සීගිරියට යන වැඩිදෙනෙක් සීගිරි කාශ්‍යපගේ බලකොටු, සිතුවම්, සහ අලංකාර නගර නිර්මාණ ගැන තමයි කතාබහ කරන්නේ. නමුත් කාශ්‍යප යුගයට පසු ඔහුගේ සොයුරු මුගලන් රජු සීගිරියේ රමණීය භුමි දර්ශනය උපයෝගී කරගන තැනූ පබ්බත විහාර සංකීර්ණය දැකබලා ගැනීමට උනන්දු වන්නේ කලාතුරකින් අයෙක් පමණ යි. ඉතින් ඒ ගැන විමසා බැලූ විට ඔබටත් මේ විහාරය දැකබලා ගැනීමට කැමැත්තක් පහළ වන බව අපගේ විශ්වාසය යි.
ඉතිහාස කතා
කාශ්‍යප රජු (ක්‍රි. ව. 477-495) තමාගේම ක්‍රමයකට අනුව සීගිරියේ රාජධානිය නිර්මාණය කළේ පස්වැනි සියවසේ දී යි. එයට සියවස් අටකට පෙර පටන්ම සීගිරි පර්වතය පාමුල බෞද්ධ භික්ෂුන් බවුන් වැඩූ ලෙන් සංකීර්ණයක් පැවතුණා. ඒ බව හෙළිදරව් කරන කටාරම් කෙටූ ලෙන් සහ සෙල්ලිපි කිහිපයක්ම හමුවෙනවා.
කාශ්‍යප රජු ඔහුගේ සොයුරු මුගලන් (495—15) සමග කළ සටනින් පරාජයට පත්ව මියයනවා. නව පාලකයා වන මුගලන් යලිත් රාජධානිය අනුරාධපුරයට ගෙන යනවා. නමුත් ඔහු සීගිරිය පාළු වන්නට ඉඩදෙන්නේ නැහැ. මොග්ගල්ලාන සීගිරියේ දළ්හ නම් විහාරය හා දාඨා කොණ්ඩඤ්ඤ විහාරය තනා, ධම්මරුචි හා සාගලිය නිකායවල භික්ෂූන්ට පූජාකළ බව මහාවංශයේ කියැවෙනවා. එපමණක් නොවේ, මුගලන් රජු සීගිරි පර්වත විහාරය තනවා දීඝසන්ද විහාරයෙහි මහානාම තෙරුන්ට පූජාකළ බවත් මහාවංශය විස්තර කරනවා (මහාවංශය 39 පරි.). සීගිරිය අවට පිදුරංගල, රාමකැලේ, කළුදිය පොකුණ, මැණික්දෙන, මල්අස්න වැනි ස්ථානවලිනුත් අපට පබ්බත විහාර හමුවෙනවා.
ගල් පර්වතයක් ඇසුරු කරමින් කළ විහාර පබ්බත විහාර බව යි බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ පිළිගැනීම. ජලයෙන් වටවුණු, ආයත චතුරසාකාර, එකිනෙකින් උස්වන මළු කීපයක් විදිහට යි පබ්බත විහාර සකසලා තියෙන්නේ. ඉහළම මළුවේ තමා පූජනීය ගොඩනැඟිලි හතර තියෙන්නේ. එසේ උසින්ම තියෙන මැද මළුවේ පූජනීය ගොඩනැඟිලි තියෙන්නේ සම්මතයකට අනුව. ඒ සම්මතය ගැන පුරාණ වාස්තු විද්‍යා ග්‍රන්ථයක් වන මංජු ශ්‍රී වාස්තු විද්‍යා ශාස්ත්‍රයේ විස්තර කෙරෙනවා.
සීගිරි පබ්බත විහාරය
මෙය ඉනාමළුව කෝරළයේ සීගිරිය ගම්මානයේ පිහිටා තිබෙන පූජනීය ස්ථානයක්. මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසන්නේ සීගිරිය පබ්බත විහාරයේ අවධි දෙකක් හඳුනාගත හැකි බවයි. පළමු ඉදිකිරීම් අවධිය 5-6 සියවස්වල දීත්, දෙවැනි අවධිය 8-10 සියවස්වල දීත් වූ බව ඔහු සඳහන් කරනවා.
සීගිරියේ පැවති අවධි තුනකට අයත් වාස්තු විද්‍යාත්මක අංග මෙම විහාරයට ඇතුළත් කරගෙන තිබෙනවා.
- කාශ්‍යප යුගයට පෙර පැවති ලෙන් විහාර සංකීර්ණය
- කාශ්‍යප යුගයේ රාජධානිය පැවති කාලයේ ගොඩනැගීම්
- මුගලන් රජ යුගයේ ඉදිවූ පබ්බත විහාරාරාම ප්‍රධාන ගොඩනැගිලි
ආදී වශයෙන් ඒවා හඳුන්වන්න පුළුවන්.
