කඳුකර මං ඔස්සේ පාගමනේ යෙදීම ශරීර සෞඛ්‍යයට මෙන්ම මානසික සෞඛ්‍යයටද හිතකර ක්‍රියාවකි. මෙම පාගමනේ යෙදීම හෙවත් ට්‍රෙකින් යනු නේපාලය වැනි කඳ පිරි රටවල වඩාත් හොඳින් සිදු කළ හැකි මාහැඟි ක්‍රියාකාරකමකි. සොබාදම් චාරිකාවලින් මනසට ලැබෙන සුවය ගැන අගනා ලිපියක් මීට පෙරද පළ කර අැත.
නේපාලයේ මාර්ඩි හිමාල් වෙත මා ගිය ට්‍රෙකින් එකක් ගැන විස්තර මෙම ලිපියේ අඩංගු වේ. ලිපිය තරමක් දිග වුවත් සංචාරයේ යෙදෙන්නට කැමති කාටත් මෙය ඉතා හොඳින් රසවිඳිය හැකි ලිපියක් වනු අැතැයි සිතමි.
මාර්ඩි හිමාල්
නේපාලයේ පොකරා වටා දිස්වන අයස්කාන්ත කඳු පන්තිය වූ අන්නපූර්ණාවේ ප්‍රසිද්ධ පාගමන් මං කීපයකි. එයින් ගෙරොපානී පූන්හිල්, අන්නපූර්ණා බේස් කෑම්ප්, ගෑන්ඩ්‍රැක් ආදිය ජනප්‍රියම ඒවාය. මාර්ඩි හිමාල් යනු තරමක් අලුත්, ජනප්‍රියත්වයෙන් අඩු මාර්ගයකි. මාර්ඩි හිමාල් හිදී අපිට දින දෙක තුනකදී මීටර 4500ක පමණ උසට නැග හිමෙන් වැසුණු කඳු මුදුන් දැකබලාගැනීමට අවස්ථාව ලැබේ. එබැවින් මා එය තෝරාගතිමි. හිමාලයෙන් මෙහා සීමාවේ දී මීටර 4500ක උසකින් යුත් කඳු විරලය.
අපට ආසන්න දක්ෂිණ ඉන්දියාවේද, අනෙක් පසින් තායිලන්ත ඉන්දුනීසියා කොටස්වලද මීටර 4000ට වඩා උස වූ කඳු කිසිවක් නොමැත. අප රට තුළ මීටර 2000ට වඩා උසැති කඳු පන්තියක් පැවතීම සැබැවින්ම භාග්‍යයකි. මුළු ඔස්ට්‍රේලියානු මහද්වීප බිමටම ඇති උසම තැන මීටර 2000ක් තරම්වත් උස නොවේ. ඉතින් එවරස්ට් පියස්සෙන් බාගයක් තරම් වූ උසක් වුවත් මීටර 4500ක් යනු අපට නම් ආගන්තුක වූ උසකි.
තරණය සැලසුම් කිරීම
විදේශයකදී දින කිහිපයක තරණයක් සඳහා යම් සැලසුමක් තිබිය යුතුය. අප වැනි රටවල අයට සංචාරය සඳහා ඇත්තේ සීමිත කාලසීමාවකි. යුරෝපීය රටවල සංචාරකයින් මෙන් මාස ගණනාවක් පුරා රටවල් ගණනාවක සංචාරය කිරීම සඳහා ආර්ථික හැකියාවක් සහ නිවාඩු ලබාගැනීම අපට කළ නොහේ. නේපාලයේ පොකරා මූලික වූ කඳු තරණයන් ගණනාවකි. එක් දින කඳු නැගීම් මෙන්ම දින දෙක තුන සිට දින 10-15 දක්වා දුෂ්කරතාව සහ උස මට්ටම් අනුව එකිනෙකට වෙනස් කඳු තරණය කිරීම සිදු වේ. එයින් අපගේ නිවාඩු ප්‍රමාණය, ශරීර ශක්තිය හා පළපුරුද්ද අනුව සුදුසු ගමනක් තෝරාගත හැකිය.
