ඇසූ පමණින් කුතුහලයක් ඇතිවන යක්කුරේ පිහිටා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොණක. විශාල කෙත් යායක් හා වනාන්තර පසුබිම් කරගත් තැනිතලාවක පිහිටි සුන්දර ගම්මානයක් වන යක්කුරේට දිඹුලාගල කන්ද රමණීය ලෙස පේනවා. මහවැලි ගඟ ගලාබසින්නේ ගමට නුදුරින්. හඳපාන් විල්ලුව නම් නිතර අලි ඇතුන් ගැවසෙන විශාල තෙත්බිම ගම ඉහත්තාවෙන් පැතිරී යන්නේ සොබා සුන්දරත්වය ඉහළ නංවමින්. ඉහළ යක්කුරේ හා පහළ යක්කුරේ නමින් ගම්මාන දෙකක් අද දක්නට පුළුවන්. නවීන නිවෙස් මෙන්ම වරිච්චි බිත්ති ගසා සැකසූ සාම්ප්‍රදායික වූ ද, ඉතා සරල වූ ද ගැමි ගෙවල් මෙහි පිහිටා තිබෙනවා. යක්කුරේට ළඟම ටවුම නුවරගල යි.
අද යක්කුරේ මහවැලි ගොවි ජනපදයක්. එය එක් පැත්තකින් වස්ගමුව ජාතික උද්‍යානයටත් අනෙක් පසින් ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයටත් මායිම් වෙලා තිබෙන්නේ. ගැමි ජන ජීවිතය දැකබලාගෙන විඳ ගැනීමටත්, පුරාණ නටබුන් නිරීක්ෂණයටත් කදිම ප්‍රදේශයක් විදිහට යක්කුරේ හැඳින්වීමට පුළුවන්.
යන්නේ මෙහෙමයි
කොළඹ ඉඳන් පොළොන්නරුවට ගොස් (දුර කි. මී. 230) එහි සිට මනම්පිටිය දිඹුලාගල පසුකරමින් නුවරගලට පැමිණිය යුතු යි. නුවරගලින් හැරී අතුරු මාර්ගයක යාමෙන් යක්කුරේට ළඟාවීමට පුළුවන්. පොළොන්නරුවේ සිට යක්කුරේට දුර කි. මී. 50ක්.
පැරණි යක්කුරේ
අද පුරාණ යක්කුරේ ගම්මානය අපට දැකගැනීමට ලැබෙන්නේ නැහැ. එදා ගමේ ජනාවාස තිබූ විශාල ප්‍රදේශයක් කෙත් යායක් බවට පත් වී තිබෙනවා. එහි තැනින් තැන ගමේ තිබූ විශාල ගස්, ගොඩනැඟිලි කොටස් දැකගත හැකියි. පැරණි ගම මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉවත් කෙරුණා. ගමේ කොටසක් ද ඇතුළත් වන පරිදි ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශ කළා. පාරම්පරික ගමේ ජනතාව නිජබිම්වලින් ඉවත්කර පහළ යක්කුරේ ගමේ පදිංචි කළා. ආරම්භයේ දී පවුල් 102ක් පදිංචි කර තිබෙනවා. ඊට අමතරම පඬුවස්නුවර, බදුල්ල ආදී ප්‍රදේශවල ජනතාවත් මෙහි පදිංචි කළ නිසා පාරම්පරික ගමක ස්වභාවය වෙනස්ව තිබෙනවා. අද ගමේ දකින්න ලැබෙන්නේ මිශ්‍ර ජනතාවක්.
පැරණි ගම බැලීමට නම් ගමට ආසන්න කුඹුරු යාය හරහා ගොස් අලි විදුලි වැට පැන ගමන් කළ යුතු යි. එවිට අද වනගතව පවතින පාසල් ගොඩනැගිලි, නිවෙස් ආදිය දැකගත හැකියි. පාසල ළඟින් පුරාණ යක්කුරේ වැවත් පිහිටා තිබෙනවා. අද එයත් වනසතුන්ට වෙන්වූ ජල තලයක්. ගැමියන් ඉඳහිට එහි මාළු අල්ලන්නටත් යනවා.
ඉතිහාසය
කුවේණියගේ දරු දෙදෙනා වන ජීවහත්ත හා දිසාලාගෙන් පැවැත එන යක්ෂ ගෝත්‍රයට අයත් පරපුරක් මේ ගම්මානයේ ජීවත් වූ බැවින් “යක්කුරය” ලෙසින් නම් වූ බව එක් ජනප්‍රවාදයක පැවසෙනවා. කඳු ශිඛර ආශි‍්‍රතව (යක්+ගිර+පුර) යකුන් සිටින බැවින් යක්ගිරිපුර පසුව යක්කුරේ වූ බවට ද විශ්වාසයක් පවතිනවා.
