මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගලේවෙල පිහිටා තිබෙන්නේ කොළඹ සිට කි. මී. 141ක් දුරින්. මුහුදු මට්ටමේ සිට මී. 209ක් උසින් යුත් මේ ප්‍රදේශය වියළි කලාපීය තැනිතලාවක් වුව ද තැනින් තැන ඉහළ නගින පර්වත සහිත කදුවැටි විවිධත්වයන් ගෙන දෙන දර්ශන මවනවා. ගලේවෙල සිට මාතලේටත්, ආඬියාගල හරහා කලාවැවටත් ප්‍රධාන මාර්ග දෙකක් වැටී තිබෙනවා. මේ අවට පුරාණ නටබුන් රාශියක් පැතිර තිබෙන්නේ බෙහෝ දෙනාගේ ඇසට ලක්නොවෙමින්. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් මේ තැන්වල මනස සුවපත් කරන කදිම සුන්දරත්වයක් රැඳී පවතිනවා.
බොහෝ දෙනෙක් අනුරාධපුර හෝ පොළොන්නරු යන ගමන් ගලේවෙල පසුකරමින් ගියත්, මේ වටිනා ස්ථාන දැකගැනීමට උනන්දු වන්නේ නැති බව යි පේන්නේ. ඒ සදහා මඟපෙන්වීමක් කිරීමට යි මේ උත්සාහය.
දේවහූව වැව
දේව රජවරුන් පෙර කළ වැඩ මිතුර
තව නොබලා කදුරැලි ගං හෝ වතුර
තේවාකර දෙවිදු යදී පෙර සිටින වර
දේවහූව වැව ලෙලදෙයි නිල් වතුර
ජනකවියා දේවහූව වැව දකින්නේ ඒ ආකාරයට යි.
ගලේවෙල සිට ආඩියාගල පාරේ කි. මී. 7.5ක් ගමන් කරන විට බේලියකන්ද හන්දියට නුදුරින් මේ ජලාශය ඔබට හමුවෙනවා. සුන්දර ජල තලයක් වන මෙහි ආරක්ෂිත ස්ථානයක ස්නානය කිරීමට වුවත් පුළුවන්. දිය හූව යන වදන් දෙක එකතුවීමෙන් දේවහූව යන වචනය සැදුණු බව යි කියැවෙන්නේ. මාතලේ දිසාවේ පිහිටි මේ ජලාශයෙන් දියවර සැපයෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුරුවලට යි.
වර්ෂ 1950 දී මෙහි ප්‍රතිසංස්කරණය ආරම්භ කර, පුරාණ වැව වඩාත් විශාල ජලාශයක් බවට පත්කර තිබෙනවා. ඒ අවස්ථාවේ දී පුරාණ බිසෝකොටුව සහ වැව ඉදිකිරීමට යොදාගත් අනුරාධුපර යුගයට අයත් ගඩොල් ද පැරණි වැව් බැම්මේ කොටසක්ද හමුවී තිබෙනවා. මෙහි තිබූ පුරාණ වැව ඉදිකර තිබෙන්නේ දුටුගැමුණු රජු බවත්, ඔහු අනුරාධපුරයේ සිට මලය රටට යද්දී මේ භූමිය සොයාගත් බවත් ජනප්‍රවාදයේ එනවා. අද මහවැලි වතුරෙන් ද පෝෂණය වන මේ වැව මුලින්ම ඉදිකර තිබෙන්නේ කුඩා ඔය සහ කළුගල් ඔයේ ජලය ලබාගනිමින්.
ජලාශයෙන් පෝෂණය වන කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 1148.58ක්. මෙහි උපරිම ගැඹුර මීටර් 8.77ක් වන අතර වැව් කණ්ඩියේ දිග මීටර් 184ක්. වැවේ ජල ධාරිතාවය හෙක්ටයාර් 244.6ක්. මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය ද මෙහි සරුවට කෙරෙනවා.
