බදුල්ල කොළඹ බස් මාර්ගයේ පිහිටි බෙලිහුල්ඔය යටත් විජිත සමයේ පටන් සංචාරකයින් අතර ප්‍රකටව පවතින සුන්දර පලාතකි. කඳුකරයේ සබරගමු පළාතේ බෑවුම් කොටස බෙලිහුල්ඔය සිමාවේ පිහිටා තිබේ. බදුල්ල කොළඹ බස් රිය මගේ පිහිටා ඇති හෙයින් බෙලිහුල් ඔය වෙත කොළඹ සිට ළඟාවීමට පැය 4-5ක කාලය ප්‍රමාණවත්ය. බෙලිහුල්ඔය බලංගොඩ සීමාව යනු ලෝකාන්තයේ බෑවුම් කොටස වේ. එම පළාතේ මීටර 1000කට වඩා උස කඳු කිහිපයක්ම පිහිටා තිබේ.
පඹහින්නේ සබරගමු විශ්ව විද්‍යාලය ඇරඹීමත් සමගම අවට ඇති කඳු මුදුන්වලට මිනිස් පහස ලැබීම වැඩිවන්නට විය. සබරගමු විශ්ව විද්‍යාලය භූ විද්‍යා මැනුම් ආදී අංශවල විද්‍යාර්ථීන් බිහිකරන විදු පියසක් බැවින් එහි සිසුන්ට ඇතැම් විට සිය පර්යේෂණ සහ මිනුම් හුරුවීමේ කාර්ය සඳහාද කඳු නැගීමට සිදු වේ.
මෙම ලිපියෙන් අපි බෙලිහුල් ඔය සීමාවේ කඳු නැගිය හැකි කඳු කිහිපයක් ගැන සලකා බලමු.
ආදර කන්ද
පේරාදෙණිය සරසවියට හන්තාන නැගීම යම්සේද සබරේ සිසුන්ට ආදර කන්දද එසේම වේ. පරෙයියන්ගල / පරෙයිගල ලෙසින් ද හැඳින්වෙන ආදර කන්ද නැගීම කලකට පෙර සබරේ සෑම සිසු සිසුවියක්ම කළ යුතු කටයුත්තක් විය. මුදුන් කිහිපයක්ම තිබෙන ආදර කඳු තරණය සම්පූර්ණයෙන් දිනක් ගතවෙන කාර්යයකි. ආදර කන්දට පිවිසෙන මාර්ග කිහිපයක් ඇති අතර පඹහින්න මංසන්ධිය අසලින් සබරගමු විශ්ව විද්‍යාලයීය සිසුන් ආදර කඳු තරණය ආරම්භ කරති. මෑත කාලයේ සිදුවූ නාය යෑමක් නිසා මේ දිනවල ආදර කන්ද තරණය තරමක් අපහසු කාර්යයක් වුවත් ඇතැම් පිරිස් තවමත් අපහසුවෙන් හෝ ආදර කන්ද තරණය සිදුකරති. මේ ආදර කඳු තරණය සහ විරහ වේදනාව ඇතුලත් කරුණාරත්න දිවුල්ගනේ මහතා ගැයූ කදිම ගීයක්ද තිබේ.
සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා
බඹරකන්ද යකාගේ පඩිපෙළ
යකාගේ පඩිපෙළ ඕෆ් රෝඩ් වාහන සහ යතුරුපැදි ධාවකයින්ගේ කැමතිම ඉසව්වක් වේ. ගල් බොරළු ගහන කඳුකර මගක වංගු අතරින් ගමනේ නියම ආශ්වාදය මෙම යකාගේ පඩිපෙල ගමනේදී විදගන්නට ලැබේ. යකාගේ පඩිපෙළ තරණය කිරීමට සිදු වන්නේ බදුල්ල කොළඹ මාර්ගයේ කළුපහන සිට උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය දක්වා දිවෙන, කිලෝමීටර 20කට වඩා දුරක් සහිත කටුක මාර්ගයකිනි. ගමනේදි හමුවෙන වනවදුලු, තුරුලතා සහ තේවතු අතරින් වූ ගමන නිසාම පයින් කඳු බඩගාන අය අතරද යකාගේ පඩිපෙළ ජනප්‍රිය ය. බෙලිහුල් ඔය සිට පැය බාගයකට අඩු වේලාවක බස් රිය ගමනකින් කළුපහන වෙත ළඟාවීමට හැක.
