කොළඹ සිට බදුල්ල දක්වා ඉදිකර ඇති කන්ද උඩරට දුම්රිය මාර්ගය ඉංග්‍රීසි ජාතිකයන් මෙරටට දායාද කරන ලද අපූරු ත්‍යාගයක්. ඉංග්‍රීසීන්ගේ ඉංජිනේරු සමත්කම්වලින් එකක් සේ සැලකිය හැකි කන්ද උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය කිරීම දෙස් විදෙස් සංචාරකයන් අතර ද ඉතා ජනප්‍රිය යි.
මුහුදු මට්ටමේ ඉතා අඩු උසක සිට ශීඝ්‍ර නැග්මක් සහිත ඉහළ ස්ථානයක් කරා ළඟා වන උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ දී ඉතා සුන්දර ස්ථාන රාශියක් දුම්රියේ සිට ම නැරඹීමේ හැකියාව පවතිනවා. දේශීය සංචාරකයන් අතර මෑත කාලීන ව ජනප්‍රියත්වයට පත්වුණු උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංචාරක ස්ථානයක් වන මීයන් ඇල්ල පිළිබඳවයි මේ ලිපිය.
මීයන් ඇල්ල බලනේ කඩවත් ඇතුළේ
කඩුගන්නාව පිට සේසත කෙටූ ගලේ
මාවෙල උඩුපිටින් ලගමුව ද පසු කළේ
මෙ ලකුණුවලට මැදි රට හතර කෝරළේ
– පැරණි කඩඉම් කවියක්
නම ඇසූ පමණින් එතරම් දැන හඳුනා ගත් දිය ඇල්ලක් නොවූවත් මීයන් ඇල්ල අතීතයේ දී සත් කෝරළය සහ සතර කෝරළය වෙන් කළ එක් මායිමක් ලෙස සැලකෙනවා. “ඇල්ලක්” නමින් හැදින්වුවත් ලංකාවේ දියඇලි නාමාවලියට එකතු වන්නට වරම් නොලද දිය ඇල්ලක් ලෙසටත් මීයන් ඇල්ල හැදින්වීමට පුළුවන්.
අලගල්ල කඳුවැටියේ සිට පහළට කඩා වැටෙන ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි මීයන් ඇල්ල මීට වසර 150 පමණ එහා අතීතයේදී සත්‍ය වශයෙන්ම ඉතා සුන්දර දිය ඇල්ලක් ව තිබූ බවට නොරහසක්. මෙම සුන්දර දිය ඇල්ලට උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී තමන්ගේ සුන්දරත්වය අහිමි වුණා. රහස් රැසක් සඟවාගත් 5A බිම්ගෙයට උඩින් සිහින් දිය රැල්ලක් ව ගලා හැලෙන මීයන් ඇල්ලේ කතාවයි මේ.
උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීම
කොළඹ සහ පොල්ගහවෙල අතර දුම්රිය මාර්ගය 1866 නොවැම්බර් මස 1 වැනි දා විවෘත කිරීමෙන් වසරකට පමණ පසු එනම් 1867 අගෝස්තු 1 වැනි දා, පොල්ගහවෙල සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය විවෘත කිරීම සිදුවෙනවා. කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ බිම්ගෙවල් 13ක් පිහිටා ඇති අතර ඉන් 12ක් පිහිටා ඇත්තේ රඹුක්කන සහ මහනුවර දුම්රිය ස්ථාන අතර යි. ශීඝ්‍ර නැග්මක් සහිත දුම්රිය මාර්ගයේ ආරම්භය සිදුවීම නිසා කඳුරට දුම්රිය මාර්ගයට පිවිසුම ලෙස රඹුක්කන දුම්රිය ස්ථානය හැදින්විය හැකි යි.
උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකළ ඉංග්‍රීසි ජාතිකයන් ම කොළඹ සිට බදුල්ල දක්වා සියලු බිම් ගෙවල් අංකනය කළා. දුම්රිය මාර්ගයේ අලගල්ල කන්ද නැග්ම ආරම්භ වන ස්ථානයේ පිහිටි යටිවැල්දෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේ අඩි 721ක දිගකින් යුතු අංක 05 බිම්ගේ පිහිටා තිබෙනවා. ඉහළ කෝට්ටේ දුම්රිය පොළ පසුකර මාකෙහෙල්වල නැවතුම් ස්ථානය අසල අංක 06 බිම්ගෙය පිහිටා තිබෙනවා. මෙය අඩි 104 දිගින් යුතු බිම්ගෙයක්. අංක 05 බිම්ගෙය පසුකර අලගල්ල කන්දේ පාදම ඔස්සේ තවත් සැතපුම් 3 3/4 ශීඝ්‍ර නැග්මක යෙදෙන උඩරට දුම්රියට එහි 59 1/4 සැතපුම් කණුව අද්දරදී ඉහත සඳහන් මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය හමුවෙනවා. එම ස්ථානයේ උස මුහුදු මට්ටමින් අඩි දහසක් පමණ වනවා.
අසාර්ථක වූ ඉංජිනේරු සැලැස්ම
ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි අලගල්ල කන්දේ හැලැංමැඩිත්ත නම් ස්ථානයෙන් ආරම්භ වන මීයන් ඇල්ල වලගොඩ, තලගොල්ල ගම්මානවල කෙත්වතු සාරවත් කරමින් තලගොල්ල ඔය හා මුසු වෙනවා. තලගොල්ල ඔය බෝ ඇල්ලේ දී එය මා ඔයට සම්බන්ධ වෙනවා. සියවස් ගණනාවක සිට මීයන් ඇල්ල තමන් අණසක පතුරුවමින් අලගල්ල කදුවැටියෙන් පහළට මහා දිය දහරක් ව ගලා හැළුණා.
අනෙක් කඳු, පර්වත භූමි හරහා බිම්ගෙවල් තනාඒ මැදින් උඩරට දුම්රිය මාර්ගය ඉදි කළ ද අලගල්ල කදුවැටිය හරහා බිම්ගෙයක් ඉදිකිරීමට නම් අඩි දහසකට වැඩි දිගින් යුතු කැණීමක් කළ යුතු වූ හෙයින් ඒ වෙනුවට කදුවැටියේ බෑවුමට වන්නට පර්වතයේ තිරස් කැපුමක් සිදුකර දුම්රිය මඟ ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් භාර වූ ෆෙඩ්රික් ෆේලිල් ඉංජිනේරුවරයා ප්‍රමුඛ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරුන් මෙම මීයන් ඇල්ලේ පිහිටීම දුම්රිය මාර්ගයේ ඉදි කිරීමට විශාල බාධාවක් බවට තීරණය කරනවා.
මීයන් ඇල්ලේ ජල ප්‍රවාහය දුම්රිය මඟට කෙළින් ම ඇද වැටීම නිසා එය ඉතා අවදානම්කාරී වීම නිසායි ඒ. ඒ අනුව එතෙක් කලක් සුන්දර ව කඩා හැළුණු මීයන් ඇල්ලේ ඉරණම තීරණය කිරීමට මෙම ඉංජිනේරුවරු කටයුතු කරනවා. එහි දී තනි දිය ඇල්ලක් ව කඩා වැටුණු මියන් ඇල්ලේ ඉහළ කෙළවරින් ශක්තිමත් බැම්මක් යොදා සිහින් දිය පාරවල් දෙකක් ලෙසට අලගල්ල කඳුවැටියේ දික් අතට සිදු කළ ගැඹුරු කැපුමක් ඔස්සේ එය කඩා වැටීමට සලස්වනවා. ඒ අනුව එතෙක් කාලයක් මහා ජල කඳක් ව පැවති පැවති මීයන් ඇල්ල සිහින් දිය පහරවල් දෙකක් වශයෙන් අලගල්ල කඳුවැටියේ දී තම ප්‍රතාපවත් ගමන නිමා කරනවා.
