Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාමායනයේ ආදම්ගේ පාලම යට වැළලුණු අබිරහස

රාමාගේ වානර හමුදාව ඉදිකළ බව සමහරු පිළිගන්නා ආදම්ගේ පාලම අතීතයේ පටන්ම ගුප්ත කුතුහලයක් ජනිත කරන ප්‍රදේශයක්. ඉන්දියාවෙත් නිතර කතාබහට ලක්වන මේ පාලම ආක්ෂේ කුමාර් රඟපාන අලුත්ම චිත්‍රපටයටත් පදනම් වී තිබෙනවා. එය “රාම් සේතු” ලෙස නම්කර ඇති අතර අභිෂේක් ෂර්මා අධ්‍යක්ෂණය කරනවා. තවම මෙහි රූපගතකිරීම් නිමවී නැහැ. ආක්ෂේ කුමාර් පුරාවිද්‍යාඥයෙකු ලෙස චිත්‍රපටයේ පෙනී සිටින බව යි වාර්තා වන්නේ. ජනවාරියේ වාර්තා වුණේ ආදම්ගේ පාලම අවට  මුහුදේ පුරාවිද්‍යා පර්යේෂණ පැවැත්වීමට ඉන්දීය රජය අවසර ලබා දී ඇති බව යි.

ආදම්ගේ පාලම කුමක් ද?

වානර හමුදාව පාලම ඉදිකරමින්-  oneindia.com

ආදම්ගේ පාලම, ඉන්දියාවේ තමිල්නාඩුවේ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් පිහිටි පාම්බන් දූපතේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම දක්වා විහිදී තිබෙන, නොගැඹුරු වැලිපර දූපත් සහිත මුහුදු තීරයක්. එය හුණුගල් මිශ්‍රිත පාෂාණ දාමයකින් සැකසී තිබෙනවා. එහි දිග කි. මී. 48ක් පමණ. එය නිරිතදිගින් මන්නාරම් බොක්කෙන් සහ ඊසානදිගින් පෝක් සමුද්‍ර සන්ධියෙන් වෙන් වෙනවා. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අයත් සමුද්‍ර තීර මායිම ද මෙය මැදින් වැටී තිබෙනවා. 

ආදම්ගේ පාලම ප්‍රධාන වැලිපර දූපත් දහසයකින් සමන්විත වන අතර ශ්‍රී ලංකාවට ඉන් දූපත් අටක් අයිති යි. ඉතිරි දූපත් සංඛ්‍යාව ඉන්දියාව සතු වෙනවා.

ඉතිහාස කතා

රාම ඇතුළු පිරිස පාලම මතින් සීතා සොයා යමින් – soundsofindianmythology.wordpress.com

වාල්මිකී ලියූ රාමායන වීර කාව්‍යයට අනුව, රාමට ලංකාපුරයට යාමට ඔහුගේ වානර හමුදාව තමයි ආදම්ගේ පාලම තනා තිබෙන්නේ. වසර ගණනාවක් තිස්සේ මෙම දූපත් පෙළ පාලමක් ද නැද්ද යන්න ගැන නිශ්චිත අදහසක් පැවතුණේ නැහැ.

මහ සයුරේ ඝෝෂාව

ඔවුන්ගේ නොනැමෙන මහ හඬින්

යටපත් කරමින්

නාල විසින් නිමැවූ පාලම උඩින්

යුහුසුලුව ආහ ඔවුහු ලක් තෙරට

ආදී වශයෙන් රාමායනයේ පාලම ඉදිකිරීම ගැන සඳහන් වෙනවා.