මහාවංශයේ යක්කුරේ හඳුන්වන්නේ යක්ඛසූකර නමින්. යකෙක් වගේ සිටි ශක්තිමත් ඌරෙක් දඩයම් කිරීමට යාමේදී ඌ මහවැලි ගඟට වැටුණු බවත්, යක් ඌරා තොට යක්කුරේ වූ බවත් තවත් ජනකතාවක සඳහන් වෙනවා. මහවැලිය හා මාදුරුඔය අතර ප්‍රදේශය අපේ ඉතිහාස පොත්වල සඳහන් වන්නේ අන්තර් ගංගා නමින්. යක්කුරේ ද ඒ කලාපයට අයත්. මහියංගනයේ සිට පොළොන්නරුව රාජධානියට වැටී තිබුණු පුරාණ පාර ගමන් කළේ යක්කුරේ හරහා යි.
යක්කුරේ ගම වටා තැනිතලාව බිඳගෙන ඉහළ නගින කුඩා කඳුගැට කිහිපයක් තිබෙනවා. නුවරගල, කොටවහෙරගල, මුවන්ගහනගල, දමුනානේ කන්ද, බොරළු කන්ද ඒවා යි.
අද යක්කුරේ
අද යක්කුරේ ගමේ පාසල පිහිටා තිබෙන්නේ ඉහළ යක්කුරේ. එය කනිෂ්ඨ විදුහලක්. මෙහි දරුවන් බොහෝ දුෂ්කරතා මැද ඉගෙන ගන්නා බවයි අපට පෙනුණේ. ඒ අසලම පන්සල තිබෙනවා. මෑතක දී ඉදිකළ පන්සලට අවට තිබූ පැරණි විහාරවල නටබුන් ගල්කණු, කොරවක්ගල්, සිරිපතුල් ආදියත් රැගෙනවිත් තිබෙනවා. මේවා අනුරාධපුර යුගයට අයත් නෂ්ටාවශේෂ. නමුත් ඒවා පිහිටි ස්ථානයෙන් ගලවාගෙන පැමිණීම නම් අපට අනුමත කිරීමට අපහසු යි.
යක්කුරේ ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන යි. එදා කළ හේන් වගාව ස්ථිර බෝග වගාවක් බවට හැරිලා. එළවළු වගාව හා වී ගොවිතැන ඒ අතර වෙනවා. ඉරිඟු, කුරහන්, මෑ, තල, මිරිස් යනාදී ධාන්‍යයන් හා එළවළු ඇතුළු භවබෝග ඔවුන් වගා කරනවා. යක්කුරේ සියලු පවුල් සංඛ්‍යාව 400ක් පමණ වෙනවා. මෙහි ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වුව ද රජයේ රැකියාවල නිරතවන අතළොස්සක් ද සිටිනවා.
ගව සම්පත ගැමියන්ට ප්‍රධාන ආර්ථික මාර්ගයක්. එහෙත්, ප්‍රධානතම ගැටළුව වන්නේ ගවයන්ට තණ කැවීමට භූමියක් නැතිවීම යි.
එළවළු වගාවටත්, වී වගාවටත් ඉඩ කඩ වෙන්වූ විට සතුන් සඳහා ඉඩක් ගමේ නැහැ. ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය ගම්මානය අද්දරින් පිහිටා තිබුණත් ඒ රක්ෂිතයට ඇතුළු වීම ද තහනම්.
යක්කුරේ වැද්දෝ
වර්ෂ 1900 වනවිටත් යක්කුරේ වැදි ගම්මානයක්. සෙලිග්මාන් යුවලගේ වැද්දෝ පොතේ සඳහන් අයුරින් එසමයේ දිඹුලාගල සිටම වැදි ගම්මාන තිබුණා. මේ සෙලිග්මාන් යුවල යක්කුරේ ගැන සඳහන් කරන අන්දම යි.
“යක්කුරේ වැදි ගම්මානය කළුකැලෑඑබ සිට සැතපුම් හයක් දුරින් පිහිටා තිබේ. එහි ජීවත්වන්නන් තමන් හඳුන්වා ගන්නේ වැද්දන් යනුවෙනි. ඔවුන් සිංහල දෙමළ මිශ්‍ර ජන කොටසකි. කළුකැලෑඑබ වැදිගම හා සසඳන විට යක්කුරේ මිනිසුන් තුළ වැදි ලේ විතරක් ඇතැයි අපට නොපෙනේ. එගම මැටියෙන් තැනූ නිවාස 40කින් යුක්තය. ගම පුරාම හරක් රංචු වශයෙන් සැරිසරති. ඔවුන් වැද්දන් යයි කියාගත්තත් වන්දනා කරන්නේ සිංහල දෙවියන්ටය”.
එකල යක්කුරේ ජීවත්වී ඇත්තේ නාමඩව, ඇඹලා, බැන්දිය යන වැදි වරිග බව සෙලිග්මාන් යුවල සඳහන් කරනවා.