මාර්ඩි හිමාල් යනු සාමාන්‍යයෙන් දින 4-5ක තරණයකි. එහිදීද නේපාලයේ ප්‍රකට ට්‍රෙකින් ගමන්වලදී මෙන් අතරමැද නවාතැන් හමු වේ. ඒවායෙන් ආහාර ලබාගෙන තේ පැන් ආදියෙන් සප්පායම් වී විවේක ගෙන ගමන් කළ හැකිය. බොහෝ නවාතැන්හී රාත්‍රී යම් මට්ටමක හොඳ ඇඳක්ද, රුපියල් තුන් හාරසියක් තරම් අඩු මුදලකට ලබා ගත හැකිය.
තරණය ට මුල
මා මුලින් අදහස් කරගෙන සිටියේ දිනකට ඩොලර් 25ක් බැගින් ගෙවා මාගේ මාර්ඩි හිමාල් තරණය සදහා ගයිඩ් මහතෙක් තොරාගැනීමටයි. නමුත් මා ආහාර ගන්නට ගිය කුඩා අවන්හලේදී මට යුරෝපීය ජාතික මිතුරු සංචාරකයෙක් හමු විය. චීන යුවතියක් අවන්හලට පැමිණි තැන් සිට හතර වටේම පොටෝ ගනී, සෙල්ෆි ගනී, අෑත කඳු පින්තූර ගනී, පසෙක හැරී නැවත ඇගේ මිතුරියගේ පින්තුර ගනී. ඇගේ පොටෝ ජෙනියාව මටත් එම අවන්හලේ සිටි අනෙක් යුරෝපියානුවාටත් සිනහා එන්නට තරම් විය.
එයින් යුරෝපියානුවා කුළුපග විය. ඔහු මගේ විස්තර අසා සිටි කල මගේ මාර්ඩි හිමාල් ගමන ගැන කීවෙමි.ඔහු සද්දෙන් හිනාවී, “මිනිහෝ, ඕක මං ගිය අවුරුද්දේ ගියා. ගයිඩ්ලා ඕනි නෑ පාර හොඳට තියෙනවා.පැටෙලෙන්නේ නෑ, තනියම යනවා “ යැයි ඉංගිරිසි බසින් උපදෙස් දුන්නේය.
අන්නපූර්ණා කඳු තරණවලදී ගතයුතු අවසර පත් ගැන මා කලින් දැනුවත් වී තිබුණ අතර විදේශිකයා ඒ අවසර පත් ලබාගන්නා කාර්යාලය පිහිටා ඇති තැනට මාර්ගය විස්තර කළේය. මා ඒ අනුව ගොස් අවසර පත් දෙකම පහසුවෙන් ලබාගත් අතර ඒ සඳහා අවැසි වූ පොටෝ 4ක් මා ලංකාවෙන්ම රැගෙන ගොස් තිබුණි. අවසර පත් මිලට ගැනීමේදී දකුණු ආසියානුවන්ට සැලකිය යුතු මිල අඩුකිරීමක්ද ලැබේ. විලේ සිරියද හොඳින් නරඹා කිලෝමීටර 4-5ක් ගෙවා පයින්ම අවසර පත් කාර්යාලයට ගිය හෙයින් මට පෑ 4-5ක් ඒ සඳහා ගත විය.
ගමනාරම්භය
මාර්ඩි හිමාල් ගමන සටහන් වූ හොඳ සිතියමක්ද මිලට ගත් මම එදිනම සවස පිටත් වූයෙමි. මාගේ ගමන් මල්ල කඳු තරණයකට එතරම් සුදුසු නොවූ හෙයින් ට්‍රැකින් සඳහා ගමන් මල්ලක් මිලදී ගෙන, පොකරාවලින් මුලින්ම “කාදේ” නම් ස්ථානය වෙත බස් රියෙන් ගමන් කිරීමට සිතා කිහිප දෙනෙකුගෙන්ම පාර අසා බසයට නැගුනෙමි.