නල නමැති වානර අධිපතියකුගේ අධීක්ෂණය යටතේ වානර හමුදාව විසින් දින පහක කාලයක් තුළ පාලම තනා නිම කළ බව රාමායනයේ සඳහන්. ගස්, ගල්, සහ පර්වත මුහුදේ යෙදීමෙන් ඔවුන් එය ඉදිකර තිබෙනවා.  මේ පාලම පිළිබඳ පුරාවෘත්තය අවුරුදු දහසකට පෙර පටන් පැවති බව අරාබි දේශ ගවේශක අල්බෙරුනිගේ සටහන්වලින් පේනවා. කෙසේ වුවත් මෙහි එක පෙළට පිහිටි වැලිපර දූපත් ස්වභාවික ඒවා මිස මිනිස් අතකින් තැනූ ඒවා නොවන බව බහුතරයක් විද්වතුන් පිළිගත් මතයක්.

ආදම්ගේ පාලම ඇත්තමට පාලමක් ද?

පාලමේ පිහිටීම- Wikipedia.org

අද්භූත විශ්වාසයන්ට හේතුවූ ආදම්ගේ පාලමේ ගැටලුව විසඳීමට විවිධ පර්යේෂණ කෙරී තිබෙනවා. නමුත් ඒ ගැන නිශ්චිත අදහසක් පැවතුණේ නැහැ. පසුගිය දා චන්ද්‍රිකා ඡායාරූප මඟින් ගන්නා ලද ඡායාරූප පෙළකින් පසුව පර්යේෂණයක නිරත වූ ඇමරිකානු භූ විද්‍යාඥයින් පිරිසක්, මෙම පාලම ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක් ය යන නිගමනයට එළඹ තිබෙනවා. 2017 දී ඇමෙරිකාවේ ‘සයන්ස් චැනල්’ නාලිකාවේ ‘වට් ඔන් අර්ත්’ නමැති විශේෂ වැඩසටහනක් ඒ පිළිබඳව ප්‍රචාර වීමත් සමග ඉන්දියාව නැවත ඇවිස්සී ගියා.   

ලෑන්ඩ්සැට් චන්ද්‍රිකා ඡායාරූපයක පාලමේ වැලිපරවල පිහිටීම දැක්වෙන ආකාරය- Wikipedia.org

වර්ෂ 2006 සහ 2018 දී අමෙරිකානු චන්ද්‍රිකා වන ලෑන්ඩ්සැට් 5 සහ 8 යන චන්ද්‍රිකාවලින් ගත් ඡායාරූප විශ්ලේෂණයෙන් මෙම මතයට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදේ නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් එම ඡායාරූපවලින් ඉතා පැහැදිලිව දැකගත හැකියි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැතපුම් 30ක්‌ දිගින් පිහිටි වැලිතලාවේ විශාල ගල් දැමීමට ක්‍රියාකර ඇති බව සනාථ වන බව ද එම ගල් වසර 7000ක්‌ පැරණි බව ද එම විද්‍යාඥයන් පිරිස පවසනවා.

චන්ද්‍රිකා ඡායාරූප- Wikipedia.org

සමුද්‍ර විද්‍යාඥයන් මෙය වැලිපරයක් ලෙස හැඳින්වුවත් එය සාමාන්‍ය වැලිපරයක් නොවන බව ඔවුන්ගේ මතය යි. වැලිපරය මත වෙනත් ප‍්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදිකර ඇතැ යි යන්න ඔවුන්ගේ මතය වී තිබෙනවා. නමුත් මෙවැනි විශාල පර්වත වර්ෂ දහස්ගණනකට පෙර එම ස්ථානයට රැගෙන ආවේ කෙසේ ද යන්න  විද්‍යාඥයන්ට පවා ගැටලුවක්.

පාලමේ ගල්පර ව්‍යුහය පවතින ආකාරය ගැන උපකල්පනයක්- youtube.com

ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණි කාලයකට අයත්. පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාලනිර්ණවල දී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණ වී තිබෙනවා. වැලිපරය පසුකාලයේ ස්වාභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයි ද, පාලම වෙනත් ප‍්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බව ද ඔවුන්ගේ මතය යි.  

