සුන්දර පරිසරයක ජීවත් වෙන්න කවුද අකමැති? අපි ජීවත් වන නිවස නිදහස්, සිසිලස් පරිසරයක පිහිටා තියනවානම් කවුරුත් කැමති වේවි. සංචාරයක් අතරතුරදී ස්ථාන කිහිපයක් ම නරඹා දඹුල්ල කිට්ටුවට එද්දි ඊට පෙර දවසකදී මිතුරෙක් කියපු දිය බුබුල කියලා හඳුන්වන ස්ථානයක් ගැන මතක් වුණා.
මේ ස්ථානයේ පිවිසුම් මාර්ගය ගැන සඳහන් කළොත් දඹුල්ල-මහනුවර ප‍්‍රධාන මාර්ගයේ සිට කළුන්දෑව ග‍්‍රාමයට පිවිසෙන අතුරු මාර්ගයේ කි.මී. 1.5ක් දුරින් තමයි මේ ගෙවත්ත පිහිටලා තියෙන්නේ. ඇත්තටම මේ ස්ථානය කලාකරුවකුගේ පෞද්ගලික ගෙවත්තක්. වනාන්තරයක් ආකාරයට තමයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ. වනාන්තරයක් නිර්මාණය වීමට කාලයක් ගත වෙනවා කියන එක හැමෝම දන්නවා. වනාන්තර පරිසරයක් නිර්මාණය කිරීමේ අසීරු කර්තව්‍යය සාර්ථකව ජයගත් සුවිශේෂී පුද්ගලයෙකු තමයි මේ පරිසර චාරිකාවේ යෙදෙන අවස්ථාවේදී අපට හමුවන්නේ.
දීර්ඝ කාලයක් ගත කරමින් ගෘහ නිර්මාණ, මූර්ති සහ සිතුවම් ආදිය නිවාස උද්‍යානය අලංකරණයට යොදා ගනිමින් කෘතීමව නිර්මාණ කර්තව්‍යය ආරම්භ කර පසුව ස්වාභාවිකත්වය ආරූඪ කරගත් භූමියක් බවට මේ අපූර්ව පරිසර පද්ධතිය පත්ව ඇත. මෙම ස්ථානය හිමිකරුගේ සොදුරු නවාතැන්පල වූවත් කිසිදු අයකුට පරිසර සුව විඳීමට අවහිරයක් නැත්තේය. ඔහු ලකී සේනානායක නැමති සොදුරු කලාකරුවාය.
ගෘහ නිර්මාණකරණයට, සිතුවම් ඇඳීමට, සංගීතයට, විවිධ මූර්ති සහ විශේෂ ආකෘති ලෝහයෙන් නිර්මාණය කිරීමට ඔහු සතුව විශාල ප‍්‍රතිභාවක් පවතී. වර්ෂ ගණනාවක් සිට දිය උල්පතක් මඟින් පෝෂණය වෙමින් නිර්මාණය වී ඇති මෙම පරිසරය වර්තමානයේදී ස්වාභාවික පරිසරයක් බවට පත්වෙලා. වන සත්ත්වයින් සහ මනුෂ්‍යයින් එකම ස්ථානයක සහයෝගීව ජීවත් වන පරිසරයක් සඳහා මෙම ‘දිය බුබුල’ නම් අපූර්ව ස්ථානය කදිම නිදසුනක් කියලා හඳුන්වන්න පුළුවන්. නැවත වාරයක් සඳහන් කළොත් මේක පෞද්ගලික ගෙවත්තක් මිස පොදු පරිසර උද්‍යානයක් නම් නොවේ.
සොඳුරු කලාකරු ලකී සේනානායක මහතා
හෙතෙම චිත‍්‍ර ශිල්පියෙකු, මූර්ති ශිල්පියෙකු, භූ දර්ශන නිර්මාණ ශිල්පියෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, සංගීතඥයකු මෙන්ම උද්‍යාන අලංකරණ නිර්මාණ ශිල්පියෙකු ද වේ. සිය දෑතින් නිර්මිත විවිධ නිර්මාණයන් විශාල ගස් මුදුන්හි, ගස් අතර, විල් මධ්‍යයෙහි, උද්‍යානය පුරා තැන් තැන්හි රඳවා ඇත්තේ පාරිසරික ස්වභාවිකත්වයට හානි නොවන අන්දමින්ය.