මා බැසිය යුතු තැන කාදේ යැයි කීවත් කොන්දොස්තර මහතා බස්රියේ යුවතියක හා දැඩි උනන්දුවකින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ගිය බැවින් දෝ මා බැසිය යුතු තැන ඔහුට මග හැරුණි. කිලෝමීටර 8ක් පමණ ඈත වඩාත් ජනප්‍රිය වූ පූන්හිල් ට්‍රෙකින් එක පටන් ගන්නා නයාපූල් අසලින් ඔහු කිසිම කැතක් නැතිව මා බැස්වූයේ කාදේ පසුකොට ඇති බවක් කිසිසේත්ම නොසලකාය.
නයාපූල් හි වූ කාරුණික නේපාල ජාතිකයෙක්ගෙන් අසා දැනගෙන නැවත මා කැබ්රියක නැගී කාදේ වෙත ආවෙමි. පැමිණ ලහි ලහියේම ඔස්ට්‍රේලියානු කෑම්ප් එක වෙත නැගීමට ගතිමි.
එය දල නැග්මකි. ඒ මදිවාට වටින් ගොඩින් කළුවර වැටීගෙනද එයි. මාගේ වෙලාවට මෙන් තවත් කණ්ඩායමක්ද මට එකතු විය. පැය දෙකක් ගිය තැන ඇඳිරි වැටෙන්නට ඔන්න මෙන්න සවස 7ට පමණ වන විට මා ඔසී කෑම්ප් වෙත ලගා විය. එහි මාචාපිචු ලොජ් හි කුඩා කාමරයක ඉඩ මා වෙන්කරගතිමි. ඔසී කෑම්ප් එකේ මාගේ නවාතැනෙන් හොඳ කෑමවේල්ද සපයනු ලැබීය.
ඔසී කෑම්ප් සිට හයි කෑම්ප් දක්වා..
ඔස්ට්‍රේලියානු කඳවුරේ පාන්දර දර්ශනය මනරම්ය. මා ගිය දින මනා ලෙස කාලගුණය පැහැදිලි විය. කඳුමත දර්ශනය හොඳින් දැක ගත හැකි විය. දින දෙකකට පසු එහි ගිය මා මිතුරු ශ්‍රී ලාංකික කණ්ඩායමට නම් ඒ වාසනාව උදා වූයේ නැත. ඔවුන් එහි ගිය දිනයේදී අහස අඳුරුව, කාලගුණය අයහපත් වී තිබූ නිසා ඔසී කෑම්ප් සහ බොහෝ භූමි දර්ශන ගෙඩිය පිටින්ම ඔවුන්ට මගහැරී තිබුණි.
කිසිදු අන්තර්ජාල සටහනක මාර්ඩි හිමාල තරණයේදී ඔසී කෑම්ප් සිට හයි කෑම්ප් දක්වා දුරක් දැක්වෙන්නේ නැත. මන්ද මෙය දින දෙකක ගමනකි. මා ඉක්මනින් ගොස් එය දිනකින් සම්පූර්ණ කළද සාමාන්‍ය ක්‍රමය වන්නේ මෙම ගමනේ මගදී හමුවන නවාතැනක නැවතී ඉන්පසු අවසාන නැවතුම වූ හයි කෑම්ප් වෙත ඊළඟ දිනයේ ළඟා වීමයි. එහෙත් සීතල දැනෙන තැනක පෑ කිහිපයක් නිකරුණේ ගැහෙමින් ගතකරනවාට වඩා ගමනේ යෙදීම මැනවැයි මට සිතුණි. ඔසී කඳවුර අැත්තේ මීටර 1500ක පමණ උසකිනි. මා නැවතුණ මාඩි හිමාල් අවසාන කඳවුර වූ හයි කෑම්ප් මීටර 3500ක උසක පිහිටි එකකි. එහි නැග්ම පමණක් කිලෝමීටර දෙකකි. ගමන් දුර කිලෝමීටර 12කට වඩා වැඩිවිය යුතුය.
