කොළඹ සිට කි. මී. 265ක් දුරින් පිහිටි මාදුරුඔය ජාතික උද්‍යානය එයටම විශේෂත සොබා අලංකාරයකින් යුක්ත වනපෙතක්. මෙම උද්‍යාන දොරටුවට පොළොන්නරුව මනම්පිටියේ සිට මඩකලපුව පාර් දුර කි. මී. 25 යි. පොළොන්නරුව සහ අම්පාරත් බදුල්ල දිස්ත්‍රික්කවලටත් මාදුරුඔය වනය අයත් වෙනවා. මෙම උද්‍යානය පිහිටවනු ලැබුවේ මහවැලි ජලාශ කිහිපයක් නිසා වාසස්ථාන අහිමිවූ වන සතුනට රැකවරණයක් ලබාදීමට යි.
මාදුරුඔය
බිබිල නගරයට නැගෙනහිරින් පිහිටි ඌවේ කඳුවැටිවලින් ඇරඹී උතුරු දෙසට ගලාගොස්, වැලිකන්ද අසල සිට නැගෙනහිරට හැරී ගලාබස්නා මේ ඔය මාර්ගයේ දිග සැ. 80ක් පමණ වෙනවා. එය මුහුදට වැටෙන්නේ කල්කුඩාවලට නුදුරු වැන්දලස් බොක්කෙන්. මාදුරුඔය ජලාශය ඉදිකිරීමට යොදාගත්තේ මේ ඔය මාර්ගය යි.
මාදුරුඔය ජලාශය
කඩිනම් මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එක ජලාශයක් ලෙස ඉදිකළ මාදුරුඔය ජලාශය සහ එයට බැඳුණු උල්හිටිය හා රත්කිඳ වැනි ප්‍රධාන ජලාශ කිහිපයක්ම පවතිනවා. කුඩා වැව් විශාල ප්‍රමාණයක් ද එයට සම්බන්ධ යි. මේ ජලාශවල ජලය ගලාබස්නා මාදුරුඔය වම් ඉවුරු ඇළ (Z.D. ඇළ) මඟින් විශාල ගොවිබිම් ප්‍රමාණයක් සඳහා දියවර නිකුත් කිරීම සිදුකරනවා.
පොළොන්නරුව හා අම්පාර යන දිස්‌ත්‍රික්‌කවලට මායිම්ව ඉදිකර ඇති මාදුරුඔය ජලාශය මඟින් හෙක්‌ටයාර 42000ක භූමියක් වගා කිරීමට සැලසුම් කර තිබුණා. කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය මඟින් සපයන ලද රුපියල් මිලියන 1500ක් හා ශ්‍රී ලංකා රජයේ අරමුදලින් රුපියල් මිලියන 1100ක මුදලින් 1980 අගෝස්‌තු මාසයේ දී මාදුරුඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා.
මාදුරුඔය ජලාශය ප්‍රධාන වේල්ලකින් (දකුණු ඉවුර) හා සැඳලි වේලි දෙකකින් සමන්විත යි. හෙක්‌ටාර 6390ක පැතිරී පවතින මෙම මහා ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 596.6ක්.
මාදුරුඔය ප්‍රධාන වේල්ල මැටිවලින් සකස් කළ මධ්‍යයකින් සමන්විත ගල් පිරවූ ඉදිකිරීමක්. දිග හා උපරිම උස පිළිවෙළින් මීටර් 1090ක් හා 41ක් වන වේල්ලක් වන අතර මුදුනේ පළල මීටර් 10ක්. වම් ඉවුරු සැඳලි වේල්ල මැටිවලින් සකස් කළ මාධ්‍යයකින් සමන්විත යි. එහි දිග මීටර් 520ක් ද, උස මීටර් 20ක් ද වෙනවා.
දකුණු ඉවුරු වේල්ල පස් පුරවා සකස්‌කළ එකක්. එහි දිග මීටර් 60යි. උසස මීටර් 12ක්. වැවේ පිටවාන මීටර් 150ක දිගින් යුක්‌ත වන අතර තත්පරයට ජලය ඝන මීටර් 1610ක් පිට කිරීමට හැකි වන සේ සකසා තිබෙනවා.
