අපි දවසක් වීදිය බණ්ඩාරගේ රාජධානියේ තොරතුරු හොයාගෙන කලුතර දිස්ත්‍රික්කයේ මතුගමට නුදුරු පාලින්දනුවරට ගියා. එහෙදි තමයි දැනගන්නට ලැබුණේ වීදියබණ්ඩාර කුරුණෑගල මුණ්ඩකොණ්ඩපොළ නුවර (නාථගනේ) ප්‍රාදේශීය රාජධානිය ටික කලක් පාලනය කරපු බව. ඉතින් අපි දවසක් මේ සැඟවුණු නුවර හොයාගෙන ගියා.
“නාථගනේ” අනුරාධපුර යුගය දක්වා දිවෙන පුරාණ නටබුන් රැසක් පවතින ස්ථානයක්. මෙම නටබුන් භූමිය පිහිටා ඇත්තේ වනයෙන් වැසුණු කඳුවැටියක් ඇසුරු කරගෙන යි. සතුරු කරදරවලින් බේරීමට පහසු ආරක්ෂිත රාජධානියක් මෙහි පිහිටුවීමට ස්වභාවික පිහිටීම උපකාරී වී තිබෙනවා. අදටත් පුරාවිද්‍යාවට හිතැති ගවේශකයින් ඉඳහිට නාථගනේ බලන්න එනවා. කඳුපාමුල පිහිටි ආරණ්‍යයට බැතිමතුන් එනවා. කඳු තරණයට කැමති අයට වගේම පුරාවිද්‍යාවට කැමති අයටත් නාථගනේට පැමිණ සොඳුරු අත්දැකීමක් විඳගත හැකියි.
යන්නේ මෙහෙමයි
කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පිහිටි “හංගගමුව” හන්දියෙන් වමට ඇති “උහුමිය” පාරේ ගොස්, “දහයියාගල” පන්සල අසලින් නැවත වමට ඇති අතුරු පාරේ කි.මී. 3ක් ගමන් කළ යුතු යි. මේක බොරළු පාරක්. පොල්වතු හා වනවදුලු මැදින් හද්දා පිටිසර පෙදෙසක් ඔස්සේ පාර වැටී තිබෙනවා. එහෙම නැත්නම් කුරුණෑගල – පුත්තලම පාරේ “මාකෙළිය” හන්දියෙන් වමට තිබෙන “කටුපොත” පාරේ කි.මී. 1ක් ගිහින්, “වල්පොල” හන්දියෙන් හැරිලා “බෝගොඩ” පාරේ තවත් කි.මී. 2ක් ගමන් කළ යුතු යි. කුරුණෑගල සිට කි.මී. 19ක් මෙතනට දුර යි. පොදු ගමනාගමන සේවාවක් නම් නාථගනේට නැහැ.
නාථගනේ කන්ද
කුරුණෑගල දිස්ත්‍රික්කයේ “දේවමැදි හත්පත්තුවට” තමයි මෙය අයත් වෙන්නේ. තැනිතලාව බිඳගෙන ඉහළ නගින නාථගනේ කන්ද නිසා මේ ප්‍රදේශයට සුන්දර පෙනුමක් ලැබිලා. “යක්දෙස්සාගල” ඊට නුදුරින් පිහිට තවත් කන්දක්. අඩි 1500ක් පමණ උස මේ කන්ද වනාන්තර සහ ගල්පර්වතවලින් පිරී පවතිනවා. හාවන්, තලගොයින්, ඉත්තෑවන්, වල් ඌරන් නිතර ගැවසෙන මේ වනය ඇටඹ, නාවා, දුම්මල, කළුමැදිරිය, ඇටතිඹිරි, කළුවර ඇතුළු ගස්වැල්වලින් පිරී පවතිනවා.
පෝල් ඊ. පීරිස් ලියූ “පෘතුගීසින් සහ ලංකාව” පොතේ මේ කන්ද ගැන මෙහෙම සඳහන් කර තිබෙනවා.
“කුරුණෑගල සිට පුත්තලම බලා යන අයෙකුට වම් අත පැත්තේ නාථගනේ මහා වනාන්තරය දැකගත හැකියි. එයට සමාන්තරව දෙවැනි කඳුවැටියක් දිව යයි. ආඳාගලින් ආරම්භ වන මේ කඳුවැටිය යක්දෙස්සාව ගිරි ශිඛරයෙන් එහි උසම ස්ථානය සටහන් කරයි. කුවේණි තමා අතරමං කළ පෙම්වතාට සාප කළේ මෙහි සිටය. නාථගනේ කඳුවැටිය මැද එක්වරම පහත්වූ ස්ථානයක් ඇති අතර එහි සිට දකුණට බරව අටුකන්ද පැනනගී.”