මේ පා ගමන තනිකරම හුදෙකලා ගමනක් නොවේ. විවිධ රටවල විවිධ පිරිස් අතරමගදී හමුවේ. ඔවුන් සමග හායි කියමින්, අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ගමනේ යෙදීම වෙහෙස නිවාලන කටයුත්තකි. මග පෙන්වන අයෙකු රැගෙන ගියේ නැතත් නේපාල ජාතික මග පෙන්වන්නෝ මා සමග ඉක්මනින්ම මිතුරු වූහ. අතරමග අවසරපත් පරීක්ෂා කරන නැවතුමේද මා නැවත්වූයේද නැත. ඔවුන් පෙනුම අනුව මාද නේපාලියෙකු යැයි සිතන්නට ඇත. ගමන මගදී හමු වූ ශර්පා ජාතික ගයිඩ් කෙනෙකු “අදට ඇති, තව ඉහළට යෑම මගේ සෞඛ්‍යයට අහිතකර විය හැකියි” යැයි උපදෙස් දුන්නේය. එහෙත් එය කණකට නොගත් මා අවසාන කඳවුර දක්වාම නැගගෙන ගියෙමි.
කඳුකරයේ තුරුලතා ආදිය නම් ශ්‍රී ලංකාවේ සමනල සිංහරාජ වැනි වනපෙත් හී මෙන් විවිධ ආකාර ගන්නේ නැත. එකම ජාතියේ ගස් බොහෝය. එහෙත් කඳුකර හිම ගිර සහ ඈත පේන භූමි දර්ශන නම් කැමරාවටත් වඩා දෑසින්ම දැකගෙන විඳගෙන එන්නට ඇත්නම් ඒ මනාය. කැමරා කෙතෙක් දියුණු වුවද අපේ ඇසට පෙනෙන දර්ශන, කණට ඇසෙන කුරුලු නාද, ගතට දැනෙන සිසිලස එ්වායෙන් පූර්ණව ග්‍රහනය කළ නොහේ.
ඉහළම නවාතැනේ සිට
මා ඉහළම නැවතුම වූ හයි කෑම්ප් කරා ළඟාවන විට සවස 6 පමණ වී තිබුණි. එවන් වේලාවක නවාතැන් බලාපොරොත්තුවෙන් ආගන්තුකයෙකු පැමිණීම එතැන නවාතැනේ සීතලේ ගැහෙමින් සිටි විදේශිකයින්ගේත්, ගයිඩ් වරුන්ගේත් ඇස් උඩයන තරම් පුදුමයට හේතු විය. ඒ මදිවාට මා එවිට ඇඳ සිටියේ කොට කලිසමක් සහ ටී ෂර්ටයක් පමණි.
අධික ශීතල දස අතින් පැමිණ මගේ ගත වෙලාගන්නට පළමුව මාද වහා කෝපි කෝප්පයක් බී, ගිනිතපිමින් සිටි පිරිස සමඟ ගිනි උදුන වටා එකතු වූයෙමි. ගිනි උදුන වනාහී දර දමා අවුළුවන, රාත්‍රියේ ආහාර ගන්නා තෙක් එක දිගටම පිරිස උණුසුම්ව තබන්නකි. මා වැනි දකුණු ආසියාතිකයෝ පමණක් නොව හිම මිදෙන ශීත කලක් ඇති බටහිර යුරෝපීය ප්‍රංශ, ජර්මානු ඉතාලි ජාතිකයෝද සීතල ඉවසාගැනීමට අපහසුවෙන් ගිනි තපිමින් සිටියෝය. මටද සීතල දැන්නට වූ නමුත් මා එයින් නොසැලී සිටින්නට සමත් වූයේ දවස පුරා වෙහෙස වූ උණුසුම් මාංශපේශින් නිසා වන්නට ඇත.