මීයන් ඇල්ල හා බැඳුණු ජනප්‍රවාද
මීයන් ඇල්ලේ ජලදහර පරදමින් මීන්ගල්ල දුර්ගය හරහා දුම්රිය මඟ ඉදි කර දුම්රිය ධාවනය සිදුකළ ද සොබාදහම මිනිසාට අවැසි ලෙස ක්‍රියාත්මක නොවන බවට තවත් එක් නිදසුනක් ලෙස, අඩපණ කළා වුව ද වර්ෂා කාලවල දී රුදුරු ලෙස හැසිරුණු මීයන් ඇල්ල දුම්රිය ගමනට නිරන්තරයෙන් බාධා ඇති කළා. මේනිසා දුම්රියට අලගල්ල කදුවැටිය තරණය කිරීම අභියෝගාත්මක නටයුත්තක් වූවා. විශේෂයෙන්ම ඒ කාලයේ දී මෙම මාර්ගයේ ධාවනය කළ F සහ ML පන්තියේ ඉදිරිපස අඩු ආලෝක ධාරා සහිත වාෂ්ප එන්ජින් දුම්රියයන් නිරතුරු ව මෙම ගැටලුවට මුහුණ දුන්නා.
මේ හා බැඳුණු එක් ජනප්‍රවාදයකට අනුව මීන්ගල්ල දුර්ගය හරහා ඉදි කළ දුම්රිය මාර්ගයේ ගමන් කළ සහල් පැට වූ ගැල්වලින් සමන්විත ව තිබූ බඩු දුම්රියක් අඩි 1000 ක ප්‍රපාතයට පෙරළී ගොස් අලගල්ල කඳු පාමුල සහල් ගෝනි විසිරී ගොස් තිබෙනවා. මෙම අනතුර කන වැකුණු අවට ප්‍රදේශවල පදිංචි ජනයා අපද්‍රව්‍ය සමඟ මිශ්‍ර වී තිබුණු සහල් සෝදා ගරා ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. මේ කාලයේ දී තමන්ගේ වැඩිහිටි මිත්තණියන්ට සහයෝගය දීම සදහා “ආච්චිලාට හාල් ගරලා දෙන්න යනවා”යැයි කියමින් මිණිබිරියන් ද පැමිණ තිබෙනවා. එතැන් සිට මෙම පිරුළ ජනවහරට එකතු වූ බවටත් මතයක් තිබෙනවා.
මෙවන් අනතුරක් පිළිබද ලංකා දුම්රිය ඉතිහාසය තුළ ලිඛිත සාක්ෂි නොමැති බවයි පැවසෙන්නේ. ඇතැම්විට දුම්රිය භාවිත කරන මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීම අධෛර්යමත් වීමේ අවදානම නිසා සිතාමතා මෙම අනතුර වසන් කළ බව ද සිතිය හැකි යි.
5A බිංගෙය ඉදිකිරීම
මීන්ගල්ල දුර්ගය හරහා ගමන් කළ දුම්රියයන් දිගින් දිගට ම අනතුරුවලට භාජනය වී ගමනාගමනයට බාධා ඇතිවීම නිසා එම ගැටලුවට ස්ථිර විසදුමක් අවැසි බව ඉංග්‍රීසි ජාතික පාලකයන්ට වැටහුණා. මෙයට දිය හැකි සුදුසුම විසඳුම බවට පත්වෙන්නේ මූලික අදියරේ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී නොසලකා හැරි අලගල්ල පර්වතය යටින් වූ බිංගෙය ඉදිකිරීමේ යෝජනාව යි.