ඇත්ත නැත්ත සොයා ඉන්දියානු පර්යේෂණ

ඉන්දියාව සහ ලංකාව යාවී ඇති ආකාරය චන්ද්‍රිකාවක් දුටු අයුරු- Wikipedia.org

ආදම්ගේ පාලම හෙවත් රාමාගේ පාලම ආශ්‍රිත මුහුද යට විද්‍යාත්මක ගවේශන ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබා දී ඇතැ යි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය පසුගිය ජනවාරියේ වාර්තා කළා. විද්‍යාත්මක පර්‌යේෂණ මත පදනම්ව සාක්ෂ්‍ය ලබාගනිමින් ආදම්ගේ පාලමේ සැබෑ තොරතුරු ලෝකයට අනාවරණය කිරීම මෙම ගවේශනයේ අරමුණ බව ඉන්දීය සංචාරක සහ සංස්කෘතික ඇමැති ප්‍රහලාද් සිං පටෙල් ප්‍රකාශ කර තිබුණා.

ඉන්දීය එක්ස්ප්‍රස් වාර්තාවට අනුව ඉන්දියාවේ විද්‍යාත්මක හා කාර්මික පර්‌යේෂණ කවුන්සිලය සහ ගෝවාහි ජාතික සාගර විද්‍යා ආයතනය මෙම අධ්‍යයනය සිදුකරනු ලබනවා. ආදම්ගේ පාලම ආශ්‍රිතව රාමායනයට අදාළ පුරාවිද්‍යාත්මක ස්ථාන සාගරයේ ගිලී පවතීදැ යි මෙම ගවේශනයේ දී අවධානය යොමුකිරීමට නියමිත යි. එසේම පාලමේ නිශ්චිත වයස සාගර පතුලේ ඇති ෆොසිල අධ්‍යයනයෙන් සොයා ගැනීමට ද ගවේශකයෝ සූදානම්ව සිටිනවා.

රාම්සේතු චිත්‍රපටයේ පෝස්ටරයක්- youtube.com

මෑතක දී, ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ (ASI) යටතේ ක්‍රියාත්මක වන පුරාවිද්‍යාව පිළිබඳ මධ්‍යම උපදේශක මණ්ඩලය විසින්, මෙහි අවසාදිත අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය සහ ගෝවා පදනම් කරගත් ජාතික සාගර විද්‍යා ආයතනය (NIO) විසින් ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති යෝජනාව අනුමත කෙරුණා. ඒ අනුව ආදම්ගේ පාලම පිළිබඳ පළමු විද්‍යාත්මක අධ්‍යනය ඉදිරි වසර තුන තුළ දී අවසන් කිරීම එම ව්‍යාපෘතිය මඟින් සිදුවනු ඇති. ව්‍යාපෘතිය මෙම මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ, අලගප්පා විශ්වවිද්‍යාලයයේ හිටපු උපකුලපතිවරයෙකු ප්‍රකාශ කරන්නේ ආදම්ගේ පාලම මිනිසා විසින් තැනූ යමක් නොවන බවට සාධක බොහෝ තිබෙන බව යි. 

රටවල් දෙකකට අයිති එකම ජාතික උද්‍යානය

වැලිපර දූපත් පෙළ – Charith Gunarathna- Wikipedia.org

මෙම දූපත්වල පාරිසරික වැදගත්කම නිසා 2015 වසරේ ජුනි මස 22 දින සිට එය “ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය” වශයෙන් නම් කර ආරක්ෂා කරනු ලබනවා. ශ්‍රී ලංකාව සතු දූපත් සමූහය හා ඒ ආශ්‍රිත නොගැඹුරු මුහුදු තෘණ සහිත භූමි කලාපය හෙක්ටයාර 18,990ක් පමණ විශාල යි.