මෙවැනි තැනක හමුවන අය බොහෝ විට කලක් දන්නා මිතුරන් මෙන් ආගිය තොරතුරු කතා බහ කරති. අම්මා කෑම උයන තෙක් බලා සිටින, විදුලිය නොමැති ගම ගෙදරක දරුවන් පිරිසක් මෙන් ඇතැමෙක් පොත් බලති. තවත් අය කාඩ් සෙල්ලම් කරති. බොහෝ නේපාලියෝද විදේශිකයෝද කතා බහ කරමින් විඩා නිවාගනිති.
ඉංග්‍රීසි බස යනු ලංකාවේදී නම් මා ඉතාම කලාතුරකින් යොදාගන්නා, ආත්තම්මා පෙට්ටගමේ ලා පරිස්සම් කරන දුර්ලභ බඩුවක් වැනිය. එහෙත් අප බස නොදන්නා විදෙස්වලදී මා එය යන්තම් පිසදා නැවත ඔපදමා ගතිමි. පුදුමයක මහත, මා කියන ඉංගිරිසි අනුනට නොතේරෙනවා යැයි සිතුවත් බොහෝ නේපාලින්ට, ගයිඩ්ලාට සහ ඉංගිරිසිය හුරු නොවූ ඉතාලි, ප්‍රංශ, ජර්මන් අයට මාගේ සරල බස තේරුම් ගියේය. ඔවුන් නම් ලංකාවේ පඬුවන් නිතර කරන පරිදි නොතේරෙන ව්‍යාකරණ භාවිත කළේ නැත. ඉතා සරලව එහෙත් පුළුල් පරාසයක අදහස් හුවමාරු කරගැනීමට ඔවුන් කාරුණික වූහ.
පාන්දරම මුදුනට
කුඩා ඇඳක් හා බ්ලැන්කට්ටුවක්ද ලැබුණ මුත් නින්ද නම් ළඟා කරගැනීම අපහසුය. බ්ලැන්කට්ටුවේ කොහෙන් හෝ සීතල පොදක් ඇතුළු වේ. අවට ඇති අත තබන පය තබන සෑම දෙයක්ම අයිස් මෙන් සීතලය. මෙම කාමර හීටර යොදා උණුහුම් කෙරෙන විශේෂ කාමර නොවේ.
කෙසේ හෝ දීර්ඝ රාත්‍රියකින් පසු ඊළඟ දිනය උදා විය. පාන්දරම පිරිස කඳු මුදුනට වැටෙන ඉර උදාව නරඹනු පිණිස නික්මුණු අතර එම අවස්ථාව වන විටත් නවාතැන මිදුලේ හිම කොටස් තිබුණි. දියවූ හිම මද වෙලාවකින් නවාතැනේ ටකරම් වහලෙන් ජලය ලෙස බිමට පතිත වන්නට විය.
මා හිතාමතාම ගමන මදක් ප්‍රමාද වී උදෑසන 8.30ට ගමන් ආරම්භ කළෙමි. මා සතුව විශේෂ සීත ඇඳුම් හෝ හිම මත ඇවිදින ස්ටික්ස් නොතිබුණි. ඒවා රැගෙන ආයුතු වුවත් අවසාන කොටස වෙනුවෙන් බරැති ශීත ඇඳුම් සහ ආධාරක රැගෙන ඒම මට සිතුණේම තේරුමක් නැති වැඩක් ලෙසය.
මා උදෑසන ආහාර ගෙන මදක් විවේකීව සිට ගමනාරම්භ කළ අතර පැයක ගමනකින් පසු මනරම් කඳුකර හිම සහිත මුදුනත දර්ශන පීඨිකාව (වීව් පොයින්ට්) වෙත පැමිණියෙමි. අවට බලන බලන අත සුදු පැහැ හිම කඳුය. බිමද ඇතැම් තැනක එක දිගටම හිමය. හිම මත ඇවිදීමට සුදුසු සපත්තු දෙකක් මාගේ පයේ විය. එහෙත් කිසිදු ආධාරකයක් හෝ විශේෂ සීත ඇඳුම් නොතිබුණි.
