වර්ග කිලෝමීටර් මිලියන 30.37ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින අප්‍රිකානු මහද්වීපයට අයත් රටවල් 54 අතරේ ඉහළ වාර්ෂික ආදායමක් ලබන රටවල් කිහිපයක් ද අප්‍රිකානු මහද්වීපය තුළ පිහිටා තිබෙනවා. එම රටවල් කිහිපය අතරට දකුණු අප්‍රිකාව ද අයත් වෙනවා.
එරට ආර්ථිකය සවිමත් කිරීමට සංචාරක කර්මාන්තය වැඩි දායකත්වයක් ලබාදෙනවා. දකුණු අප්‍රිකාව තුළ සුන්දරත්වයෙන් අනූන ස්ථාන පිහිටා තිබෙන නිසා වාර්ෂික ව විශාල සංචාරකයන් ප්‍රමාණයක් එහි පැමිණෙනවා. ඒ අයුරින් දකුණු අප්‍රිකාවට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් නරඹන වඩාත් ජනප්‍රිය සංචාරක ඉසව් රැසක් තිබෙනවා. ඒවා අතුරින් 5ක් පිළිබඳ තොරතුරුයි මේ.
1). කෘගර් ජාතික වනෝද්‍යානය
පෝල් කෘගර් 1898 වන විට ට්‍රාන්ස්වාල් ජනපදයේ පාලකයා වශයෙන් කටයුතු කරමින් සිටියා. ඔහු එම ජනපදයේ වනාන්තර ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා ඇපකැප වී කටයුතු කළ පුද්ගලයෙක්. එනිසා 1898 වසරේ අග භාගයේ දී මෙම වනෝද්‍යානය පිහිටි ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙසින් නම් කිරීමට කෘගර් තීරණය කළා.
එම ප්‍රදේශයේ දිගින් දිගට ම අනවසර ක්‍රියාකාරකම් සිදු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උද්‍යාන පාලක තනතුරක් ඇති කිරීමේ අවශ්‍යතාවක් මතු වුණා. එම තනතුර සඳහා මුලින් ම පත්වුණේ ජේම්ස් හැමිල්ටන් නම් පුද්ගලයා යි.
හැමිල්ටන් 1902 ජූලි 1 වැනිදා සිය වැඩ රාජකාරි ආරම්භ කළා. ඉන් වසර 24කට පමණ පසුව එනම් 1926 මැයි 31 වැනිදා එය ජාතික වනෝද්‍යානයක් ලෙසින් නම් කළා. එදා සිට මෙම වනෝද්‍යානය හැඳින්වීම සඳහා කෘගර් ජාතික වනෝද්‍යානය යන නම භාවිත වුණා.
මීට වසර 500,000-100,000 අතර කාලයේ දී හෝමෝ ඉරෙක්ටස් මානවයන් මෙම ප්‍රදේශයේ වාසය කළ බවට සාක්ෂ්‍ය හමු ව තිබෙනවා. ඒ වාගේම ගල් යුගයේ මිනිසුන් භාවිත කළ මෙවලම් මෙම ප්‍රදේශයෙන් හමු ව තිබෙනවා.
ඒවා වසර 100,000-30,000 තරම් පැරණි බව පුරාවිද්‍යාඥයන් පවසනවා. එපමණක් නොව යකඩ යුගයේ දී පවා මෙම ප්‍රදේශය ආශ්‍රිත ව ජනාවාස පැවති බවට සාධක හමු ව තිබෙනවා. එනිසා ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ගවේෂණය කරන උදවියට මෙය ඉතාමත් වැදගත් භූමි ප්‍රදේශයක්.
දකුණු අප්‍රිකාව තුළ පිහිටි වනෝද්‍යාන අතුරින් සෆාරි චාරිකා සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ මෙම වනෝද්‍යානය යි. අලි ඇතුන්, කළු රයිනෝසිරස්, චීටා, දිවියා, හිපපොටේමස්, ජිරාෆ්, සීබ්‍රා, සුදු රයිනෝසිරස්, සිංහයා, ඉම්පාලා ඇතුළු ක්ෂීරපායි සත්ත්ව විශේෂ 147ක් පමණ මෙහි දී දැක ගන්නට පුළුවන්.