ඒ අනුව අවුරුදු 40කට ආසන්න කාලයක් පුරා මීන්ගල්ල දුර්ගයෙන් පිටත බෑවුම හරහා ගමන් කළ මාර්ගය වෙනුවට අලගල්ල පර්වතය හරහා 1912 වර්ෂයේ දී බිංගෙයක් ඉදිකරන්නට කටයුතු කර තිබෙනවා. අඩි 1335 ක් දිගකින් යුතු වර්තමානයේ දී කන්ද උඩරට දුම්රිය මාර්ගයේ දෙවන දිගින් වැඩි ම බිංගෙය වශයෙන් මෙය හඳුන්වනවා. (පළමු ස්ථානය හැටන් සිංගිමලේ බිංගෙය යි).
එම ඉදිකිරීමෙන් අනතුරුව කිසිදු බාධාවකින් තොර ව උඩරට දුම්රියට අලගල්ල කන්ද තරණය කරමින් ඉහළ කෝට්ටේ හරහා මහනුවර ,බදුල්ල දක්වා ගමන් කිරීමේ අවස්ථාව හිමිවූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඒවනවිටත් අංක 5 සහ අංක 6 බිම්ගෙවල් අංකනය කර අවසන් වී තිබූ හෙයින් මෙම බිංගෙය 5A යනුවෙන් නම් කර තිබෙනවා.
සංචාරක ආකර්ෂණය
මීයන්ඇල්ල දේශීය සංචාරකයන් අතර ප්‍රචලිත වන්නට පටන් ගත්තේ ඉතා මෑතකදී යි. විශේෂයෙන්ම මේ ආශ්‍රිත ව ලබාගත් සුන්දර ඡායාරූප සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරණය වීමත් සමඟ ම බොහෝ දෙනෙක් දෛනික ව මෙම ස්ථානය නැරඹීමට ගමන් කරනවා. මෙම බිංගෙය නිර්මාණය කිරීමේ දී ගල් සහ පස් ඇතුළු ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අලගල්ල පර්වතයේ එක බෑවුමකට වන්නට කුඩා උමඟක් සහිත කුහරයක් ඉදිකර තිබෙනවා.
මෙම කුහරය දෙකට බෙදූ මීයන් ඇල්ලේ එක කොටසක් කඩා ගෙන වැටෙන හරස් කැපුමට විවෘත වන ලෙස පිහිටා තිබෙනවා. එනිසා මෙහි දී ඉතා සුන්දර ඡායාරූප ලබාගැනීමේ හැකියාවක් ද පවතිනවා. මේ නිසා සංචාරයට කැමති තරුණ පිරිස් මෙම ස්ථානය නැරඹීමට වැඩි කැමැත්තක් දක්වනවා. කෙසේ නමුත් මෙය තරමක් අනතුරුදායක ස්ථානයක් හෙයින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේ දී මෙන් ම එම කුහරය තුළ රැදී සිටීමේදී ද ආරක්ෂාකාරී වීමෙන් ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වයන් වලක්වා ගන්නට පුළුවන්.
මෙම බිම්ගෙය ඉදිකිරීමේ යෝජනාව දුම්රිය මාර්ගයේ ඉදිකරන අවස්ථාවේ දී ම එයට සමාන්තර ව ම සිදු වූවා නම් මීයන් ඇල්ලට මෙවන් විපතක් සිදු නොකර සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින් දුම්රිය මාර්ගය ඉදිකිරීමට හැකියාවක් තිබුණා. එවක ඉංග්‍රීසි පාලකයන් එම යෝජනාව ක්‍රියාත්මක නොකිරීම නිසා අද වන විට මීයන් ඇල්ලට කුඩා දිය දහරා දෙකක් වශයෙන් අලගල්ල කඳු වැටියෙන් පහළට ගලාගෙන යාමට සිදු වී තිබෙනවා.ඒ නිසා ම ලංකාවේ දිය ඇලි නාමාවලියට දිය ඇල්ලක් වශයෙන් එකතු වීමේ හැකියාව ද මීයන් ඇල්ලට අහිමි වී තිබෙනවා.