යකාගේ පඩිපෙළ තරණය කරන අතරමගදී බඹරකන්ද දිය ඇල්ලේ පහසද නොඅඩුවම ලැබේ. මෑතකදී ගිය බීමත් පිරිස් විසින් ඉහළට ගොස් වීදුරු බෝතල් ඇල්ලෙන් පහළට දැමීම වැනි පහත් ක්‍රියා සිදු කිරීම හේතුවෙන් අද වනවිට බඹරකන්ද ඇල්ල මුදුනේ කෑම්ප් ගහන්නට අවසර නැත. එහෙත් ලංකා ඇල්ල, බඹරකන්ද සහ යකාගේ පඩිපෙළ දැකබලා ගෙන හෝටන් තැන්න හරහා එන ගමන නම් කකුල් දෙකට ටිකක් වේදනාවක් වුවද ඇසට නම් අලංකාර දසුන් රැසක් දැකගන්නට ලැබෙන මහගු අවස්ථාවකි.
නග්‍රාක් නන්පේරියල්
බෙලිහුල් ඔය තානායම අසලින් යන මාවතේ ඉදිරියට ගොස් පයින් යා හැකි මගක තිබෙන නන්පේරියල් ගමනද පයිනස් කැලයක් සහ තේ වතු මැදින් යන කදිම ගමනකි. යටත් විජිත සමයේ මෙම බෙලිහුල් ඔය සීමාවේ සිට නන්පේරියල් හරහා හෝටන් තැන්නට අශ්වයින් පිටේ ගමන් කළ හැකි මාර්ගයක් තිබී ඇත. අදද නන්පේරියල් වතුයායේ අවසාන බංගලාවේ සිට හෝටන් තැන්නට පිවිසීමේ මාර්ගයක් තිබේ. ඒ ඔස්සේ ගිය විට ලෝකාන්තයත් පුංචි ලෝකාන්තයත් අතර කොටසකට පිවිසීමට හැකිය. එහෙත් වනෝද්‍යානයක් වූ ලෝකාන්තය පිහිටි හෝටන් තැන්නට මෙම අනවසර පිවිසුම හරහා පිවිසීම දඩුවම් ලැබිය හැකි වරදකි.
හාවාගල / හා ගල
ආදර කන්ද හෙවත් පරෙයියන්ගල මෑතකදී නාය යෑමත් සමගම සබරේ සිසුන්ගේ අලුත්ම විනෝදාංශයක් වී ඇත්තේ හාවා ගල කන්ද තරණය කිරීමය. බලංගොඩ සිට බොගවන්තලාව හරහා හැටන් බස්රියේ ගොස්, මාරතැන්න පසුකර ගල්ගෑමඩ ට්‍රාන්ස්පෝමරය අසලින් පහළට ගමන් කිරීමෙන් ගමන ආරම්භ කිරීම හා ගල තරණයට ඇති පහසුම මගකි. එම මගේ ගමනේ බෑවුම අඩුය. වෙනත් මාර්ග කිහිපයක්ම තිබෙන අතර බෙලිහුල්ඔය පාන්තුඩ ඇල්ල අසලින් ගමන් ආරම්භ කිරීම වැඩි අවදානමක් සහිත ගමනකි. එහි මාර්ගය සොයාගන්නට ද තරමක් අපහසුය.