දූපත්වල පක්ෂීන් – Steemit.com

ආදම්ගේ පාලම ජාතික උද්‍යානය පිහිටලා ඇත්තේ ඉන්දු – ලංකා දේශ සීමාවන් අතරේ යි. ඒ කියන්නේ වැලි පර දූපත්වලින් කොටසක් අපේ රටටත්, කොටසක් ඉන්දියාවටත් අයිතියි. දෙරටේම මුහුදු සීමාවන් දිව යන්නේ අපේ රටේ අට වැනි දූපත හරහා යි. ඒ කියන්නේ අට වෙනි දූපතෙන් බාගයක් අපිටත්, බාගයක් ඉන්දියාවටත් අයිතියි. අපේ වැලිපර දූපත් ආදම්ගේ පාලම ජාතික උද්‍යානය ලෙසටත්, ඉන්දියාවේ වැලිපර දූපත් ‘ගල්ෆ් ඔෆ් මැනාර්’ ජාතික උද්‍යානය හැටියටත් තමයි හඳුන්වන්නේ. ජෛව විද්‍යාත්මකව මේ දූපත් සමූහයම Trance Boundery National Park, නැත්නම් “දේශාන්තරික ජාතික උද්‍යානයක්” ලෙස නම් කරන්න රටවල් දෙකම එකඟ වෙලා කටයුතු කිරීම නම් සතුටට කරුණක්. ශ්‍රී ලංකාවේ ආදම්ගේ පාලම ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වගේම ඉන්දියාවේ ගල්ෆ් ඔෆ් මැනාර් ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහාත් සිදු වෙනවා.

සාගරයේ අලංකාරය- Charith Gunarathna- Wikipedia.org

මේ දූපත් අතරින් වැඩි දූපත් ප්‍රමාණයක් මුහුදු ලිහිණි වි‍ශේෂයන්ගේ අභිජනන බිම්. පර්යටනික පක්ෂීන් ද දූපත්වලට ඇදී එනවා. වසරේ මැද භාගයේ දී විතර දහස් ගණනින් මුහුදු ලිහිණීන් මේ දූපත්වල වැලි මත්තේ කැදිලි තැනීමට පටන්ගන්නවා. අපේ රටේ දේශ සීමාවට අයිති ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට අයත් දූපත් 08න් තෙවන දූපත මුළුමනින්ම පාහේ මුහුදු ලිහිණියන්ගේ ආධිපත්‍යයට නතු වනවා. Caspian tern, Great crested tern, Lesser crested tern, Saunders tern, Sooty terns සහ Whiskered tern ඒ අතරින් ප්‍රමුඛතම මුහුදු ලිහිණි විශේෂ කිහිපයක්. Heuglin’s gull, Bar-tailed godwit, Dunlin වැනි පක්ෂී විශේෂ සහ බෙල්ලන් ආහාරයට ගන්නා අතිශය දුර්ලභ Eurasian oystercatcher නම් පක්ෂී විශේෂය ද මෙම සමුද්‍රීය උද්‍යානය තුළ වාර්තා වෙනවා.

කරදියවාසී කැස්බෑවුන් විශේෂ දෙකක් මේ අවට ජීවත්වන අතර සාමාන්‍ය ගෙවතු කටුස්සා සඳහා වාසස්ථානයක් ලෙස ද මෙම පාරිසරික කලාපය ක්‍රියා කරනවා. ස්වභාවික කැස්බෑ අභිජනන බිමක් වශයෙන් ද ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය වැදගත් වෙනවා. එමෙන්ම මෙම නොගැඹුරු මුහුදේ ඩොල්පින්, තල්මසුන්, මුහුදු ඌරන් වැනි ක්ෂීරපායී විශේෂ ද ජීවත් වෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

රාවණ විජය මිථ්‍යාවන් ද? මහාචාර්ය විජය දිසානායක

වනජීවි සඟරාව- 2012  දෙසැ.

www.researchgate.net

earth.esa.int

කවරය- ආදම්ගේ පාලමේ වැලිපර- pinrest.com

Related Articles