Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සේවකයන්ට අවශ්‍ය දේ පිළිගන්වන ඇණවුම් වරද්දන අවන්හල

ඕනෑම අයෙක් අවන්හලකට යන්නේ තමන්ට අවශ්‍ය ආහාරපාන ලබාගැනීමේ අරමුණින් බව විශේෂයෙන් කිව යුතු නොවේ. ඒ නිසා ම තමන් ඇණවුම් කළ ආහාරපාන වෙනුවට අත්වැරදීමකින් වෙනත් යමක් ලැබුණොත් බොහෝ දෙනකුට එම අවන්හලේ සේවක සේවිකාවන් සමඟ බහින්බස්වීමක් හෝ ගැටුමක් ඇති කරගැනීමට පවා එය හේතුවක් වෙන්නට පුළුවන.

 යම්කිසි අයකු ඇණවුම් කරන දේ වෙනුවට තමන්ට ලැබෙන්නේ වෙනත් දෙයක් බව දැන දැන ම යම්කිසි ස්ථානයකට, අවන්හලකට යාම කොතරම් අමුතු සිදුවීමක් ද? එවැනි අවන්හලක් ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටා තිබේ. එම අවන්හලේ සේවය කරන සියලු ම සේවක සේවිකාවන් අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන අය වේ.

අවන්හලේ සේවක මඩුල්ල – www.mistakenorders.com

මෙම අවන්හලේ සේවක සේවිකාවන්ට යමක් මතකයේ තබාගත හැකි වන්නේ ඉතාමත් සුළු කාලයක් බැවින් ඔවුන්ට පාරිභෝගිකයන් ඇණවුම් කරන ආහාරපාන ඉක්මනින් අමතක වේ. එම නිසා ඇණවුම් කරන දේ වෙනුවට ඔවුන් පාරිභෝගිකයන්ට පිළිගන්වන්නේ ඔවුන්ගේ මතකයේ ඇති වෙනත් දෙයක් වන අතර මෙම අපූරු අත්දැකීම විඳගැනීම සඳහා ම විශාල පිරිසක් මෙම අවන්හලට යති.

අවන්හල ඇතුළත පෙනුම – www.japan.go.jp

ආරම්භය

‘ඇණවුම් වැරදීමේ අවන්හල’ එනම් ‘The Restaurant of Order Mistakes’ නම් වන මෙම අපූරු අවන්හල ජපන් රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයකු වන ශයිරෝ ඔගුනි ගේ සංකල්පයක්. මෙම අවන්හල ආරම්භ කිරීම මඟින් ඔහු බලාපොරොත්තු වන්නේ ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් පිළිබඳ සමාජගත වී ඇති වැරදි මත දුරු කර එය සාමාන්‍ය තත්ත්වයක් බව ජනතාවට අවබෝධ කර දීමට යි.

තාවකාලික අවන්හලක් වන මෙය මුල්වරට විවෘත කලේ 2017 වසරේ ජූනි මාසයේ දී ය. ඉන් අනතුරුව එම වසරේ ම සැප්තැම්බර් මස 16 දින සිට දින තුනක කාලයක් එය විවෘත ව තැබිණි. ඊට පසුව ද වරින් වර විවෘත කළ මෙම අවන්හල විවෘත කරන නිශ්චිත කාලසීමාවක් නැත.