පක්ෂි විශේෂ 517ක්, උරග විශේෂ 126ක්, සමනල් විශේෂ 219ක්, උභය ජීවී විශේෂ 33ක්, මත්ස්‍ය විශේෂ 50ක් ද මෙහි ජීවත් වන බව හඳුනා ගෙන තිබෙනවා.
එනිසා මෙම වනෝද්‍යානය ආශ්‍රිත ව සෆාරි චාරිකාවල නිරත වන සංචාරකයන්ට සතුන් හොඳින් ම දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
මෙම වනෝද්‍යානය ආශ්‍රිත ව නවාතැන් ගැනීම සඳහා කෘගර් ජාතික වනෝද්‍යානය අවට සංචාරක හෝටල් රැසක් තිබෙන නිසා සංචාරකයන් දින කිහිපයක් මෙම ප්‍රදේශයේ නවාතැන් ගෙන මනාව සතුන් නිරීක්ෂණය කිරීමට පුරුදු ව සිටිනවා.
2). ඩ්‍රැකන්ස්බර්ග් කඳුවැටිය
දකුණු අප්‍රිකාවට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් ම නරඹන ස්ථාන අතරට මනස්කාන්ත දසුන් මවන ඩ්‍රැකන්ස්බර්ග් කඳුවැටිය ද අයත්. ඩ්‍රැගන් කඳුවැටිය ලෙස ද හඳුන්වන එය කිලෝමීටර් 1000ක් පුරා විහිදෙමින් දකුණු අප්‍රිකාවේ පළාත් 5ක් ආවරණය කරනවා. ලෙසතෝ රාජ්‍යය දක්වා ද මෙම කඳුවැටිය විහිදී තිබෙනවා.
දකුණු අප්‍රිකාව තුළ පිහිටි දිගින් වැඩි ම කඳුවැටිය වන මෙහි උස ම කඳු මුදුන තබානා නට්ලෙන්යානා යන නමින් හැඳින්වෙනවා. එය මීටර් 3482ක උසකින් යුක්ත යි. මීටර් 3450ක් උස මෆාඩි, මීටර් 3416ක් උස මාකොනෙන්ග්, මීටර් 3408ක් උස එන්ජෙසුති, මීටර් 3377ක් උස ෂැම්පේන් කාසල් මෙම කඳුවැටිය ආශ්‍රිත ව පිහිටා තිබෙන අනිකුත් කැපී පෙනෙන කඳු මුදුන් කිහිපය යි.
ඩ්‍රැකන්ස්බර්ග් කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරය කරන උදවියට ඇම්ෆිතියටර් නම් විශාල කඳු බෑවුම, ටුගෙලා දිය ඇල්ල, කම්බර්ග් නේචර් රක්ෂිතය, පාෂාණ කලා සිතුවම් ඇතුළත් පෞරාණික ලෙන්, රාජකීය නටාල් ජාතික වනෝද්‍යානය වැනි සුන්දරත්වයෙන් අනූන ස්ථාන රැසක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඩ්‍රැකන්ස්බර්ග් කඳුවැටිය ආශ්‍රිත ව පිහිටා තිබෙන උසින් වැඩි කඳු තරණය කිරීමට ද සංචාරකයන් වැඩි කැමැත්තක් දක්වනවා.
බොහෝ දෙනෙක් ඒ සඳහා මඟ පෙන්වන්නන්ගේ සහාය ලබා ගන්නවා. ඩ්‍රැකන්ස්බර්ග් කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා ඇති නිස්කලංක හුදෙකලා ගම්මාන ජනප්‍රිය සංචාරක ඉසව් බවට පත්ව තිබෙනවා. ගෙවුණු දශක කිහිපය තුළ සංචාරක හෝටල් වැඩි වශයෙන්ම එම ගම්මානවල ඉදි වුණා. එනිසා සංචාරකයන්ට එම ස්ථානවල නවාතැන් ගෙන ස්වභාවික පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමට හැකි ව තිබෙනවා.
