![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-132-e1504086901176.jpg?w=1200)
ලෝක පුදුමයක් කියූ සැනින් ම එකවර ම කාගේත් මතකයට නැගෙන්නේ චීන මහා ප්‍රාකාරය යි. එහෙම නැත්තම් ටජ් මහල් මන්දිරය යි. අදින් වසර සිය දහස් ගණනකට පෙර ගොඩ නංවන්නට යෙදුණු අපූර්ව ඉදි කිරීම් සාමාන්‍ය ව්‍යවහාරයේ දී ලෝක පුදුම ලෙස හඳුන්වනවා.
නමුත් කොතරම් විශිෂ්ට සහ අලංකාර නිර්මාණ වුවත් ලෝක පුදුම ලැයිස්තුවට ඇතුළත් නොවී ඉදි කිරීම් ද ලෝකයේ පවතිනවා. බොහෝ දෙනෙක් අසා නොමැති එවැනි අරුම පුදුම තැන් කිහිපයක් ගැන තොරතුරු යි මේ.
ජෙනේ හි මහා පල්ලිය (මාලි)
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-116-701x466.jpg)
en.wikipedia.org
ලෝකයේ දැනට පවතින මැටි ගඩොලින් ඉදි කරන ලද විශාලත ම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ජෙනේ හි මහා පල්ලිය පිහිටා ඇත්තේ මාලි රාජ්‍යයේ බානි ගං ඉවුරේ යි. මුල් ම වරට 13 වැනි සියවසේ දී ගොඩ නංවන්නට ඇතැයි සැලකෙන එය 17 වැනි සියවසේ දී පමණ නටබුන් ව ගොස් ඇති අතර 1907 දී එය යළිත් වරක් සූඩානෝ-සහේලියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සම්පූර්ණයෙන් ම ගොඩ නංවා තිබෙනවා.
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-213-701x461.jpg)
studyblue.com
අදටත් ඉස්ලාම් බැතිමතුන් වන්දනාමාන කටයුතු සඳහා යොදා ගන්නා ජෙනේ හි මහා පල්ලිය, අප්‍රිකානු මහද්වීපයේ ඇති ජනප්‍රිය ම මංසලකුණක්. මීටර් තුනක් පමණ උස සමචතුරස්‍රාකාර පාදමක් මත ඉදි කර ඇති මෙය මීටර් 16 ක පමණ උසකින් යුතු යි. 1988 දී යුනෙස්කෝ සංවිධානය විසින් ජෙනේ හි මහා පල්ලිය සහ පැරණි නගරය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.
චන්ද් බඕරි (ඉන්දියාව)
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-313-701x466.jpg)
imgur.com
චන්ද් බඕරි නමින් හඳුන්වන පියගැට සහිත ළිඳ පිහිටා ඇත්තේ රාජස්ථාන් ප්‍රාන්තයේ අභානේරී නම් පැරණි ගම්මානයේ යි. අතීතයේ දී ‘අභා නාග්‍රී’ හෙවත් ප්‍රභාවේ නගරය යනුවෙන් නම් කරන ලද මෙය අද වන විට නටඹුන් ව ගොස් තිබුණ ද ක්‍රිස්තු වර්ෂ 800 දී පමණ ඉතාමත් සශ්‍රීක ව පැවතුණු බව යි ඓතිහාසික මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ.