විහාරහින්න පබ්බත විහාර නටබුන්
ගලේවෙල සිට කුරුණෑගල දෙසට මද දුරක් ගමන් කර අඹගහමුල හන්දියෙන් හැරී නිලගම පසුකර කි. මී. 7ක් ගිය විට මොරගොල්ලාගම හමුවෙනවා. එහි සිට ගුරු පාරක ගොස් මාවැව පසුකිරීමෙන් ඉක්බිති විහාරහින්න නටබුන් ආරාම පුරාවිද්‍යා සංකීර්ණයට ළගාවිය හැකියි. කහල්ල කදුවැටිය පාමුල සුන්දර ස්ථානයක මේ නටබුන් පිහිටා තිබෙනවා. මෙය පුරාණයේ ප්‍රධාන පෙළේ ආරාමයක් වූ බව අද දක්නට ඇති නටබුන්වලින් පැහැදිලි වෙනවා. මෙහි අවට නාගස් බහුල සිසිල් වටපිටාවක් දැකගත හැකියි. උතුරු මාතලේ කන්දපල්ල කෝරළේට මෙම ස්ථානය අයත් වෙනවා. විහාරහින්නේ පුරාණ නාමය කුමක්දැ යි සාධක හමුවී නැහැ.
මෙහි බොහෝ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා. පුරාණ ආරාමය වටාම යන සේ පැවති ප්‍රකාරය තැනින් තැන ඉතුරුව පවතිනවා. දාගැබක් ද ප්‍රතිමා මන්දිරයක් ද බෝධිඝරයක් ද මෙහි තිබුණු බව නටබුන්වලින් පේනවා. අඩි 11ක් උස ශෛලමය හිටි බුදු පිළිමය අද පවතින්නේ බිමට වැටිලා. පිළිමය වටා ගොඩනැගිල්ලක් තිබූ බව අවට ගල්කණු පැහැදිලි කරනවා. අත්තානි කණු සෙල්ලිපියක කොටසක් ද මෙතැනින් හමුවී තිබෙනවා. අනුරාධපුර යුගයේ දියුණුව පැවති මෙම ආරාමය පොළොන්නරු යුගයේදී ද අලුත්වැඩියාවට ලක්වූ බවට සාධක හමුවෙනවා. නටබුන් සාධක අනුව පෙනෙන්නේ මෙය පබ්බත විහාරයක් වශයෙන් පැවති බව යි.
12 වැනි සියවසට අයත් සංස්කෘත සහ දෙමළ සෙල්ලිපියක් දාගැබ අසල පිහිටි අතර එය මහාචාර්ය සෙනරත් පරණවිතාන කියවා තිබෙනවා. ලංකාවේ ද ක්‍රියාත්මක දකුණු ඉන්දීය වෙළෙඳුන්ගේ සංගමයක් ගැන කියැවෙන එය පුරාණ ජාත්‍යන්තර වෙළදාම හෙළිකරන වැදගත් සාධයක්.
මහරහතුන් සැතපුණු ගැරඬිගල ගල් ඇදන්
ගලේවෙල සිට ආඩියාගල පාරේ කි. මී. 3ක් ගොස් දමුණුමුල්ල ගමට පැමිණිවිට ගැරඩිගල විහාරයට ගමන් කළ හැකියි. ලෙන් විහාරයත් එයට යාබදව පිහිටි ගල්ඇදන් පිහිටි පර්වතයත් එකම පර්වතයක් ආශ්‍රය කරගෙන පිහිටා තිබෙනවා. ගැරඬියකු මෙන් පර්වතය මත කෙටූ කටාරම පිහිටි නිසා ගැරඬිගල නම ලැබී ඇතැ යි කියවෙනවා. කි. මී. 1ක් පමණ දිගකින් යුක්තව ඇදීයන පර්වතය උසින් මීටර 200ක් පමණ වෙනවා. වනතුරු අතරින් දිස්වන පර්වත තලාව අලංකාර දසුනක් මවා පානවා.
විහාරබිමේ ලෙන් කිහිපයක් සහ බෝධිය දාගැබ ආදී පූජනීය අංග දැකගත හැකියි. කටාරම් කෙටූ ලෙන් පහක්, ලෙන් පිළිමගෙය, සහ පර්වත ලිපි දෙකක් පුරාවිද්‍යා ස්මාරක ලෙස නම්කර තිබෙනවා. පියගැට නැගීමෙන් පර්වතය මත පිහිටි දාගැබට පිවිසීමට පුළුවන්. එය මතට ගලේවෙල අවට වැව්, වනාන්තර හා කුඹුරු සහිත තැනිතලාවේ රමණීය දර්ශනයක් දැකගත හැකියි. ලෙන් විහාරයේ නූතන නවීකරණ නිසා පුරාණ අගය වැනසී ගොසින්.