මාදුරුඔය ජලාශයට අයත් ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 453ක්. අවශ්‍ය වන අමතර ජලය සඳහා මහවැලි ගංගාවේ ජලය ද ලබාගන්නවා. මිණිපේ අන්තර් නිම්න ඇළ මාර්ගය ඔස්‌සේ රත්කිඳ ජලාශයට ලැබෙන මහවැලි ජලය උමඟක් තුළින් මාදුරුඔය ජලාශයට ලබාදීම සිදුවෙනවා.
ජලාශ වේල්ලේ බුදු පිළිමය
ජලාශයේ වේල්ල මත පසුව ඉදිකළ කොන්ක්‍රීට් බුද්ධ ප්‍රතිමාවක් පිහිටා තිබෙනවා. එහි පරිමාණය ආදී ප්‍රතිමා ලක්ෂණ නම් නිවැරදි නොවන බව යි අපට නම් පේන්නේ.
පැරණි සොරොව්ව
1981 අගෝස්තු මාසයේ දී, නව ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර දකුණු ඉවුරු ප්‍රධාන සොරොව්ව ඉදිකිරීමට සුදුසුම ස්‌ථානය තෝරාගෙන එහි කැණීම් කරගෙන යන විට එය ඉදිකළ කැනේඩියානු වාරි ඉංජිනේරුවන් බලාපොරොත්තු නොවූ සිද්ධියක් සිදු වුණා. ඒ, පුරාණයේ මාදුරුඔය හරස්කර බැඳි වේල්ලක සොරොව් මතුවීම යි. ඉන්පසු කැණීම් නවත්වා එම නටබුන් ස්‌ථානය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීම සිදුවුණා.
තරමක ප්‍රදේශයක සිදුකළ කැණීම්වලින් පසු පැරණි සොරොව්වක් සම්පූර්ණයෙන් මතුකර ගැනීමට පුරාවිද්‍යාඥයන්ට අවස්ථාව ලැබුණා. කළුගලින් හා ගඩොලින් මනාව නිමකර තිබූ මෙම සොරොව්ව ඉතාමත් හොඳින් ආරක්‌ෂා වී පැවතුන අතර ඒ අසල තිබූ දිගටි පස් කන්දක් වැනි කොටස පුරාණ වැවක වැව් බැම්ම ලෙසත් හඳුනාගත්තා. ඉන් අනතුරුව එම වැව් බැම්මේ කොටසක් ඉතිරිකර තබා අනෙක් කොටස ඉවත් කරන ලද අතර, සොරොව්ව ආරක්‌ෂාකාරී ලෙස සකස්‌කර සංචාරකයන්ට නැරඹීමට හැකි අයුරින් සංරක්ෂණය කර තැබුවා. අදත් ජලාශ බැම්මමට මීටර 150ක් පමණ දුරින් පැරණි සොරොව්ව නැරඹිය හැකියි.
මහාදාරගල්ල වැව
මෙම පුරාණ ජලාශය ඉතිහාසගත මූලාශ්‍ර ආශ්‍රයෙන් සොයා බලන විට මහාවංශයේ සඳහන් වන පරිදි මහසෙන් රජතුමා (275-301) විසින් ඉදිකෙරුණු මහවැව් දහඅටට ඇතුළත් මහාදාරගල්ල වැව බවට හඳුනා ගත්තා. පළමුවන විජයබාහු (1055-1110) හා පළමුවන පරාක්‍රමබාහු (1153-1186) යන රජවරුන් වරින් වර ප්‍රතිසංස්‌කරණය කර ඇති වැව් අතරත් මහදාරගල්ල නම් වැව තිබෙන බව මහාවංශය සඳහන් කරනවා. “මහාදාර” යන වචනය පසුව මහදාර, මාදර, මාදුරු ලෙස වෙනස් වන්නට හැකි බව සැලකිය හැකියි.
මෙය තනිකරම ගඩොල්වලින් තමයි ඉදිකර තිබෙන්නේ. එය ජලය ඇතුළුවන පැත්තේ ආරුක්කු දෙකක් තුළින් ජලය සොරොව්ව තුළට ඇතුළුවීමට සලස්වා තිබෙනවා. සොරොව්වේ පහළ කොටසට කළුගල් පුවරු අල්ලා තිබෙනවා. ගඩොල් ආරුක්කු පරික්ෂා කිරීමේ දී හෙළිවුණේ කළුගලින් නිමාකළ පහළ කොටසේ මිස ඉහළ ගඩොල් අතරින් ජලය ගමන් කර නැති බව යි.