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-413-701x455.jpg)
en.wikipedia.org
නගරය ගොඩ නැගූ කාලයේ ම චන්ද්‍ර නම් රජුගේ රාජ්‍ය සමයේ දී ඉදි කරන ලද චන්ද් බඕරි ළිඳ මහල් 13 ක් පුරා පැතිරුණු පියගැට 3,500 කින් යුක්ත වන අතර දළ වශයෙන් අඩි 100 ක් පමණ ගැඹුරු යි. ඒ නිසා ම මෙය දැනට ඉන්දියාවේ ඇති ගැඹුරු ම සහ විශාල ම පියගැට සහිත ළිඳක් ලෙස සලකන අතර ම රාජස්ථාන් හි ඇති පැරණිත ම සහ වඩාත් සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ස්ථානය ලෙස සැලකෙනවා. චන්ද් බඕරි ළිඳ ගොඩ නැංවීමෙන් පසු ව එය සන්තුෂ්ටියට අධිපති, හර්සිද්ධි දෙවඟන වෙනුවෙන් කැප කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්දිරය (රොමානියාව)
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-514-701x394.jpg)
jetradar.it
ලෝකයේ බරින් වැඩි ම ගොඩනැගිල්ල ලෙස සැලකෙන රොමානියාවේ පාර්ලිමේන්තු මන්දිය පිහිටා ඇත්තේ බ්ලූක්‍රෙස්ට් අගනුවර යි. එහි බර දළ වශයෙන් කිලෝග්‍රෑම් 4,098,500,000 (ටොන් 4,098,500) ක් පමණ වෙනවා. ලෝකයේ දෙවැනි විශාලත ම පරිපාලන ගොඩනැගිල්ල වන මෙය වැඩි ම වටිනාකමකින් යුක්ත පරිපාලන ගොඩනැගිල්ල ලෙස ද සැලකෙනවා. 1997 වසරේ දී ඉදි කිරීම් කටයුතු නිම කරන ලද පාර්ලිමේන්තු මන්දිරය සඳහා ගිය මුළු වියදම යූරෝ බිලියන තුනක්.
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-6-701x468.jpeg)
wittyfeed.com
ගෘහ නිර්මාණ ශිල්පීන් 700 කගේ දායකත්වය යුතු මෙය සම්පූර්ණයෙන් ම ඉදි කර ඇත්තේ රොමානියාවේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය යොදාගෙන යි. මහල් දුසිමකින් සමන්විත පාර්ලිමේන්තු මන්දියේ ඇති මුළු කාමර ගණන 1,100 ක්. මැදුරේ ඇතුළත දක්නට ලැබෙන අලංකාර පොකුරු පහන් හේතුවෙන් නරඹන්නන් අතර ප්‍රකට මෙහි වාර්ෂික නඩත්තු වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ඉක්මවා යන බව යි වාර්තා පෙන්වා දෙන්නේ.
ස්ටාරී මෝස්ට් හෙවත් පැරණි පාලම (බොස්නියා සහ හර්සගොවීනා)
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-75-8-701x466.jpg)
idereiser.wordpress.com
16 වැනි සියවසේ දී ඔටෝමන් අධිරාජ්‍යය පැවති සමයේ ගොඩ නංවන ස්ටාරී මෝස්ට් හෙවත් පැරණි පාලම පිහිටා ඇත්තේ බොස්නියා සහ හර්සගොවීනා හි මෝස්ටා නුවර යි. එය නෙරෙට්වා ගංගාවෙන් වෙන් වන නගරයේ කොටස් දෙකක් එක් කරනවා. වසර 427 ක් පුරාවට පැවති නොසැලී පැවති පැරණි පාලම, 1993 ක්‍රොඇට්-බොස්නියැක් යුද්ධ සමයේ දී විනාශ වූ අතර 2004 වසරේ දී නැවත ගොඩනැංවීමෙන් අනතුරු ව මහජනතාව සඳහා විවෘත කෙරුණා.
බොස්නියා සහ හර්සගොවීනා රාජ්‍යයේ ඇති ප්‍රකට ම මංසලකුණක් ලෙස සැලකෙන මෙය බෝල්කන් ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයට අයත් අති විශිෂ්ට නිර්මාණයක්. එය සැලසුම් කර ඇත්තේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළ මීමාර් සිනාන් විසින්.