ලෙන් ආරාමයක්
නාථගනේ කන්ද ආශ්‍රිතව මුලින්ම භික්ෂු ආරාමයන් ඇතිවුණේ ක්‍රි.පූ. යුගයේ මෙරටට බුද්ධාගම ලැබුණු ආසන්න යුගයක බව එහි ඇති කටාරම් කෙටූ ලෙන්වලින් සහ සෙල්ලිපිවලින් පැහැදිලි කරනවා. වනය අතරින් දිවෙන පිටගැට පෙළ කඳු මත විවිධ උස් මට්ටම්වල පිහිටි ලෙන් විහාර වෙත අප රැගෙන යනවා. කටාරම් කොටා සකස් කළ ලෙන් 27ක් මෙහි දක්නට පුළුවන්. මහනුවර යුගයේ දී ඉදිකොට මූර්ති හා චිත්‍රවලින් අලංකාර කළ ලෙන් දෙකක් ද කන්දේ උසම තැනක පිහිටා තිබෙනවා. එම ලෙන් මෑත අතීතයේ දී යළිත් අලුත්වැඩියාවට ලක්වී ඇති බව බිතුසිතුවම් දෙස බලන විට පේනවා.
කඳු බෑවුමේ පිහිටි තවත් ලෙන් දෙකක බොදරම් බේරා තැනූ ආරුක්කු සහිත ගඩොල් බිත්තිවලින් පේන්නේ ඒවා අනුරාධපුර හෝ පොළොන්නරු යුගයට අයත් පැරණි විහාර බිත්ති බව යි. මේවා පුරාවිද්‍යා දොපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා.
ප්‍රතිමා මන්දිරය
මෙහි පිළිම ගෙවල් දෙකක් දැකගත හැකියි. එක් පිළිම ගෙයක් උඩරට සම්ප්‍රදායේ පැරණි බිතුසිතුවම් සහිත යි. එය ඉදිරිපස මණ්ඩපයක් සහිතව පිහිටා තිබෙනවා. හිඳි බුද්ධ ප්‍රතිමා දෙකක් සහ ඒ දෙපස හිටි බුදු පිළිම දෙකක් ද දැකගත හැකියි. එක් හිඳි පිළිමයක් විනාශ වී ඇති නිසා අලුත් ප්‍රතිමාවක් එහි ආසනය මත තබා තිබෙනවා. ලෙන් වියන අලංකාර කර තිබෙන්නේ සූවිසි විවරණ චිත්‍රාවලියකින්. ඒ ලෙනටම සම්බන්ධ කර ඇති තවත් විහාර ගෙයක් දකින්න පුළුවන්. එහි ඇති ප්‍රතිමා සහ සිත්තම් අවුරුදු 75ක් පමණ පරණ ඒවා. ඒවායේ කලාත්මක වටිනාමක් දකින්න නැහැ.
එම විහාරය ඉදිරිපිට පර්වතයේ පහන් තැබීමට කැපූ සිදුරු පිහිටා තිබෙනවා. පර්වතය මත මහනුවර යුගයේ දී කෙටූ බව පෙනෙන සිරිපා සලකුණක් ද දැකගත හැකියි. මෙයට නුදුරින් පර්වතය මතට පිවිසීමට කැපූ පියගැට පෙළක් දකින්න පුළුවන්. එහි මැටියෙන් ඉදිකළ කුටි හතරක් තිබෙනවා. ඒවා මෙහි ප්‍රාදේශීය රාජධානිය පැවති කාලේ මුරකුටි හෝ ගබඩා විදිහට භාවිත කළා විය හැකියි. එක් කුටියකට සියුම් කැටයම් සහිත දැව උළුවස්සක් සවිකර ඇති අයුරු දකින්න පුළුවන්.
සෙල්ලිපි
ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ලෙන් ලිපි දෙකක් මෙහි ලෙන්වල කොටා තිබෙනවා. ලෙන් පූජා කළ නගුලිය සහ දම්මගුත්ත නම් ප්‍රධානින් දෙදෙනකු ගැන ඒවායේ සඳහන්.
මුලින්ම පැවති ලෙන් ආරාමය පසුව රජමහා විහාරයක් බවට පත්වූ බව මෙහි ඇති නටබුන් පැහැදිලි කරනවා. කඳු පාමුල දක්නට ලැබෙන දාගැබ් ගොඩැල්ල අනුරාධපුර මුල් යුගයට අයත් බවට සාධක මධ්‍යම සංස්කෘතික අරමුදල එහි කළ කැණීම්වලින් හෙළිවුණා. මේ දාගැබ වටේට ගඩොල් ප්‍රාකාරයක් දැකගත හැකියි. දැනට දාගැබ ඉතිරිව පවතින්නේ අඩි 10ක් උසට පමණයි. සිරිපතුල් ගල් රාශියක් සහ ගල් ආසන දාගැබ වටා දක්නට ලැබෙනවා.
