පික අප්‍රිකානු වනාන්තරයක් වගේ විශාල වන පෙතක් මෙම ගමනේදී ඔබට හමු වෙනවා.
කූඩැල්ලන් සමග වාසේ
උඩමාලිබොඩ දිහාට අපි යන්නට දින කිහිපයක සිට දෙතුන් වරක් වැසි වැටී තිබුණා. ඒ නිසාමදෝ මුඩුක්කු පෙළක අහසට දිවෙන ඇන්ටෙනා පරිද්දෙන් ඇතැම් ගල් මුදුන් වසා කූඩැල්ලන් සිය හිස් ඒරියල් මෙන් ඉහළට දික් කරගෙන සිටියා. කූඩැල්ලන් වෙනුවෙන් ප්‍රතිකර්ම රැගෙන යාම වෙනුවට අපි තෝරාගත්තේ එල්ලුනු විට ගැලවීම. එනිසා බොහෝවිට සෑම විනාඩි කිහිපයකට වරක්ම කකුල් දෙස බලා කූඩැල්ලන් පරීක්ෂා කරන්නට අපිට සිදු වුණා.
මෙම වනය සමනල රක්ෂිතය හරහා වැටී තිබෙන නිසා නොයෙකුත් විසිතුරු වෘක්ෂලතාදියෙන් පිරී තිබෙනවා. ගහකොළ, කුරුල්ලන්, සතා සීපාවා හඳුනාගත හැකි හොඳ පරිසරවේදියෙකුට නම් මේ ගමනේදී දකින්නට ලැබෙන සිය ගණනක් වූ තුරුලතා සහ කුඩා සතුන් රැසක් පහසුවෙන්ම වෙන්කර හඳුනා ගන්න පුළුවන් වේවි.
ඇළ දොළ පසු කොට පල්ලම් බැසගෙන
එක් දොළපහරක මීටර දෙක තුනක කුඩා දිය ඇල්ලක් නිර්මාණය වී තිබෙනවා දුටු අපගේ මිතුරු ලහිරු එහි ඡායාරූප ගන්නට ඒ කරා ළං වුණා. මානාගත් ෆෝන් එකත් සමගම ගල මතුපිට ලිස්සා ගිය ලහිරු ගල මත පතිත වීමට තත්පරයක් වත් ගත වුණේ නැහැ. ඒ දුටු අපේ අනෙක් කණ්ඩායමේ ලක්ෂාන් වහා ගල මතට පැන්නේ ලහිරු ගලවාගන්නා අදහසින්. නමුත් ව්‍යසනයෙන් මිතුරා ගලවාගන්නට පැන්න ලක්ෂාන්ද සුරුස් ගා ලිස්සා ගොස් ලහිරුගේ කර මතටම අැද වැටුණා. අපගේ වාසනාවට මෙන් ඔවුන් තවත් පහළට ලිස්සා යාමට පෙර තවත් ගල් කුඩා ගල් කිහිපයකට සිර වී නතර වුණා.
එය සුළු අනතුරක් වුවත් මේ මහ වනයෙන් නික්මෙන්නටම ඇතැම් තැනකදී පැය 6 – 7ක් ගත වෙන නිසා මෙවැනි ගමන් යනවිට වඩාත් පරීක්ෂාවෙන් යාම වැදගත්. සතා සර්පයා ගැන වගේම ඇතැම් බෑවුම්හි අඩි තබන විට සහ දොලමත පය තබන විටත් මනා ලෙස සැලකිලිමත් විය යුතුයි.
දැරණියගල මාර්ගයේ වැඩිමනත් කොටසක් වැටී ඇත්තේ දියදහරා වලට සමාන්තරව යන විදිහටයි. අපට පසුකරන්නට ලැබුනු දිය පහර සහ දොල පහර ගණන 10කට වැඩියි. මේ වැහි කාලය නිසා ඒ සෑම එකකම පිරිසිදු ජලය පිරී තිබුණා. වතුර බෝතලයක් රැගෙන නොගියා වුවත් දැඩි සා පිපාසාවකට නම් ඉඩකඩක් නැති තරම්.
ගමනේ ඉතිරි කොටස
අපගේ කණ්ඩායමේ දෙදෙනෙකුට ගමනේ මුල් කිලෝමීටර 5 ගෙවන විටම අපහසුතා දැනෙන්නට වුණු නිසා ඔවුන් දෙදෙනා සමග තවත් අයෙක් නැවත හැරී ගියා. අඩුතරමේ කිලෝමීටර 15ක් වත් දුර ගෙවා ප්‍රධාන සිරිපා මගක් වන කුරුවිට එරත්න මාර්ගයට අපි සේන්දු වන විට සවස 4ටත් ආසන්න වෙලා.
උදේ 9 ට වනය ඇතුලු වූ අපි වනාන්තරය තුළ පැය 7කටත් වඩා කාලයක් ගත කර තිබුණා.