කුම්භල්ගාර් බලකොටුව (ඉන්දියාව)
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-810-701x395.jpg)
en.wikipedia.org
‘රජුන්ගේ දේශය’ යන අරුතින් නම් ලබා ඇති ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය ඉපැරණි බලකොටු සඳහා ප්‍රසිද්ධ යි. 15 වැනි සියවසේ දී මෙය ගොඩ නංවා ඇත්තේ රාණා කුම්භ හෙවත් කුම්භකර්ණ රජු විසින්. 19 වැනි සියවස දක්වා ම යුද්ධ කටයුතු සඳහා යොදා ගත් මෙය වර්තමානයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ව පවතින අතර 2013 වසරේ දී රාජස්ථාන් හි අනෙකුත් බලකොටු සමග යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-9-701x394.jpeg)
tumsenahopayga.com
බලකොටුවේ ආරක්ෂාව පිණිස ඉදි කර ඇති ප්‍රාකාරය කිලෝමීටර් 38 ක් තරම් වූ දුරකට විහිදෙනවා. එය චීන මහා ප්‍රාකාරයට පසුව ලෝකයේ ඇති විශාලත ම ප්‍රාකාරය ලෙස යි සැලකෙන්නේ. එසේ ම චිත්තෝගර් බලකොටුවෙන් පසුව රජස්ථාන් හි ඇති විශාලත ම බලකොටුව වන්නේ ද කුම්භල්ගාර් බලකොටුව යි.
ෂෙයික් ලොට්ෆොලා පල්ලිය (ඉරානය)
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-101-6-701x526.jpg)
en.wikipedia.org
පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගණ්‍ය ම නිර්මාණයක් ලෙස සැලකෙන ෂෙයික් ලොට්ෆොලා පල්ලිය ගොඩ නංවා ඇත්තේ 17 වැනි සියවසේ සෆාවිද් රජ සමයේ යි. ඉරානයේ ඉස්ෆහාන් නුවර පිහිටා ඇති එය සැලසුම් කර ඇත්තේ නම් ෂයික් බහායි නම් ගෘහ නිර්මාණ ශිල්පියා විසින්. ප්‍රමාණයෙන් කුඩා ෂෙයික් ලොට්ෆොලා පල්ලිය යොදාගෙන ඇත්තේ රාජකීයයන්ගේ පෞද්ගලික පල්ලියක් ලෙස යි.
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-117-701x436.jpg)
en.wikipedia.org
ඉතාමත් අලංකාර උළු, ඉස්ලාමීය විචිත්‍ර අක්ෂර සහ සියුම් ලියවැල් මෝස්තරයන්ගෙන් සමන්විත මෙහි බිම ආවරණය කිරීම සඳහා අතීතයේ දී ඉස්තරම් ම පර්සියානු බුමුතුරුණු යොදාගෙන තිබෙනවා.
දයිරාවර් බලකොටුව (පකිස්ථානය)
සමචතුරස්‍රයක හැඩයට පිහිටන සේ පකිස්ථානයේ දයිරාවර් බලකොටුව නිර්මාණය කර ඇත්තේ 9 වැනි සියවසේ දී යි. ඒ රාවල් දේවරාජ් බට්ටි නම් රජුගේ අනුදැනුම මත යි. චෝලිස්ථාන් කාන්තාරය මධ්‍යයේ පිහිටා ඇති දයිරාවර් බලකොටුව ඉතිහාසය පුරාවට ම නොයෙකුත් ආක්‍රමණික කණ්ඩායම් යටතට පත් වූ අතර 1733 දී බහවල්පූර් හි නවාබ් වූ පළමු වැනි සදීක් මොහොමඩ් ඛාන් විසින් එය වර්තමානයේ පවතින ආකාරයට යළි ගොඩ නගා තිබෙනවා.
![](https://assets.roar.media/Sinhala/2017/08/Picture-121-2-701x411.jpg)
en.wikipedia.org
එහි ඇති සංස්කෘතික වටිනාකම හේතුවෙන් පකිස්ථාන් රජය 2016 දී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන මෙන් ඉල්ලා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර යුනෙස්කෝ සංවිධානය එය සලකා බලා එය තාවකාලික ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
කවරයේ පින්තූරය : (en.wikipedia.org)
මූලාශ්‍ර :
- brightside.me
- en.wikipedia.org