සමාජය කෙතරම් නවීකරණය වුණත් පුරාණ සම්ප්‍රදායික ජීවන ක්‍රම අනුගමනය කරන, තවමත් තවලම්වලින් භාණ්ඩ ප්‍රවාහනය සිදුකරන ගම් අප රටේ තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ නමුණුකුල කඳු පාමුල තිබෙන එවැනි ගමක් තමයි උඩවාඩිය කියන්නේ.
ඉතා සුන්දර වටපිටාවක් සහිත මේ ගම එතරම් සංචාරක ආකර්ශනයකට ලක් ව නැත්තේ ගමට පිවිසීමේ දුෂ්කරතාව නිසා ම යි. ගමේ ජනතාවත් පහසුකම් රහිත දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. මේ ඔවුන්ගේ ජිවිතයට එබී බැලීමට ගත් උත්සාහයක්.
ගමට යන හැටි
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් ව උඩවාඩිය ගම පිහිටා තිබෙනවා. ගමට ළඟා වීමට බදුල්ල – පස්සර පාරේ නමුණුකුලට ගොස් එහි සිට එතනින් දේවාතුර – මියනකඳුර පාර දිගේ තැන්නෙකුඹුර ගමට පැමිණීය යුතු වෙනවා. එතන ඉඳන් තේ වතු සහ වනාන්තර මැදින් වැටුණු අඩි පාරක කිලෝමීටර් 5 ක් පමණ ගමනක් යායුතු වෙනවා. බස්ගමන් කරන මාර්ගයකට ගමේ සිට කිලෝමීටර් අටක් පමණ දුර යි. ඒ අතරින් කිලෝමීටර් තුනක් ෆෝවීල් වාහනයකට යා හැකි යි. කඳු සහ වනාන්තර වට කර ගත් ගම, ඉතා සුන්දර වටපිටාවක් සහිත යි.
මේ මාර්ගය දුෂ්කර වුවත් සුන්දරත්වයෙන් නම් ඉහළ යි. අහස සිඹින නමුණුකුල කඳුවැටියට අයත් කඳුපෙත් අතරින් තමයි පාර වැටී තිබෙන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයට යාබද ව ගම පිහිටා තිබෙනවා. අතරමඟ හමු වන දොළ පහරවල්වලින් මෙන් ම ගල්පර්වතවලිනුත් මේ පාරට අපූර්වත්වයක් එක් වෙනවා.
ගමේ පිහිටීම
3 ගමේ නිවසක්- Sl dev facebook page, Nayana Sanajeewa
කඳු මුදුන්වලින් වට වුණු වටපිටාවක පිහිටි ගම කඳු බෑවුමක තැනිතලා පෙදෙස් ආශ්‍රිත ව පිහිටා තිබෙනවා. ගමේ කුඹුරු හෙල්මළු ආකාරයට සකස් කර තිබෙන්නේ කඳු බෑවුමේ. කුඹුරුවලට දොළ පහරවලින් ජලය ලබා ගෙන තිබෙනවා. කුඹුරු මැද කුඩා කමත් ද දකින්නට පුළුවන්. යන්ත්‍ර සූත්‍රවලට ගමට ළඟාවීමට නොහැකි නිසා ගොයම් පා ගන්නේ මීහරකුන්ගෙන්.
ගම ඇරඹුණේ කොහොමද?
මේ ගමේ සිටි මුල් ජනතාව 1630 අගෝස්තුවේ පෘතුගීසින් සමඟ වැල්ලවායට නුදුරු රන්දෙනිවෙල දී සිදුවුණු සටනට සම්බන්ධ වුණු බවත් පැවසෙනවා. 1818 ඌව කැරැල්ල පැරදුණු පසුව ඉංග්‍රීසින් ගම්මාන ගිනි තබමින් හරහාබාන මරාගෙන කමින් සිදු කළ ම්ලේච්ඡ සංහාරයෙන් බේරීමට පැමිණි බදුල්ල පස්සර අවට ජනතාවත් මේ ගමේ පදිංචි වී තිබෙන බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.
බිබිල පැත්තේ සිටි ජනතාව පලා ගොස් පිහිටුවා ගත්තේ පානම කුමන ගම්මානය යි. ගමේ පවුල් 150ක් පමණ වාසය කරන අතර ඔවුන් සමගියෙන් බැඳී ජිවත් වෙනවා. ආරවුල් හටගන්නේ කලාතුරකින්.