දැරණියගල උඩමාලිබොඩ පාරේ හමුවන සීතගඟුලේ වතුර අනෙක් සීතගඟුල් දෙකට වඩා පිරිසිදු අවර්ණ පැහැයක් ගන්නවා. එය පිහිටා අැත්තේද වඩාත් ශෝබමාන දර්ශනීය පරිසරයකයි. ඒ වන විටත් පැය කිහිපයක විඩාබර ගමනින් හෙම්බත් වී සිටි අපි හොඳින් නා පිරිසිදු වී ගෙන ආ ආහාර ටිකක් අනුභව කළා. වනයට ඇතුල් වූ තැන සිට කුරුවිට එරත්න මාර්ගයට එන තෙක් කිසිදු මනුෂ්‍ය වාසයක් හමු නොවන නිසා සියලුම ආහාර සහ බීම වර්ග අපිටම රැගෙන එන්න සිදු වෙනවා.
ගල් සපිරි කදිම දොළපාරක් වූ ඒ සීතගඟුලේ අවට කිසිදු අපද්‍රව්‍යයක් පේන්නට තිබුණේ නැහැ. එහෙත් අවාසනාවකට වගේ අපිට පෙර පැමිණි පිරිසක් එතැනදී ආහාර ගෙන හමාර වී අරක්කු පානය කරනවා දකින්න ලැබුණා. ඔවුන් කෑම කොළ සහ ඉතිරි අඩුම කුඩුම සියල්ල අසල වූ වන රොදට විසි කළේ කිසිදු අනුකම්පාවක් නැතිවයි.
මත්පැන් පානය කරන අය සමග ගැටෙන්නට අපට නොහැකි බැවින් වේදනාවකින් වුවද කිසිවක් නොකියා අපට එතැනින් නික්ම එන්න සිදු වුණා.
සිරිපා කරුණාව
කුරුවිට එරත්න මාර්ගයෙන් රත්නපුර මාර්ගයට සේන්දු වී අපි සෙමෙන් සෙමෙන් සිරිපා මුදුනට ළඟා වන විට රාත්‍රී 9 ත් පසු වෙලා. අපි හැකි ඉක්මනින් සිරිපා වැඳපුදා ගෙන හැටන් පාරෙන් බැස එන්න පිටත් වුණා. සති අන්තයේ ඉර සේවය බැලීම පිණිස හැටන් දෙසින් ඉහළට ඇදෙමින් සිටි සෙනඟ නිසා පහළට බහින අයට යම් යම් අවහිරතා අැති වුණා.
සැලකිලිමත් විය යුතු කරුණු.
උඩමාලිබොඩ සිට සිරිපා මාර්ගය අප ගිය දිනවල නම් හොඳින්ම එළි පෙහෙළි වී මග බලාගන්නට හැකි මට්ටමක තිබුණා. කොහොම වුණත් වන ගමන් නුපුරුදු අයෙක්ට ගමන පැටලෙන තැන් පවා තියෙන්න පුළුවන්.
මේ මාර්ගයේ හමු වන සීතගඟුල නම් පුළුල් දොළ මාර්ගයේදී නම් දොළ පාර දිගේ මීටර 50 – 60ක් ඉහළට ගමන් කිරීමෙන් අනෙක්පස මාර්ගය සොයා ගැනීමට හැකියි .
කූඩැල්ලන්ගෙන් ගහන මෙම මාර්ගය කූඩැල්ලන්ට බොහෝ සෙයින් අකමැති අයට නම් කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ.
දැඩි වර්ෂා කාලයේදී දොළ පහරවල් සහ සීතගඟුල උතුරා එතෙර වීමට අපහසුතා ඇති වෙන්න පුළුවන් නිසා වැහි කාලය මග හැර ගමන් කරන්නේ නම් වඩා හොඳයි.
අලින් දකින්නට සිටියේ නැතත් අවස්ථා ගණනාවකදීම අලි බෙටි නම් මාර්ගයේ තැනින් තැන තිබෙනවා දකින්නට ලැබුණා.
මෙම මාර්ගයේ එරත්න පාරට යනතෙක් වූ මුල් කිලෝමීටර 15 තුළ මිනිස් වාසයක් නැති නිසාත්, අනෙක් සිරිපා මාර්ගවල මෙන් විදුලි ආලෝකයවත් නැති නිසාත් රෑ බෝ වෙන්න පෙර ගමන් අවසන් කරන්න නම් පාන්දරම ගමන් අරඹන එක වඩාත් යෝග්‍යයි.
ගිරි හෙල්, දොළපහර පසුකරමින් මඳ වේගයකින් දිනකදී කිලෝමීටර 30ක් වත් යා යුතු ගමනක් නිසා එවන් ගමනකට අවශ්‍ය ශරීරික යෝග්‍යතාවය වගේම එවැනි ගමන් ගොස් පළපුරුද්දක් තිබීමත් හරිම වැදගත්.
සමනල රක්ෂිතයේ විශාල කොටසක් දැක බලාගෙන, ස්වභාව සෞන්දර්ය විඳගෙන, වනය මැදින් වැටුණු දීර්ඝ ගමනකින් අනතුරුව සිරිපා කරුණා කරන්න ඔබටත් යම් ආසාවක් මේ හරහා ඇතිවන්න ඇති. ඔබටත් එවැනි අදහසක් තිබේ නම් මේ එක්කම ඒ අදහසුත් එකතු කරලාම යන්න.