3). කේප් පොයින්ට්
ටේබල් මවුන්ටන් ජාතික උද්‍යානය ආශ්‍රිත ව පිහිටා තිබෙන ජනප්‍රිය සංචාරක ඉසව් අතරට කේප් පොයින්ට් ද අයත්. දකුණු අප්‍රිකාවේ නිරිත දිග කෙළවරේ පිහිටා ඇති කුඩා කඳු මුදුනක් වන මෙය සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන ස්ථානයක්. ඒ මෙහි සිට මනස්කාන්ත සාගර දර්ශන නැරඹීමට ඇති හැකියාව නිසා යි. එම ස්ථානය තුන් පැත්තකින් සාගරයෙන් වට වී තිබෙන නිසා සංචාරකයන්ට අපූරු අත්දැකීමක් ලබාගන්නට පුළුවන්.
කේප් පොයින්ට් ආශ්‍රිත ව ප්‍රදීපාගාර දෙකක් දක්නට ලැබෙනවා. ඒ අතුරින් පැරණි ප්‍රදීපාගාරය 1850 දශකයේ දී ඉදිවුණු එකක්. අද වන විට එය ක්‍රියාත්මක වන්නේ නැහැ. 1914 දී ඉදිවුණු නව ප්‍රදීපාගාරය දකුණු අප්‍රිකානු වෙරළ තීරයේ තිබෙන ප්‍රසිද්ධ ප්‍රදීපාගාරවලින් එකක්. එහි විදුලි පහන්වල ආලෝකය කිලෝමීටර් 60ක් තරම් දුරකට විහි දී යනවා.
පෘතුගාල දේශ ගවේෂකයකු වුණු බර්තොලමියු ඩයස් 15 වන සියවසේ අග භාගයේ දී දීර්ඝ දේශ ගවේෂණ චාරිකාවක නිරත වුණා. එදා ඔවුන් දකුණු අප්‍රිකාවේ කේප් පොයින්ට් ප්‍රදේශයට පැමිණි බව ඉතිහාස පොත්වල ලියැවී තිබෙනවා. කේප් පොයින්ට් වෙත පැමිණි මුල් ම යුරෝපීය ජාතිකයා ලෙසින් ඩයස් ඉතිහාසගත වුණා.
එම ප්‍රදේශය ආශ්‍රිත ව නිතර ම කුණාටු ඇති වුණු නිසා කේප් පොයින්ට් ආසන්නයේ ඇති එක්තරා තුඩුවක් කුණාටු තුඩුව ලෙස නම් කිරීමට ඩයස් ඇතුළු පිරිස තීරණය කළා. පසුව පෘතුගාලයේ දෙවන ජෝන් රජතුමා එය සුබ ප්‍රාර්ථනා තුඩුව ලෙසින් නම් කළා. එය කේප් පොයින්ට්වලට කිලෝමීටර් 3ක දුරකින් පිහිටා තිබෙනවා. එනිසා කේප් පොයින්ට් වෙත යන සංචාරයයන්ට සුබ ප්‍රාර්ථනා තුඩුව ද නැරඹීමේ අවස්ථාව ලැබෙනවා.
4). බ්ලයිඩ් රිවර් කැන්යොන්
ලොව විශාලත ම කැන්යොන්වලින් එකක් වන බ්ලයිඩ් රිවර් කැන්යොන් දකුණු අප්‍රිකාවට අයත් මපූමලංගා ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. කිලෝමීටර් 26ක දිගකින් යුත් එය හරහා බ්ලයිඩ් ගංගාව ගලා බසිනවා. බ්ලයිඩ් රිවර් කැන්යොන් හි සංචාරය කරන උදවියට දෙවියන්ගේ කවුළුව නමින් හැඳින්වෙන සුවිශේෂී ස්ථානය දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
එම ස්ථානයේ සිට අවට පරිසරය ඉතාමත් පැහැදිලි ව දැකගන්නට පුළුවන්. සෑහෙන දුරින් පිහිටි ප්‍රදේශ එහි සිට හොඳින් දැක බලා ගැනීමට හැකි නිසා එම ස්ථානය ‘දෙවියන්ගේ කවුළුව’ යන නමින් හඳුන්වනවා.