සීගිරියේ ජල උද්‍යානය පසු කර පර්වත උද්‍යානය දෙසට යන විට දකුණු පසින් වනගතව මෙම පූජනීය ස්ථානය දැකගන්නට ලැබනවා. ස්තූපය, බෝධිඝරය, පිළිමගෙය, සහ පොහොයගෙය යන පබ්බත විහාරයක ප්‍රධාන අංග මෙම පරිශ්‍රයේ හඳුනාගත හැකියි. ගස්වැල් හා ලෙන් පර්වතවලින් පිරුණු සුන්දර වටපිටාවක තමයි මේ විහාරය පිහිටා තිබෙන්නේ. එය බවුන් වඩන භික්ෂුන්ට ඉතා කදිම වටපිටාවක් බව අදත් අපට පේනවා.
සීගිරිය පබ්බත විහාරාරාමයේ දී සිදුව ඇති ප්‍රධාන විපර්යාසය නම් කාශ්‍යප යුගයේ සීගිරි නගර සැලැස්මට උපයෝගී කරගත් පිටත හා ඇතුළත දිය අගල් පසුකාලීන පබ්බත විහාරයටත් යොදාගැනීමට වාස්තු විද්‍යාඥයා උනන්දු වීම යි. මෙහිදී ඇතුළත හා පිටත වශයෙන් දියඅගල් දෙකක් උපයෝගී කරගෙන තිබේ. ඇතුළත හා පිටත මළුව වෙන් කිරීමට යොදාගත් ගඩොල් ප්‍රාකාරය පැහැදිලි නිර්මාණයකින් යුක්ත නොවේ.
(සීගිරිය ආරාමික පුරාවිද්‍යාව- ප්‍රිශාන්ත ගුණවර්ධන)
මෙහි තවත් විශේෂත්වයක් නම් විහායට අයත් පිළිමගෙය සහ උපෝසථඝරය (පොහොයගෙය) කටාරම් කෙටූ පුරාණ ලෙන්වල පිහිටා තිබීම යි.
දාගැබ
වනතුරු අතර පිහිටි ස්වභාවික උස් මාලකයක කුඩා දාගැබ දැකගත හැකියි. දාගැබ් මළුවට ඇතුළුවීම සඳහා දොරටු දෙකක් තිබෙනවා. මෙහි මළුව කුඩයි. එය දිගින් අඩි 37යි අඟල් 6ක් ද පළලින් අඩි 33ක් ද වෙනවා. දාගැබ දැනට දැකගත හැක්කේ අඩි 4ක් උසට පමණ යි. දාගැබ වටා යන ප්‍රාකාර ඒ අසල ඇති ස්වභාවික පර්වතය ආරක්ෂා වන අයුරින් තනා තිබෙනවා.
බෝධිඝරය
පුරාණයේ බෝධිය රෝපණය කර තිබූ බෝධිඝරය දාගැබට පහළින් තැනිතලා බිමක පිහිටා තිබෙනවා. එහි අද දකින්න ලැබෙන්නේ චතුරස්‍රාකාර පාදම පමණ යි. එහි මළුව දිගින් අඩි 66ක් ද, පළලින් අඩි 53ක් ද වෙනවා. බෝධිඝරය වටා වෘත්තාකාර කළුගල් ප්‍රාකාරයක් ඉදිකොට තිබෙනවා. එච්. සී. පී. බෙල් මෙම ස්ථානයේ කැණීමක් කර, එම නටබුන් වටදාගෙයක් බව පවසමින් 1899 පුරාවිද්‍යා පාලන වාර්තාවට එම විස්තර ඉදිරිපත් කර තිබෙනවා.
උතුරු සහ නැගෙනහිර දිශාවෙන් දොරටු සහිත වෘත්තාකාර ශෛලමය බැම්මකින් වටවුණු මෙම නටබුන් ගොඩනැගිල්ල 1974 දී බෝධිඝරයක් ලෙස හඳුනාගත්තා. 1982 දී මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් කැණීම් කොට සංරක්ෂණය කර තිබෙනවා. මුගලන් රජු විසින් ඉදිකරන්නට ඇතැ යි සැලකෙන මෙය ලංකාවේ නිශ්චිතව හඳුනාගන ඇති පැරණිම බෝධිඝරයක් ලෙස වැදගත්.
පිළිමගෙය
මෙය විහාර බිමේ ඊසානදිග පැත්තේ පිහිටා තිබෙන්නක්. ක්‍රි. පූ. 2 වන හෝ 3 වන සියවස්වල අක්ෂරවලින් ලියූ සෙල්ලිපියක් මඟින් භික්ෂූන් උදෙසා පිරිනමා ඇති මේ අසලම පිහිටි කටාරම් කොටන ලද ලෙනක්, පසුකාලීනව පිළිමගෙයක් ලෙසට පරිවර්තනය කර ඇති බව එහි තිබී හමුවූ දෙඅත් රහිත කවන්ධ හුණු ගල් බුදු පිළිමයෙන් තහවුරු වුණා (දැනට එම පිළිමය සීගිරිය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත). එම ලෙනෙහි ඉදිරිපස ගඩොලින් කළ බිත්තියක නටබුන් ඉතිරි වී ඇති අතර, ගුහාවේ ඇතුළත කුටි තුනකට වෙන්කර, ඒවාට පිවිසීමට වෙන වෙනම දොරවල් තුනක් ද තිබී ඇති බව හෙළිවුණා. බුදු පිළිමය හමු වී ඇත්තේ විශාල මැද කුටිය තුළින්. ලෙනෙහි වියන හුණු පිරියම් කර සිතුවම් ඇඳ තිබූ බවට තැනින් තැන ඉතිරි වී ඇති සිතුවම් ශේෂවලින් හඳුනාගත හැකියි. මෙය මාලක දෙකකින් යුක්තව ඉදිකර තිබෙනවා. පළමු මාලකය සහ දෙවැන්න වෙන් වන්නේ කළුගල් ප්‍රාකාරවලින්. ලෙන අඩි 55ක දිගකින් ද අඩි 18ක පළලින්ද යුක්ත යි.