මුණ්ඩකොණ්ඩපොළ නුවර
නාථගනේ විහාරය පැතිරි කඳුවැටියේ මුලින්ම රාජධානියක් පිහිටුවාගෙන තිබෙන්නේ ඉරුගල් බණ්ඩාර කියලා කුමාරයෙක් බව පැවසෙනවා. ඒ කුමාරයා බලකොටුවක් තනාගෙන කන්දේ ජීවත්වූ බව ජනප්‍රවාදයේ සඳහන්. ඉරුගල් කුමාරයා පිහිටවූ වැව තිබූ ස්ථානය අද වැවගෙදර ලෙස හඳුන්වන බවයි කියන්නේ.
කෝට්ටේ රාජධානි සමය වන විට (15 වැනි සියවස) එදිරිමාන්න සූර්ය නම් ප්‍රදේශාධිපතියෙක් මෙහි බලය පිහිටවා ගෙන සිටියා. ඒ කාලයේ කෝට්ටෙට පෘතුගීසි තර්ජන දැඩිව දැනුණු වකවානුවක්. එදිරිමාන්න සූර්ය සීතාවක මායාදුන්නේ රජුට විරුද්ධව සිටි අයෙක්. මේ කාලයේ වීදියේ බණ්ඩාර පෑලෑඳ නුවරින් පලා ගොස් උඩරටට ගිහින් කරල්ලියැද්දේ රජුගේ උපකාර ලබමින් සිටියා. මායාදුන්නේ රජුගේ නියමය පරිදි වීදීය බණ්ඩාරට උඩරටින් පිටමං කිරීමට කරල්ලියැද්දේ කටයුතු කළා. එවිට ඔහු ගියේ වයඹ පළාතේ සිටි තමාට හිතවත් එදිරිමාන්න සූර්යගේ මුන්ඩකොන්ඩපොළ නුවරට යි. තමා මෙන්ම වීදියේ බණ්ඩාර ද සීතාවක මායාදුන්නේ රජුට විරුද්ධ නිසා එදිරිමාන්න සූරිය රජුගේ අවසරය පරිදි එහි නතරවීමට ඔහුට අවසර ලැබුණා.
වීදිය බණ්ඩාර සාදරයෙන් පිළිගත් එදිරිමාන සූර්ය, ඔහුට නාථගනේට නුදුරු බෝගොඩ ගම පවරා දුන්නා. නමුත් බල තණ්හාවෙන් සිටි වීදිය බණ්ඩාර තමන්ට උපකාර කළ එදිරිමාන්නව වේලායුධ ආරච්චි ලවා ඝාතනය කරවා තිබෙනවා. ඊට පසු ඔහු හත්කෝරළයේ බලය අල්ලා ගන්නවා. මුන්ඩකොන්ඩපොළ නුවර සිට සත්කෝරලයේ කැරළි ඇති කිරීම නිසා සීතාවක සිට පැමිණි රාජසිංහ කුමරු වීදියේ බණ්ඩාර පලවා හැර බලය තහවුරු කළ බව “කුරුණෑගල විස්තරය” නම් ඓතිහාසික කෘතියේ සඳහන් වෙනවා. ඉන්පසු වීදියේ බණ්ඩාර පුත්තලමටත්, එතැනින් තම්මැන්නා අඩවියෙන් ඔබ්බටත් එලවා දැමූ රාජසිංහ, එදිරිමාන්නා සූරිය මැරූ වේලායුධ ආරච්චියා උල හිඳුවා සත්කෝරලය සන්සුන් කළ බව සඳහන් වෙනවා. ඊට පසු මේ රාජධානය වල්වැදී ගියත් උඩරට රාජධානි යුගයේ දී නැවත පූජනීය ස්ථානයක් බවට පත්ව තිබෙනවා.
වීදිය බණ්ඩාරගේ සෙල්ලිපිය
වීදියේ බණ්ඩාර මෙහි පාලනය කළ බවට බවට පිළිගත හැකි ලිපියක් නාථගනේ කඳු බෑවුමක විහාරයට ගොඩවන පඩිපෙළක කොටා තිබෙනවා. ස්වභාවික හේතූන් නිසා මැකී ගොස් ඇති මෙහි පේළි සමහරක් තවමත් කියවිය හැකිය.
“……….ශ්‍රී බුවනෙකභාහු වීදීයේ අදහසට, ධර්මපාල අදහසට කඳුරුගොඩ ආරච්චියාට දේවමැදි කෝරළයේ වඳුරන් රිළවුන් නොමරත්වා” යයි එහි දැක්වෙනවා. එය අභයදාන සෙල්ලිපියක්. වීදියේ බණ්ඩාර නාමය මෙහි මුලින්ම කොටා තිබෙනවා.
ආශ්‍රිත මූලාශ්‍රයයන්:
පෘතුගීසින් සහ ලංකාව -පෝල් ඊ. පීරිස් පරි. අභය හේවාවසම්
ගිය ගමං- කුසුම්සිරි විජයවර්ධන
කුරුණෑගල විස්තරය- සංස්. රංගන කුරුවිට
වයඹ ලංකා රාජධානි. ඇන්. ටී. කරුණාතිලක
කැප්ෂන්
කවරය-
පර්වතය මත ලෙන් – කුසුම්සිරි විජයවර්ධන