විශේෂයෙන්ම කිවයුත්තේ ස්වාභාවික ශාක ආදිය එලෙසින් ම ශේෂ කරමින් නිර්මාණය කරන ගොඩනැගිල්ල පමණක් පරිසරයට උචිත අන්දමින් වෙනස් කර ඉදිකිරීමේ ගුණය ඔහු සතු බවයි. අහම්බෙන් ඒ සොදුරු කලාකරුවා සමඟ කතා බහ කළ මොහොතක දැනගැනීමට ලැබුණේ කුඩා කල සිටම කුරුල්ලන්ට, ගස් වලට, සතුන්ට, සහ පරිසරයට ඔහු දැඩි සේ ඇලුම් කළ බවයි. ජලයෙන් වටවූ කුඩා කාමරයක් වැනි නිවසක සිටින අතරවාරයේදී ඔහු සමඟ කළ කතාබහද කිසිම දිනක අමතක නොවන්නේ එය අමුතු අත්දැකීමක් වූ බැවිනි.
අප එහි යන විටත් ඇඳ අවසන් නොකළ සිතුවමක් ඔහුගේ කාමරයේ විය. සිතුවම්කරණය මෙන්ම කලා කෘති වල ඇති විශේෂ බව පළමුවරට ඔහුගේ නිර්මාණ දකින්නෙකුට සිතට නැඟේ. ඔහුට ම ආවේනික ශෛලිය මීට හේතුවයි. මොහු නිර්මාණාත්මක කලාවේ පුරෝගාමියෙකු ලෙසින් ද හැඳින්වීමට හැකිය. ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් වූ ජෙෆ්රි බාවා, අල්රික් ප්‍රෙස්නර්, වැලන්ටයින් ගුණසේකර, බෙවිස් බාවා, ඇනා ද සිල්වා, බාර්බරා සන්සොනි, රෙජී සිරිවර්ධන, ආර්.නඩේසන් ආදීන් සමඟ එකට වැඩ කටයුතු වලට මොහු සහභාගී වී ඇත. මොහු විසින් රචිත Laki’s Book of Owls කෘතියේ බකමූණන්ගේ විවිධ ඉරියව් අපූරුවට ග්‍රහණය කර ඇත.
අතීතයෙන් බිඳක්
අතීතයේ දී මුඩු බිමක්ව පැවති මෙම ඉඩම් කොටස ලකී සේනානායක මහතා 1971 වර්ෂයේදී මිළදී ගෙන ඇත්තේ ගොවිතැන් කිරීම සඳහායි. දිය උල්පත් මඟින් නොමඳව ජලය සපයා ගැනීමට හැකි වූ නිසා ගොවිතැන් කටයුතු සාර්ථක වී ඇත. නමුත් සරිලන මිලකට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වගා කටයුතු අත්හැර දැමීමත් සමඟම නැවතත් ඔහු කලා කටයුතු සඳහා යොමු වී ඇත. ගස් වැල් වලින් ගහණ වූත් සත්වයින්ගෙන් ගහන වූත් පරිසරයක ජීවත්වීමට පැවති නොතිත් ආශාව හේතුවෙන් ඔහු මෙම භූමිය ස්වභාවික වනාන්තර පරිසරයක් ලෙසින් නිර්මාණය කිරීමට ආරම්භ කළ බව පැවසීය. ඒ 1976 වසරේ පමණ සිටය. මෙම ස්ථානය ඔහුගේ වාසස්ථානයයි. සත්වයින්ට ආහාරයට ගත හැකි මොර, නුග, කෝන්, මී ආදී ශාක මෙන්ම කුඹුක් ආදී විශාල ශාක සිටුවා ඇත. අද දක්වා අවුරුදු හතලිහකට ආසන්න කාලයක් ගත වූ පසු මෙම ප‍්‍රදේශය වනාන්තරයක ස්වභාවයන් ඉසිලීම සුවිශේෂිත්වය මෙන් ම උතුම් ක‍්‍රියාවක ප‍්‍රතිපලයක්ය.
වර්තමානයේ දී ජල උද්‍යානයකින් පෝෂිත ස්වාභාවික පරිසරයක් ලෙසින් පැවතීමත් වියළි කලාපයේ පිහිටා තිබීමත් මෙහි ඇති සුවිශේෂිත්වය තවත් වැඩි කරයි. පරිසර පද්ධතියක් ලෙසින් ගතහොත් සත්වයින්ගේ වාසස්ථානයක් බවට පත්ව ඇති අතර ලකී සේනානායකයන්ගේ පෞද්ගලික ගෙවත්ත වන්නේ ජල උද්‍යානයක් ලෙසින් ඇති මෙම පරිසරයයි. නිවහන වට කරගෙන ඇත්තේ ද ජලයය.