මෙම ආරක්කු සහිත සොරොව් උමඟ දිගින් අඩි 214ක් වෙනවා. පළල අඩි 30ක්. ඉදිරිපස උස අඩි 11 අඟල් 6ක් ද පසුපස උස අඩි 12 අඟල් 6ක් ද වෙනවා. එහි මැද පිහිටි සතරැස් ළිඳකට එය යොමුව තිබෙනවා. පසුව සොරොව් මාර්ග දෙකක් ඔස්සේ ගඩොල් ව්‍යුහයේ අනෙක් කෙළවරින් ජලය පිටවෙනවා. ජලට පිටවන කෙළවරේ ආරුක්කු තනා නැහැ. පුරාණ වාරි තාක්ෂණයේ උසස් බව ලොවට හෙළිකළ තවත් අවස්ථාවක් ලෙස මාදුරුඔය පුරාණ සොරොව්ව සැලකිය හැකියි.
ජාතික වනෝද්‍යානය
මාදුරුඔය, උල්හිටිය සහ රත්කිඳ ජලාශවලට මායිම්වූ මාදුරුඔය වනෝද්‍යානය ඉතා සුන්දර වනපෙතක්. වනය මැදින් කි. මී. 8ක් දුරට විහිදෙන ගල්පර්වත සහිත කන්ද නිසා එහි අලංකාරත්වය තවත් වැඩිවෙනවා. 1983 නොවැම්බර් 9 දා ප්‍රකාශයට පත්කළ මෙම වනෝද්‍යානයේ විශාලත්වය හෙක්ටයාර් 58850ක්.
අලියා, කොටියා, වලසා, වල්ඌරා, තිත්මුවා, ගෝනා ඇතුළු විශාල සිව්පාවන් ද කුඩා ක්ෂීරපායින් ගණනාවක් ද මෙහි නිජබිම කොටගෙන සිටිනවා. පක්ෂි විශේෂ සහ සර්ප විශේෂ රාශියක් ද මේ වනයේ දිවිගෙවනවා.
මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ඔමුණුගල හා තොප්පිගල වනාන්තර පද්ධතිය හා සම්බන්ධව පවතින වනපෙතක්. මේ ජාතික වනෝද්‍යානයට, වස්‌ගමුව ජාතික වනෝද්‍යානයේ සිට හා ඉඟිනියාගල – නිල්ගල වනාන්තර ප්‍රදේශවල සිට අලි – ඇතුන් සංක්‍රමණය වෙනවා. ඉතා විශාල අලි ගහනයක් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ ජීවත් වන අතර එම සතුන් ගේ පැවැත්මට අහිතකර ලෙස බලපාන කරුණු ද මතුවී තිබෙනවා. එයට ප්‍රධාන හේතුවක් වන්නේ ගව රංචු තණ කැවීමට අනවසරයෙන් ඇතුළු කිරීම යි. මේ නිසා අලින්ගේ තෘණ අවශ්‍යතාවට බාධා ඇතිවෙනවා. වනජීවී නිලධාරීන් අනුමාන කරන ආකාරයට මාදුරුඔය සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන දෙක තුළ පමණක් සිටින ගවයන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස්දහස ඉක්මවනවා.
හෙනානිගල රජ මහා විහාරය
මාදුරුඔයට නුදුරින් පිහිටි වනගත නටබුන් විහාරයක් වන මෙය දෙහිඅත්තකණ්ඩිය නගරයට නුදුරින් පිහිටා තිබෙනවා. ජනප්‍රවාද පවසන්නේ එය කාවන්තිස්ස රජු ඉදිකළ විහාර 64කින් එකක් බව යි. ගල්පර්වතයක් ඇසුරේ තනා තිබෙන විහාරය පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක්.
හෙනානිගල විහාරය අවටින් බ්‍රාහ්මී අක්ෂරයෙන් කෙටූ සෙල්ලිපි 24ක් හමුවී තිබෙනවා. කොරවක් ගල්, බුද්ධ ප්‍රතිමා, නටබුන් දාගැබ්, සංඝාරාම නටබුන් ආදිය ද මෙහි දැකගත හැකියි.
හෙනානිගල ආදිවාසී ගම්මානයක් ද තිබෙනවා.