අවන්හලේ පිටත පෙනුම – www.mistakenorders.com

නිර්මාතෘවරයාගේ අදහස

මෙම අවන්හල පිළිබඳව අදහස් දක්වමින් ඔගුනි සම්මුඛ සාකච්ඡාවක් අතරතුර පවසා ඇත්තේ මුලින් ඩිමෙන්ශියා තත්ත්වය පිළිබඳ ව වැඩි යමක් දැන නොසිටි තමන් ඒ පිළිබඳ ව අධ්‍යයනය කිරීමට පෙලඹුණු බව ය. තමන් සිදු කළ අධ්‍යයන අතරතුර ‘ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන අය ඇසුරු කිරීම අනතුරුදායක ය’ යන්න සමාජගත වී ඇති මතය සත්‍යයක් නොවන බව අවබෝධ වූ බවත් ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව ඒ පිළිබඳ ව තමන් උගත් දෑ අන්‍යයන්ට ද ලබා දීමේ අරමුණින් මෙම අවන්හල ආරම්භ කළ බව ඔහු පැවසුවේ ය. අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන් ද එහි සේවකයන් (ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන අය) ඉතාමත් විනෝදකාමී සහ ආදරණීය පුද්ගලයන් ලෙස හඳුන්වන බවත් ඔගුනි පවසා තිබේ.

මෙම අවන්හල ආරම්භ කිරීමෙන් තමන් බලාපොරොත්තු වූයේ හුදෙක් ම ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් පිළිබඳ ව සමාජගත වී ඇති මත දුරු කිරීමේ අරමුණින් ම පමණක් නොවන බව ඔහු සඳහන් කර තිබේ. ඔහු පැවසුවේ මෙම ව්‍යාපෘතිය මගින් කොතරම් කාරුණික ආකාරයෙන් අන්‍යයන්ට සැලකීමට අවස්ථාවන් තිබේ ද යන්න ජනතාවට අවබෝධ කර දීමට තමන් බලාපොරොත්තු වූ බව ය.

ශයිරෝ ඔගුනි – www.japan.go.jp

ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන  ජපාන ජනගහනය

මතකය නැති වීම සහ යම් දෙයක් පිළිබඳ ව නිවැරදි නිගමනයකට එළඹීමට නොහැකි වීම වැනි රෝග ලක්ෂණ සහිත ඩිමෙන්ශියා තත්ත්වය මොළයේ ස්නායුවලට හානි වීම නිසා හට ගනී. යම් අයකු ඩිමෙන්ශියා තත්ත්වයට පත් වූ පසු ටික කලක් යන විට එය අඩු වී යාමේ හැකියාවක් තිබෙන නමුත් මෙම තත්ත්වය සුව කිරීම සඳහා වන නිශ්චිත ඖෂධයක් හෝ ප්‍රතිකාරයක් පිළිබඳ ව සඳහන් නොවේ.

ලොව වැඩිහිටි ජනගහනය වැඩි ම රට ලෙස සැලකෙන ජපානයේ වර්තමානය වන විට ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව විශාල අගයක් ගනී. එරට රජයේ දත්තවලට අනුව 2012 වසර වන විට මිලියන 4.2ක් පමණ වූ එරට වයස අවුරුදු 65ට වැඩි, ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව 2025 වසර වන විට මිලියන 7ක් දක්වා ඉහළ යනු ඇත. එම හේතුව නිසා ම මෙම තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් රැක බලා ගැනීම සඳහා සහ ඔවුන්ට අවශ්‍ය විවිධ ප්‍රතිකාර සඳහා විශාල වියදමක් දැරීමට එරට රජයට සිදුව ඇත.

අවන්හලේ සේවක සේවිකාවන්ගේ අදහස්

2017 වසරේ සැප්තැම්බර් 16 වන දින මෙම අවන්හලේ සේවය කළ සේවකයන් 17 දෙනා අතරින් දෙදෙනකු ලෙස 78 හැවිරිදි යෝකෝ කොනෝ සහ හිදෙකෝ මරුයාමා හැඳින්විය හැකි ය.

ඔවුන් දෙදෙනා ම ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන අයගේ සුබසාදනය උදෙසා පවත්වාගෙන යන ආයතනයක රැඳී සිටින අය ය. ඔවුන් අවන්හලේ සේවයට පැමිණ තිබුණේ ස්වේච්ඡාවෙනි. ඔවුන් සිනහමුසු මුහුණින් යුතු ව එම අවන්හලේ සේවය කරන අයුරු දක්නට ලැබිණි.