සුප්‍රසිද්ධ කඩිෂි දිය ඇල්ල බ්ලයිඩ් රිවර් කැන්යොන් හි පිහිටා තිබෙන තවත් එක් සුන්දර ස්ථානයක්. උසින් මීටර් 220ක් වන එය ටූෆා ආකාරයේ දිය ඇල්ලක්. පාෂාණ සැකැස්මකින් යුක්ත එම දිය ඇල්ල ඈත සිට නිරීක්ෂණය කර විට හඬන මිනිසකුගේ මුහුණක් මෙන් දිස්වීම සුවිශේෂී ලක්ෂණයක්.
එනිසා එම දිය ඇල්ලට හඬන මුහුණ යන නම පටබැඳී තිබෙනවා. එනිසා කඩිෂි දිය ඇල්ල සංචාරකයන් අනිවාර්යයෙන් ම නරඹන සංචාරක ඉසව්වක් ලෙසින් නම් කරන්නට පුළුවන්.
බ්ලයිඩ් රිවර් කැන්යොන් නැරඹීමට යන සංචාරකයන්ට ඒ ආශ්‍රිත ව විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමට අවස්ථාව ලැබෙනවා. එම ක්‍රියාකාරකම් අතරට කඳු නැගීම, අශ්වයන් පැදීම, බෝට්ටු පැදීම, ඔරු පැදීම, උණුසුම් වායු බැලුන් සවාරි, මසුන් ඇල්ලීම, බයිසිකල් පැදීම වැනි ඒවා අයත්.
මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් සුපිරි පැලැන්තියේ හෝටල් ද ඉදි ව තිබෙනවා. එනිසා බ්ලයිඩ් රිවර් කැන්යොන් නැරඹීමට එන උදවියට ටික දිනක් එහි නැවතී හොඳින් විනෝද වන්නට පුළුවන්.
5). කේප් අගුල්හාස්
දකුණු අප්‍රිකාව තුළ පිහිටා තිබෙන වඩාත් වැදගත් ස්ථාන අතුරින් කේප් අගුල්හාස් ප්‍රදේශයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ මෙම ප්‍රදේශයේ දී අත්ලාන්තික් සහ ඉන්දියන් සාගර කලාප වෙන් වන නිසා යි. එනිසා ඈත අතීතයේ සිට ම කේප් අගුල්හාස් ප්‍රදේශයට විශාල වටිනාකමක් හිමිව තිබුණා.
ගෙවුණු සියවස් 5ක පමණ කාලය තුළ මෙම ප්‍රදේශය ආශ්‍රිත ව සැලකිය යුතු තරම් නෞකා ප්‍රමාණයක් අනතුරට පත්වුණා. එම නෞකා ප්‍රමාණය 100කටත් වඩා වැඩි බව ඇතැම් වාර්තාවල ලියැවී තිබෙනවා.
කේප් අගුල්හාස් ප්‍රදේශය ආශ්‍රිත ව සිදුවුණු නෞකා අනතුරු අවම කරගැනීම සඳහා 1848 දී එහි ප්‍රදීපාගාරයක් ඉදි වුණා. එය දකුණු අප්‍රිකාවේ ඇති පැරණිත ම ප්‍රදීපාගාරවලින් එකක්. මෙම ප්‍රදේශය සාගර දෙකක් වෙන් කරන කලාපයක් නිසා සංචාරකයන් නිතර පැමිණෙනවා. කේප් අගුල්හාස් දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංචාරක ඉසව් අතරට එනිසා ඇතුළත් වී තිබෙනවා.