උපෝසථඝරය
භික්ෂූන්ගේ විනය කර්ම සිදුකරන උපෝසථඝරයේ නටබුන් පිළිම ගෙය අසල ගල් පර්වතය මුදුනේ පිහිටා තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ අලුතින්ම ගොඩනැගිල්ලක් ඉදිනොකර කාශ්‍යප යුගයේ දී සභා ශාලාව වශයෙන් භාවිත කළ පර්වතය මත ඇති ගොඩනැගිල්ල උපෝසථඝරය ලෙස භාවිතයට ගැනීම යි. එම විනය කර්ම සඳහා භාවිතයට පර්වතය මත දැවකණුවලින් පියස්සක් සහිත ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන්නට ඇතැ යි පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා.
මෑතකාලීන කැණීම් මඟින් තහවුරු වී ඇති ආකාරයට මෙම පබ්බත විහාරයේ නටබුන් ක්‍රි.ව. 5-6 සියවස්වල සිට ක්‍රි. ව. 12-13 සියවස් දක්වාම කළ ඉදිකිරීම්වලින් සමන්විත යි. එසේම මෙය පබ්බත විහාර වර්ගයේ සංඝාරාම අතරින් මුල් අවධියේම ඉදිවූවක් බවට ද හඳුනාගෙන තිබෙනවා. ඉහත විස්තර වූ මහාවංශ උපුටාගැනීම් අනුව ඇතැම් වියතුන් මෙම පබ්බත විහාරය මොග්ගල්ලාන රජු විසින් ඉදිකර මහානාම හිමියන්ට පිරිණැමුණු දික්සඳ (දීඝසන්ද) පිරිවෙන විය හැකි බව පවසනවා. කෙසේ නමුත් කාශ්‍යප රාජ්‍ය සමයේම එම රජතුමන් සීගිරිය පර්වතය අසල උයනෙහි විහාරයක් කරවා, එම විහාරය ද එයට උතුරින් වූ උයන ද ධම්මරුචි නිකායේ භික්ෂූන්ට පූජා කළ බව පැවසෙන බැවින්, මෙම ස්ථානයේ පිහිටීම අනුව මෙම පබ්බත විහාරය කාශ්‍යප රජු ඉදිකළ එම විහාරය වීමට බෙහෙවින්ම ඉඩ ඇති බවට සමහරුන් මත ඉදිරිපත් කරනවා. දැනට සීගිරිය පර්වතය පාමුලට වන්නට පිහිටි පර්වත උද්‍යානය ලෙස හැඳින්වෙන මෙම උයනේ පබ්බත විහාරයේ නටබුන්වලට ඉහළින් මෙන්ම උතුරු දෙසින් ද බෞද්ධ විහාරයකට අයත් බවට හඳුනාගත හැකි තවත් නටබුන් හමුවනවා.
අනෙකුත් ගොඩනැගිලි
ප්‍රධාන පූජනීය ගොඩනැගිලි හැරෙන්නට භික්ෂූන්වහන්සේ වාසය කළ සංඝාවාස, ස්නානාඝර, දානශාලා, කැසිකිලි, වැසිකිලි ආදී ගොඩනැගිලි විහාරයෙන් පිටත ඉදිකර තිබුණු බව හඳුනාගන තිබෙනවා. මෙහිදී සංඝාවාස සඳහා 30ක් වූ කටාරම් කෙටූ පැරණි ලෙන් විහාර අතරින් 29ක් යොදාගෙන තිබෙන අතර එක් ලෙනක් පිළිමගෙය ලෙස යොදාගත් බව හෙළිවී තිබෙනවා. සීගිරි රාජධානියේ ජල උද්‍යානය, මණ්ඩප ආදී ගොඩනැගිලි භික්ෂුන්ගේ ජලස්නානය සඳහා ද දානශාලාව ආදිය සඳහා ද භාවිත කරන්නට ඇති බව අනුමාන කෙරෙනවා.
රාජකීය නගරයක් පූජනීය විහාර සංකීර්ණයක් බවට පරිවර්තනය කිරීමේ අපූරු සැලැස්මක් තමයි මෙහි දැකගත හැකි වන්නේ.