මෙහි පර්වතය මත බොහෝ දුරට ගෙවීගිය පර්වත ලිපි තුනක් මහාචාර්ය සෙනරත් පරණවිතාන කියවා පළකර තිබෙනවා. ඉන් එක් ලිපියක් තුන්වන කාශ්‍යප (ක්‍රි. ව. 732-738) රජ සමයට අයත්. පළමු සහ දෙවන සෙල්ලිපිවල වැවක්, කුඹුරු සහ ඇළ මාර්ග මෙහි පිහිටි ආරණ්‍යයට පූජා කිරීම ගැන සඳහන්. තුන්වැනි සෙල්ලිපියේ ඉඩමකට අදාළ ගනුදෙනුවක් ගැන දැක්වුණ ද එහි අක්ෂර බොහෝ දුරට ගෙවීගොස් ඇති නිසා නිශ්චිත අදහසක් ගැනීම අසීරු යි.
ගල් ඇඳන්
විහාරයට නුදුරින් අතුරු පාරක ගොස් වනපෙත හරහා පියමං කිරීමෙන් ගල්ඇදන් පිහිටි පුරාවිද්‍යා භූමියට ළගාවීමට පුළුවන්. ඒ සදහා කඳුගැටය නැග පර්වතය මතට පිවිසිය යුතු යි. තවත් ගල්ඇන්දකින් ආවරණය වූ පර්වතය මත ස්වභාවිකව නිර්මාණය වූ කදිම ආවරණයක් සහිතව ගල්ඇඳන් දැකගත හැකියි. මිහින්තලේ මිහිඳු ලෙන මෙන්ම වෙස්සගිරිය ද මෙම ස්ථානයට තරමක් දුරින් පිහිටි නවකෝට්ටේ යහන්ගල ද ගල්ඇඳන් තිබෙන තවත් ස්ථානයන් කිහිපයක්. පර්වතය සුමටව හාරා සැකසූ ඇඳන් 6ක් මෙහි පිහිටා තිබෛනවා. දෙපසින්ම විවෘත නිසා හොද සුළං ධාරාවක් මේ ස්ථානයේ හමා යනවා. අනුරාධපුර යුගයේ බවුන් වැඩූ රහත් භික්ෂුන් වහන්සේ මෙහි සැතපුන බව ගැමියන් විශ්වාස කරනවා.
අවට දැකුම්කළු දර්ශනයත් හමායන සිසිල් සුළං ධාරාවත් පුරාණ භාවනානුයෝගී භික්ෂුන්ගේ සිත් පහන් කරන්නට ඇති බව නිසැක යි. ඇඳන් වටා කුඩා කාණු හෑරීමෙන් වැසි ජලය පැමිණීම වළක්වා තිබෙනවා. ඇඳන්වලට ඉහළින් ද ගලේ කටාරම් කොටා ඇත්තේ ජලය පැමිණීම වැළැක්වීමට යි.
දඹුලු සිත්තරුන් කළ නිලගම නීලගිරිය
ගලේවෙලින් මොරගොල්ල පාරේ කි. මී. 6ක් ගමන් කරන විට අප පිවිසෙන්නේ පුරාණ ගම්මානයක් වන නිලගමට යි. නිලගම ගම ප්‍රසිද්ධව පවතින්නේ උඩරට රාජධානියේ විශිෂ්ට සිත්තර පරම්පරාවකට යි. දඹුලු විහාරය, රිදී විහාරය වැනි විහාර රාශියක චිත්‍ර නර්මාණය කළ නිලගම සිත්තර පරපුර ජීවත්වන්නේ මේ ගමේ. කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රජ කාලේ ඇතිවුණු බෞද්ධ ප්‍රබෝධය නිසා විහාරාරාම රාශියක් අලුතින් ඇති වුණා. ඒවායේ චිත්‍ර ඇඳි ප්‍රධාන සිත්තරෙක් තමයි නිලගම පටබැන්දා කියන්නේ. ඔවුන්ට ඒ වෙනුවෙන් ලැබුණු සන්නසකුත් තිබෙනවා. මේ පරපුරේ ජීවත්ව සිටි ජ්‍යෙෂ්ඨ සිත්තරා වූ නිලගම බෝධිනාරායන බුවනෛකබාහු ජීවන් නයිදේ වසර කිහිපයකට පෙර මියගියා.