මෙහි ජීවත් වන සත්ත්ව හා ශාක විශේෂ
උරගයින් – තලගොයින්, කබරගොයින්, කටුසු විශේෂ
මත්ස්‍යය විශේෂ – තිලාපියා, ගුරාමි, කනයා, මඩ කනයා,
සර්ප විශේෂ – පිඹුරන්, නයි, මාපිලන්
සිවුපාවුන් – රිලා විශේෂ, වඳුරු විශේෂ, ඌරන් , මීමින්නන්, දඬු ලේනුන්, ලේනුන්
පක්ෂි විශේෂ – පිළිහුඩුවන්, ගිරවුන්, කෑදැත්තන් සහ සංක‍්‍රමණික පක්ෂීන්
ශාක විශේෂ – උණ ශාක වර්ග, කෝන් , කුඹුක්, මී, මොර, ජෑම්, නුග, බෝ, මීවන, පාසි වර්ග, කෙකටිය, පිහිඹියා, විවිධ අල වර්ග, බිම්මල් හා ලයිකන විශේෂ
ජල උද්‍යානය
මෙම පරිසරය පෝෂණය වන්නේ කුඩා දිය උල්පතකිනි. දිය බුබුල යන නමින් හඳුන්වන්නේ එකී දිය උල්පතයි. අතීතයේ දී පොළව මට්ටමින් ජලය මතුවන කුඩා දිය උල්පතක් හමු වූ බවත් එය ක‍්‍රමිකව ප‍්‍රතිසංස්කරණය කරමින් සහ ළිඳක් ආකාරයට සකසමින් වර්තමානයේ පවතින මට්ටමට ගත් බවත් එය සැකසීමට අතීතයේ පටන් දායක වූ උපතිස්ස මහතා අපත් සමඟ පැවසීය.
බුබුලූ දමමින් ජලය උතුරන බැවින් මෙය දිය බුබුල ලෙස හඳුන්වයි. එම නාමයම මෙම පරිසර පද්ධතිය හැඳින්වීමටත් යොදා ගනී. දිය බුබුල පරිසර පද්ධතිය නිරන්තරයෙන් කුරුලූ නාදයෙන් සහ ජලය ගලා හැලෙන ශබ්දයෙන් පරිපූර්ණයි. නිරන්තරයෙන් ජලය පිරී ඇති විල් සහිත හෙයින් විවේකීව කාලය ගත කරන්නෙකුට ගත සිත නිවා ගැනීමට කදිම ස්ථානයකි. විදෙස් සංචාරකයන් මෙහි නවාතැන් ගැනීමට පි‍්‍රය කරනුයේ මෙම පරිසරයේ පවතින ස්වභාවිකත්වය හේතුවෙනි.
එක් දිය උල්පතකින් භූමිය පුරා විල් පහක් පෝෂණය වන අතර මුල් කාලයේ දී මෙම විල් සකස් කිරීම ඉතා අසීරු කර්තව්‍යයක් වූ බව එම ස්ථානයේ ලකී සේනානායක මහතා සමඟ ජීවත් වන උපතිස්ස මහතා සහ ලිසි නෝනා මහත්මිය පැවසූහ. වත්ත පුරා ජලය ගලා යන දිය කඩිති සමූහයකි. මේවායින්ද පරිසරය පෝෂණය වේ.
පාරිසරික සොබාලංකාරයට හානි නොවන අන්දමට නිර්මිත පිත්තල, දැව සහ වානේ වලින් නිර්මාණ අංග උද්‍යානයෙහි තැනින් තැන ඇත. මේ සියල්ල නිර්මාණය කරන්නේ ලකී සේනානායක මහතා විසිනි. මේ නිර්මාණ අතර
බුද්ධ ප‍්‍රතිමා, සූර්යයාගේ ආකෘතිය සහිත රූප, සත්ත්ව රූප, ගෘහ නිර්මාණ කෘති, ඔහුගේ අතින් අඳින සිතුවම් සහ පොකුණු ආදිය ප‍්‍රමුඛ වේ.
කවරයේ පින්තුරය: සවස් යාමයකදී කැමරා කාචයට සටහන් වූ විලක ඡායාරූපයක් (diyabubula.com)