සිනහමුසු මුහුණින් යුතුව සේවය කරන සේවිකාවක්- www.mistakenorders.com

ඔවුන්ගෙන් මෙම අවන්හලේ සේවය කිරීමෙන් ලැබෙන අත්දැකීම පිළිබඳ ව විමසූ අවස්ථාවේ මරුයාමා සඳහන් කළේ එය ඉතා විනෝදකාමී අත්දැකීමක් බව ය. යම් දිනෙක පාරිභෝගිකයන් ලෙස ද මෙම අවන්හලට පැමිණීමට බලාපොරොත්තු වන බව ඔවුහු සඳහන් කළහ. එදින උදෑසන 11ට විවෘත කළ අවන්හලේ උදෑසන සේවා මුරයේ දී සේවය කළ මරුයාමාට දහවල් කාලය වන විට ඇය උදෑසන සේවය කළ බව අමතක වී තිබිණි. ඒ බව පැහැදිලි වූයේ ඇය නැවතත් තමන් සේවයට කැඳවන තුරු බලා සිටි නිසා ය.

ආදායම

2017 වසරේ සැප්තැම්බර් මස දින තුනක් පමණ විවෘත කර තැබූ අවස්ථාවේ මෙම අවන්හලට පාරිභෝගිකයන් 300කට වැඩි පිරිසක් ආහාර ගැනීම සඳහා පැමිණ තිබේ. එම කාලය තුළ ආහාර සඳහා ගෙවූ මුදල් සහ වෙනත් ආධාර මුදල් ද ඇතුළු ව මෙම අවන්හල ඉපැයූ සම්පූර්ණ ආදායම ජපන් යෙන් මිලියන 12.9ක් පමණ විය. එය ඇමෙරිකන් ඩොලර් 115,000ක පමණ මුදලකි.

සිනහමුසු මුහුණින් සිටින පාරිභෝගිකයන් සහ සේවිකාවක් – www.hakuhodo-global.com

ලොව පුරා අවධානයට

ඔගුනි පවසන ආකාරයට මේ වන විට මෙම ව්‍යාපෘතිය ලොව පුරා අවධානයට යොමු වී තිබෙනවා. ඔහු සඳහන් කළේ මේ වන විට දකුණු කොරියාව, චීනය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් ගණනාවකින් ජපානයට පැමිණෙන සංචාරකයන් මෙම අවන්හලට පැමිණෙන බව ය. ලොව ඕනෑම රටක යම්කිසි ව්‍යාපාරිකයෙක් හෝ වෙනත් සංවිධානයක් මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට සිය දායකත්වය ලබා දීමට සූදානම් බව ද ඔගුනි සඳහන් කර තිබේ.

සම්මාන

නිර්මාණාත්මක සංකල්පයක් මත පදනම් ව ඉතා වැදගත් කරුණක් පිළිබඳ ව සමාජ අවධානය යොමු කිරීම වෙනුවෙන් මෙම අවන්හල ඉටු කරන කාර්යභාරය අගයා මේ වන විට එය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සම්මාන ගණනාවකින් පිදුම් ලබා තිබෙයි. ඒ අතරට ලන්ඩන් ජාත්‍යන්තර සම්මාන උළෙල ලබා දෙන සම්මානයක්, කෑන්ස් ලයන්ස් සම්මාන උළෙලේ දී ලබා දෙන සම්මානයක්, ස්පයික්ස් ඒසියා සම්මාන උළෙලේ දී ලබා දෙන සම්මානයක් සහ දේශීය වශයෙන් ලැබුණු සම්මාන ගණනාවක් ඇතුළත් වේ.

කවරයේ ඡායාරූපය- පාරිභෝගිකයන්ට ආහාර පිළිගන්වන සේවිකාවක් - www.lovelyplanet.com

මූලාශ්‍ර:

www.kyodonews.com

www.hakuhodo-global.com

www.mistakenorders.com

www.indiatoday.in

www.japan.go.jp

Related Articles