ඉහළ විව් පොයින්ට් හි කුඩා කඩයකි. වතුර බෝතලය අමතකව ආ බැවින් වතුර බෝතල බාගයක් එතැනින් රුපියල් දෙසීයක් දී පුරවා ගත් මුත් එම වතුරද ප්ලාස්ටික් රස නොඅඩුව ගැබ් වූ පැරණි වතුර විය.
ඇඟට සුළු අපහසුවක් තිබුණද දැඩි අපහසුතාවක් නොදැනුණු හෙයින් මා දිගටම ගමන් කළෙමි. අවසානයේ හිම මතද පනිමින් ඇවිදිමින් ගල් උඩ නගිමින් ගොස් මාඩි හිමාල් බේස් කෑම්ප් නම් පුවරුව වෙත ළඟා වුණෙමි. එතැන ද අවට හිමෙන් වැසී ඇත. එහෙත් කෙසේ හෝ අවසන මා ඉලක්කය ජය ගැනීම ගැන සිතට සතුටුය. එ් වනවිටත් උදෑසනම පැමිණි පිරිස් නික්ම ගොසිනි. අනෙක් අය ඉබි ගමනින් හිම මත ගාටමින් එනු ඈතින් පෙනේ. මා පමණක් සිටි හෙයින් මා සහ මාඩි හිමාල් පුවරුවේ පින්තූර ෆෝන් එකේ සෙල්ෆි කැමරාවෙන්ම ලබාගතිමි.
එදින හොඳින් ඉර පායා තිබුණි. මීටර 4500ක් යනු සාමාන්‍යයෙන් එතරම්ම සැලකිය යුතු සෞඛ්‍ය ප්‍රශ්න ඇතිකරන උසක් නොවේ. මීටර 6000ට වඩා වැඩි උසක් නම් විශේෂ සීත ජැකට්ටු, සපත්තු, අත්වැසුම්, ආවරණ, සහ ස්ටික්ස් වලින් සන්නද්ධව තරණය කිරීම වඩාත් යෝග්‍යය.
ආපසු
ආපසු ගමනේදී හයි කෑම්ප් එකෙන් දිවා ආහාර ගෙන, පැයක් දෙකක් විඩා නිවෙන්නට නිදාගෙන සිට, සවස 1ට නැවත මල්ල එල්ලාගෙන පහළට බැසීමට පටන් ගතිමි. පහළට ඒමට පහසු මගක් තිබී ඇති මුත් එය දන්නේ මා ලංකාවටත් පැමිණ මල්ලේ වූ සිතියම බැලීමෙන් අනතුරුවය. එහෙත් පෑ 5-6කින් මා බලාපොරොත්තු වූ සිඩින්ග් නම් ස්ථානය කරා ළඟාවන්නට හැකිවිය.
ගමනේ අතරමග හමුවූ සහ දුටු දෑ බොහෝය. යැක් ගවයින්, ලස්සන කුරුල්ලන්, මුගටියන්, සාවුන් වැනි කුඩා සතුන්, අලංකාර ගහකොල, මල්, කමනීය භූමි දර්ශන, විවිධ රටවලින් පැමිණ කඳු නගින විවිධ ආකාරයේ මිනිසුන් සහ මිත්‍රශීලි ගැහැණුන්, නේපාල ජාතික පෝටර් වරුන්, බූරුවන්, අශ්වයන්, කොටළුවන්, බැටළුවන්, මීහරකුන් ආදී බොහෝ දෑ අතරමග දී හමු විය. ඒ බොහේ දේ මතකයේ ඇති මුත් ඒවා සියල්ල ලිවීම ලිපිය මාගලක් මෙන් තවත් දිග වීමට හේතු වේ.
නේපාල ගමනේ තවත් විස්තරයක් සමගින් අපි නැවත හමුවෙමු. ඔබටත් මේ ගමන් විස්තරය ගැන යම් අදහසක් ඇත්නම් එය කොමෙන්ට් එකක් ලෙස කියා යන්නත් අමතක කරන්නට එපා.
කවරයේ රූපය : මාඩි හිමාල්
සියලු ඡායාරූප රචකයාගෙනි.