නිලගම නීලගිරි ලෙන් විහාරයේ චිත්‍ර හා මූර්ති නිර්මාණයත් නිලගම පරපුරේ වැඩක්. ඒ චිත්‍ර පුරාණ ස්වරූපය රැකෙන සේ අලුත්වැඩියාවත් කරන්නේ ඔවුන්. ලෙන් කිහිපයක් සහිත නිලගම පන්සලේ එක් ලෙනක් ප්‍රතිමා මන්දිරය වශයෙන් තිබෙනවා. මේ විහාරය දේවානම්පියතිස්ස රජ සමයේ ආරම්භ වූ බව තමයි ජන විශ්වාසයේ පවතින්නේ. මෙහි හමුවන සෙල්ලිපිත් ලංකාවට බුදුදහම ලැබුණු වකවානුවට අයත් කළ හැකි නිසා ඒ කතාවේ යම් ඇත්තක් පවතින්නත් පුළුවන්.
උඩරට සම්ප්‍රදායේ පිළිම සහ සිතුවම්වලින් ලෙන් විහාරගෙය පිරිලා. ඊට අමතරව දාගැබක් සහ බෝධි වෘක්ෂයක් ද මෙහි පූජනීය ස්මාරක වශයෙන් තිබෙනවා. නිලගම ලෙන්වල කටාරමට යටින් කොටා ඇති සෙල්ලිපි සංඛ්‍යාව අටක්. ඉන් පහක් පූර්ව බ්‍රාහ්මී ( ක්‍රි. පූ. 3-1) සෙල්ලිපි වශයෙනුත්, තුනක් අපර බ්‍රාහ්මී (ක්‍රි. ව. 1-2) ලෙසත් මහාචාර්ය පරණවිතාන හඳුනාගෙන තිබෙනවා. මේවායේ සඳහන් වන්නේ ලෙන්වල කටාරම් කොටා භික්ෂූන්වහන්සේ උදෙසා සකස් කර පූජා කළ බව යි. අභය සහ රුලා, තිස්ස ප්‍රධානියා, සුමනගුත්ත, ප්‍රමුඛ දුටිකතිස්ස, ප්‍රමුඛ තිස්සගේ පුත් ප්‍රමුඛ ශුනකත්ථ, ගම්ප්‍රධානි ධම්මගේ දියණිය වෙලා උත්තරා උපාසිකාව එසේ ලෙන් පූජා කළ දායකයන් ලෙස සෙල්ලිපිවල සදහන් වෙනවා.
ගොන් මොල්ලිය වගේ ගොන්මොට්ටව කන්ද
ගලේවෙල ආඬියාගල පාරේ කි. මී. 9.5ක් ගියවිට බුලනවැව කඩමණ්ඩිය හමුවෙනවා. එහි සිට අතුරු පාරක තවත් කි. මි. 2ක් ගමන් කරන විට ඈතින් වනයෙන් පිරී නැගී සිටින ගොන්මොට්ටව කන්ද ඔබට දැකගත හැකියි. එම කන්ද ගොනෙකුගේ මොල්ලිය ආකාරයට පෙනෙන නිසා තමයි ඒ නම ලැබී තිබෙන්නේ. ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම මෙහි ලෙන්වල භික්ෂූන්වහන්සේ බවුන් වැඩූ බව එහි ඇති කටාරම්වලින් පෙනෙනවා. අනුරාධපුර යුගයට අයත් නටබුන් දාගැබක් ද මෙහි දැකගත හැකියි. මෙහි වර්තමානයේ ද ආරණ්‍ය සේනාසනයක් පවත්වාගෙන යනවා. ඉතා අලංකාර වටපිටාවක් සහිත තැනක් ලෙස හැදින්විය හැකියි.
මෙම පෞරාණික තැන්වලට අමතරව ගලේවෙල අවට තවත් පුරාණ ස්ථාන රාශියක් තිබෙනවා. සිල්වත්ගල ලෙන් විහාරය, මකුළුවැව පුරාණ විහාරය, බම්බා රජමහා විහාරය, බේලියකන්ද ප්‍රාග්ඓතිහාසික සුසානය ඒ අතරින් කිහිපයක්.