කාලිංග නුවර
මහවැලි නදිය ගල්පර සහිත මාර්ගය නිමා කරමින් තැනිතලාවකට පැමිණ පළලින් වැඩි වී ගැලීම අරඹන්නේ කාලිංග නුවර නම් දූපත අසලින්. මහවැලි ගඟේ පිහිටා ඇති කාලිංග දූපතට ගමේ සිට කි. මී. 8ක් පමණ දුර යි. වනාන්තර ආශ්‍රිතව ගලායන ගඟ දිගේ ගමන් කර දූපතට ළඟාවිය යුතු යි. කිලෝමීටර එකහමාරක් පමණ දිගින් යුක්ත දූපත පළලින් අඩු යි. එය පළලින් වැඩිම තැන කි. මී. බාගයක් පමණ වෙනවා. දූපත වර්ග කි. මී. 3.8ක් විශාල යි. මෙහි නෂ්ටාවශේෂ අතර ගල්කුලුනු, ගඩොල්, ගොඩනැගිලි පාදම්, පෙත්මං ආදියත් දැකගත හැකියි. එය පොළොන්නරු යුගයේ භික්ෂු උපසම්පදාව කළ ස්ථානයක් විය හැකි බවට අනුමාන කරනවා.
මේ දූපත ආශ්‍රිතව හා මාලගමුව වැව ආශ්‍රිත ප්‍රදේශවල 2009 දී සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණවල දී මෙතෙක් අනාවරණය වී නොමැති ඉපැරැණි බුදුපිළිම දෙකක් සහ බිසෝකොටු දෙකක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම බුදු පිළිම දෙක පොළොන්නරුව ගල්විහාරයේ පිළිමවලට සමාන කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කර ඇති අතර ගල් තලාවක නෙළා තිබෙනවා.
ගෝමතී ඇළ
මහවැලි ගඟේ දකුණු ඉවුරෙන් නැගෙනහිර දෙසට යොමු වන මෙම ඇල දිඹුලාගල පර්වතය දක්වා සැතපුම් 21 දුරට හඳුනාගෙන තිබෙනවා. දිඹුලාගල සහ කාලිංග දූපත අතර කෙලින් දුර සැතපුම් 11 පමණ වෙනවා. එම දුර මෙන් දෙගුණයක පමණ දුරක් ඇළ ගමන් කරන්නේ එය සමෝච්ච රේඛාවක් දිගේ වංගු ගසමින් ගමන් කරන නිසයි. ගෝමතී ඇලේ ඇළ කණ්ඩිය එතරම් උස නැහැ. එය බොහෝවිට අඩි 8ට වඩා අඩු බව බ්‍රොහියර් සඳහන් කරනවා. ඇලේ පළල ඇතැම් ස්ථානවලදි අඩි 70 පමණ වෙනවා. අමුණේ සිට සැතපුම් 4.5ක් පමණ දුර ගිය පසු ඇළ යක්කුරේ වැව අසලින් ගමන් කරනවා. අද දක්නට ලැබෙන්නේ ජලයෙන් තොර නටබුන් ඇළ මාර්ගයක්. වර්තමානය වන විට අතහැර දැමූ වැවක් වන යක්කුරේ වැව පෙරකල ගෝමති ඇළේ ජලයෙන් පෝෂණය වන්නට ඇති.
පුරාණ කාලිංග ඇළ
කාලිංග දූපතට නුදුරින් අමුණේ වම් ඉවුරින් පටන් ගන්නා ඇළ මාර්ගයට කාලිංග ඇළ යයි ව්‍යවහාර වනමුත් එය පැරණි අචිරවතී ඇළ විය හැකි බව සමහරු පවසනවා. මෙම ඇළ කාලිංග අමුණේ සිට පිටකින්ද ඇළ හරහා යන තෙක් සැතපුම් ¾ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඉන්පසු මද දුරක් යනතෙක් එහි සලකුණු වර්තමානයේ හඳුනාගත නොහැකියි. නැවතත් එය හමුවන්නේ අමුණේ සිට සැතපුම් 2.5 පමණ ගිය පසුවයි. එතැන් සිට සැතපුම් 7.5 පමණ දුරට එහි නටබුන් හමුවෙනවා.
මෙය ගැන කදිම විස්තරයක් ආර්. එල්. බ්‍රෝහියර් ලක්දිව පුරාතන වාරිමාර්ග පොතේ සඳහන් කරනවා.
එක් මතයක් වන්නේ කාලිංග අමුණෙන් හරවන මහවැලි ගඟේ ජලය සහ ඇතැම් විට අඹන් ගඟේ ජලය ද ජල හිඟ ප්‍රදේශයක් වන කවුඩුල්ල දෙසට ගෙන ගිය බව ය.
ආශ්‍රිත මූලාශ්‍රයයන්:
ගිය ගමං- කුසුම්සිරි විජයවර්ධන
The Veddhas, Seligman GC, Seligman BZ
අන්තර ගංගා – සෝමපාල ජයවර්ධන
Trisinhala.blogspot.com
Cover- යක්කුරේ කෙත් වන අලින්ගෙන් රැකගැනීමට පැලක් තනමින්- කුසුම්සිරි විජයවර්ධන