බොගවන්තලාව හැටන් බස්රියේ ගොස් මගින් බැස කන්ද නැගීම වඩාත් පහසු කාර්යයකි. බෙලිහුල්ඔය දෙසට බැසීම කළ හැකි මුත් එහිදී එම පළාත දන්නා අයකු සමග ගොස් බැසීම කරන්නේ නම් මනාය. ඈත තිබෙන කඳු වැටි, සමනල වැව, බදුලු පාර, සබරගමු විශ්ව විද්‍යාලය ගල මුදුනට පැහැදිලිව පෙනේ. මුදුනත පැතලි තලාවක් ලෙස පවතින හාගල මුදුනේ ජලය නම් සොයාගන්නට හිගපාඩුය.
දෙතනගල
දෙතනගල ලෙස හදුන්වන කඳු මුදුනට පිවිසීම, බලංගොඩ සිට බොගවන්තලාව හරහා හැටන් දෙසට යන බසයකකින් මාරතැන්නට ගොස් ආරම්භ කළ හැකිය. දෙතන ගල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුවතියකගේ පියයුරු දෙකක් මෙන් ඈතට දිස්වන කඳු වැටි දෙකකි. තේ වතු හරහා මෙන්ම තරමක් උසැති ගස් ඇති කෑලෑවක් තුළින් ගමන් කර ළඟා විය යුතු මෙම දෙතන ගලට පිවිසෙන්නේ කටුක මගක් ගෙවාලමිනි. මුදුනේ ගලට ගිය කල තද බෑවුමක් හමුවන අතර එහි සිට මනරම් භූමි දර්ශනයක්ද දැක බලාගත හැකිය. බලංගොඩ නගරයට මෙම කඳු යුග්මය දිස්වන අතර දෙතනගල එතරම්ම ජනප්‍රිය නොවූ කඳු නැග්මකි.
නවාතැන් ආහාර පාන සහ අභියෝග
බෙලිහුල් ඔය සීමාවේ අලුතින් කුඩා නවාතැන් පොළ කිහිපයක්ම බිහි වී තිබේ. ඒවායේ නවාතැන් ගත හැකි අතර බලංගොඩ සහ කලුපහන අතර සීමාවේද අලුතින් බිහි වූ හෝටල් සහ නවාතැන් රැසකි. මෙම සීමාවේ කඳුවල වැසි කාලයේ දී නම් ජලය හිටින දොළ පහරවල් බොහෝ වුවත් ජලය රැගෙන යෑම කළ යුතුම දෙයකි. වැසි සමයේදී නම් මේ සෑම කන්දක්ම පාහේ කූඩැල්ලන්ගේ රාජධානි බවට පත් වන අතර කූඩැල්ලන්ට සූදානම්ව යෑමද එම කාලයේදී ගමනේ යෙදෙන්නේ නම් අමතක නොකළ යුතුය. පළාත ගැන හා කඳු ගැන දැනුවත් කමක් නොමැති පිරිස හොඳින් අධ්‍යනය කොට පාර සොයාගෙන හෝ නැතිනම් ගයිඩ් මහතෙකුගේ සේවය ලබාගෙන යෑම වඩාත් සුදුසු වේ.
කොළඹ සිට සවසක පිටත් වී රැය බෙලිහුල්ඔය අසල නවාතැනක පහන් කළ හැකිය. ඉන් පසු පාන්දරම කෑම බීම රැගෙන පිටත් වීම වඩා සුදුසු වේ. එසේ පාන්දරම ගමන් ආරම්භ කළ හොත් සන්ධ්‍යාවේදී හෝ රාත්‍රියේ නැවත කොළඹ බලා පිටත්වීමටද හැකිය.
කඳු නැගීම ගතට මෙන්ම සිතටද හොඳ ව්‍යායාමයකි. පෑ කිහිපයකින් ළඟා වී තරණය කළ හැකි මාර්ග ඇති මෙම බෙලිහුල් ඔය සිමාවේ ඔබටත් සුන්දර අත්දැකීම් තිබිය හැකිය. අප සමග කමෙන්ටුවකින් ඒවා බෙදා හදා ගන්නත් හැකි නම් අගනේය.
කවරයේ රූපය : බෙලිහුල්ඔය සිට නන්පේරියල් පා ගමනේදී හමුවන ඉසව්වක්. (රචකයාගෙනි)