ගොවිතැන ජීවනෝපායයි
ගමේ වැඩිදෙනකුගේ වාසගම රන්බණ්ඩා දේවාලගේ ලෙස සඳහන් වෙනවා. ගොවිතැන මත තමයි ගම යැපෙන්නේ. ගමට ජලය සපයන්නේ මැණික් ගඟේ අතු ගංගා මගින්. වී ගොවිතැන වගේ ම එළවළු වගාවත් ඔවුන් සිදු කරනවා. කෙසෙල් වගාවත් මේ සරුසාර වටපිටාවේ සිදුවෙනවා. කිතුල් කර්මාන්තයත් එහි දැකගත හැකි යි.
ගමේ බෝග නගරයට ප්‍රවාහනය කිරීම මේ ගම්මුන් මුහුණ දෙන විශාල ගැටලුවක්. ඔවුන් ඒ සඳහා දැනට භාවිත කරන්නේ ගවයන් මඟින් තවලම් ඔස්සේ ගෙන යාම යි. තක්කාලි වැනි බෝග තවලම්වලින් ප්‍රවාහනය කිරීමේ දී තැලෙන නිසා ගොවීන් ඒවා තම කර මතින් ගෙන යාම සිදු කරනවා.
මේ ගැමියන්ගේ ලෙඩරෝග අඩු යි
මීමුරේ ජනතාව මෙන් වෙහෙස වී ගොවිතැන සිදු කරන මේ ගැමියන්ගේ ලෙඩරෝග අඩු යි. බොහෝ නිවෙස්වලට ජලය ලබා ගන්නේ දියපාරවල් හරස් කර සකස් කළ පීලි මගින්. තැන්තැන්වල පිහිටි පුවක් ගස් පිරි පුවක් අරඹ ද අලංකාර දසුනක් මවා පානවා. මේ පුවක් එකතුකර විකිණීමත් ගැමියන්ගේ ආදායම් මාර්ගයක්.
කෙත්යාය මැද පිහිටි පැල්පත් සකස් කර ඇත්තේ තල් කොළ සෙවිලි කිරීමෙන්. උළු සෙවිලි කළ නිවෙස් මෙන් ම පිදුරු සෙවිලි කළ ගෙවල් ද ගමේ තිබෙනවා. බිත්ති තනා ඇත්තේ ගඩොල් හෝ මෝඩ ගඩොල්වලින්. ගමේ කිතුල් ගස් සුලබව දකින්න ලැබෙනවා. බොහෝ කිතුල් ගස්වලට හැර බැඳ ඇත්තේ ගසට නැගීම සඳහා යි. කිතුල් මල් මැදීමට දක්ෂ ගැමියන් රාශියක් උඩවාඩියේ දිවි ගෙවනවා.
ළඟ ම නගරයට කිලෝ මීටර් 30ක්
ගමට කනිටු පාසලක්, කෝවිලක් වැනි අංග මෑත අතීතයේ දී පිහිටුවා තිබෙනවා. උසස් අධ්‍යාපනය ලැබීමට නම් කිලෝ මීටර් 30ක් 8ක් පාගමනින් ගමන් කළ යුතු යි. මේ නිසා බොහෝ දරුවන්ට උසස් අධ්‍යාපනය මඟහැරෙන බවයි අසන්නට ලැබෙන්නේ. ගමට ළඟ ම නගර වන්නේ ඇල්ල සහ වැල්ලවාය යි. ්ඒ
සඳහා කිලෝ මීටර් 30ක් දුර ගමන් කළ යුතු යි. ගම්වැසියන්ට පා ගමනින් ගොස් බස්රථවල යළිත් ගමන් කර නගරයට යාමට සිදුව තිබෙනවා. ගැමියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ එළවළු ප්‍රවාහනය සඳහා මාර්ග පහසුකම් ලබා දෙන ලෙස යි.
දිය ඇල්ල
උඩවාඩිය ගම කෙළවර කඳුවැටියෙන් කඩාහැලෙනා මැණික් නදියේ ශාඛාවකින් නිර්මාණය වුණු දියැල්ල කුඩා වුවත් සුන්දරත්වයෙන් නම් හරි ඉහළ යි.
වනපෙත වට කර ගත් දිය ඇල්ල අලංකාර තටාකයකින් ද යුක්ත යි. ගමට ඉඳහිට එන සංචාරකයන් දියඇල්ලෙන් ස්නානය කිරීමට අමතක කරන්නේ නැහැ.
මෙම වීඩියෝවෙන් ඔබට උඩවාඩිය ගම ගැන සොඳුරු අදහසක් ලබා ගත හැකිවේවි :